ශ්‍රී ලංකාව යනු ඉන්දියන් සාගරය මැද පිහිටි කුඩා දිවයින් රාජ්‍යයකි. මෙහි ජනගහනය ඉතා සීමිතය. ඈත අතීතයේදී මෙරට ආහාර පානවලින් ස්වයංපෝෂිතව පිටරටට පවා ඒවා සැපයූ බව කියවෙන වංශ කතා හා සබැඳුණු පුරාවෘත්තවලින් අපේ ජන සාහිත්‍යය පිරී පවතී. එකල අපේ රජරට සංස්කෘතිය ඉහළ දියුණුවකට පත්ව තිබුණු බව ද අපි අසා ඇත්තෙමු. 


ඈත රුහුණේ තිස්සමහාරාමයෙන් නිවසක වහලයකින් ගමන් අරඹන කුකුළෙකුට කිසිදු තැනකදී බිමට නොබැස වහලයකින් තවත් වහලයකට පැන අනුරාධපුර රාජධානිය වෙත පැමිණිය හැකිව තිබූ බව එක් වෘත්තාන්තයක සඳහන්ව තිබෙනු මම අසා ඇත්තෙමි. එයින් කියැවෙන්නේ එකල මේ රටේ පැවති අධික ජනගහනයයි. එය මුළුමනින්ම අතිශයෝක්තියෙන් පිරුණු කියමනක් වූවාට සැක නැත. එසේ කුකුළෙකු අනුරාධපුරයට පැමිණියා නම් දහස් ගණන් වැව් තිබුණා යැයි කියවෙන රජරටදී පියඹාගෙන ඒමටත් එවැනි විශාල වැව් රාශියක් පිරවීමට ජල මූලාශ්‍ර ඇති කළ වනාන්තර පෙදෙස්වලදී ගසකින් ගසකට පැනගෙන ඒමටත් සිදුවන්නට ඇතිවා නිරනුමානය.


කෙසේ වුවත් මේසා විශාල ජනගහනයක් අපේ රටේ සිටියා යැයි පිළිගැනීමට අප එකඟ වන්නේ නම් එය අද පවතින ජනගහනයෙන් දෙගුණයක් හෝ ඒ ආසන්නයට විය හැකි යැයි අපට උපකල්පනය කළ හැකිය. මට මේ පැරණි  කථාව සිහියට නැගුණේ නොබෝද‌ා මාධ්‍යවල පළවූ වාර්තාවක් කියවන්නට ලැබීමෙනි. එනම් ලංකාවේ දේශපාලනය කිරීම සඳහා මැතිවරණ කොමිසම විසින් පක්ෂ 70 ක් අනුමත කර ඇතැයි කියවෙන ප්‍රවෘත්තියයි. රුහුණේ සිට අනුරාධපුරයට වහලයෙන් වහලකට පැනගෙන කුකුළෙකු පැමිණි  සමයටත් දෙගුණයක් මෙරට ජනගහනයක් සිටින කාලයකට වුවත් ගැළපෙන තරම් පක්ෂ සංඛ්‍යාවක් දැනටමත් මේ රටේ ලියාපදිංචි වී ඇති බව දැනගැනීම රටවැසියන් වශයෙන් අපගේ සතුටට හේතු වේ. සමස්තයක් වශයෙන් සලකන විට සෑම අංශයකම හිඟයක් පවතින ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ පමණක්වත් හිඟයකින් තොරව පැවතීම කාගේත් සතුටට හේතුවක් නොවන්නේ ද? අයවැය හිඟය, ගෙවුම්ශේෂ හිඟය, රැකියා හිඟය, නිවාස හිඟය, අවංක දේශපාලනඥයන්ගේ හිඟය, කෙළින් වැඩකරන රාජ්‍ය නිලධාරින්ගේ හිඟය පමණක් නොව සහල් හිඟය, ලූනු හිඟය, එළවළු හිඟය ආදියෙන් ද නිරන්තරයෙන් බැටකන රටකට, ජනතාවකට, දේශපාලන පක්ෂ හිඟයකුත් මතු වූවා නම් අපි කෙසේ ජීවත් වෙමු ද? ජීවිතය පරදුවට තබා අප විසින් ආරක්ෂා කරගන්නා බවට සහතික දෙන ප්‍රජාතන්ත්‍රවාදයට කවර නම් ඉරණමක් අත්වනු ඇති ද? මෙම ගැටලු අතරේ වුවත් මෙම දේශපාලන පක්ෂ පැටව් ගැසීමේ පුරාණය කෙටියන් හෝ සඳහන් කිරීම අතිශයින්ම කාලෝචිතය.


මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රකටවම ක්‍රියාකාරී දේශපාලන කටයුතු කළ ප්‍රථම පක්ෂය ලංකා ජාතික සංගමය ලෙස සඳහන් කිරීම සාවද්‍ය නොවේ. යටත් විජිත සමයේදී 1915 දී මෙරට ඇති වූ ජාතිවාදී කෝලාහල අවස්ථාවේදී මෙරට බහුතර සිංහල ජනතාවට මුහුණ දීමට සිදු වූ අසාධාරණ තත්ත්වය ගැන අතිශය කම්පාවට පත් වූ, එවකට මෙරට ජාතික නිදහස් සටනේ ප්‍රමුඛ නායකයෙකු වූ සර් පොන්නම්බලම් අරුණාචලම්ගේ නායකත්වයෙන් යුතුව 1918 දී ලංකා ජාතික සංගමය බිහි වූ බව සඳහන් වේ. නව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඉල්ලා බ්‍රිතාන්‍ය රජයට පෙත්සම් ඉදිරිපත් කිරීම සහ ඒ සඳහා මෙරටට පැමිණෙන කොමිසන් සභා වෙත නියෝජිත පිරිස් යවා සාකච්ඡා කිරීම ආදිය ලංකා ජාතික සංගමයෙන් ඉටුවූ කරුණු කාරණා අතර ප්‍රධාන තැන ගත්තේය. ඇත්තෙන්ම විනයගරුක විධිමත් දේශපාලන පක්ෂයක් ලෙස එය හැඩගැසුණේ නැත. විවිධ පක්ෂවල සාමාජිකත්වය දරමින් පමණක් නොව නායකත්වය දැරුවෝ ද ජාතික සංගමයේ වූහ. නිදසුනක් ලෙස දක්වතොත් එවකට සිංහල මහා සභාවට නායකත්වය දුන් ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ලංකා ජාතික සංගමයේ ප්‍රබලම නායකයෙක් ද වූවේය. මේ අතරවාරයේ බණ්ඩාරනායක මහතාගේ පියා වූ මහමුදලි සර් සොලමන් ඩයස් බණ්ඩාරනායක මහතා ද දේශපාලන පක්ෂයක් පිහිටුවාගෙන එයට නායකත්වය දුන් බව වත්මන් සමාජයේ දන්නා අය ඉතා විරලය. ඒ බව ඔහු විසින්ම සම්පාදනය කරන ලද “සිහිකටයුතු පෙර දවස්” හෙවත් “රිමෙම්බර්ඩ් යෙස්ටඩේස්” නම් කෘතියෙහි දැක්වේ. බණ්ඩාරනායක, ඔබේසේකර ආදී පවුල් එකමුතුවෙන් සැදුම් ලත් එය ලංකා යුනියනිස්ට් පක්ෂය නමින් සැදුම් ලද්දේ වුව ද එවකට පැවැති රාජ්‍ය මන්ත්‍රණ සභාවට ආසනයක් තරග කිරීමට හෝ ඉදිරිපත් වූ බවක් සටහන්ව නැත. එහෙත් ඩොනමෝර් කොමිසන් සභාව මෙරටට පැමිණි අවස්ථාවේදී එම පක්ෂයේ නියෝජිත පිරිසක් එම කොමිසම හමුවට ගොස් සාක්ෂි දුන් බව එම කෘතියේ සඳහන්ව තිබේ.

 


ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි ප්‍රථම පක්ෂය ලෙස සඳහන් වනුයේ රතුපාට මුල්කරගෙන ආරම්භ කෙරුණු ලංකා කම්කරු පක්ෂයයි. මාක්ස්වාදය ගුරු කොටගෙන නොව බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂයේ ප්‍රතිපත්තිය අනුගමනය කරමින් කොළඹ නාගරික කම්කරු පන්තිය සංවිධානය කළ ඒ.ඊ.ගුණසිංහ මහතා කොළඹ නගරාධිපතිවරයා හැටියට මෙන්ම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මැද කොළඹ මන්ත්‍රීවරයා ලෙස ද පත් වූ බව ද සඳහන් කළ යුතුය. ඔහුගේ මස්සිනා වූ නීතිඥ ජෝන් ද සිල්වා මහතා වරක් උතුරු කොළඹ ආසනය කම්කරු පක්ෂයෙන් තරග කර දිනා ගත් බව ද එහෙත් ඔහුට විරුද්ධව ඉදිරිපත් වූ ඡන්ද පෙත්සමක් නිසා මෙම මස්සිනාවරුන් දෙදෙනාටම ආසන අහිමි වූ බව ද සඳහන්ව තිබේ. ඒ වෙනුවෙන් පැවැති අතුරු මැතිවරණයේදී ගුණසිංහ මහතාගේ බිරිඳ වූ නන්ද‌ාවතී සිල්වා මහත්මිය ද තරග කළ නමුදු ඇයට ජයග්‍රහණය හිමි නොවීය. පසුකලෙක මෙරට විධායක ජනාධිපති ධුරයට පත් ආර්. ප්‍රේමද‌ාස මහතා දේශපාලන කරළියට පැමිණියේ ද කම්කරු පක්ෂයේ අපේක්ෂකයෙකු වශයෙන් කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වශයෙනි. ඒ නිසා ලංකා කම්කරු පක්ෂය පැරණි දේශපාලන සන්දර්භය තුළ වැදගත් කාර්යභාරයක් ඉටුකළ බව පැවසීම නිවැරදිය.


වසර 1935 දී ලංකා සමසමාජ පක්ෂය පිහිටුවනු ලැබීම මාක්ස්වාදය සහ විප්ලවවාදය ගරුකරන තරුණ පෙළ ආශ්වාදයට පත් කළ ප්‍රබල සාධකයක් විය. ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී එනම් 1935 දී ලංකා සමසමාජ පක්ෂය පිහිටවනු ලැබීම විශේෂ සිදුවීමක් විය.ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී එනම් 1931 දී මොරවක ආසනය දිනා රාජ්‍ය මන්ත්‍රණ සභාවට පැමිණි දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථාද‌ායකයට පැමිණි ප්‍රථම මාක්ස්වාදියා වූ අතර ඔහුගේ ක්‍රියාකලාපය යටත් විජිතවාදී බ්‍රිතාන්‍ය පාලනයට සහ මෙරට ඔවුන්ගේ හිතෛෂීන්ට ඇහේ ඇනුණු කටු අත්තක් බඳු වූවේය. ඒ නිසා සමහරුන් ඔහු හඳුන්වනු ලැබුවේ ‘මොරවක ඇට මැස්සා’ යන විරුද නාමයෙනි. ඊට පසු විදේශ අධ්‍යාපනයෙන් පසු මෙරටට පැමිණි උගත් තරුණ  පිරිසක් විසින් ලංකා සමසමාජ  පක්ෂය පිහිටුවා ගනු ලැබූහ. සූරියමල් ව්‍යාපාරය නමැති සංවිධානයක් ඔස්සේ සමාජ සුබසාධන කටයුතුවල යෙදීම නිසා බොහෝ ප්‍රදේශවල ඔව්හු ජනප්‍රියව සිටියහ. 1936 දී දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී එම පක්ෂයෙන් අපේක්ෂකයෝ හතර දෙනෙක් තරග කළහ. එයින් රුවන්වැල්ල ආසනය ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතාත් අවිස්සාවේල්ල ආසනය පිලිප් ගුණවර්ධන මහතාත් ජයග්‍රහණය කරනු ලැබීම මෙරට දේශපාලනයේ සුවිශේෂි සන්ධිස්ථානයක් වූ බව සඳහන් කළ යුතුය. දෙවැනි ලෝක මහා සංග්‍රාමය ඇතිවීමෙන් පසු ලංකා සමසමාජ පක්ෂය තුළ ඇති වූ න්‍යායික මත ගැටුමක් නිසා 1943 දී එයින් වෙන් වී ගිය කොටසක් ලංකා කොමියුනිස්ට් පක්ෂය ආරම්භ කිරීමත් තවත් ටික දිනකින් ලංකා දේශපාලනයට නව අත්දැකීමක් එක් කරමින් ඉන්දියානු බෝල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂයේ ලංකා ශාඛාව පිහිටුවීමත් සිදුවිය. කොමියුනිස්ට් පක්ෂයේ නායකයා වූවේ දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ මහතාය. බෝල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂයේ ප්‍රධානීන් අතර ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, බර්නාඩ් සොයිසා, ලෙස්ලි ගුණවර්ධන, ජැක් කොතලාවල ආදීහු වූහ. 1947 මැතිවරණයේදී සමසමාජ පක්ෂය ආසන 05 ක් ද බෝල්ෂේවික් පක්ෂය ආසන පහක් ද දිනාගෙන සිටි අතර ඔවුහු සමගි වී විපක්ෂනායක ධුරය ලබා ගැනීමට සමත් වූහ. එහෙත් කොමියුනිස්ට් පක්ෂය සුපුරුදු ලෙස වෙනම ගමනක් ගියේය.

 

 

මතු සම්බන්ධයි

 

 

සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූපය අන්තර්ජාලයෙනි