ආනන්දයේ අනෙකුත් සිසුන් අභිබවමින් අමුතුම ගමන් මගකට අවතීර්ණ වූ ඇන්.ඇම්. විවිධ අංශයන්හි දස්කම් දක්වන්නට පටන් ගති. මෙරට නිෂ්පාදනය කළ පළමු වැනි සිංහල චිත්‍රපටය වූ ‘රාජකීය වික්‍රමය’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරනු සඳහා එවකට මෙරටට පැමිණ සිටි බෙංගාල ජාතික ගුප්ත නම් අධ්‍යක්ෂවරයාගේ ආරාධනයෙන් සිනමා නළුවකු බවට පත්වූ ඇන්.ඇම්. ට ඒ සඳහා ගාස්තුව හැටියට රුපියල් සියයක මුදලක් ලැබිණි. කාලයේ හැටියට රුපියල් සියයක් යනු අතිවිශාල මුදලකි.

ඉගෙනුම අතරතුරදී ලද මේ මුදල ඔහු තම මෑණියන් වූ ජොහානා පෙරේරාට දෙත්ම ඇයගේ දෙනෙතින් කඳුළු වැගිරුණේ තම දරුවා එසේ මෙසේ කෙනෙකු නොවන වග දැක ගැනීමෙන්ය. ‘රාජකීය වික්‍රමය’ චිත්‍රපටය හදිසියේ අතරමග නතර විය. නොඑසේ නම් ‘කඩවුණු පොරොන්දුව’ මෙරට පළමු චිත්‍රපටය ලෙසින් ඉතිහාසයට එක්වන්නට ඉඩ නොතබා ඇන්.ඇම්. චරිත රංගනයක යෙදුණ රාජකීය වික්‍රමය ගැන කාටත් කතා කරන්නට ඉඩකඩ සැලසෙනු නිසැකය.


ඇන්.ඇම්. දැඩි අභියෝගයන්ට මුහුණ දුන් පුද්ගලයෙක් විය. ආනන්දයේ ලද ශික්ෂණය විසින් අනෙකුත් දඟයින්ට ඉහළින් සිටි ඔහු ලන්ඩන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ යුනිවර්සිටි කොලිජියේ උපාධි අපේක්ෂකයෙකු බවට පත්ව සිටියදී තම පාඨමාලාව භාර මහාචාර්ය බී.ජේ. තෝමස් මදුරාසියට ගියෙන් ඇන්.ඇම්. විභාගය අත ළඟ තිබියදී අතරමං වන්නට විය. ඇන්.ඇම්. සිය අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙන යන්නට විදෙස්ගත විය. ඒ එංගලන්තයටය. එහෙත් තම පියා සතු ධනය එතරම් නොවූවද අරපිරිමැස්ම හොඳින් ප්‍රගුණ කොට සිටි ඔහු මස් මාළු කෑමෙන් වැළකී පාන් කෑලි කිහිපයක් එළවළු හා කිරි බෝතලයක් පමණක් සිය දෛනික ආහාර වේලට එක්කර ගනිමින් විය හියදම් අඩු කර ගත්තේය.


ඉගෙනුම ඔහුට විනෝදාංශයක් විය. ඔහු තම ජන්ම භූමියෙහි වසන අන්ත අසරණ දුක්ඛිත ජීවිත ගත කරන සමාජයෙහි එක් සාමාජිකයකුව සිටීම එයට හේතු කාරණා වූවකි. කෙසේ හෝ තම දේශයේ දුකට පත් ජනතාවට තමන්ගෙන් ඉටුවිය යුතු බරපතළ මෙහෙයක් ඇති බව තරුණ වියෙහිදීම ඔහු හිත තුළ පැලපදියම් වූ ඉෂ්ටාර්ථයක් විය. එම අරමුණු දිනා ගන්නට නම් පළමුව ඒ සඳහා සුදුසු අධ්‍යාපනික වටාපිටාවක් සකස් කරගත යුතු බව ඔහුට නිරන්තරයෙන්ම වැටහෙන්නට විය.


විසිවැනි සියවසෙහි ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ආර්ථික විද්‍යාඥයා වූ හැරල්ඞ් ලැස්කි ඇන්.ඇම්. ගේ ගුරු මාර්ගෝපදේශකයා විය. තම ලාංකික ශිෂ්‍යයා යන ගමන් මග ඔහු දැනගෙන සිටියෙන් නියමිත ආකාරයට උපදෙස් දෙන්නට විය. ඇතැම් අවස්ථාවන්හිදී මේ අලුත් ගෝලයා තමන්ද අභිභවනය කරමින් ආර්ථික විද්‍යා න්‍යායයන් සමග පොර බදන ආකාරය ඔහුට දැනෙන්නට විය. වයස අවුරුදු 24 දී ඇන්. ඇම්. ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් විශ්වවිද්‍යාලයෙන් අර්ථ ශාස්ත්‍රය පිළිබඳව බී.එස්.සී. ගෞරව උපාධිය හිමිකර ගත්තේය. තවත් වසර දෙකක් ඉක්ම ගොස් 1931 දී ආර්ථික විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධිය ලැබ ගත්තේය.


මේ කාලය වන විට අප රටේ පැවති මතයක් වූයේ රජයේ ඉහළම තනතුරක් ලෙස සැලකූ සිවිල් සේවයට ඇතුළත් පුද්ගලයකු තම පවුලේ සිටිත් නම් එය මුළු පරම්පරාවටම අති විශාල ජනතා පිළිගැනීමක් ඇතිවන බවය. ඒ අනුව ඇන්.ඇම්. ගේ පවුලේ උදවියටද ඇන්.ඇම්. සිවිල් සේවා විභාගයට පෙනී සිටියහොත් නිසැකවම එයද ජයගනු ඇතැයි සිතා කෙසේ හෝ සිවිල් සේවා විභාගයට ඉදිරිපත් වන්නැයි බල කරන්නට වූහ.


මෙය කෙසේවත් කළ නොහැක්කක් ලෙස ඇන්.ඇම්. කල්පනා කළේ අධිරාජ්‍යයට ගැති සේවකයකු වීමට ඔහු සිත කෙසේවත් නොනැමෙන හෙයිනි. එහෙත් නොවිඳිනා දුක් විඳිමින් තමන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අතිවිශාල මුදලක් වියදම් කරමින් ඔවුන් කරන පරිත්‍යාගය ඉවත හෙළිය නොහැකි යැයි අවසනදී ඇන්.ඇම්. සිතා ගත්තේය.


පරික්ෂණ මණ්ඩලයට පෙනී සිටි ඇන්.ඇම්. ට ලැබුණේ මෙවන් පිළිතුරකි. ඔබ කෙතරම් දක්ෂයකු වුවත් සිවිල් සේවයට ඔබ තෝරාගත නොහැකියි. ඔබ උග්‍ර වාමාංශිකයකු බව බි්‍රතාන්‍ය රහස් පොලිසිය අපට වාර්තා කර තිබෙනවා. 


එතැනින් ලැබුණු පිළිතුරින් ඔහු සසල වූවා නොව තවත් ධෛර්යමත්ව වමේ ව්‍යාපාරයේ නිරත වන්නට පටන් ගති. ඉගෙන ගන්නා අතරතුරදී තම ජන්ම භූමිය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් කරගනු සඳහා මුළු කාලයම යොදවන්නට තීරණය කළේය. මෙරට වමේ ව්‍යාපාරය මුලින්ම ඇරඹුණේ ලන්ඩන් නුවරදීය. එවකට එංගලන්තයේ අධ්‍යාපනය ලබමින් සිටි ලාංකික ශිෂ්‍යයන්ගේ එකමුතුවක් වූ ලංකා ශිෂ්‍ය සංගමයේ ප්‍රබල නායකයකු වූ ඇන්.ඇම්. සමග සිටි පිරිස අතර පසු කලෙක ලංකා විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය පදවිය දැරූ බි්‍රටෝ මුතුනායගම්, ඉන්දියාවේ ආරක්ෂක ලේකම් පදවිය දැරූ ක්‍රිෂ්ණ මෙනන්, ඩී.එස්. සිල්වා, කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, ඩබ්ලිව්.ඒ. ද සිල්වා, මහාධිකරණ නායක පදවිය දැරූ ටී.එස්. ප්‍රනාන්දු, දොස්තර එම්.වී.පී. පීරිස්, දොස්තර ඊ.එම්. විජේරාම ආදීහුද වූහ.


ලංකාවට පැමිණ අධිරාජ්‍යවාදීන්ට එරෙහිව තමන්ගේ මුළු ශක්තියම යොදවන්නට ලාංකික ශිෂ්‍යයෝ තීරණය කළහ. එහෙත් තම පැවැත්ම සඳහා රැකියාවක නිරත වීමේ අවශ්‍යතාවද සැලකූ ඇන්.ඇම්. කම්කරු කොමසාරිස් ධුරය සඳහා ඉදිරිපත් විය. 


ඇන්.ඇම්. ගේ තනතුර කම්කරු ඇමතිවරයාත් තහවුරු කළද ආණ්ඩුකාරයාගේ අනුමැතිය නොලැබුණේ මාක්ස්වාදී විප්ලවකාරී තරුණ නායකයකු හැටියට හය අවුරුද්දක් මුළුල්ලේ බි්‍රතාන්‍ය රහස් පොලිසිය ඇන්.ඇම්. පිළිබඳව සකස් කොට තිබූ වාර්තා සියල්ල ආණ්ඩුකාරයා වෙතට ලැබී තිබූ හෙයිනි.


ලංකා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස පත්වීමත් සමග මෙරට බුද්ධිමත් තරුණ ප්‍රජාව තුළ ජාතික දේශපාලන ගමන් මග පැහැදිලි කිරීමට ඇන්.ඇම්. ට ශක්තිය ලැබිණ. ඔහු විශ්වවිද්‍යාලයේ අනෙකුත් ගුරු භවතුන්ට වඩා කැපී පෙනෙන්නකු වූයේ සිසුන්ගේ ආදරය දිනා ගන්නට ඉගෙනුම සමග සමාජ යථාර්ථයද සමීප කළ හෙයිනි.


මට සර් කියන්න එපා. මම නයිට්වරයෙක් නෙවෙයි. එහෙම වෙන්න අදහසකුත් නෑ. ශිෂ්‍යයෝ ඔහු සමග වඩාත් ළෙන්ගතුවන්නට වූහ. ඉදිරියට මේ පැවැත්ම මුළු විශ්වවිද්‍යාලයටම හිසරදයක් වෙතැයි සැලකූ එහි අධිපති මාර්ස්, ඇන්.ඇම්. ගේ පත්වීම ස්ථිර නොකරන ලෙස මහ ලේකම්වරයාට නිර්දේශ කළේය.

 

 

 

 

නන්දසේන සූරියාරච්චි ලියූ
‘ඇන්- ඇම්’ කෘතියෙනි