උතුරෙන් නැවතත් තොරතුරු ගලා එන්නට පටන් ගෙන තිබේ. එයින් පළමුවැනි තැන හිමිවන්නේ උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමතිවරයා වූ සී. වී. විග්නේෂ්වරන් මහතා විසින් කරන ලද බරපතළ ප්‍රකාශයක් වෙතටය ඔහු කියා ඇත්තේ “ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් වශයෙන් හඳුන්වනු ලබන්නේ ඉතිහාසඥයන් සහ පුරා විද්‍යාඥයන් විසින් ගොතන ලද ප්‍රබන්ධයකට අනුව මිස යථා මූලාශ්‍ර අනුව නොවන” බවයි. මොහු ප්‍රකාශ කරන ප්‍රබන්ධය වන්නේ දෙදහස් පන්සිය වසරකට අධික ඉතිහාස උරුමයක් රැක ගනිමින් ලේඛනගතව ඇති අඛණ්ඩ ඉතිහාසයක් අනාවරණය කරන ශ්‍රේෂ්ඨ ග්‍රන්ථය වන මහා වංශයටය. එම චෝදනාවට පිළිතුරු දීම අපේ වගකීම සහ අභිලාෂය නොවේ. ඒවාට අදාළ පාර්ශ්ව පවතී.
එමෙන්ම බි්‍රතාන්‍යයේ මහා මැතිවරණය පසුගියදා පැවැත්වුණි. එම ඡන්දයට අදාළව ප්‍රධාන පක්‍ෂ දෙකම එනම් කොන්සර්වේටිව් පක්‍ෂයත් කම්කරු පක්‍ෂයත් යන දෙපාර්ශ්වයම නොයෙකුත් උපාය උපක්‍රම යොදා ගනිමින් බි්‍රතාන්‍යයේ වෙසෙන දෙමළ ඩයස්පෝරාවේ ඡන්ද මිටියට ඉව අල්ලමින් සිටි බව නොරහසකි. තමන් බලයට පත් වුවහොත් දෙමළ ජනයාට යම් යම් වරප්‍රසාද ලබා දීමට මැදිහත් වන බවට ද ලෝක ප්‍රජාව වෙත බලපෑම් කරන බවට ද මැතිවරණ ප්‍රකාශයෙන්ම පොරොන්දු දුන්හ. එක් පක්‍ෂයක් එම ප්‍රකාශයෙන් බි්‍රතාන්‍ය ඡන්ද දායකයන්ට පැහැදිලිවම ප්‍රතිඥාවක් දුන්නේ රටවල් දෙකක අයිතිය වෙනුවෙන් තමන් මැදිහත්වෙන බව පවසමිනි. මැතිවරණය පැවැත්වුණි. ප්‍රතිඵල අනුව කොන්සර්වේටිව් පක්‍ෂය පැහැදිලි ජයග්‍රහණයක් ලබා ගත්තේය. එය බොහෝ කලකින් එරට මැතිවරණයක දී ලැබුණු විශාලම බහුතරයක් විය. මෙම ජයග්‍රහණය ලද මොහොතේ සිටම දෙමළ ඩයස්පෝරාව නාහෙන් අඬමින් තම ඉල්ලීම් සඳහා කටයුතු කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කරමින් සිටිති. ඔවුහු වෙනම දෙමළ රාජ්‍යයක් අපේක්‍ෂා කරති. මෙම අරගලයට ලංකාවේ සිටින විග්නේශ්වරන්ලා, සුමන්දිරන්ලා, පරාරාජසිංහම්ලා පමණක් නොව සම්බන්ධන්ලා ද උදව් කරති.


පසුගිය නොවැම්බර් 16 වැනිදා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්වුණි. එහි ප්‍රතිඵල නිකුත් වෙමින් තිබිය දී 17 වැනිදා උදෑසන අපූරු සිදුවීමක් දක්නට ලැබුණි. එතෙක් නිකුත්ව තිබුණු ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා බොහෝ ඉදිරියෙන් සිටියේය. සජිත් ප්‍රේමදාස මහතාගේ ගම්බද ආධාරකරුවෝ පවා දුර්මුඛව පසුබා සිටියහ. සැලසුම් කළාක් මෙන් උතුරේ ඡන්ද ප්‍රතිඵල එක දිගට නිකුත් වීම ආරම්භ විය. නිහඬව පසු බා සිටි එ.ජා.ප. ආධාරකරුවෝ රතිඤ්ඤා දල්වමින් ප්‍රමෝදයට පත් වූහ. ප්‍රීති ඝෝෂා නැගූහ. උතුරේ සමහර ආසනවල එ.ජා.ප. අපේක්‍ෂකයා ඡන්ද ලක්‍ෂය ඉක්මවා ලබා ගනිද්දී ගෝඨාභය රාජපක්‍ෂයන්ට ඡන්ද දහස ඉක්මවන්නට පවා අසීරු විය. රූපවාහිනී විස්තර විචාරකයෝ මුළු උතුරම කොළ පාටින් වර්ණ ගැන්වූහ. පසුව වෙනස් වූවා වුවත් පොදු ජන පෙරමුණේ බොහෝ ආධාරකරුවෝ කලබලයට පත් වූහ. වෙන්නට යන්නේ කුමක්දැයි ඔවුහු විපිලිසර වූහ. අනෙකුත් ප්‍රදේශවල ප්‍රතිඵල නිකුත් වෙද්දී ඔවුහු යථා තත්ත්වයට පත් වූහ.


මැතිවරණ ක්‍රමය ආරම්භයේ සිටම ලංකාවේ උතුරු ප්‍රදේශයේ ඡන්ද දායකයාගේ හැසිරීම දකුණේ දේශපාලන ක්‍රියා කාරිත්වයට වඩා අතිශයින්ම වෙනස් මගක් ගත් බව පෙනේ. එය එසේ වීමෙන් ජාතික සමගිය, සංහිඳියාව මෙන්ම අන්‍යොන්‍ය අවබෝධය ද බාධා සහිත වීම අරුමයක් නොවේ. ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබුණේ 1931 දීය. අනෙකුත් ප්‍රදේශවල අය නිසි අපේක්‍ෂකයන් ඉදිරියට ගෙන ඡන්ද සටනට එළෙඹෙද්දී උතුරේ ජනතාව තීරණය කළේ රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය වර්ජනය කිරීමටය. ඩොනමෝර් කොමිසමේ නිර්දේශ පරිදි උතුරු පළාතට ආසන හතරක් වෙන්කර තිබුණි. ඒවා නම් යාපනය, කයිට්ස්, කන්කසන්තුරේ සහ පේදුරු තුඩුවයි. යාපනය තරුණ කොන්ග්‍රසය නමින් එකල බිහිව තිබුණු ප්‍රබල සංවිධානයක් උතුරේ ජනතාව අමතමින් ප්‍රකාශ කර තිබුණේ මෙම රාජ්‍ය මන්ත්‍රණ සභාව පිහිටුවීම නිරර්ථක ක්‍රියාවක් බවත්, එයට රට පාලනය කිරීමේ බලතල නොලැබෙන බවත් කියමින් මෙම මැතිවරණය වර්ජනය කරන ලෙස ද ඉල්ලා සිටියේය. මේ වන විටත් උතුරේ ප්‍රබල දේශපාලන පක්‍ෂයක් ස්ථාපිත වී නොතිබුණු අතර එනිසාම මෙම කාරණය සම්බන්ධයෙන් ජනතාව පොලඹවා ගැනීමේ මහත් ඉඩකඩක් යාපනය තරුණ කොන්ග්‍රසය සතුව පැවති බව කියනු ලැබේ. මෙම සංවිධානයට නායකත්වය දුන්නේ හැන්ඩි පෙරිම්පනායගම්, සභාපති කුලේන්ද්‍රන් එස්.ආර්. කනගනායගම්, සී. සුබ්‍රමනියම් ඒ. ඇම්. වෲඞ්, කේ.ඊ මතියපරානම්, එස්. දුරෙයිරාජසිංහම් හා බොනී කනගතුංගම් වැනි පුරෝගාමීන් විසිනි.


මෙම තරුණ කොන්ග්‍රසය ලෙස පරිණාමය වූවේ එයට පෙර යාපනය ශිෂ්‍ය කොන්ග්‍රසය ලෙස පවතිමින් ජාතික නිදහස උදෙසා විශාල කැපකිරීමක් කළ සංවිධානයයි. එවකට රටෙහිම පැවති පසුගාමී දේශපාලන වටපිටාව අනුව සලකන විට බෙහෙවින්ම රැඩිකල් පෙරටුගාමී, ක්‍රියාශීලී සහ ප්‍රගතිශීලී බවක් දැක්වූ යාපනය ශිෂ්‍ය කොන්ග්‍රසය වූ කලී ඉන්දියාවේ ජයග්‍රාහීව ඉදිරියට ගමන් කරමින් තිබුණු නිදහස් ව්‍යාපාරය පරමාදර්ශය වශයෙන් ගෙන ක්‍රියාත්මක වූ ජාතිකවාදී සංවිධානයක් විය. මහත්මා ගාන්ධි සහ ශ්‍රී ජවහර්ලාල් නේරු වැනි ප්‍රමුඛයන්ගේ ක්‍රියා අනුගමනය කරමින් ක්‍රියා කළ මෙම ශිෂ්‍ය සංවිධානය ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල ක්‍රියාත්මක වූ දේශපාලන ක්‍රියාමාර්ගවලට වඩා අතිශයින්ම ඉදිරියෙන් සිටි බව විද්වත්හු ප්‍රකාශ කළහ. මෙම ප්‍රදේශවල නායකයෝ ගතානුගතික පිළිවෙත්හි යෙදෙමින් බි්‍රතාන්‍ය අධිරාජ්‍යය වෙත පෙත්සම් යවමින් සහ දිග් ගැස්සුණු සාකච්ඡා වට පවත්වමින් රටට නිදහස සිඟා යද්දී ඉන්දියාවේ ජන නායකයෝ “ඉන්දියාවෙන් පිටවෙයව්” හා සහයෝගය නොදීමේ මෙන්ම ඉන්දියානු නොවන භාණ්ඩ වර්ජනය වැනි ව්‍යාපාරයන් හරහා අධිරාජ්‍යවාදයට කෙළින්ම අභියෝග කළහ. මෙම අරගලවල දී දස දහස් සංඛ්‍යාත අනුගාමිකයෝ සිරගත වූහ. එවැනි සටන් ව්‍යාපාරයක් පරමාදර්ශය කොටගත් යාපනය ශිෂ්‍ය කොන්ග්‍රසය වඩාත් සටන්කාමී මාවතක යමින් දේශීය වශයෙන් වැදගත් සටන්පාඨ ඉදිරිපත් කරමින් නොයෙකුත් උද්ඝෝෂණ සහ විරෝධතා දැක්වූහ. එමෙන්ම ශ්‍රී නේරු, මහත්මා ගාන්ධි, කමලා දේවි චට්ඨෝපද්‍යාය වැනි නිදහස් අරගලයේ නායක නායිකාවන් මෙරටට ගෙන්වා දිවයින පුරා නොයෙකුත් ස්ථානවල දේශන පැවැත්වීමට ද කටයුතු යෙදූහ. ලංකාවේ වාමාංශික දේශපාලන පක්‍ෂ මේ වන විටත් බිහිවී නොතිබුණා වුවද එම මත දැරූ සමහර නායකයෝ උතුරේ ශිෂ්‍ය කොන්ග්‍රසයට සහාය දැක්වූහ. එසේ ද වුවත් යාපනයේ නැගී එන දේශපාලකයෙකු බවට පත්ව සිටි ජී. ජී. පොන්නම්බලම් මහතා උතුරු පළාතට අයත් දුර බැහැර පිහිටි මන්නාරම, මුලතිව් ආසනයට ඉදිරිපත්ව ආර්. ඇම්. ආනන්දම් නමැති අපේක්‍ෂකයාට පරාජය විය. කෙසේ වුවත් උතුරේ සහ රටේ අනෙකුත් ප්‍රදේශවල මැතිවරණයට ඉදිරිපත්වීමේ උපාය මාර්ග දෙආකාර වුවත් උතුරේ හැසිරීම ජාතිවාදී හෝ සිංහල විරෝධී ස්ථාවරයක් නොවූ බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.


මෙම මැතිවරණ වර්ජනය දිගු කලක් පැවති අතර පෙර කී ආසන හතර නියෝජනය කිරීමට කිසිවෙකු ඉදිරිපත් වූවේ නැත. එම තත්ත්වය නිමාවූවේ 1934 ජූලි 09 වැනි දින පැවති අතුරු මැතිවරණයේ දී ජී. ජී. පොන්නම්බලම් (පේදුරුතුඩුව), අරුණාචලම් මහාදේව (යාපනය), එස්. සෙල්වදොරෙයි (කයිට්ස්), ඇස්. නඬේසන් (කන්කසන්තුරේ) යන මහත්වරුන් පත්වීමෙන් පසුවය.


ශ්‍රී ලංකාවට නිදහස ලබා දිය යුත්තේ කුමන පදනමකින්දැයි නිර්දේශ කිරීම සඳහා සෝල්බරි සාමිවරයාගේ සභාපතිත්වයෙන් කොමිසන් සභාවක් පත් කර එවන ලදී. එය ඉදිරියට ගොස් සාක්‍ෂි දුන් ජී. ජී. පොන්නම්බලම් මහතා ඉල්ලා සිටියේ දෙමළ භාෂාව කථා කරන ජනතාවට සහ සිංහල භාෂාව භාවිත කරන අයට සියයට පනහ බැගින් ලැබෙන පරිදි ආසන නියෝජනයක් අවශ්‍ය බවය. එහෙත් කොමිසමේ සාමාජිකයෝ එම ඉල්ලීම පිළිනොගත්හ. එනිසා භූගෝලීය පදනම මත වෙන්කරනලද ආසන 95ක් සහ පත් කරන මන්ත්‍රීවරුන් හය දෙනෙකුගෙන් ද යුතු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සහ සෙනෙට් මණ්ඩලයකින් ද සමන්විත වූ ද්වීමාණ්ඩලික ව්‍යවස්ථාදායකයක් ලබා දෙන ලදී. ඒ අනුව 1947 දී ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන ලදී. ඒ වන විට ලංකා ද්‍රවිඩ සංගමය නම් වූ දේශපාලන පක්‍ෂය ජී. ජී. පොන්නම්බලම් මහතාගේ නායකත්වයෙන් බිහිවී තිබුණි. ප්‍රථම මැතිවරණයේ දී ආසන 101කින් සමන්විත පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ගණන දිනා සිටි එක්සත් ජාතික පක්‍ෂයට ලැබී තිබුණේ ආසන 42ක් පමණි. එයට රජයක් පවත්වාගෙන යාමට අවශ්‍ය බහුතරය නොමැති වීම නිසා තවත් දේශපාලන බලවේග එකතු කර ගැනීමේ අවශ්‍යතාව පැන නැගුණි. ඒ අනුව ජී. ජී. පොන්නම්බලම් මහතා කර්මාන්ත සහ ධීවර අමාත්‍ය ධුරය බාරගෙන රජයට එක්වූ අතර එම පක්‍ෂය නියෝජනය කළ කේ. කනගරත්නම් (වඩුක්කොඩෙයි), ඇස්. ජේ. වී. චෙල්වනායගම් (කන්කසන්තුරේ), ජී. ජී. පොන්නම්බලම් (යාපනය), සී. වන්නියසිංහම් (කෝපායි), වී. රාජලිංගම් (පේදුරුතුඩුව), වී. කුමාරස්වාමි. (චාවාකච්චේරි) යන මහත්වරු ආණ්ඩු පක්‍ෂය නියෝජනය කළහ.
මේ වන විට ගොඩනැගී තිබුණු නව ප්‍රවණතාවක් ගැන ද අවධානය යොමු කළ යුතුය. ඉන්දියානු සම්භවයක් සහිත වතු කම්කරුවෝ විශාල ප්‍රමාණයක් උඩරට මධ්‍යම කඳුකරයේ වතුවල සේවය කරමින් සිටියහ. ඔවුන් විසින් ගොඩ නගා ගන්නා ලද ලංකා ඉන්දියානු සංගමය වතු ආශ්‍රිත ප්‍රදේශ සියල්ලම ජයග්‍රහණය කර තිබුණි. එය තීරණාත්මක ආසන හයක් විය. ඔවුන්ගේ සහාය රජය විසින් අපේක්‍ෂා කරන ලද නමුදු එය ඉටු නොවීය. කම්කරු පන්තියේ දේශපාලන පක්‍ෂයක් වශයෙන් ඔවුන් වඩාත් සමීපව සිටියේ සමසමාජ, කොමියුනිස්ට් සහ බෝල්ෂේවික් ලෙනිනිස්ට් ආදී පක්‍ෂ සමගය. ඒ ගැන අසතුටට පත් එ.ජා.ප. රජය 1949 ඉන්දියා - පාකිස්ථානු පුරවැසි පනත සම්මත කිරීම මගින් ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ වතු කම්කරු ජනතාවගේ ඡන්ද බලය අහිමිකර දමනු ලැබීය. පොන්නම්බලම් මහතා ද ඇමතිවරයෙකු ලෙස පවතින රජයකින් මෙවැනි දැඩි පියවරක් ගැනීමට ඉඩහැරීම ගැන ද්‍රවිඩ සංගමය තුළ උග්‍ර විරෝධයක් හට ගත්තේය. මේ පිළිබඳව ඇති වූ මතභේදය නිසා කන්කසන්තුරේ මන්ත්‍රී ඇස්. ජේ. වී. චෙල්වනායගම්, කෝපායි මන්ත්‍රී සී. වන්නියසිංහම් යන මන්ත්‍රීවරු දෙදෙනා තවත් තරුණ පාක්‍ෂිකයන් පිරිසක් සමඟ පක්‍ෂයෙන් ඉවත්ව ගොස් ඉලංගෛ තමිල් අරසු කච්චි නම් පක්‍ෂය පිහිටුවා ගත්හ. එහි ප්‍රතිපත්තිය ලෙස ප්‍රකාශ වූවේ උතුරු - නැගෙනහිර ප්‍රදේශ සඳහා ෆෙඩරල් රාජ්‍යක් දිනා ගැනීමයි. එනිසා සිංහල ප්‍රදේශවල ජනයා එම පක්‍ෂය හැදින්වූවේ ෆෙඩරල් පක්‍ෂය යනුවෙනි.
ආරම්භයේ සිටම දැඩි ජාතිවාදී ස්වරූපයක් පෙන්වූ මෙම පක්‍ෂය උතුරේ ජනතාවගේ සිත් දිනා ගැනීම පිණිසත්, ප්‍රතිවාදී පක්‍ෂය වූ පොන්නම්බලම්ගේ ලංකා ද්‍රවිඩ සංගමය පසුබැස්සවීම සඳහාත් නොයෙක් ක්‍රියාකාරකම්වල යෙදෙන ආකාරය දක්නට ලැබුණි. මේ වන විට බොහෝ දෙනා නොදන්නා කරුණක් කෙරෙහි පාඨකයාගේ අවධානය යොමුවිය යුතුමය. එක්සත් ජාතික පක්‍ෂය 1946 දී ආරම්භ වන විට දෙමළ නායකයන් විශාල පිරිසක් එම පක්‍ෂයට එක්වූ බවයි. එදා එම පක්‍ෂයේ ආරම්භක රැස්වීමට සහභාගි වූ අයගේ අත්සන් ලේඛනය පරීක්‍ෂා කිරීමේදී එම පසුබිම වටහා ගත හැක. 1952 මහා මැතිවරණ ප්‍රතිඵල විමසීමේ දී එය හොඳින්ම දැක ගත හැකිය. එදා උතුරේ බහුතර ආසන ගණන හිමිකර ගත්තේ. එ.ජා.ප.ය බව මා සඳහන් කළහොත් ඔබ මවිතයට පත් වනු ඇත. ඒ මෙසේය. කයිට්ස් ඇල්ෆ්‍රඞ් තම්බයියා- (එ.ජා.ප) වඩුක්කොඩෙයි, වී. වීරසිංහම් ස්වාධීන, (එ.ජා.ප. හිතවතෙක්) කන්කසන්තුරේ එස්. නටේසන් (එ.ජා.ප), (චෙල්වනායගම් පරාජය කරමින්) යාපනය ජි. ජී. පොන්නම්බලම් (ද්‍ර.ස) කෝපායි සී වන්නියසිංහම් (පො.ප) පේදුරුතුඩුව- ටී. රාමලිංගම් (ද්‍ර.ස.) චාවකච්චේරිය- වී. කුමාරස්වාමි (එ.ජා.ප) මන්නාරම සී. සිත්තම්පලම්, (එ.ජා.ප) වවුනියාව- සී. සුන්දරලිංගම් (ස්වාධීන) වශයෙනි. පෙඩරල් පක්‍ෂය හා ලංකා ද්‍රවිඩ සංගමයට වඩා ආසන ගණනක් එ.ජා.ප.ය විසින් දිනාගෙන ඇති ආකාරය මේ අනුව පෙනී යනු ඇත. මෙම යුගයේ සමසමාජ හා කොමියුනිස්ට් පක්‍ෂත් එ.ජා.පයත් සිංහල දෙමළ භාෂා දෙකටම රාජ්‍ය භාෂා තත්ත්වය හිමිවිය යුතු බවට ප්‍රතිපත්තියක් පිළිගෙන සිටි අතර ජාතික දේශපාලන පක්‍ෂයක් වශයෙන් රටපුරා බලය පතුරුවාගෙන සිටීමට එ.ජා.ප.ය සමත් විය. එහෙත් 1956 වන විට වෙනත් දේශපාලන බලවේගවලට මුහුණ දීම සඳහා එම ප්‍රතිපත්තියෙන් ඉවත්වීම නිසා දෙමළ ප්‍රජාව එ.ජා.පයෙන් ඉවත්ව යාම සිදු ජාතිවාදි පෙඩරල් පක්‍ෂය උතුරේ තහවුරු විය. ඒ බව 1956 දී දක්නට ලැබුණි. උතුරේ යාපනය සහ පේදුරුතුඩුව හැර අනෙක් ආසන සියල්ලම පෙඩරල් පක්‍ෂය විසින් දිනා ගන්නා ලදී. පේදුරුතුඩුවේ ජයග්‍රාහකයා වූවේ ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ අපේක්‍ෂක පී. කන්දයියා බව ඇසීම තවදුරටත් විමතිය දනවන්නක් විය හැකිය. යාපනය ද්‍රවිඩ සංගමයේ නායක ජී.ජි. පොන්නම්බලම් විසින් දිනා ගන්නා ලද අතර වව්නියාව පැරණි නායකයෙකු වූ සී. සුන්දරලිංගම් ජය ගත්තේය. නැගෙනහිර පළාතේද මෙම ප්‍රවණතාව මේ ආකාරයටම දක්නට ලැබුණු අතර එම ප්‍රදේශවල බලය පතුරුවාගෙන සිටි එ.ජා.ප.ය හා ද්‍රවිඩ සංගමය බිඳ වැටී ජාතිවාදී පදනමකින් කටයුතු කළ පෙඩරල් පක්‍ෂය තහවුරු විය. 
1952 දී කල්කුඩා - ජී. නල්ලයියා (එ.ජා.ප), පොතුවිල් ඇම්. ඇම්. ඊබ්‍රහිම් යන මහත්වරු ජයගත්හ. 1956 දී කයිට්ස් වී. ඒ. කන්දයියා (පෙ.ප) වඩුක්කොඩෙයි, ඒ. අමිර්තලිංගම් (පෙ.ප) කන්කසන්තුරේ- ඇස්. ජේ. වී. චෙල්වනායගම් (පෙ.ප) කෝපායි සී. වන්නියසිංහම් (පෙ.ප) චාවකච්චේරි - වී. ඇන්. නවරත්නම් (පෙ.ප) මන්නාරම- වී. ඒ. අලහකෝන් (පෙ.ප). ත්‍රිකුණාමලය ඇන්. ආර්. රාජවරෝදියම් (පෙ.ප) මඩකළපුව - සී. රාජදුරෙයි (පෙ.ප) කල්මුණේ - ඇම්. ඇස්. කාරියප්පර් (පෙ.ප) පොතුවිල් - ඇම්. ඇම්. මුස්තාපා (පෙ.ප) මේ අනුව උතුර සහ නැගෙනහිර යන දෙපළාතේම බලධාරියා බවට පෙඩරල් පක්‍ෂය ගොඩනගා ගැනීමට එහි නායකයෝ සමත් වූහ. ජාතික පක්‍ෂ ශීඝ්‍ර පසුබැස්මකට ලක්විය. ජාතිවාදය පමණක් නොව උතුරේ කුලවාදය සහ ආගම් භේදයද අවුස්සමින් මොවුහු ආත්මාර්ථකාමී ලෙස ක්‍රියා කළහ. ඔවුන් විසින් අවළුවන ලද එම ගින්න පසු කලෙක එම නායකයන් පමණක් නොව සමස්ත දේශයම අගාධයට ඇද දැමූ ගිනි ජාලාවක් බවට පත්ව මහා ඛේදවාචකයක් නිර්මාණය වූ බව අපි දනිමු 


කෙසේ වූවත් කලක් ගතවනවිට මෙරට දේශපාලනයේ තීරණාත්මක බලවේගය බවට පෙඩරල් පක්‍ෂය හෙවත් දෙමළ රාජ්‍ය පක්‍ෂය (තමිල් අරසු කච්චි) සමත් විය. ලංකාවේ ප්‍රධාන ජාතිය වූ සිංහල වර්ගයා ප්‍රධාන පක්‍ෂ දෙකක් යටතේ බෙදී යද්දී රජයක් පිහිටුවීම සඳහා බහුතරය දිනාගැනීමට පෙඩරල් පක්‍ෂයේ සහාය පතනු නිතරම දක්නට ලැබුණි. 1960 මාර්තු මාසයේ මැතිවරණයේ දී බලයට පත් වූ ඩඞ්ලි සේනානායක රජය දින තිහකින් බිඳ වැටුණේ එම සහාය ලබාගැනීමට නොහැකි වූ හෙයිනි. එහි ප්‍රතිවිරුද්ධ ප්‍රතිචාරය ප්‍රකාශයට පත්වූවේ 1965 දීය. ශ්‍රී.ල.නි.ප. සමසමාජ- කොමියුනිස්ට් තුන් හවුලට එරෙහිව පෙඩරල් පක්‍ෂයේ සහාය දිනා ගැනීමට හැකිවීම නිසා ‘ජාතික රජයක්’ යන ලේබලය යටතේ හවුල් ආණ්ඩුවක් පිහිටුවාගෙන වසර පහක් රජය පවත්වාගෙන යාමට ඩඞ්ලි සේනානායක අගමැතිවරයා සමත් වූවේ ඉතිහාසයේ පළමුවරට උතුරේ පෙඩරල් පක්‍ෂයට ඇමති ධූරයක් ලබාදීමෙනි.


හැත්තෑ හතේ වසර වන විට දේශපාලන තලයේ බොහෝ වෙනස්කම් සිදුව තිබුණි. දෙමළ පක්‍ෂ සියල්ලම පාහේ එක්සත්ව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ නමින් ඒකාබද්ධ පෙරමුණක් ගොඩනගාගෙන තිබුණු අතර එහි ප්‍රධාන පාර්ශ්වකරු වූවේ පෙඩරල් පක්‍ෂයයි. 1977 මහා මැතිවරණයේ දී ශ්‍රී.ල.නි.ප. සහ වමේ පක්‍ෂ ලැබූ අන්ත පරාජය නිසා විපක්‍ෂ නායක ධුරය ලැබුණේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ඒ. අමිර්තලිංගම් මහතාටය. මේ වන විට විවිධ හේතු සාධක නිසා උතුරේ ත්‍රස්තවාදී කල්ලි ගණනාවක් බිහිවී තිබුණි. ටෙලෝ, ඊළාම් විමුක්ති කොටි, ඊ. පී. ආර්. එල්. එෆ්. ආදී නොයෙක් නම්වලින් හැඳින්වුණු මොවුහු 1983 සිට වෙනම රාජ්‍යයක් සඳහා වූ යුද්ධය ආරම්භ කළහ. උතුරේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන රටාව මුළුමනින්ම බිඳ වැටී තිබුණි. තිස් අවුරුදු යුද සමය තුළ උතුරේ පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවේම තීන්දු තීරණ ගැනීමේ බලය දැරුවේ කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ය. 2005 මැතිවරණයේ දී එම ඡන්දය වර්ජනය කරන ලෙස ප්‍රභාකරන් කළ නියෝගය නිසා ඡන්දයේ සමස්ත ප්‍රතිඵලය වෙනස් වූ බව සමහරු කියති. දෙදහස් දහයේ දී ජනාධිපතිවරණය වන විට යුද්ධය නිමා වී සාමය ස්ථාපිත වී තිබුණි. යුද්ධය නිම කිරීමට මුල් වූ සේනාධිනායකයා වූවේ එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාය. එම ජනාධිපතිවරණයේ දී ඔහුගේ ප්‍රතිවාදියා ලෙස ඉදිරිපත් වූවේ එවකට යුද හමුදාපතිවරයා වූ සරත් ෆොන්සේකා මහතාය. මෙම දෙදෙනාම හමුදා මෙහෙයුමේ නායකයන් බව සත්‍යයක් වූ නමුදු උතුරේ ඡන්ද පොදිය සම්පූර්ණයෙන්ම පාහේ සරත් ෆොන්සේකා වෙනුවෙන් භාවිත වූ බව සංඛ්‍යා ලේඛන අනුව පැහැදිලි විය.


දෙදහස් පහළොවේ ජනාධිපතිවරණයේ දී තත්ත්වය ද එයට සමාන වූවේය. එවර සටන පැවතියේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායක මහින්ද රාජපක්‍ෂ මහතා සහ එම පක්‍ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා අතර බවට සමහරු මත පළ කළහ. මහින්ද රාජපක්‍ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්‍ෂකයා මෙන්ම එවකට ජනාධිපතිවරයා ද වූ අතර මෛත්‍රීපාල සිරිසේන මහතා විරුද්ධ පක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා විය. උතුරේ දේශපාලන නායකත්වයේ විග්‍රහයට අනුව ඔවුන්ගේ සහාය ලැබුණේ මෛත්‍රීපාල සිරිසේනයන්ටය. එම පදනම මත මෛත්‍රී ජයග්‍රහණය කළේය. මෙවර ජනාධිපතිවරණයේ දී ද නැවත අත්දකින්නට ලැබුණේ උතුරේ ඡන්ද පොදිය කෙළින්ම එ.ජා.ප. අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලැබුණු බවය. මෙහි වාර දෙකේදීම මහින්ද රාජපක්‍ෂයන්ට විරුද්ධව ඔවුන් ඡන්දය ප්‍රකාශ කළේම රාජපක්‍ෂ විරෝධය නිසා බව යළි යළිත් තහවුරු කරමින් මෙවර ද ගෝඨාභය රාජපක්‍ෂයන්ට එරෙහිව ඔවුහු සජිත්ට ඡන්දය ලබා දුන්හ. දිගින් දිගටම උතුරේ ඡන්ද මල්ලේ හැසිරීම එබඳු විය.


පසුගිය සතියේ උතුරේ සංචාරයක යෙදීමට මෙම ලියුම්කරුට අවස්ථාව ලැබුණි. එහිදී අපට ආගන්තුක සත්කාර දක්වමින් සියලු සහාය ලබා දුන්නේ පේදුරුතුඩුවේ පදිංචි ශිවනාදන් නමැති හිටපු කොටි නායකයෙකි. කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරීමෙන් පසු ආපසු උතුරට ගිය ඔහුට අවි දරාගෙන සයනයිඞ් කරල බෙල්ලේ පැලඳගෙන සටන් පෙරමුණට යාමට සිදුවිය. ඔහු උතුරේ දේශපාලනය ගැන පැවසූ වදන් දැන ගැනීම මෙන්ම වටහා ගැනීම ද ඊනියා සංහිඳියාවට නොව ජාතික සමගියට බෙහෙවින්ම වැදගත් වනු ඇත. 

 


එම අදහස් ලබන සතියේ....


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප අන්තර්ජාලයෙනි