දේශපාලනයේ නොමියෙන චරිත

 

එංගලන්තයේ සුදු අධිරාජවාදීන් විසින් ලිප්ටන්ගේ තේ වත්ත ලෙස ලෝකයට හඳුන්වා දුන් අපේ රටේ තේ, පොල්, රබර් වතු ජනතාව සන්තක කිරීමේ වෑයම වැළැක්වීම පිණිස දේශීය තැරැව්කාරයන් හරහා එවූ රන් පවුම් කුට්ටි ප්‍රතික්ෂේප කොට වතු ජනසතුව අකුරටම ක්‍රියාත්මක කළ හෙක්ටර් සෙනරත් රාජකරුණා බණ්ඩාර කොබ්බෑකඩුව රටක් නොව ලොවක් වටින අපූර්ව මිනිසෙකි.


විදේශිකයන් සතු සියලු වැවිලි සමාගම් සතු දේපොළ ජනසතු කරන බවට 1970 මහ මැතිවරණයේ දී දුන් ප්‍රතිඥාව මැතිවරණය ජයග්‍රහණයෙන් පසු ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට රජය තුළින්ම හැදී ආ බලවේගවලට කෙළින් මුහුණ දුන් කොබ්බෑකඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකරන්නේ නම් රජයෙන් ඉවත් වන බවට කැබිනට් රැස්වීම් කිහිපයක දීම තර්ජනාත්මක ලෙස ප්‍රකාශ කරන ලද බව එකල පුවත්පත්වල පළ විය. 


උඩරට පාරම්පරික වලව් පැලැන්තියේ ඉහළම පෙළේ සිටි කොබ්බෑකඩුව වෘත්තියෙන් නීතිඥවරයෙකු විය. පරම්පරාවෙන් ආ සම්බන්ධයට අමතරව විවාහ ආවාහ මගින් ද රත්වත්තේ පවුල මෙන්ම ගොපල්ලව පවුල ද ඔහුගේ ළඟම ඥාතීන් වූහ. එහෙත් ඔහු හැම විටකම ඥාති සම්බන්ධකම් දේශපාලනයට ගාවා ගැනීමෙන් වැළකී සිටියේය. 
නීති විද්‍යාලයේදී මෙන්ම නීතිඥ වෘත්තියේ ආරම්භයේ දී ද ලංකා කොමියුනිස්ට් පක්ෂය සහ ලංකා සමසමාජ පක්ෂය සමග ළඟ සම්බන්ධකම් පැවැත් වූ හෙතෙම 1959 අගමැති බණ්ඩාරනායක ඝාතනයෙන් පසුව දේශපාලනයට පිවිසි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට ශක්තිය ලබාදීම පිණිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය. 1960 මාර්තු මැතිවරණයේදී යටිනුවර ආසනයට තරඟ කළ ඔහු එක්සත් ජාතික පක්ෂයේ සුනිල් ඇස්. අබේසුන්දරට ජන්ද 193 කින් පරාජය විය. පසුව අගමැති සහ ජනාධිපති පදවියට පත් ඩී. බී. විජේතුංග මහතා එම මැතිවරණයේ දී තුන්වැනි තැනට පත්විය. කොබ්බෑකඩුව මහතා 1960 ජූලි මැතිවරණයට හෝ 1965 මහ මැතිවරණයට ඉදිරිපත් නොවී පක්ෂය ශක්තිමත් කිරීමට කාලය කැප කළේය. 


1970 මහ මැතිවරණයේ දී යටිනුවර ආසනයේ එතෙක් බලයේ සිටි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී සුනිල් ඇස්. අබේසුන්දර වැඩි ජන්ද 5493 කින් පරදවා ජය ගත්තේය. 
1970 මැයි 31 වැනිදා පිහිටවන ලද සමගි පෙරමුණු රජයේ කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍ය පදවියට හෙතෙම පත්වූයේ මුදල් අමාත්‍ය ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ඇතුළු ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂයේ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ටී. බී. ඉලංගරත්න ඇතුළු සමාජවාදී මැති ඇමතිවරුන්ගේ ආශිර්වාදය ලබමිනි. 


විදේශිකයන්ගේ සමාගම් සතු තේ, පොල්, රබර් වතු ජන සතු කිරීමට එරෙහිව විදේශීය හා දේශීය බලවේග පමණක් නොව රජය තුළින්ම විරෝධතා පැන නැගිණි. ලන්ඩනයේ එක් විදේශීය සමාගමක නියෝජිතයෙක් කොල්ලුපිටියේ ඔහුගේ පෞද්ගලික නිවසට ගොස් ඉඩම් පනත අතහැරියහොත් පවුම් ලක්ෂ පහක මුදලක් අතයටින් ලබාදීමට පොරොන්දු විය. “මම කොස්ස ගන්න කොට ඔහු පැන දිව්වා” යයි එදා ඔහු සිය මිතුරන් සමග පැවසුවේය. 


ගොවි ජනතාවට සහන ලබාදීමට ආසනයක් ආසනයක් පාසා කෘෂි මධ්‍යස්ථාන පිහිටුවීම මගින් පරිපාලන, පොහොර ණය පහසුකම්, බැංකු, වී සහ එළවළු බීජ, කෘෂි රසායන ද්‍රව්‍යය සහ පොහොර එකම වහලක් යටින් ලබා ගැනීමට ගොවියාට පහසු කර විය. 


ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වම්පැත්තේ සිටියේය. 1976 වාමාංශිකයන් රජයෙන් ඉවත්වීම ඔහුගේ කනස්සල්ලට හේතුවිය. මේ අතර අගමැතිනියගේ බෑනාවරුන් වන කුමාර් රූපසිංහ සහ විජය කුමාරතුංග කොබ්බෑකඩුවට හේත්තුවීම අනුර බණ්ඩාරනායකගේ විරෝධයට හේතුවිය. මේ නිසා අනුර තව තවත් දකුණට නැඹුරු විය. 1977 මහ මැතිවරණයේදී ඔහු එක්සත් ජාතික පක්ෂයේ සුනිල් ඇස්. අබේසුන්දරට වැඩි ජන්ද 2592 කින් පරාජය විය. 


මහ මැතිවරණය පරාජයෙන් පසු දින කිහිපයක් යනතුරු කොළඹ කැප්පෙටිපොළ මාවතේ ඇමති නිල නිවසේ තම සේවකයා සමග රැඳී සිටියේ තුන්මුල්ල හංදියේ පෙට්ටි කඩෙන් ගෙන්වාගත් කෑම පාර්සලය ආහාරයට ගනිමිනි. 


1982 ඔක්තෝබර් 20 වැනිදා පැවති ජනාධිපතිවරණයේ දී ජේ. ආර්. ජයවර්ධන මහතා සමග තරග වැදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූයේ කොබ්බෑකඩුව මහතාය. චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ විජය කුමාරතුංග ඔහු සමග සිටි නිසා පක්ෂයේ දක්ෂිණාංශික කණ්ඩායමේ සහයෝගය ඔහුට නොලැබිණි. අනුර බණ්ඩාරනායක ඒ තත්ත්වයට මුල් විය. 


ඒ හැර නොයෙකුත් න්‍යාය, ප්‍රතිපත්ති සහ මතවාද ඉදිරිපත් කරමින් ජ.වි.පෙ. රෝහණ විජේවීර ද්‍රවිඩ සංගමයේ කූමාර් පොන්නම්බලම්, ලංකා සමසමාජ පක්ෂයේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා සහ නව ලංකා සමසමාජ පක්ෂයේ වාසුදේව නානායක්කාර ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වූහ. ඒ ඉදිරිපත් වීම් ද ඔහුගේ පරාජයට බලපෑ අතර, සියලු බාධක මැද ඔහු ජන්ද 2,548,438 ක් ලබා ගත්තේය. ජයග්‍රාහක ජේ. ආර්. ලැබූ ජන්ද සංඛ්‍යාව 3,450,811 කි. 


1977 මද රෝගී තත්ත්වයකින් පසු හදිසියේ මියගිය කොබ්බෑකඩුව නම් මේ අපූර්ව මිනිසාගේ දේහය මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබුණේ ද මහනුවර මලබාර් වීදියේ ඥාති වෛද්‍යවරයෙකුගේ නිවසකය. අවමඟුල උපන් ගමේ දී චාම් ලෙස සිදු කෙරිණි.

 

 

 

 


උපාලි රූපසිංහ
ඡායාරූප : අන්තර්ජාලයෙනි