රිෂාඞ් බදුර්දීන් මහතාට විරුද්ධව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව රටේ මහත් ආන්දෝලනයකට සහ ජනතාව අතර කතාබහකට ලක්ව තිබේ. පසුගිය පාස්කු ඉරිදා අන්තවාදී ප්‍රහාරයට මුල්වූ සමහර පුද්ගලයන් සමග පැවතියායයි කියන යම් යම් සම්බන්ධකම් සහ එවැනි සමහර පුද්ගලයන් ආරක්‍ෂා කිරීමට බලපෑම් කළායැයි කියවෙන සිද්ධීන් ගැන මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්ව ඇතැයි මාධ්‍ය වාර්තාකර තිබුණි. ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා මේ පිළිබඳව පිළිතුරු දීමට යාමේදී යම්කිසි අපහසුවකට පත්වූ ආකාරය අපි රූපවාහිනී මාධ්‍යයෙන් දුටුවෙමු. 


තුන් සියයකට අධික ජීවිත සංඛ්‍යාවක් විනාශ වූ මහා අපරාධයක් සිදුවී රටම කම්පනයට පත්ව සිටින මොහොතක එම සිදුවීමට මාසයක් පිරෙද්දීත් රට එදා පැවති තැනට පත්ව නැති වාතාවරණය හමුවේ මෙම සිද්ධියේ ඇති බැරෑරුම්කම කිසිසේත් සුළුකොට තැකිය නොහැකිය. සිය ශාස්තෘවරයාණන් මරණය පරදා නැගීසිට තමන් දේව පුත්‍රයාණන් බව ලොවට පෙන් වූ බව කියන සිද්ධිය සමරමින් දේව මෙහෙයට සහභාගි වී වන්දනාවේ යෙදී සිටි නිරායුධ අහිංසක ජන කොටසකට එල්ල වූ මෙම තිරිසන් ප්‍රහාරය සිහි බුද්ධිය ඇති යුක්තිය හඳුනන ඕනෑම කෙනෙකු හෙළා දකිනු නොඅනුමානය. ශිෂ්ට සමාජයක කිසිම පුද්ගලයෙක් ආගමික හේතුන් මත කෙනෙකුට මරණය අත්කරදීම සුදුසු යැයි විශ්වාස නොකරයි. මධ්‍ය කාලීන යුගයේ නොයෙකුත් යුරෝපීය රටවල එවැනි ක්‍රියා ඇතිවූ බව ඇත්තය. එහෙත් යුගයෙන් යුගය ගෙවී ගොස් මිනිසාත්, ඔහුගේ සිතුම් පැතුම් සහ මිනිස් චින්තනයත් ඉතා ඉහළ තැනකට පත්ව ඇති වර්තමානයේදීත් මිනිසුන් එක පොදියට මරාදැමීමට තමන් අදහන ආගම හේතුවක් වන්නේ නම් අප තවමත් ජීවත්වන්නේ දහසයවන සියවසේ යැයි කීම අතිශයෝක්තියක් නොවේ. මට අපේ ගම්වල පැරණි මිනිසුන් අතර පැවති කියමනක් සිහියට නැගේ. එකල අපේ ගම්වලට සූදු ක්‍රීඩාව බහුලව දක්නට ලැබුණි. අවුරුදු, නත්තල් සමයට එම ප්‍රීතිය සැමරීම සඳහා සුළු පිරිසක් එක්වී සූදු කෙළිති. මෙය නීති විරෝධී ක්‍රියාවක් නිසා බොහෝ විට මෙය සිදුකරන්නේ කැලෑ රොදකය. සමහර අවස්ථාවලදී මෙම ආරංචිය පොලිසියට ලැබේ. පොලිස් නිලධාරීහු මෙතැනට කඩාවැදී පිරිස අල්ලා ගනිති. මෙහි සිටින සියල්ලෝම සූදු ක්‍රීඩාවේ නියැළුණෝ නොවෙති. සමහරු බලා සිටි අයයි. එවිට පොලිසියේ අය කියන්නේ “සූදු කෙළියත් එකයි - බලා හිටියත් එකයි” කියා බව එකල අපේ වැඩිහිටියෝ කීහ. වර්තමාන දේශපාලන පසුබිම හමුවේ මෙම පැරණි කතාව අරුත් ගැන්වෙන්නේ “බෝම්බ තියා මිනීමැරුවත් එකයි - ඒවාට යටින් උදව් කළත් එකයි.” යන අර්ථයෙනි. රිෂාඞ් බදුර්දීන් ඇමැතිවරයා මෙවැනි කිසිවෙකුට උදව් කර ඇති බවක් අපි නොකියමු. ඒවා දන්නේ විමර්ශනය කළ අය පමණකි. එහෙත් ජනතාවට මේ ගැන වේදනාවක් තිබේ. තමාගේ ආදරණීයන් පවුල් පිටින් වැනසී ගොස්ය. උපයා සපයා දී තමන් පෝෂණය කළ දෙමාපියන් අහිමිවූ දරුවන්ට මෙය විහිළුවක් නොවේ. ආදරණීය දූ පුතුන් අහිමි වූ දෙමාපියන්ට ඔවුන් යළිත් දක්නට නොලැබෙන බව මෙනෙහිවන මොහොතක් පාසා දැනෙන්නේ ළය පැළී මිය යන්නට එන බවකි. මට හමුවූ මගේ ඥාතියෙකු පැවසූ එම වදන් මෙහි ගොනු කළේ ජනතාවගේ සිත් සතන් තුළ කකියන වේදනාව රටේ ප්‍රභූ පෙළ නොදන්නා නිසාය. දේශපාලකයාට සෑම දෙයක්ම දැනෙන්නේ ඡන්ද මිටිය අනුවය. ජනතාවගේ හැඟීම් සහ ඔවුන් පෙළනා පීඩනය ඔවුහු අමතක කරති. සෑම ප්‍රශ්නයක්ම වචන හරඹවලින් අකා මකා කර දමති. මට හමුවූ මීගමුවේ ඥාතීන් පවසන ආකාරයට දේශපාලකයන් ඔවුන්ට තිත්තය. දකින්නට ප්‍රිය නැත. කටුවාපිටියේ වෙරෝනිකා අක්කා කීවේ. “අපිට උඹලත් එපා, උඹලගේ ආධාරත් එපා. අපේ දුක දරාගෙන ජීවත්වෙන්ට දීපල්ලා. ඒ උදව්ව විතරක් ඇති.” කියාය.


රිෂාඞ් බදුර්දීන් ඇමැතිවරයා රජයේ බලවතෙකි. ඔහු දරන ඇමැතිකමට ඇති ආයතන සංඛ්‍යාවෙන්ම ඒ බව පෙනේ. රජයේ ප්‍රබල ඇමැතිවරුන් වැඩි බලතල ඉල්ලා අඬා වැටෙන හැටි දුටු විට බදුර්දීන් ඇමැතිවරයා කොතරම් බලවතෙකුදැයි සිතාගත හැකිය. ඔහු කිසිදු චෝදනාවකට වැරැදිකරු වී නැති බවද අප පිළිගත යුතුය. එමෙන්ම විශ්වාස භංගයේ අනාගතය ගැනද අපට කිසිම අවබෝධයක් නැත. මක්නිසාද යත් දේශපාලකයන්ගේ කටයුතු පිළිබඳව අනාවැකි කීමට ගණන් හදන්නට කිසිවෙකුට හැකියාවක් නැති බැවිනි. විශ්වාස භංග යෝජනාවකට අත්සන් කරන සමහර අය ඡන්දය දෙන්නේ නැත. ඒ ටිකට අදහස් වෙනස් වෙලාය. ඒ නිසා අපි ඒ ගැන මෙයට වඩා කතා නොකරමු.
විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත්ව ඇති මොහොතක් නිසා මෙවැනි කනගාටුදායක මොහොතක ඉදිරිපත් වූ එවැන්නක් අපේ සිහියට නැගේ. මේ එම කතා පුවතයි. 1959 සැප්තැම්බර් 25 වැනිදා එවකට අගමැති ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාට වෙඩි තැබූ සිද්ධියෙන් මෙරට පමණක් නොව සමස්ත ලෝකයම කම්පනයට පත්විය. අගමැතිවරයාගේ රොස්මීඞ් පෙදෙසේ නිවසට පැමිණි තැනැත්තෙක් තමාගේ දෙපා වැඳ, “හාමුදුරුවනේ මගෙන් මොකක්ද කෙරෙන්න ඕනෑ” යැයි අගමැතිවරයා අසද්දී සඟවාගෙන තිබුණු රිවෝල්වරයක් ඇද දිගට හරහට වෙඩි තැබීමට පටන් ගත්තේය. එයින් මාරාන්තික තුවලා ලැබූ බණ්ඩාරනායක මහතා වහාම රෝහල්ගත කෙරුණි. දොස්තර පී. ආර්. අන්තෝනිස් මහතාගේ සුපරීක්‍ෂාව යටතේ ප්‍රවීණ වෛද්‍යවරුන් රැසකගේ සහභාගිත්වයෙන් බරපතළ ශල්‍යකර්මයක් සිදුකරන ලද නමුත් පසුදින එනම් 1959 සැප්තැම්බර් මස 26 වැනි දින උදෑසන 7.55ට එතුමා අභාවප්‍රාප්ත විය. ජාතියම සෝ සයුරක ගිලුණි. විදේශ රටවල බොහෝ රාජ්‍ය නායකයෝ තම ශෝකය පළ කරමින් පණිවුඩ එවූහ. එදින පැවැත්වෙමින් තිබුණු එක්සත් ජාතීන්ගේ මහ සභා සැසිවාරයට රැස්ව සිටි නියෝජිතයන් පවා දැඩි කම්පාවට පත්වූ බව පසු දින මාධ්‍යවල සඳහන් විය. බණ්ඩාරනායක මහතාගේ අභාවයෙන් හිස්වූ අගමැති ධුරයට පත්වූවේ ඔහුගේ ඇමැති මණ්ඩලයේ අධ්‍යාපන ඇමතිධුරය දැරූ ගාල්ල මන්ත්‍රී විජයානන්ද දහනායක මහතාය. දිවංගත අගමැතිවරයා බෝසත් ගතිගුණවලින් හෙබි නායකයෙකු යැයිද ඔහුගේ ප්‍රතිපත්ති තමා දිවි හිමියෙන් ආරක්‍ෂා කරන්නේ යැයිද බණ්ඩාරනායක අවමඟුල පැවති හොරගොල්ලේදී ලක්ෂ සංඛ්‍යාත ශෝකී ජනතාව ඉදිරියේ නව අගමැතිවරයා සපථ කළේය.

 

බුද්ධ රක්ඛිත බන්ධනාගාරයට රැගෙන ගිය අයුරු.

 


දින, සති, මාස බවට පත්වෙමින් කාලය ගෙවී ගියේය. නව අගමැතිවරයාගේ ක්‍රියාකලාපය කතාවේ හැටියට නොවන බව බණ්ඩාරනායක මහතාගේ හිතුවතුන්ට වැටහීමට වැඩි දිනක් ගත නොවීය. මෙම මිනීමරුමේ සුල මුල සොයා අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට දහනායක ආණ්ඩුව උනන්දුවක් නොදක්වන්නේ යැයි දසතින් චෝදනා නැගෙන්නට විය. මෙහි මුල් තැනක් ගත්තේ එවකට පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධූරය දැරූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතාය. බණ්ඩාරනායක මහතාගේ අභාවය වෙනුවෙන් 1959 ඔක්තෝබර් 28 වැනිදා පාර්ලිමේන්තුවේ ශෝකය පළකිරීමේ යෝජනා විවාදයේදී විපක්‍ෂ නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා මෙසේ පළ කළේය.
ගරු කතානායකතුමනි, මේ සභාවේ ප්‍රධානියා ඔබතුමායි. එහෙත් මේ සභාවේ ප්‍රමුඛයාව සිටියේ (බණ්ඩාරනායක අගමැතිතුමා) එතුමාය. අන් කවර දේකටත් වඩා එක් කාර්යයක් සඳහා අපි ඇප කැප විය යුතු මොහොතක් මේක. ඒ කාර්ය මෙන්න මේකයි. එතුමාගේ ඉවසිලිවන්තකමේ ප්‍රතිඵලයක් හැටියට බෝවී ගිය පොළොන් විමානය කිසිම අනුකම්පාවක් දක්වන්නේ නැතිව සහමුලින්ම වදකර දැමිය යුතුයි. දේශපාලන කටයුතුවලදී සදාචාරසම්පන්නවීම තමන්ගේ ජීවිතයේ මූලික පදනමක් කරගෙන හිටපු ඒ නැසීගිය අගමැතිවරයා වෙනුවෙන් අපි කළ යුතු කාර්යයක් මේක. එතුමාට මේ රටේ පවත්වාගෙන යන්ට උවමනාවුණේ පවිත්‍ර දේශපාලනයක්. අපේ දේශපාලන ලෝකයේ පාරක් තොටක්, අස්සක් මුල්ලක් ගානේ නිදහසේ හැසිරෙන්නට මේ පොළඟුන්ට ඉඩ දුන්නොත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ඉවරයි. ඒක තක්කඩියන්ටත් දුෂ්ටයන්ටත් ආශිර්වාද කිරීමක් වෙනවා. දාමරිකයන් අතට මේ රටේ පාලනය භාරදුන්නා වෙනවා.


මේ ආකාරයෙන් බණ්ඩාරනායක ඝාතනයට වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන ඒම සඳහා ඇන්. ඇම්. මහත් උනන්දුවෙන් කටයුතු කළේය. එහෙත් එය සිදු නොවන බව දුටු වහාම ඇන්. ඇම්., දහනායක රජයට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කළේය. එම විවාදයේදී ඇන්. ඇම්. මෙසේ පැවැසුවේය.


“බුද්ධරක්ඛිත සිරභාරයට ගැනීමට කලින් මම අරලියගහ වලව්වට ගොස් දහනායක මහතා හමුවී බුද්ධරක්ඛිත, එච්. පී. ජයවර්ධන, සී. අමරසිංහ, අනුර ද සිල්වා යන හතර දෙනා සිරභාරයට ගන්නා ලෙස බලකර සිටියා. ඔවුන් සාක්කිකරුවන් පසු පස ලුහුබඳින බවට මට ඒ වන විට වැදගත් ආරංචි ලැබී තිබුණා. එහෙයින් ඔවුන් වහා සිර කළ යුතු බව මම කීවා. මෙය මා අගමැතිට දන්වා පැය බාගයක් ඇතුළත ඒ බව බුද්ධරක්ඛිත දැනගත්තා. බුද්ධරක්ඛිත සිර කළේ ඉන් දින දහයකට පසුවයි.”


මෙවැනි උණුසුම් වාද විවාද මැද ඇන්. ඇම්. ගේ විශ්වාස භංග යෝජනාව නිසා දේශපාලන ලෝකය දැඩි කම්පනයකට පත්විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් බණ්ඩාරනායක ඝාතනය සම්බන්ධයෙන් පරීක්‍ෂණ විධිමත්ව සිදු නොවන බව ජනතාවගේ අවධානයට ලක්විය. විවාදය අවසානයේදී සිදුවුණු ඡන්ද විමසීමේදී පක්‍ෂව ඡන්ද 43ක්ද විරුද්ධව ඡන්ද 48ක්ද ලැබීමෙන් වැඩි ඡන්ද පහකින් පරාජයට පත්විය. එකල ව්‍යවස්ථාවට අනුව සුළු ජාතීන් නියෝජනය කිරීම සඳහා මන්ත්‍රීවරුන් හය දෙනෙකු පත්කිරීමේ සම්ප්‍රදායක් තිබුණි. ලංකාවේ වෙසෙන යුරෝපීයන් වෙනුවෙන් එයින් බහුතරයක් පත් කෙරුණි. ඔවුහු සිරිතක් වශයෙන්ම රජයට පක්‍ෂව ඡන්දය පාවිච්චි කළහ. මෙම විශ්වාස භංග යෝජනාව ඡන්ද පහකින් පරාජය වීම යන්නෙන් අදහස් වූවේ රජයේ බහුතර බලය අහිමිව ඇති බවය. එනිසා එම යෝජනාව අතිමහත් දේශපාලන ඵල ප්‍රයෝජන අත්කර දුන් අවස්ථාවක් විය. මෙම විවාදයේදී එළිදරව් වූ කරුණු ගැන කෝපයට පත් එවකට උප පොලිස්පතිවරයෙකු වූ සිඞ්නි ද සොයිසා මහතා විසින් එම කරුණුවල නිරවද්‍යතාව අභියෝගයට ලක් කරමින් නිවේදනයක් නිකුත් කරන ලදී. එය පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් බව පවසමින් එයට අනුබල දුන් එවකට අධිකරණ ඇමැතිධූරය දැරූ වැලන්ටයින් ජයවික්‍රම මහතාට සහ සිඞ්නි සොයිසාගේ සොහොයුරු මුදල් ඇමැති ස්ටැන්ලි සොයිසාට විරුද්ධව තවත් විශ්වාසභංග යෝජනාවක් 1959.11.27 වැනි දින මැති සබයට ඉදිරිපත් විය.


ඉතා මතභේදකාරි දේශපාලන වටපිටාවක් ගොඩනැගුණි. මෙවැනි දුෂ්කර අවස්ථාවකට රට මුහුණ පා සිටියදී රජයේ මන්ත්‍රීවරු තිදෙනෙක් වන නාත්තන්ඩිය මන්ත්‍රී හියු ප්‍රනාන්දු, මාතර මන්ත්‍රී මහානාම සමරවීර සහ වැලිගම මන්ත්‍රී පානී ඉලංගකෝන් යන මහතුන් තිදෙනා ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, “ඇමැතිවරයාට විරුද්ධ විශ්වාසභංග යෝජනාවේදී අපට නිහඬව සිටිය නොහැකිය. විපක්‍ෂය සමග ඡන්දය දෙමින් අපේ විරුද්ධතාව පළකර සිටිය යුතුය. ස්ටැන්ලි ද සොයිසා මහතාගේ මිත්‍ර ඇමැතිවරු කීප දෙනෙක් අප හමුවී විපක්‍ෂය සමග ඡන්දය නොදෙන ලෙස අපෙන් ඉල්ලා සිටියහ. අපට එය කළ නොහැකියි. මෙයට මාසයකට පෙර අපි අගමැතිවරයා හමුවේ රජයේත් ආණ්ඩු පක්‍ෂයේත් යහපත සඳහා ඇමැතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලා සිටියෙමු. එය සිදුවූවේ නැත. එනිසා අපට ඒ ඇමැතිවරයාට පක්‍ෂ වීමට හැකියාවක් නැත.” අවසාන ප්‍රතිඵලය වූවේ එම විශ්වාසභංග යෝජනාව එක් වැඩි ඡන්දයකින් පරාජයට පත්වීමය.

 

 


රජය පරාජය වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට අගමැති දහනායක මහතා ප්‍රකාශ කර තිබුණි. එහෙත් කැරලිකාර මන්ත්‍රීවරු එය ගණන් නොගත්හ. ඔවුන් පැවසුවේ “එය වඩා යහපත් බවකි. රජය බේරුණේ එක් වැඩි ඡන්දයකින් බවත් එයිනුත් හයක් පත් කළ මන්ත්‍රීවරුන්ගේ බවත් සලකන විට තවදුරටත් ඉදිරියට යාමක් නොමැති බව අගමැතිවරයාට වැටහුණි. ඒ අනුව 1959 දෙසැම්බර් 3 වැනිදා මධ්‍යම රාත්‍රීයේදී නිදහස් ලංකාවේ තුන්වැනි පාර්ලිමේන්තුවට ආග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක මහතා විසින් විසුරුවා හරින ලදී. ඒ අගමැති දහනායක මහතාගේ උපදෙස් පරිදිය. එයින් උදාවුණු තත්ත්වය මත 1960 මාර්තු 19 වැනිදා මැතිවරණයක් පැවැත්වුණි. එයින් ලැබුණේද ව්‍යාකූල ප්‍රතිඵලයකි. කිසිම පක්‍ෂයකට රජයක් පිහිටුවා ගැනීමට අවශ්‍ය බහුතරය ලැබුණේ නැත. 1960 ජූලි මාසයේදී තවත් මහා මැතිවරණයක් පැවැත්වීමට සිදුවුණි. රට ස්ථාවර තැනකට ආවේ එයින් පසුවය.


පුරා වසර හැත්තෑවක් ගතව ගොස් ඇත. එදා මෙන්ම අදත් අපි විශ්වාස භංගයක් දෙස මුව අයාගෙන බලා සිටින්නෙමු. මෙම සිදුවීම් දෙකේ සමානකම් බොහෝය. එහෙත් අවසාන විග්‍රහයේදී මට පෙනී යන ප්‍රධාන කරුණ වන්නේ පුරා හැත්තෑ වසරක්ම, එදා මෙන්ම අදද විශ්වාසභංග යෝජනාවක ඉරණම දෙස අයාගත් මුවින් සිටින බවයි. අප යන්නේ කොහාටද? යන වග ජාතියක් වශයෙන් සිතා බැලීමට මෙයම ප්‍රමාණවත් නොවන්නේද?

 

 


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප අන්තර්ජාලයෙනි