දෙව්ලොවට අධිපති වන්නේ ශක්‍ර දේවේන්ද්‍රයාය. ඔහු මහා බලවන්තයකු බවද කියවේ. ශ්‍රී ලංකාවත් සම්බුද්ධ ශාසනයත් රැක බලා ගන්නා ලෙස බුදුරජාණන් වහන්සේ විසින් ශක්‍ර දෙවිඳුන්ට  භාරදුන් බව වංශ කථාවල දැක්වේ.

මේසා බලවත් දෙවියා ගමන් කරනුයේ අවුරුදු දස දහස් ගණනක් පැරණි අස් රියකිනි. එහි රියැදුරා මාතලීය. ඔහුගේ පැදවීමේ සහ නඩත්තු කිරීමේ හොඳකමට මේ සා දීර්ඝ කාලයක් එම රථය පාවිච්චි කළ හැකි හොඳ මට්ටමේ පවතී. ශක්‍ර දෙවියන් අශ්ව රථයක් පාවිච්චි කරන බව විනා අලුත් රථයක් තැනූ බව හෝ මැවූ බවක් වංශ කථාවේ සඳහන් නොවේ. මහා දේව බලයක් ඇති ශක්‍ර දෙවියන්ට කළ නොහැක්කක් නැත. තමන්ට අවශ්‍ය නම් අලුත් රථයක් මවා ගැනීම එතුමන්ට මහ කජ්ජක් නොවේ. මුදල් වැය කිරීමක් අවශ්‍ය වන්නේද නැත. තමන්ම මවා ගන්නා බැවිනි. එහෙත් එතුමෝ එවැනි උත්සාහයක්වත් නොදරති. පැරණි රථයේම ගමන් බිමන් යති. 
නොමිලේ කරගත හැකි දේ ගැනවත් දෙවියෝ උනන්දු නොවෙති. එහෙත් මනු සත්තු එසේ නොවේ. ඔවුන්ට වැලදී ඇති රථගාය ශක්‍ර දෙවියන්ටත් සුවපත් කළ නොහැක. එය ඒ තරමටම අසාධ්‍යය. කලින් කලට ඔවුනට දිව්‍ය රථ හා සමාන රථවාහන මිලදී ගත යුතුය. මිනිසුන්ට කිසිම දෙයක්  මවන්නට බැරි බව අපි සහසුද්දෙන්ම දනිමු. සෑම දෙයක්ම මිලදී ගත යුතුය. වර්තමානයේ සුඛෝපභෝගී සහ නව මාදිලියේ වාහනවල මිල ඉතා අධිකය. මිල නියම වන්නේ ලක්ෂවලිනි. එසේත් නැතිනම් මිලියන වලිනි. තවත් සමහර විට කෝටි ගණනනි. මතු දිනකදී මියැදී පොළවට පස්වීමට නියමිත දෙතිස් කුණපයෙන් පිරී පන්චස්කන්ධයන්ට මේසා ධනය වියදම් කරන්නේ කුමටදැයි අපේ මිත්‍රයෝ ප්‍රශ්න කරති. මේසා විශාල ධනය වැය කර සැප ගන්නා පශ්චාත් භාගවල වටිනාකම් මේසා විශාල ද කියා අසන අයත් ගමේ ගොඩේ සිටිති. 


මේ සියලු දේ මගේ සිහියට නැගුණේ නොබෝදා මැති සබයේදී හෙළිදරව් වූ පසුගිය යහපාලන ආණ්ඩුවේ සමහර ඇමැතිවරුන්ගේ පරිහරණය සහ සුඛ විහරණ සඳහා රුපියල් කෝටි දෙසිය අසූවකට සැප වාහන ගෙන්වා ඇතැයි කියන කාරණයට අදාළවය. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නලින් ද ජයතිස්ස මහතා මෙම විස්තර ඉල්ලා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලබාදුන් පිළිතුරෙන් මේ බව අනාවරණය විය. ඇමැතිවරයා ලබාදුන් පිළිතුරුවලට අනුව බෙන්ස්, ලෑන්ඩ් කෲෂර් සහ රේන්ජ් රෝවර් ආදී අති සුඛෝපභෝගී වාහන බවත් එවැනි රථ හැත්තෑ අටක් ගෙන්වා ඇති බවත් එම එක වාහනයක මිල රුපියල් කෝටියේ සිට කෝටි පහ දක්වා වන බවද පැවසීය. මේසා විශාල මුදල් සම්භාරයක් විනාශ කර දමා ඇත්තේ විශාල ණය කන්දකට රට යටවී ඇතැයි පාලකයන් නිතර නාහෙන් අඬමින් ජනතා සහන කප්පාදු කරමින් සිටි සමයක වීම නිසා මෙම තත්ත්වය නරක අතට හැරෙන බවද පසුව දෙසුම් පැවැත්වූ මන්ත්‍රීවරු පැවසූහ.


දේශපාලකයන්ගේ මෝටර් රථ පරිහරණය ගැන සඳහන් කිරීමේදී ඒ පිළිබඳව වූ සිදුවීම් කීපයක් මතකයට නැගේ. මෙරටට සර්වජන ඡන්ද බලය ලැබීමේදි ස්ථාපිත කරන ලද රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත්ව ආවේ මන්ත්‍රීවරුන් පනස් දෙනෙකි. එයින් බොහෝ දෙනා ධනවත් පුද්ගලයෝ වූහ. මෙම පනස් දෙනා කොමිටි හතකට බෙදා තිබුණු අතර එම කොමිටිවල  සභාපතිවරු ලෙස පත්වූ අය ඇමතිවරුන් ලෙස සලකන ලදහ. එසේ පත්වූ ප්‍රථම ඇමැතිවරුන් වූයේ ස්වදේශ කටයුතු  - සර් ඩී. ජයතිලක (කැලණිය රාජ්‍ය සභා මන්ත්‍රී)  පළාත් පාලන චාල්ස් බටුවන්තුඩාව (කළුතර) සෞඛ්‍ය කටයුතු - ටී. බී. පානබොක්කේ, කම්කරු, කර්මාන්ත හා වානිජ පෙරි සුන්දරම් (හැටන් මන්ත්‍රී) අධ්‍යාපන – සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර (ගාල්ල) ගමනා ගමන හා ප්‍රසිද්ධ වැඩ – සර් මොහමඩ් මාකන් මාකර් මහතා (මඩකලපුව – දකුණ මන්ත්‍රී) කෘෂිකර්ම හා ඉඩම් ඩී. ඇස්. සේනානායක මහතා (මිනුවන්ගොඩ) මෙම ඇමතිවරු සියලු දෙනාම පාහේ ධනවත් පුද්ගලයෝ වූහ. ටී. බී. පානබොක්කේ මහතා  උඩරට පාරම්පරික රදල පවුලකට අයත්වූ අතර උඩරට රාජධානි සමයේ සිට නින්දගම් හිමියෝ වූහ. ඩී. ඇස්. සේනානායක මහතා ප්‍රකට ඉඩම් හිමි වැවිලිකරුවකු සහ ඉහළම පෙළේ මිනිරන් පතල් හිමියෙක්ද වුවේය. සර් මොහොමඩ් මාකන් මාකර් මහතා ජාත්‍යන්තර මැණික් ව්‍යාපාරිකයකු මෙන්ම ධන කුවේරයකු වූවේය. චාල්ස් බටුවන්තුඩාවේද ඉහළම ගණයේ බැරිස්ටර්වයකු ලෙස සඳහන් වේ. පෙරි සුන්දරම් මහතා දක්ෂ වෘත්තීය සමිති නායකයකු විය. ඔහු සහ කන්නන්ගර මහතාද වැඩි ධනයක හිමිකරුවන් නොවුවත් මහජන මුදලින් සිය සිරුරට සැප දීමට මේ කිසිවෙකුත් ඉදිරිපත් නොවූහ. ඔවුන් ගමන් කළේ තම පෞද්ගලික මුදලින් ලබාගත් වාහනවලට අතින් පැට්‍රොල් ගසාගෙනය. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නිල කාලය අවුරුදු පහකට සීමා වූ නිසා 1936 පැවති මැතිවරණයෙන් නව ඇමතිවරු පත්වූහ. ඒ මේ ආකාරයටය. ස්වදේශ කටයුතු - සර් ඩි. බී. ජයතිලක මහතා, කෘෂිකර්ම ඉඩම් - ඩී. ඇස්. සේනානායක, පලාත් පාලන – ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක සෞඛ්‍ය කටයුතු - දොස්තර ඩබ්ලිව්. ආතර් ද සිල්වා මහතා, කම්කරු කර්මාන්ත හා වෙළදාම – සර් ක්ලෝඩ් කොරෙයා මහතා, අධ්‍යාපන – සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා ගමනාගමන හා කර්මාන්ත – ජෝන් කොතලාවල මහතා මේ අයටද නිල රථ ලැබුණේ නැත. මේ අයද බොහෝ විට දුම්රියෙන් ගමන් කළහ. ඈත පළාත්වල කොට්ඨාස නියෝජනය කරන මැතිඇමතිවරු සභා රැස්වීම්වලට සහභාගිවීම සඳහා පෙරදින දුම්රියෙන් කොළඹට පැමිණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේම නවාතැන් ගත්හ. හම්බන්තොට රාජ්‍ය මන්ත්‍රී දොන් මැතිව් රාජපක්ෂ මහතා අභාවයට පත්වූවේ මෙසේ රාජ්‍ය සභාව රැස්වූ ගාලු මුවදොර සභා ගොඩගැගිල්ලේය. ඒ එසේ නවාතැන් ගෙන සිටියදීය. 
නිදහසෙන් පසුව සිදුවු වෙනසක් වූයේ රාජ්‍ය නායකත්වය දැරූ අගමැතිවරයාට පමණක් මෝටර් රථයක භාරකාරත්වය හිමිවීමය. බණ්ඩාරනායක අගමැතිතුමා අපේ දහම් පාසලේ තෑගි බෙදාදීමේ උත්සවයකට සහභාගි වූ අවස්ථාවේ සිද්දියක් මගේ මතකයට නැගේ. එකල අප දැක තිබුණෙත් ගම්වල පාරවල්වල ගමන් කරනු දැක තිබුණෙත් මොරිස් එයිට්, දඩු ෆෝඩ් ආදී පැරණි මාදිලියේ ගිනිපෙට්ටි වර්ගයේ මෝටර් රථය. අගමැතිතුමා පැමිණි කැඩිලැක් රථය දහම් පාසලේ දෙකේ තුනේ පන්තිවල ශිෂ්‍යයන් වූ ළමා අපට පමණක් නොව අපේ වැඩිහිටියන්ටද විස්මය ගෙන දුන්නේය. වැඩිහිටියෝ එය නැවක් වගේ කීවා මට මතකය. පසුකාලයක මා පුද්ගලිකව හඳුනාගත් එදා රිය පදවාගෙන ආ බටගොල්ලේ සයිමන් අයියා සමග මම මේ ගැන කීවෙමි. මේ කියන කාලයේ ඔහු සිරිමා බණ්ඩාරනායක අගමැතිනියගේ විශ්වාසවන්ත රියදුරාව සිටියේය. සයිමන් අයියාගේ පිළිතුර වූයේ “ඇයි අගමැතිතුමාගෙ ගෙදර තිබුණු ප්ලිමත් කාර් එකත් ඒ තරම්ම ලොකුයි” යනුවෙනි. මෙයින් කියවුණේ නිල රථයකට හිමිකම තිබුණේ රාජ්‍ය නායකයාට පමණක් බවය. 
බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනයට ලක්වීමෙන් පසු එම තනතුරට පත්වූවේ ගාල්ලේ දහනායක මහතාය. ඔහු ධනවතෙකු වූවේ නැත. එනිසා ඔහුට වාහනයක් අයිතිව තිබුණේ නැත. වසර විස්සක් පමණ මන්ත්‍රීකම් කළ හතර අවුරුද්දක් ඇමැතිකමත් තවත් ටික කලක් අගමැති ධුරයද දැරූ දේශපාලනඥයකු වූ දහනායක මහතාට 1960 මාර්තු 19 වැනිදා පරාජයෙන් පසු අරලියගහ මැදුරේ සිට ගාල්ලට යාමට මෝටර් රථයක් තිබුණේ නැත. කුඩා සූට් කේස්  දෙකක තමා සතු සකල මනාවම අසුරා ගත් හිටපු අගමැතිවරයා එම බෑග් දෙක දෙපාමුල තබාගෙන අරලිය ගහ මැදුරේ ආලින්දයේ පුටුවක වාඩිවී සිටිනු අග්‍රමාත්‍ය ලේකම් බ්‍රැඩ්මන් වීරකෝන් මහතා දුටුවේය. සර්ට මොනවද? මගෙන් කෙරෙන්න ඕනෑ. බ්‍රැඩ්මන් වීරකෝන් මහතා විමසුවේය. මට ගෙදර යන්ට කාරෙකක් ලැබුණොත් ඇති. දහනායක මහතා කීවේය. එම ඉල්ලීම ඉටුවිය. ඒ එදා දේශපාලනඥයෝය. ඉන්පසුව තවත් අවුරුදු විසිපහක් පමණ පාර්ලිමේන්තුව නියෝජනය කළ ඔහුට මෝටර් රථයක් හිමිව තිබුණේ නැත. ඔහු ගමන් කළේ පාර්ලිමේන්තුවෙන් ලැබුණු අනුග්‍රහ වාර ප්‍රවේශ පත්‍රයට අනුව දුම්රියෙනි. එකල එක් මන්ත්‍රීවරයකුට වාර ප්‍රවේශපත්‍ර තුනක හිමිකම තිබුණි. මන්ත්‍රීතුමාටත් ලේකම්වරු දෙදෙනකුටත් ගමන් පහසුව සැලසුණි. අදනම් මේ තිදෙනාටම වාහන හය හතක් හිමිව ඇතැයි  මම අනුමාන කරමි. ඒවාට ඉන්ධන ලීටර් සිය ගණනක් රජයෙනි. 


පනස් හයේ පෙරළියේදී නිකවැරටිය ආසනය දිනා පාර්ලිමේන්තුවට පත්ව ආවේ තරුණයකු වූ මුදියන්සේ තෙන්නකෝන් මහතාය. ඔහු නිවසේ සිට ආසන්නතම මහපාරට පැමිණෙන්නේ හිමිදිරි පාන්දර මද අඳුරේය. තවමත් කරුවල නිමාවී නැති බැවින් ලන්තෑරුමක් රැගෙන එහි ආලෝකයෙන් පයින්ම ඔහු පාරට පැමිණෙයි. හන්දියේ කඩේ තැනක නිවන ලද ලන්තෑරුම එල්ලා  තබන මන්ත්‍රීතුමා බසයට ගොඩවන්නේ පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වීම සඳහාය. මන්ත්‍රීවරයා හඳුනන කෙනෙක් නැගිට ආසනය පිරිනැමුවත් ඔහු එය පිළිගත්තේ නැත. ඔහුගේ සුපුරුදු ආසනය බසයේ ඉන්ජිම ළඟම ඇති බැටරි පෙට්ටියයි. එය ඔහුට දිය යුතුය. ඒ මත වාඩිවෙන ඔහු බර කතාවක්ද පටන් ගනී. එය ලොකු දේශපාලන සාකච්ඡාවකි. වරක් ඔහු මුදල් ඇමැතිධුරයටද පත්වු බව මට මතකය. එසමයේත් ඔහු අමාත්‍යාංශයට යන්නට ඇත්තේ බස්රියේ බැටරි පෙට්ටිය මත හිඳගෙන යැයි මට සිතේ. 


හැටේ දසකය වනතුරු ඇමැති මන්ත්‍රී රථ ගායක් පැවතුණේ නැත. එහෙත් යම් පදනමක සහනයක් සලසන ලෙස ඉල්ලීමක් පැවතුනි. ඒ බව සැලකිල්ලට ගත් සිරිමා බණ්ඩාරනායක අගමැතිනිය බෙන්ස් වර්ගයේ මෝටර් රථ කීපයක් ගෙන්වා ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ට ලබා දුන්නාය. එම වාහන කීපය දොළොස් දෙනෙකුගෙන් සමන්විත ඇමැති මණ්ඩලයට ප්‍රමාණවත් වූවේ නැත. එනිසා ඒ අඩු රථ සංඛ්‍යාව රජයේ ගබඩාවෙන් ලබාගෙන තනතුරෙන් ඉවත්ව යද්දී ආපසු භාරදීමට හැකිවන ක්‍රමයක් අගමැතිනිය සකස් කළාය. එකල රජයේ කම්කරු හා ජනසතු සේවා ඇමතිධුරය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය දැරුවේ මිනුවන්ගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රී වූ මයිකල් සිරිවර්ධන මහතාය. ඔහු භාවිතා කළේ එසේ රජයේ ගබඩාවෙන් ලබාගත් කුඩා මෝටර් රථයකි. එහි වර්ගය මට දැන් අමතකය. එයට හේතුව වාහන ගැන මගේ දැනීම ඉතා අල්ප වීමය. එවකට විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ ඇමැතිවරුන්ට අලුත් බෙන්ස් රථ ගෙන්වාදීම වැරදි ක්‍රියාවක් ලෙස විග්‍රහ කර 1965 මැතිවරණ සමයේ මෙය දැඩි විවේචනයට ලක් කෙරිණි. තම පක්ෂය බලයට පැමිණියහොත් මෙම සුඛෝපභෝගී රථ භාවිත නොකරන බවත් ඒවා ජාතික ලොතරැයි මණ්ඩලයට භාරදී එ්වා ලොතරැයි ජයග්‍රාහකයන්ට තෑගි වශයෙන් බෙදා දෙන බවත් එජාප නායකයෝ පොරොන්දුවක්ද දුන්හ. එය එසේම සිදුවිය. 


ප්‍රථමයෙන්ම ලොතරැයියක් සඳහා ප්‍රථම ත්‍යාගය වශයෙන් ඉදිරිපත් කරනු ලැබුවේ හිටපු වෙළඳ ඇමැති ටී. බී. ඉලංගරත්න මහතා පාවිච්චි කළ මෝටර් රථයයි. මෙය ප්‍රකාශයට පත්වීමත් සමග රටපුරා ශ්‍රීලනිප ආධාරකරුවන් ශත පනහක් මිල ගෙවා ලොතරැයි පත් ගෙන ඉලංගරත්න මහතාට තැපැල් කළහ. ඒ එම රථය ඒ මහතාටම හිමිකරදීම සඳහාය. එහෙත් එම ත්‍යාගය දිනා ගත්තේ ඔහු නොවේ. එකී ජයග්‍රහකයා වූවේද ශ්‍රීලනිප පාක්ෂිකයෙකි. ඔහු ඉලංගරත්න මහතා අතින් ත්‍යාගය භාර ගැනීමට අපේක්ෂා කළේය. ඒ එතුමාට ගෞරවයක් වශයෙනි. ලොතරැයි මණ්ඩලයේ සභාපතිව සිටි සිංහ වීරසේකර මහතා අතින් රථයේ යතුර භාරගත් එම ජයග්‍රාහකයා නැවත ඉලංගරත්න මහතා අතින්ද යතුර භාර ගත්තේය. එම ඡායාරූප දෙකම එකල පුවත්පත්වල පළ විය. 


පෙරකී හැටපහේ ආණ්ඩුවේ පරිණත හා ජනප්‍රිය ඇමතිවරයකු ලෙස කෘෂි කර්මාන්ත  කටයුතු භාරව සිටි ඇම්. ඩී. බණ්ඩා මහතා හඳුන්වා දිය හැක. එතුමාට රජයෙන් දී තිබුණු නිල වාහනය රජයේ නොවන කිසිදු කාර්යයකට යෙදවීමට ඒ මහතා ඉඩ නොතැබීය. මෑත යුගයේ නම් ඇමැති නිල වාහන එම මැතිනියටත් බේබිලාටත් පුද්ගලික ගමන් බිමන් සඳහා යොදාගත් ආකාරය අත්දැකීමෙන්ම අපි දනිමු. එහෙත් කීර්තිමත් ඇමැතිවරයකු වූ ඇම්. ඩී. බණ්ඩා මහතාගේ දියණි කෙනෙකු වූ සුමංගලී ධර්මදාස මහත්මිය වරක් මා සමග ප්‍රකාශ කළේ තමා පාසලට යන අවධියේ විදුහලට ආසන්නයේම පියා නිල රථයෙන් ගමන් ගනිද්දී එම රථයෙන්ම තමාව පාසල ළඟින් බස්සවා යාම පියා විසින් ප්‍රතික්ෂේප කළ බවයි. ආණ්ඩුවෙන් දීපු වාහනේ රජකාරී වැඩවලට මිසක් ළමයි පාසල් එක්ක යාමට පාවිච්චි කිරීම වැරැද්දක්. ඇමති පියා කීවේලු. එහෙත් මෑත කාලවලදී සිදුවන දේ බණ්ඩා මහතා වැන්නන් දුටුවොත් කුමක් සිතාවිද යන්න මටනම් සිතාගැනීමටත් නොහැක. 


මැති ඇමැති රථවාහන ගැන සඳහන් කිරීමේදී රථයක අඩුපාඩුවක් නිසා ආණ්ඩුවක් පෙරළී ගිය ප්‍රවෘත්තියක්ද අපේ මතකයේ පවතී. 1964 අවසාන භාගයේදී එවකට සිටි අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව මැති සභා සැසිවාරය අවසන් කරනු ලැබුවේ පුවත්පත් මණ්ඩල පනත සහ පුවත්පත් සමාගම් පවරා ගැනීම සඳහා එය නීති තර්කයකට ලක්ව හිරවී අර්බුදයකට ලක්ව තිබුණු වාතාවරණය හමුවේ එම ගැටලුවෙන් මිදීම සඳහා උපාය මාර්ගයක් වශයෙනි. එහෙත් විපක්ෂය විසින් සූක්ෂමව අටවන ලද උගුලක්ද ක්‍රියාත්මක වෙමින් තිබුණු බව රජයේ කිසිවෙකුත් දැන සිටියේ නැත. එකල පැවති පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව සැසිවාරයක් අවසන් කළ පසු අග්‍රාණ්ඩුකාරවරයා ගෙන්වා රාජාසන කථාවක් පවත්වා ඒ ගැන විවාදකර ස්තූති යෝජනාවක් සම්මත කළ යුතු විය. මේ වනවිට පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව රජයට විශාල බහුතරයක් හිමිව තිබුණි. එහෙත් විපක්ෂයේ සැලසුම අනුව ඒ වනවිට යම්යම් සිත් රිදවීම්වලට සහ වෙනත් හේතු මත රජයට විරුද්ධ මතවාදවලට එල්බ සිටි මන්ත්‍රීවරුන් දාහතර දෙනකු එළියට ගැනීමට කටයුතු රහසිගතව සංවිධානය කර තිබුණි. 1964 දෙසැම්බර් තුන් වැනිදා සන්ධ්‍යා භාගයේ මෙම ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබුණි. එයට ටික වේලාවකට පෙර රජයේ දෙවැන්නා වු සභානායක සී. පී. ද සිල්වා මහතා ප්‍රමුඛ 14 දෙනකුගෙන් සමන්විත මන්ත්‍රීවරු පිරිසක් විපක්ෂයේ අසුන් ගත්හ. ඡන්ද විමසීමේදී රජය එක් වැඩි ඡන්දයකින් පරාජයට පත්විය. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු හතර දෙනෙක් සභාවේ නොසිටියහ. මුදල් ඇමැති ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා, බර්නාඩ් සොයිසා මහතා ඇතුළු මන්ත්‍රීවරු කීප දෙනෙක් විදේශගතව සිටියහ. ඒ අයද සමග ගණන් බැලුවද එක් මන්ත්‍රීවරයකුගේ වෙනසක් තිබුණි. ඔහු විපක්ෂයේ සැලසුමට අසුවී මගහැර ගොස් ඡන්දයෙන් වැළකී සිටියාද යන සැකයක් අගමැතිනියගේ සිත තුළද මතුවී තිබුණි. ටික වේලාවකට පසු පාර්ලිමේන්තු සභා ගැබට හති දමමින් දිවගෙන පැමිණි එවකට පස්සර මන්ත්‍රීව සිටි අමරානන්ද රත්නායක මහතා අගමැතිනියට සැලකර සිටියේ තමා බදුල්ලේ සිට පැමිණෙමින් සිටියදී තම මෝටර් රථයේ ටයරයක හුළං බැස සිදුවූ අකරතැබ්බය නිසා පැමිණීම ප්‍රමාද වූ බවයි. අගමැතිනිය අසලම එවේලේ සිටි කොමියුනිස්ට් නායක පීටර් කෙනමන් මහතා පැවසුවේ ඔය සහෝදරයාගේ ටයර් එකේ විතරක් නොවේ දැන් අපි ඔක්කොගෙම හුළං බැහැලා ඉවරයි කියාය. 
පෙර සමයේ මහජනයා විසින් මුදල් එකතු කර බොහෝ දෙනාගේ සහභාගිත්වයෙන් මෝටර් රථ මිලදී ගෙන තම මන්ත්‍රීවරයාගේ පරිහරණය පිණිස පරිත්‍යාග කළ අවස්ථා කීපයක් ගැනද සිහිපත් කළ හැකිය. එවැනි අය අතර ගම්පහ හිටපු මන්ත්‍රී ඇස්. ඩී. බණ්ඩාරනායක, මැද කොළඹ හිටපු මන්ත්‍රී සහ එවකට බෙලිඅත්ත මන්ත්‍රී සහ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාද වෙති. ඇස්. ඩී. බණ්ඩාරනායක මහතාට එසේ පරිත්‍යාග කළ 1 ශ්‍රී 1961 අංක දරන ලා නිල්පාට වොක්ස්වැගන් රථය  යක්කල මඩුගස්වලව්වේ ගරාජයේ තබා තිබෙනුයේ එතුමාට හිමිවූ මහජන ආදරයේ සිහිවටනයක් වශයෙනි. 


මගේ මිත්තණිය බැතිමත් උපාසිකාවක් වුවාය. හතර පෝයට සිල් සමාදන් වු ඇය නිතරම පාහේ වන්දනා ගමන්වල යෙදුණාය. එකල කුඩා වියේ පසු වු මමද ඇය සමග එවැනි ගමන්වලට සහභාගි වූවෙමි. දිනක් මාතලේ කවටයාමුණ  විහාරයේදී ඇය මා කැඳවා හතර අපාය පෙන්වූවාය. කටුඉඹුලේ නගින මිනිසුන්, ලෝදිය හැළියේ ලෝදිය පානය කරන මිනිසුන් යමපල්ලන්ගේ කියතෙන් අතපය කැපීමට ගොදුරුවූවන් ආදී නොයෙකුත් දෙනා දුකට පත්ව සිටිනු ඇය මට පෙන්වූවාය. අවසානයේ ඇය මට කියා දුන්නේ මේ හැමෝම වාගේ සාංඝික දේ කෑ අය බවයි. ඇය විශේෂයෙන් එය සඳහන් කළේ දහම් පාසල් ශිෂ්‍යයන් වූ අප පන්සලෙන් දානය කෑමට පුරුදු වෙනු ඇතැයි සිතා බව මට මේ වයසේදී සිතේ. රාජ්‍ය දේපල වංචා කිරීම අවභාවිතය කිරීමද සාංඝික දේපළ කෑමකැයි මට සිතේ. එසේ නම් මෙවැනි රථගාය කාරයන් නවතින්නේ අවීචී මහා නිරයේමද? මෙය දැන ගැනීමට මිත්තණිය අද නැත.

 

 

සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප අන්තර්ජාලයෙනි