අද මෙන්ම එදාත් ගෝඨාභය යන නම ලංකාව පුරා ප්‍රසිද්ධියට පත්වී තිබුණි. රජ කාලයේත් ගෝඨාභය යන නමට ලංකාවේ මුල් තැනක් හිමිවී තිබුණි. ඒ දුටුගැමුණු රජ සමයේය. මා මේ ලියන්නේ දුටුගැමුණු රජතුමාගේ දස මහා යෝධයින්ගෙන් එක් යෝධයකු වූ ගෝඨයිම්බර ගැන නොවේ. නැතිනම් මහින්දගේ මල්ලී ගෝඨාභය රාජපක්ෂ ගැන ද නොවේ. ලංකාවේ පාලන තන්ත්‍රයෙහි මුල් පුටුවේ වාඩිවීමට සුදුසුකම් ලබා ළඟටම ගොස් එය ඉටුකර ගැනීමට නොහැකිවූ ගෝඨාභය සේනානායක ගැනය. නැතහොත් රිචර්ඞ් ගෝඨාභය සේනානායක හෙවත් කවුරුත් දන්නා ආර්. ජී. සේනානායක ගැනය. 


1944 දෙසැම්බර් මාසයේ මුල් වරට ඡන්ද 11,661ක් ලබා නාරම්මල ආසනයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට මන්ත්‍රීවරයකු වශයෙන් පත්වී එක දිගට වසර 40කට වැඩි කාලයක් මන්ත්‍රී පදවිය දැරූ ආර්. ජී. අතීතයේ දී හඳුන්වනු ලැබුවේ ‘සිංහලයේ සිංහයා’ යනුවෙනි. මහත්මා දේශපාලනය ගැන කතා කරද්දී මේ කියන ගෝඨාභයට හිමිවන්නේ මුල් තැනකි. 


පුරා වසර 40ක් දඹදෙණි ආසනයේ මන්ත්‍රී ධුරය හෙබවූයේ ඔහුය. ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයෙහි ඓතිහාසික සටහනක් තබමින් එකවර ප්‍රථම වරට තම සුපුරුදු දඹදෙනිය ආසනයත් තම ප්‍රතිමල්ලවයා වූ ජේ. ආර්. ජයවර්ධනගේ කැලණි ආසනයත් ජයගත් පුද්ගලයා ඔහුය.


ඩී. එස්. සහ ජේ. ආර්. මෙන්ම ආර්. ජී. යන නමද එකල ලංකාව පුරා ඉමහත් ප්‍රසිද්ධියට පත්වී තිබුණි. මීට වසර 70කට පෙර ජේ.ආර්. ඔහුව ආමන්ත්‍රණය කළේ රිචර්ඞ් (RICHARD) යනුවෙනි. ඔහුද ජේ. ආර්. ට කතා කළේ රිචර්ඞ් යනුවෙනි. ඊට හේතුව ජේ. ආර්. සහ ආර්. ජී. ගේ නම්වලට රිචර්ඞ් කෑල්ල ඇතුළත්වී තිබු නිසාය. ඔහු ජුනියස් රිචර්ඞ් ජයවර්ධනය. ආර්. ජී, රිචර්ඞ් ගෝඨාභය සේනානායකය.


ආර්. ජී. නිදහස් ලංකාවේ ප්‍රථම අගමැති ඩී. එස්. සේනානායකකගේ සහෝදරයා වූ එෆ්. ආර්. සේනානායකගේ පුතාය. ඇෆ්. ආර්. ගේ නමට ද රිචර්ඞ් යන වචනය ඇතුළත්වී තිබුණි. ඔහු ෆෙඞ්රික් රිචර්ඞ් සේනානායකය. ඇෆ්. ආර්. සේනානායකගේ මල්ලී වූ ඩී. එස්. ලංකාවේ ප්‍රථම අගමැති බවට පත් කිරීමට එෆ්. ආර්. ඉටුකළේ අද්විතීය සේවයකි. ලංකාවේ දේශපාලනය ගැන කතා කරද්දී ඇෆ්. ආර්, ආර්. ජී, ජේ. ආර්. යන නම්වලට හිමිවන්නේ මුල් තැනකි. මේ තුන්දෙනාම රිචර්ඞ්ලාය. (RICHARD


ආර්. ජී. උපන්නේ 1911 නොවැම්බර් 4 වැනිදාය. මියගියේ 1970 දෙසැ. 22 වැනිදාය. එදා 58 හැවිරිදි වියේ පසුවූ ඔහු මියගියේ නැතිනම් ලංකාවේ දේශපාලන පොරපිටිය මීට වඩා බොහෝ වෙනස් වීමට ඉඩ තිබුණි. එෆ්. ආර්. මියගියේ 44 හැවිරිදි වියේ පසුවෙද්දීය.


ඩී. එස්. අගමැතිවරයාගේ රජයේ (1947) රාජ්‍ය ආරක්ෂක හා විදේශ කටයුතු උප ඇමති පදවිය දැරුවේ ආර්. ජීය. එදා අගමැති ඩී. එස්. බාප්පා ආර්. ජීට එම තනතුර ලබාදී තම ආරක්ෂාව පවුලේ ඥාතියෙකුට පැවරුවේ මෙසේය. හරියටම ජනපති මහින්ද 2005 දී තම ආරක්ෂාව ගෝඨාභය මල්ලීට පැවරුවා මෙනි. 


එමෙන්ම 1952 මාර්තු 26 වැනිදා ඩඞ්ලි සේනානායක අගමැති ධුරයට පත්වු පසු ඔහුගේ කැබිනට් මණ්ඩලයේ වෙළඳ හා වාණිජ ඇමැති ධුරය ලබා දුන්නේ තම පියාගේ අයියා වූ එෆ්. ආර්. ගේ පුතාටය. නැතහොත් මේ කියන ආර්. ජී. ටය. 


ඩඞ්ලිගේ පළමු කැබිනට් මණ්ඩලයේ මුදල් ඇමැති වූයේ ජේ. ආර්ය. ආරම්භයේ සිටම ජේ. ආර්. මුදල් ඇමැති හා ආර්. ජී. වෙළඳ ඇමැති අතර කඹ ඇදීමක් තිබුණි. දෙදෙනා අතර එදා සිටම පැවතුණේ නයි මුගටි සටනකි. ඒ ඊළඟ නායකත්වය ලබා ගැනීමේ සටනයි. 


මේ රිචර්ඞ්ලා දෙදෙනාම රාජකීය (ROYAL) විදුහලේ කොල්ලන්ය. දෙන්නාම රාජකීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෝ වූහ. දෙන්නාම නීති විශාරදයන්ය. ජේ. ආර්. උපාධි ලබා ගත්තේ ලන්ඩන් විශ්වවිද්‍යාලයෙනි. ආර්. ජී. උපාධිය ලබාගත්තේ ලන්ඩනයේ කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයෙනි. ජේ. ආර්. ලංකාවේ හිටපු විනිසුරු විල්ප්‍රඞ් ජයවර්ධනගේ පුතාය. ආර්. ජී. ලංකාවේ ප්‍රථම අගමැති ඩී. එස්. ගේ අයියාගේ පුතාය. දෙදෙනාම හොඳ මිතුරන්ය. කැබිනට් ඇමැති පදවි ලැබුණ විට දෙන්නා පොර කුකුළන් දෙන්නෙකු බවට පත් වූහ. 
1952 - 53 වසරවල අයවැය යෝජනා ඉදිරිපත් කළේ මුදල් ඇමැති ජේ. ආර්. ය. මේ අයවැයට දැඩි ලෙසම විරුද්ධ වූ කැබිනට් සගයෙකි, ආර්ජී. ඇමති ඇම්. ඩී. බණ්ඩා ද පසුව ඊට විරුද්ධ විය. මෙම අයවැයෙන් කියැවුණේ හාල් මිල සත 25 සිට සත 75 දක්වා වැඩි කළ යුතු බවය. දුම්රිය ගාස්තු, බස් ගාස්තු, මුද්දර ගාස්තු වැඩි කළ යුතු බව ද එහි සඳහන් විය. හාල් සහනාධාරය ඉවත් කළ යුතු යයි ද ඉන් කියවිණි. 


1953 ජූලි මස 03 වැනිදා පැවැත්වූ කැබිනට් රැස්වීමේ දී ආර්. ජී. මේ සියලු යෝජනාවලට තරයේ විරුද්ධ වී මුදල් ඇමැති ජේ. ආර්. තදබල ලෙස විවේචනය කළේය. මේ සිද්ධිය පුවත්පත් පතුරු ගසන්නට පටන් ගත්තේය. අගමැති වූ තම ඥාති සහෝදරයා වූ (අයියා) ඩඞ්ලිගෙන් පසු නායකත්වය ලබා ගැනීමට ජේ. ආර්. සමග සටන් කිරීමට සිදුවන බව ආර්. ජී. අවබෝධ කර ගත්තේය. 


මෙම විරසකය කොතරම් දුරදිග ගියේදැයි කිවහොත් ආර්. ජී. ඩඞ්ලිගේ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේය. ඇමැති මණ්ඩලයෙන් පිටත සිට ඩඞ්ලි අගමැතිට (අයියාට) උදව් කරන බව ආර්.ජී. කියා සිටියේය. ඩඞ්ලි හා ජේ. ආර්. සමග එකට වැඩ කළ නොහැකි බව ඔහු තවදුරටත් ප්‍රසිද්ධියේ පැවැසීය. ජේ. ආර්. සමග විරසක වූ ආර්. ජී. 1953 ජූලි 6 වැනිදා එක්සත් රාජධානිය හෙවත් බි්‍රතාන්‍යය බලා පිටත් විය. 


ඔහු ගුවන් යානයට ගොඩවන තෙක් අගමැති අයියා වූ ඩඞ්ලි, සර් ඔලිවර් ගුණතිලක, ඒ. රත්නායක සී. ඩබ්. ඩබ්. කන්නන්ගර ආදී ප්‍රබල ඇමැතිවරුන් රාශියක් ගුවන් තොටුපොළේ සිටියේ සන්තාපයෙනි. ඔවුන්ගේ ඉල්ලීම වූයේ නැවත පැමිණ කැබිනට් මණ්ඩලයට එක්වන ලෙසය. එහෙත් ඔහු ලන්ඩනය බලා පිටත් වූයේ ඉල්ලා අස්වීමේ ලිපිය අගමැති ඩඞ්ලිට බාර දෙමිනි. 


1956 දී ආර්. ජී. එක්සත් ජාතික පක්ෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයට පැන්න පිම්ම එදා මාධ්‍යයන්හි ප්‍රධාන පුවත විය. 1956 දී කැලණියෙන් ඡන්ද 22,000කින් ජේ. ආර්. පැරැද්දුවා පමණක් නොව බණ්ඩාරනායක අගමැතිගේ රජයේ වෙළඳ හා වාණිජ ඇමැති තනතුරට ද පත්වූයේ මේ ආර්. ජීය. බෙලිඅත්තේ ලක්‍ෂ්මන් රාජපක්ෂ (මහින්දගේ ඥාති සොහොයුරෙක්) සමග එක්වී ජනතාවට වෙළඳ ක්ෂේත්‍රයේ ප්‍රතිලාභ රැසක් එදා ලබා දුන්නේ මේ ගෝඨාභය සේනානායකය. 1968 දී සිංහල මහජන පක්ෂය ඇරඹුවත් ඔහුට එය ඉදිරියට ගෙන යාමට නොහැකිවිය. 


ඔහු වෙළඳ හා වාණිජ ඇමැති වශයෙන් එවකට ලංකාවේ පැවති ආර්ථික අර්බුදයට දිගුකාලීන විසඳුමක් වශයෙන් ලංකා චීන රබර් සහල් හුවවාරු ගිවිසුමට අත්සන් කළේය. එය රටට ඉමහත් ප්‍රතිලාභ ලබාදුන් ගිවිසුමකි. තාත්තා වූ ඇෆ්. ආර්. සේනානායක මෙන්ම ලංකාව පුරා සිංහල බෞද්ධ හඬක් නැංවීමට තම මුළු දිවියම කැපකළ, දේශපාලනය අනුසාරයෙන් තඹ දොයිතුවක්වත් උපයා නොගත් ජනහිතකාමී ජනනායකයෙක් වූ මේ ආර්. ජී. ට උපහාරයක් වශයෙන් කොළඹ හතේ මේට්ලන්ඞ් ක්‍රෙසන්ට් මංසන්ධිය අසල ඔහුගේ නිවස පිහිටි ග්‍රෙගරි පාර ආර්. ජී. සේනානායක මාවත වශයෙන් 2013 ජූලි 16 වැනිදා මහින්ද රාජපක්ෂ ජනපති විසින් නම් කරන ලදී. 


තම මුළු කාලයත්, ධනයත්, ශ්‍රමයත් ජනතා සේවය වෙනුවෙන් කැප කළ ප්‍රබල ඇමැති තනතුරු ලැබූවන් රජයේ නිල නිවාස හෝ ලබා නොගත් කොමිස් නොගැසූ පගා නොගත්, රජයේ මුදල් අවභාවිත නොකළ, මේ ගෝඨාභය අද ලංකාවේ සිටින සියලුම දේශපාලනඥයන්ට ආදර්ශයකි. 


අද රටට අවශ්‍යවී ඇත්තේ ඔහු වැනි උගත් බුද්ධිමත් නීති විශාරදයින්ය. හොරකම් නොකරන අවංක බුද්ධිමත් ජනහිතකාමීන්ය.

 

 


සිරී හීන්පැල්ල
ඡායාරූපය අන්තර්ජාලයෙනි