ජවිපෙ ආරම්භක සාමාජිකයකුගේ මතක සටහන්

07 වැනි කොටස

අම්බලන්ගොඩ ගුස්තික්‍ඳ්ක්‍ඳවඩු පියසිරි ගුණරත්න ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක සාමාජිකයෙකි. ඒ ඉපැරණි මතකය සිහිපත් කරමින් ඔහු “මගේ මතක සටහන්” (ජනතා විමුක්ති පෙරමුණ සහ අප්‍රේල් කැරැල්ල) නමින් කෘතියක් පසුගියදා එළිදැක්විණි. මේ ඒ කෘතියෙන් උපුටාගත් කොටසකි.

 

 

වරක් විජේවීර, සනත්, කරුණාරත්න, දහනායක සහ මම සාකච්ඡාවක් සඳහා කිරින්දේ තිබූ ගොවිපළට ගියෙමු. දින දෙකක් පමණ අප එහි රැඳී සිට ආපසු යාම සඳහා තිස්සමහාරාමයට පැමිණි නමුත් අප සියලු දෙනාටම අවශ්‍ය තරම් මුදල් අප ළඟ තිබුණේ නැත. බොහෝ විට මෙවැනි අවස්ථාවල දී අපට උපකාර කළේ ලංගම සේවය කළ සිරිපාල සහෝදරයා හෝ තිස්ස මාර්කට් එකේ බුලත් වෙළඳාම් කළ බෙනට් මුදලාලිය. මෙදින මේ දෙදෙනාම සොයා ගැනීමට නොහැකි විය. වෙනත් කරන්නට දෙයක් නොතිබූ නිසා බස්වලින් බැස යන අයගේ බඩුමලු ගෝනි උස්සාගෙන ගොස් අවශ්‍ය මුදල සොයා ගෙන අපි ආපසු පැමිණියෙමු.


අනුරාධපුර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරයේ මුදල් අවශ්‍යතා ඉටු කිරීම සඳහා දන්සැල් ව්‍යාපාර වලින් ලැබෙන මුදල් ප්‍රමාණවත් වූයේ නැත. මා ද සේවය කළ අනුරාධපුර ඉඩම් සංවර්ධන නිලධාරී කාර්යාලයට මේ වන විට ස්ථාන මාරු වී පැමිණ කාර්යාලයේ පිටුපස සේවක වාඩියේ නවාතැන් ගෙන සිටි සිරිල් දහනායක සහෝදරයා ස්වකීය සමිති හරහා සහ පෞද්ගලික මුදලින් මුදල් අවශ්‍යතා බොහොමයක් ඉටු කරන ලදී. එසේ වුවත් ව්‍යාපාරයේ වැඩකටයුතු කරගෙන යාමට බරපතළ මුදල් අඩුපාඩු තිබිණි.


නිරතුරුවම මුදල් සොයා ගැනීම ගැන කතා කරන හෙයින් එවැනි සාකච්ඡාවක දී 1969 වර්ෂය මුල් භාගයේදී අපගේ ව්‍යාපාරයට සම්බන්ධ වූ අනුරාධපුර මහජන බැංකුවේ සහෝදරයෙක් පෙන්වා දුන්නේ බැංකුවෙන් සැලකිය යුතු මුදලක් රැගෙන යන අයෙකුගෙන් මුදල් පැහැරගෙන යෑම අපහසු නොවන බවයි. මේ ගැන සොයා බැලීම සඳහා මාරසිංහ සහ ජයසිංහ සහෝදරවරු දින කිහිපයක් බැංකුවට යවන ලදී. ඔවුන් දෙදෙනා ද කියා සිටියේ මුදල් පැහැරගෙන පලා ඒම ඉතා පහසු බවයි. ව්‍යාපාරය වෙනුවෙන් මෙවැනි කටයුතු භාරව සිටි ලොකු අතුල සහෝදරයාටත් මා මේ බව දැන්වූ අතර ඔහු අනුරාධපුරයට පැමිණ ජයසිංහ සහෝදරයා සමග බැංකුවට ගොස් පැහැර ගැනීම ක්‍රියාත්මක කළ හැකි බව දැන්වීය. ඊට පසු දිනම මෙම පැහැර ගැනීම ක්‍රියාත්මක කිරීමට නියම කරගෙන බැංකුවේ සහෝදරයාට ද ඒ බව දන්වා නියමිත වේලාවට මුදල් පැහැර ගැනීමට උත්සාහ කරන ලදී. එසේ වුවත් මුදල් බෑගය උදුරා ගැනීමට නොහැකි වූ අතර පලා ඒමේ වැඩපිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මක කර ගැනීමට හැකිවූ බැවින් ලොකු අතුල සහ සහායක සහෝදරයා පොලිසියෙන් ගැලවී පලා ඒමට සමත් වූහ.


කලත්තෑවේ කඳවුර


අනුරාධපුරයේ අපට විජේවීර සහෝදරයාගේ සහභාගිත්වයෙන් ව්‍යාපාරයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් දේශපාලන කඳවුරක් පැවැත්වීමට අවශ්‍ය විය. ඒ පන්ති පහ අවසන් කළ සහෝදරවරුන්ට වැඩිදුර දේශපාලන දැනීම ලබාදීමට සහ නවක සහෝදරවරුන්ට දේශන පැවැත්වීම සඳහා සුදුස්සන් පුහුණු කර ගැනීමටය. ජයසිංහ සහෝදරයා මේ සඳහා කලත්තෑවේ කැලේ ස්ථානයක් සකස් කරගත හැකි බව දැන් වූ අතර මම ඔහු සමග ගොස් එම ස්ථානය සුදුසු බව තීරණය කළෙමි. අනතුරුව එහි තාවකාලික මඩුවක් සෑදූවෙමු. මේ කාලයේ දී ආරක්ෂාව සඳහා වත්තල ප්‍රදේශයේ වැඩ කළ රංජි සහෝදරයා, ලොකු අතුල සහෝදරයා විසින් අපට බාර දී තිබුණි. ඒ සඳහා රංජි සහෝදරයාට අමතරව ලෙස්ලි, මාරසිංහ සහ රණතුංග යන සහෝදරවරු උදව් කළහ. අනතුරුව සතියක් පමණ දිනපතා ජයසිංහ සහෝදරයා එහි ගොස් පරීක්ෂා කර බලා මට ඒ ගැන විස්තර දැන් වූයේය. ඒ තාක් අප ඉදිකළ මඩුව කිසිවකුගේ අවධානයකට යොමුවී ඇති බවක් පෙනුණේ නැත. පසුව නැවතත් අපි එහි ගොස් පරීක්ෂා කර බලා එම ස්ථානයේ කඳවුර පැවැත්වීමට බාධාවක් නැති බව තීරණය කළෙමු. ඒ නිසා අපි දිනයක් නියම කර විජේවීර සහෝදරයාට දන්වා යැවූයෙමු. මුලින්ම උයා පිහා ගැනීමට අවශ්‍ය භාජන ගෙන ගොස් තැබූ අප භාජන මැටි හට්ටි කිහිපයක් තාවකාලික මඩුවේත් වැඩි කොටස අසල කැලෑ රොදවලත් තැබුවෙමු. ඉන් පසු තවත් මඩුවක් සාදා කඳවුර පැවැත්වීමට සියල්ල සූදානම් කළෙමු. අවශ්‍ය සහල්, සීනි, තේ, පරිප්පු, කරවල, තුනපහ, ආදිය ද ගෙන ගොස් තබා එදින සිට රංජි සහෝදරයා සමග ජයසිංහ හා මාරසිංහ ලෙස්ලි ආදී සහෝදරවරු මාරුවෙන් මාරුවට උයා ගෙන කා එහි නැවතී සිටියෝය. මේ අතර ජයසිංහ සහෝදරයා මා හමුවීමට පැමිණ විජේවීර සහෝදරයාට තම්බපු හාල් බත් කන්න බැරි විය හැකි නිසා වෙනත් හාලක් ගෙනත් තියන්නද කියා ඇසුවේය. එසේ නොකරන ලෙසට මම ඔහුට කීවෙමි. තවද කිසිම අවස්ථාවකදීවත් කිසිම අයෙකුට විශේෂයක් නොකරන ලෙසත් අසනීපවූ සහෝදරයෙක් සිටියහොත් පමණක් විශේෂයක් කරන ලෙසත් උපදෙස් දුන්නෙමි. විජෙවීර සහෝදරයා අපේ ගෙදර පැමිණෙන අවස්ථාවන්හිදී උයා තියෙන දෙයක් කනවා මිස කවදාවත් විශේෂයක් නොකළ බවත් ඔහු එවැනි දෙයක් බලාපොරොත්තු නොවන බවත් ඔහුට කීවෙමි.


මෙම කඳවුර කිසිම කරදරයක් නොමැතිව සාර්ථකව අවසන් කරන ලදී. මෙම කඳවුර නිසා අනුරාධපුරයට හා පොළොන්නරුවට දේශන පැවැත්වීම සඳහා සහෝදරයින් කිහිප දෙනෙකුම පුහුණු කරගත හැකි විය.


ලොකු අතුල (අතුල නිමලසිරි ජයසිංහ) සහෝදරයා පළ කළ 71 කැරැල්ලේ පොතේ මෙය සනත් සහෝදරයා සංවිධානය කළ බව සඳහන් කර තිබුණි. සනත් සහෝදරයා මේ වන විට මාරුවී ගොස් සිටි අතර මෙම කඳවුරට පැමිණියේ ද නැත.


ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවය කරන කාර්යාල කාර්යාධිකාරීන්ටත් රජයේ කනිෂ්ඨ සේවක විභාගයට පෙනී සිටීමට අවසර ලබාදෙන ලෙස මා ඉ.සං.දෙ කාර්යාල කාර්යාධිකාරී සංගමයේ ලේකම් ලෙස සේවය කරන කාලයෙහි අප සංගමයෙන් ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදී. අප සාමාජිකයන්ට මෙම විභාගයට පෙනී සිටීමට නොහැකි වූයේ අපගේ වැටුප් ප්‍රමාණය කනිෂ්ඨ සේවක විභාගය සඳහා වන වැටුප් ප්‍රමාණයට වඩා වැඩිවීම නිසාය. මෙම ඉල්ලීම් කරන ලද්දේ අප සාමාජිකයන්ට උසස්වීම් ලබාගත නොහැකි බැවින් ඒ සම්බන්ධ කරුණු ඉදිරිපත් කරමිනි. මේ සඳහා ඉඩම් සංවර්ධන අධ්‍යක්ෂතුමාගේ අනුමැතිය ලබා ගැනීමට අප උත්සාහ කළ ද එය අසාර්ථක විය. පසුව අප සමිතිය ඒකාබද්ධ වී සිටි රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ ගරු සභාපති පියදාස ආදිපොල සහෝදරයාට කරුණු පැහැදිලි කර ඔහු සමග ගොස් ඉඩම් සංවර්ධන අධ්‍යක්ෂක හමුවූයෙමු. එහිදී පියදාස ආදිපොල සහෝදරයා අපේ ඉල්ලීම සම්බන්ධව කරුණු ඉදිරිපත් කළේය. එහිදී ඉඩම් සංවර්ධන අධ්‍යක්ෂ උපාලි ගුණරත්න මහතා මට හරහට සිටිමින් මා හට තදින් දෝෂාරෝපණය කළේය. මෙය අසා සිටි පියදාස ආදිපොල සහෝදරයා ඇඟිල්ල දික්කරමින්, මෙහි ඉන්නේ ඔබේ සේවකයකු නොවන බවත් ඔබ ඔහුගේ සේවකයකු බවත් තදින් කියා සිටියේය. පසුව අධ්‍යක්ෂතුමා සමාවන්න යයි කියා අපේ විස්තරයට සවන් දුන්නේය. ඉන්පසු අපේ ඉල්ලීම නිර්දේශ කර යැවීමට එතුමා එකඟ විය. ඒ වෙලේම අදාළ ලිපිකාර මහතා කැඳවා මෙය නිර්දේශ කර භාණ්ඩාගාරයට යවන ලෙසට උපදෙස් දෙන ලදී. අපිද භාණ්ඩාගාරයට පියදාස ආදිපොල සහෝදරයා සමග ගොස් කරුණු ඉදිරිපත් කළෙමු. එම වර්ෂයේ දී පමණක් මෙම විභාගයට පෙනී සිටීමට අවසර දීමට ඔවුහූ එකඟ වූහ.

 

මෙම විභාගයට මම ද පෙනී සිටියෙමි. මා මෙම විභාගයට පෙනී සිටියේ රාජාංගණ යාය 5 හි සේවය කරමින් සිටි කාලයේය. මම විභාගය සමත් වීමි. එහි සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටියේ මා අනුරාධපුර නව නගරයේ ඉඩම් සංවර්ධන නිලධාරී කාර්යාලයේ සේවය කරමින් සිටියදීය. ඉන් අනතුරුව දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මට ලිපියක් ලැබුණි. ඒ දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග හා කර්මාන්ත උප දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට වාර්තා කරන ලෙසය. මට දුම්රිය ලිපිකාර සේවයට පත්වීමක් ලැබුණේ එසේය.


මේ බව මා විජේවීර සහෝදරයාට දැන්වූ විට ත්‍රිකුණාමලයේ ව්‍යාපාරයේ වැඩ කිරීමට අයකු නොමැති නිසා ත්‍රිකුණාමලයට පත්වීම සාදා ගැනීමට කටයුතු කරන ලෙස ඔහු උපදෙස් දුන්නේය. අප සමග කටයුතු කරන දුම්රිය දෙපාර්තමේන්තුවේ සහෝදරවරුන්ට දන්වා ත්‍රිකුණාමලයට පත්වීම සාදා දීමට කටයුතු කරන බව ද කීවේය. මම එම කාර්යාලයට ගොස් අදාළ ලිපිකාර මහතාට ලිපිය ඉදිරිපත් කළෙමි. මෙම ලිපිකාර මහතාට දැනටමත් මා ගැන දන්වා ඇති බව ඔහු මට කීවේය. මෙම ප්‍රධාන ඉංජිනේරු මහතා අමුතු ජාතියේ අයෙක් බැවින් මා පුරප්පාඩු ස්ථාන ප්‍රකාශ කිරීමෙන් පසු ත්‍රිකුණාමලය හැර වෙන ඕනෑම තැනකට යන්න කැමතියි කියා කියන ලෙස ඔහු උපදෙස් දුන්නේය. එසේ කී ඔහු මා ප්‍රධාන ඉංජිනේරු මහතාගේ කාමරයට කැඳවාගෙන ගියේය. ලිපිකාර මහතා මාගේ ලිපිය දී පුරප්පාඩු ස්ථාන කියාගෙන ගියේය. එවිට ත්‍රිකුණාමලය හැර වෙන ඕනෑම තැනකට මා යවන්න කියා මම කීවෙමි. ඔහු මාගේ ඇඟට කඩා පැන ආපු ගමන්ම තමාට උවමනා තැන් ඉල්ලනවා. මෙයා ත්‍රිකුණාමලයටම යවන්නැයි කියා ලිපිකාර මහතාට කීවේය. අප බලපොරොත්තු වූ ලෙසටම කටයුතු සිදුවිය. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් ඉංජිනේරු කාර්යාලයට පත්වීම් ලිපියදී ඇති බව විජේවීර සහෝදරයාට දන්වන ලෙස පියතිලක සහෝදරයාට කියා ආපසු මම අනුරාධපුරයට පැමිණියෙමි.


මා ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් ඉංජිනේරු කාර්යාලයට ගොස් සේවයට වාර්තා කළේ 1969.11.05 දිනයේදීය. පදිංචිය සඳහා මට දුම්රිය දෙපාර්තමේන්තුවේ තනිකඩ නිවාසයක් ලැබුණි. මේ කාලයේම ත්‍රිකුණාමලයේ අප ව්‍යාපාරයේ වැඩ කරමින් සිටි එච්.එන්. ප්‍රනාන්දු සහෝදරයා ලංකා ගුරු සංගමයේ ලේකම් ලෙස තේරී කොළඹට මාරුවී ගියේය. ඔහු කොළඹ යාමට පෙර ත්‍රිකුණාමලයේ මැදි මහ විදුහලේ ගුරුවරයෙකු ලෙස සේවය කළ ෂෙල්ටන් සහෝදරයා, එහි ශිෂ්‍යයන් වූ ප්‍රේමදාස ෂෙල්ටන් තිලකරත්න යන තිදෙනා හා ඥාණරත්න නැමති ධීවර කාර්මික සහෝදරයකු ද හඳුන්වා දුන්නේය.

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.