1971 අප්‍රේල් අරගලයට පසුගිය අප්‍රේල් 5 වැනිදාට වසර 47 කි. මෙරට දේශපාලනයට 71 අප්‍රේල් අරගලය තරම් ගුණාත්මක බලපෑමක් ඇති කළ වෙනත් සිදුවීමක් නොමැති තරම්ය. එහෙත් 71 අප්‍රේල් අරගලය සම්බන්ධයෙන් විවිධ මතවාද පවතී. එය එසේ වුවද වඩාත් වැදගත් වන්නේ 71 අරගලයේ සැබෑ හිමිකරුවා වන ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් දරණ මතය වේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් 2012 වසරේදී ප්‍රකාශයට පත් කළ පක්ෂයේ ඉතිහාසය 1965 - 1994 කෘතියෙහි. අප්‍රේල් අරගලයට සම්බන්ධ මෙම උපුටනය ඒ නිලමතය අවධාරණය කරනු පිණිසය.


මේ වන විට සැබවින්ම රට තුළ පැවතියේ, ද්විත්ව පාලනයකි. ජවිපෙ හා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය එක් පසෙකින් බලවත්ව සිටි අතර ගිලිහී යමින් තිබෙන බලය රැකගැනීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටියේය. සමහර ප්‍රාදේශීය පරිපාලන හා වෙනත් ගැටලු දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මගින් විසඳා ගැනීමට ජනතාව කටයුතු කළ අතර බොහෝ තැන්වලදී සාර්ථක ප්‍රතිඵල ලැබිණි. මත්ද්‍රව්‍ය, මත්පැන් ආදී සමාජ විරෝධී ක්‍රියා මැඩපැවැත්වීමේදී ඒවාට ගොදුරු වූවන් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ පිහිට පැතූ අවස්ථා බොහෝමයක් තිබිණි. ද්විත්ව බලය නිර්මාණය වෙමින් තිබුණේ එසේය.

මේ අතර ආණ්ඩුවට එරෙහි අරගලය තවත් ඉහළට ගෙන යමින් සන්නද්ධ හමුදා සාමාජිකයින්ට ඉල්ලා අස්වන ලෙස දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ඉල්ලීමක් කළේය. ඉන්දියාවට රට පාවා දුන් ආණ්ඩුව, දේශද්‍රෝහී ආණ්ඩුවක් නිසාත් මෙය මර්දනකාරී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුවක් නිසාත් එය ආරක්ෂා කිරීමෙන් වළකින ලෙසත් ඒ නිසා හමුදා සේවයෙන් ඉවත් වන ලෙසත් ආයාචනය කර තිබිණි. ආණ්ඩුව වහාම මෙය තම වාසියට හරවා ගන්නා ලදී. එහිදී ආණ්ඩුව විසින්ම කුමන්ත්‍රණකාරීව සමහර හමුදා පවුල්වල සාමාජිකයින් හා ජවිපෙ අතර විරසකයක් හා වෛරයක් නිර්මාණය කිරීමට කටයුතු කරන ලදී. පැවති සංකීර්ණ තත්ත්වය තුළ මෙය වහාම තේරුම් ගෙන එය හෙළිදරව් කිරීමට ජවිපෙට නොහැකි විය. ඒ අනුව හමුදා පවුල්වලට ජවිපෙ පහර දෙන බව ප්‍රචාරය කරමින් එහි වාසිය ආණ්ඩුව විසින් අත්පත් කර ගන්නා ලදී.


අනෙක් අතට මේ වන විට ජවිපෙ හා වෛරයෙන් පෙළුණු හමුදා නිලධාරීන් ඇතුළු මිනීමරු කල්ලි යොදා ගනිමින් වධ කඳවුරු පවත්වාගෙන ගිය ආණ්ඩුව, අත්අඩංගුවට පත්වන අයට විවිධ වධබන්ධන පමුණුවමින් ඔවුන් මගින් තොරතුරු ලබා ගැනීමේ, ඔවුන් ඔත්තුකරුවන් කර ගැනීමේ ක්‍රමෝපායක්ද පවත්වාගෙන ගියේය. විශේෂයෙන්ම අත්අඩංගුවට පත්වන දුර්වල පුද්ගලයින් හා ඒ වන විටත් විවිධ වැහැරීම්වලට ලක්වූවන් මේ සඳහා යොදා ගන්නා ලදී. මෙම ඔත්තුකරුවන් ගෝනි බිල්ලන් ලෙස එකල ප්‍රසිද්ධ විය. මේ තත්ත්වය මත පක්ෂ නායකයින් ඇතුළු පක්ෂ ක්‍රියාධරයන් වැඩි වැඩියෙන් අත්අඩංගුවට පත්වීමේ ප්‍රවණතාවයක් නිර්මාණය වෙමින් තිබිණි. මේ තත්ත්වය තුළ ක්‍රියාධරයන්ගේ ප්‍රදේශ මාරු කිරීම වැනි උපක්‍රම යොදා ගත්තද එය පැවති තත්ත්වයන්ට මුහුණ දීමට ප්‍රමාණවත් නොවීය. ඒ අතර සිදුවූ සමහර අහම්බ සිදුවීම්ද ජවිපෙට අවාසිදායක ලෙස බලපාන ලදී. 1989 නොවැම්බර් වන විට විශේෂයෙන් කෙළඹ දිස්ත්‍රික්කය ඇතුළු බොහෝ තැන්වල පක්ෂයේ ක්‍රියාකාරීත්වය දුර්වල කරමින් ප්‍රාදේශීය නායකයින් රැසක්ද ඒ අය අතරින් සමහර අයගේ තොරතුරු මත පක්ෂයේ නායකයින්ද අත්අඩංගුවට ගැනෙමින් තිබිණි.

 

රෝහණ විජේවීර සහෝදරයාත් උපතිස්ස ගමනායක සහෝදරයාත් අත්අඩංගුවේදී මරා දැමූ ආණ්ඩුව සුපුරුදු ලෙස ඒ පිළිබඳව අමූලික බොරු පැහැදිලි කිරීමක්ද කළේය. ජවිපෙ නිර්මාතෘ හා එහි නායකයාව සිටි ජවිපෙට දැවැන්ත න්‍යායික දේශපාලන සංවිධාන නායකත්වයක් ලබාදුන් රෝහණ විජේවීර සහෝදරයාත් ජවිපෙ ප්‍රධාන ලේකම්ව සිටි උපතිස්ස ගමනායක සහෝදරයාත් අත්අඩංගුවට ගනු ලැබ අත්අඩංගුවේ සිටියදී ඝාතනය කිරීම ජවිපෙ සිය සමස්ත ඉතිහාසයේදී මුහුණ දුන් අසීරුතම පසුබෑම විය.


මෙම අත්අඩංගුවට ගැනීම්වල එක් තීරණාත්මක සන්ධිස්ථානයක් වූයේ ඩී. එම්. ආනන්ද ආරක්ෂක ස්ථානයකට යමින් සිටියදී රත්නපුරදී අත්අඩංගුවට පත්වීමය. ඉන් දින කිහිපයකට පසු මහනුවරදී එච්. බී. හේරත් ඇතුළු පක්ෂ නායකයින් කිහිප දෙනකු අත්අඩංගුවට පත්වූ අතර එම අත්අඩංගුවට පත්වීම්වල කෙළවර රෝහණ විජේවීර හා උපතිස්ස ගමනායක යන සහෝදරවරුන්ද අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්විය. ඔවුන් අත්අඩංගුවට පත්වන මොහොත වන විට සිදුවෙමින් තිබූ අත්අඩංගුවට ගැනීමේ ආණ්ඩුවේ ක්‍රියාවලිය බිඳලීමට පක්ෂය අසමත්විය.


1983 පක්ෂ තහනමේ සිට 1989 නොවැම්බර් දක්වා වසර හයකට වැඩි කාලයක් රට තුළ සැඟවී සිටිමින් කටයුතු කිරීමට රෝහණ විජේවීර සහෝදරයාත් උපතිස්ස ගමනායක සහෝදරයාත් ඇතුළු ප්‍රසිද්ධ නායකයෝ සමත්ව සිටියහ. එය ආණ්ඩුවේ ආරක්ෂක අංශවලත් බුද්ධි අංශවලත් බරපතළ පරාජයක් විය. ඉහත ප්‍රසිද්ධ නායකයින් ආරක්ෂා කිරීමට උපක්‍රමශීලීව කටයුතු කරමින් ජවිපෙ දැක්වූ සමත්කමද විශිෂ්ටය. එහෙත් ඒ සියල්ල එසේ තිබියදී 1989 පක්ෂ නායකයින් අත්අඩංගුවට පත්වීමේ ක්‍රියාවලියේදී දින කිහිපයක් තුළ රෝහණ විජේවීර සහෝදරයාත් උපතිස්ස ගමනායක සහෝදරයාත් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්වූ අතර එය ඔවුන්ගේ ජයග්‍රහණයක් සේම පක්ෂයේ දැවැන්ත පසුබැසීමක්ද විය. රෝහණ විජේවීර සහෝදරයාත් උපතිස්ස ගමනායක සහෝදරයාත් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ, ඔවුන්ගේ දක්ෂකමක් මත නොව දුර්වලයින්ගේ පාවාදීම් නිසා බව ඉතා පැහැදිලිය.


ඊට පෙර අත්අඩංගුවට ගත් අයගෙන් ලබාගත් තොරතුරු අනුව 1989 නොවැම්බර් 12 වැනිදා විජේවීර සහෝදරයා මහනුවර උලපනේ ශාන්ත මේරි වතුයායේ ආරක්ෂිත නිවසේදීත් එදිනම ගමනායක සහෝදරයා බණ්ඩාරගම ඔහු නතරව සිටි ගෙදරදීත් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.


ආරක්ෂක අංශ ගමනායක සහෝදරයා එදිනම මරා දමන ලද අතර, රෝහණ විජේවීර සහෝදරයා කොළඹ ඒකාබද්ධ හමුදා අණදෙන මූලස්ථානයට ගෙනෙන ලදුව ප්‍රශ්න කර ප්‍රකාශයක්ද පටිගත කරගත් පසු 1989 නොවැම්බර් 13 වැනිදා කොළඹ කනත්තේදී වෙඩි තබා මරා පුලුස්සා දමන ලදී. රෝහණ විජේවීර සහෝදරයාත් උපතිස්ස ගමනායක සහෝදරයාත් අත්අඩංගුවේදී මරා දැමූ ආණ්ඩුව සුපුරුදු ලෙස ඒ පිළිබඳව අමූලික බොරු පැහැදිලි කිරීමක්ද කළේය. ජවිපෙ නිර්මාතෘ හා එහි නායකයාව සිටි ජවිපෙට දැවැන්ත න්‍යායික දේශපාලන සංවිධාන නායකත්වයක් ලබාදුන් රෝහණ විජේවීර සහෝදරයාත් ජවිපෙ ප්‍රධාන ලේකම්ව සිටි උපතිස්ස ගමනායක සහෝදරයාත් අත්අඩංගුවට ගනු ලැබ අත්අඩංගුවේ සිටියදී ඝාතනය කිරීම ජවිපෙ සිය සමස්ත ඉතිහාසයේදී මුහුණ දුන් අසීරුතම පසුබෑම විය. මේ සමගම දේශපාලන මණ්ඩල සභික පියදාස රණසිංහ සහෝදරයා ඇතුළු තවත් සහෝදරවරුන් කිහිපදෙනකුද මරා දැමුණි. මෙය සැබවින්ම පක්ෂය මුහුණ දුන් බරපතළ අසීරු තත්ත්වය විය.

 

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.