මෙවර ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වශයෙන් තරග කිරීමට අවස්ථාව ලබා ගැනීමට එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විශාල ප්‍රයත්නයක් ඇරැඹිය. ඔහුට පක්ෂව සැලකිය යුතු පාක්ෂික පිරිසක් සිටින බව ද නොරහසකි. ඒ අයගේ ද සහයෝගය ඇතිව සජිත් ප්‍රේමදාස මහතා තම අරමුණ වෙනුවෙන් දැඩි අධිෂ්ඨානයකින් සහ ධෛර්යකින් යුතුව විශාල අරගලයක යෙදී සිටියේය. අවසානයේදී ඔහු ජය ගත්තේය.


නොවැම්බර් 16 වැනි දින ජනාධිපතිවරණය පැවැත්වෙන බව ප්‍රකාශයට පත්ව ඇත. මෙවැනි වාතාවරණයක් හමුවේ අපේ මතකයට නැගෙන්නේ සජිත්ගේ පියාණන් වූ ආර්.ප්‍රේමදාස මහතා 1988 දෙසැම්බර් මාසයේදී පැවති ජනාධිපති වරණයේදී නාමයෝජනා ලබා ගැනීමට ගෙන ගිය අරගලයයි. එම සටන ජය ගැනීමට කළ අධිෂ්ඨානශිලී මහා ‘යුද්ධයක්” සිහිපත් වීම නොවැළැක්විය හැකිය. මේ ඒ පිළිබඳව ආපසු හැරී බැලීමකි. 


1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාවට අනුව කෙනෙකුට විධායක ජනාධිපති ධුරය දැරිය හැකිවාර දෙකක් පමණකැයි නියම කර තිබුණි. මෙම ව්‍යවස්ථාව පනවන විට අගමැති ධුරය දැරූ ජේ. ආර්. ජයවර්ධන මහතා ජනාධිපතිවරයා වශයෙන් පත් වූ අතර සිව් වසරකට පසු නැවතත් ඡන්දයකට ඉදිරිපත්වීමට තම අභිමතය ප්‍රකාශ කළේ තවත් ව්‍යවස්ථා සංශෝධනයකින් නීතිමය ඉඩ සලසා ගැනීමෙනි. ඒ වනවිට නියමව තිබුණේ වසර හයක නිල කාලයකි. තමාට වාසි සහගත දේශපාලන තත්ත්වයක් ඔහු විසින් නිර්මාණය කරගෙන තිබුණු නිසා මෙසේ හදිසි ජනාධිපතිවරණයක් කැඳවූ බවට එකල විපක්ෂයෙන් චෝදනා නැගුණි. 1982 ඔක්තෝබර් 20 වැනිදා පැවති ඡන්දයෙන් ජේ. ආර්. නැවතත් බලයට පත් විය.


එම සය අවුරුදු නිල කාලය ගෙවී යමින් තිබුණි. ව්‍යවස්ථාවට අනුව තවත් ඉදිරියට ධුරය දැරීමට ජනාධිපතිවරණයට තරග කිරීමට ජේ. ආර්. ජයවර්ධන මහතාට හැකියාවක් නොවීය. ඒ නිසා නව අපේක්ෂකයෙකු නම් කිරීමට එක්සත් ජාතික පක්ෂයට සිදුව තිබුණි. පක්ෂයේ මහා සම්මේලනයක් කැඳවා මෙය සිදු කිරීමට පක්ෂ නායක ජේ.ආර්. තීරණය කළේය. නැවතත් ව්‍යවස්ථා සංශෝධන සිදු කර ජේ. ආර්. ජයවර්ධන මහතා තුන්වැනි වරටත් මෙම තනතුරට තරග කළ යුතු යැයි පක්ෂ සමුළුවට යෝජනාවක් ගෙන එන බවත් එම යෝජනාව ඉදිරිපත් කරන්නේ කුලියාපිටිය මන්ත්‍රී සහ රාජ්‍ය ඇමතිවරයෙකු වූ ලයනල් ජයතිලක මහතා බවත් ස්ථිර කරන්නේ අගලවත්ත මන්ත්‍රී මෙරිල් කාරියවසම් මහතා බවත් ප්‍රකටව තිබුණි. මාධ්‍ය මගින් ද ඒ බව නිවේදනය විය. අභාග්‍යයකට මෙන් දින කීපයක් ඇතුළත මේ දෙදෙනාම ඝාතනයට ලක්විය.


එ.ජා.ප. අපේක්ෂකත්වය ගැන මතභේද පැවතුණි. ජේ. ආර්. ජයවර්ධන මහතාගේ සමීප හිතවතුන් වූ ලලිත් ඇතුළත්මුදලි සහ ගාමිණී දිසානායක යන ඇමතිවරු දෙදෙනාම ජනාධිපතිධුරයට තරග කිරීමට අපේක්ෂා කළහ. ජේ. ආර්. රජයේ බලගතු අමාත්‍යධුර දැරූ ඔව්හු ඉතා දක්ෂ ලෙස කටයුතු කළහ. මහවැලි ව්‍යාපාරය භාරව සිටි ගාමිණි කඩිනමින් එය සාර්ථක කළේය. පෙර රජය යටතේ ක්‍රියාත්මක වූ සංවෘත ආර්ථික ක්‍රමය වෙනුවට විවෘත ආර්ථිකයක් ඇති කිරීමේ ජේ. ආර්. ගේ සංකල්පය ක්‍රියාත්මක කිරීමේ පුරෝගාමියා වූ ලලිත් ඒ තුළින් බඩු හිඟය සහ පෝලිම් ක්‍රමය අවසන් කළා පමණක් නොව මහපොල ව්‍යාපෘතිය යටතේ විශාල පිරිසකට උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම නිසා ඉතා ජනප්‍රියත්වයට පත්ව සිටියේය. ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා විශිෂ්ට ගණයේ අධිනීතිඥයෙකු වශයෙන් ප්‍රකටව සිටි ඒ මහතා ලෝකයේ ඉහළ පෙළේ සරසවි කීපයකම නීතිය පිළිබද ආචාර්යවරයෙකු ලෙසද කටයුතු කර තිබුණි. 1977 දී එ.ජා.පය බලයට පත්වන විට පක්ෂයේ දෙවැන්නා වශයෙන් කැපී පෙනෙන චරිතයක් වූ ආර්.ප්‍රේමදාස මහතා මේ වන විට අග්‍රාමාත්‍යධුරය දරමින් සිටියේය.


මෙරට දේශපාලන ධුරාවලිය අනුව සලකන්නේ නම් ඊළඟ ජනාධිපති අපේක්ෂකයා වීමේ සෑම සුදුසුකමක් ද ඔහු විසින් සපුරා ඇති බව පෙනුණි. ජේ. ආර්. ඉතා උපේක්ෂාවෙන් මෙම තරගය දෙස බලා සිටියා විනා කිසිම අයෙකුට පක්ෂපාත බවක් පෙන්වුවේ නැත. ලලිත් ගාමිණී දෙදෙනාම වෙන වෙනම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හමු වෙමින් නුදුරේ දී පැවැත්වීමට නියමිත පක්ෂ මහා සම්මේලනයේ දී තමාට සහාය ලබා ගැනීම සඳහා ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කර තිබුණි. මෙය ප්‍රේමදාස මහතාට බලවත් අභියෝගයක්ව තිබුණි. ඉවත්ව යන ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මගින් මෙම ගැටුම සමථයකට පත් කර ගැනීමට පිරිසක් උත්සාහ කළ ද එය අසාර්ථක විය. තරගකරුවෝ නොයෙකුත් දේ කළහ.
මේ වනවිට සුවිශේෂී බලවතෙකු වූවේ ඒ.ජා.පයේ සභාපති සහ ලේකම් යන පදවි දෙකම එකවිට දරමින් සිටි රන්ජන් විජේරත්න මහතාය. පක්ෂයේ සභාපතිව සිටි හර්ෂ අබේවර්ධන මහතා සහ ලේකම් වූ නන්දලාල් ප්‍රනාන්දු මහතාත් ඉතා කෙටි කලක් තුළ වෙඩි තබා ඝාතනය කර තිබුණු පසුබිමක් තුළ එම තනතුරු භාරගෙන මරුමුවට පත්වීමට කිසිදු දේශපාලනඥයෙක් අකමැති වීම තේරුම් ගත හැක්කක් විය. රටේ පැවති තත්ත්වය එතරම්ම භයානක විය. නිර්භීත මෙන්ම තම විශ්වාසවන්ත මිත්‍රයකු වූ ජේ. ආර්. ජයවර්ධන මහතාට අත්‍යන්තයෙන්ම පක්ෂපාත වූ රන්ජන් විජේරත්න මහතා කිසිදු පැකිළීමකින් තොරව මෙම තනතුරු දෙකම එකවිට භාරගෙන අභීතව කටයුතු කළේය. ඒ නිසා පක්ෂයේ කව්රුත් ඔහුට ගරු කළහ. 


ඔහුගේ යෝජනාවක් පැහැර නොහැරියහ. කුමන හේතුවක් නිසා හෝ රන්ජන් විජේරත්න මහතා පක්ෂයේ පවතින උග්‍රගැටුම විසඳීම සඳහා මැදිහත් වූවේය. නොඑසේනම් පක්ෂය භේද භින්න වන බව දැක ජේ. ආර්. ඔහු යොදාගත් බව ද එකල මාධ්‍ය වාර්තා කළ බව ද අපට මතකය. රන්ජන් විජේරත්න මහතා ලලිත් හා ගාමිණී මුණ ගැසුණේය. 
පක්ෂය තුළ සමගිය රැක ගැනීමට මෙන්ම ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට ද අවශ්‍ය නිසා යම් කිසි පියවරක් ගන්නා ලෙස ඔහු මේ දෙදෙනාගෙන්ම ඉල්ලා සිටියේය. රන්ජන්ගේ වැඩි බර යොමුව තිබුණේ ආර්. ප්‍රේමදාස කෙරෙහිය. දීර්ඝ කාලයක් දේශපාලන පොරපිටියේ රැඳී සිටිමින් කොළඹ නාගරික මන්ත්‍රීවරයකුගේ සිට රටේ අගමැති පදවිය දක්වා පැමිණි ආරෝහණ ගමන මෙරට දේශපාලන ගමන් මගේ සුවිශේෂී සිද්ධියක් විය. සේනානායක බණ්ඩාරනායක ජයවර්ධන වැනි සමාජයේ ඉහළ තලයට හිමිව තිබූ අගමැතිධුරයට ප්‍රේමදාස මහතා සේන්දු වූ ආකාරය තතුදත් අයවළුන් විස්තර කළේ මහා විප්ලවයක් වශයෙනි. 


මහාසාර ධනවත් පවුලකට අයනොවු ඔහු පැමිණියේ කොළඹ නාගරිකයේ කෙසෙල්වත්ත වැනි පෙදෙසක ප්‍රභූ නොවූ සමාජ තලයකිනි. කරුණු මෙසේ සිදුවෙමින් තිබියදී දිනක් රන්ජන් විජේරත්න මහතා ස්ටැන්මෝර් චන්ද්‍රවකයේ පිහිටි ලලිත්ගේ නිල නිවසට පැමිණියේය. ආගිය තොරතුරු විමසීමෙන් පසු රන්ජන් ඇමතිවරයා මාතෘකාවට බැස්සේය. ඔහු ප්‍රේමදාස මහතා ජ්‍යෙෂ්ඨත්වය ගැන බොහෝ කරුණු කීවේය. එයින් මෙල්ලවූ ලලිත් කීවේ “තරගයේ සිටින්නේ මා සහ ප්‍රේමදාස මහතා පමණක් නම් ජෙයෂ්ඨත්වයට ඉඩදී මා ඉවත්වන්නම්. හැබැයි තිදෙනෙකු තරඟයේ සිටිනවානම් මමත් අවසානය දක්වා තරගයේ සිටිනවා” යනුවෙනි. එවිට රන්ජන් කීවේ “මම ගාමිණී දිසානායක මහතාත් හමුවුණා. අවසානයේදී ඔහු කීවේත් ඔය ටිකමයි. එහෙනම් ප්‍රශ්නය ඉවරයි” යනුවෙනි. නියමිත දින එජාප මහා සම්මේලනය ආරම්භ වූ අතර පක්ෂ නායක ජේ. ආර්. එම පක්ෂයේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ආර්. ප්‍රේමදාසගේ නම යෝජනා කළ අතර ලලිත් සහ ගාමිණී එය ස්ථිර කළහ. මහා අර්බුදයක් ඒ අයුරින් නිමාවට පත්විය.

 

 


ජනාධිපතිවරණයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ එවකට පැවති දේශපාලන තත්ත්වය ගැනද අවබෝධයක් ලබා සිටීම අතිශයින්ම වැදගත්ය. ජනාධිපතිවරයෙකු සිටියත් කැබිනට් ඇමතිවරුන් සිටියත් රටේ එක බිම් අඟලක්වත් රාජ්‍ය අණසක ක්‍රියාත්මක නොවීය. රටම ගිනි කන්දක අභ්‍යන්තරයේ පවතින අග්නි භූදරයක ස්වභාවය ගත්තේය. 1983 කළු ජූලියෙන් පසු ජනවාර්ගික අරගලය නිසා නිර්මාණය වූ ජාතිවාදී යුද්ධය උග්‍ර තත්ත්වයට පැමිණ තිබුණි. එයට විසඳුමක් ලෙස කරළියට පැමිණි ඉන්දු - ලංකා ගිවිසුමටත් එමගින් දායාද වූ පළාත් සභා ක්‍රියාවලියට සහ ඉන්දියානු සාම සාධක හමුදාවේ මෙරට පැමිණීම ද දකුණේ ජනතාවගේ මහත් විරෝධයට හේතුවිය. එම විරෝධතා ව්‍යාපාරයට නායකත්වය දුන්නේ ජනතා විමුක්ති පෙරමුණ බව සඳහන් කළ යුතුය. ආරම්භයේදීම එ.ජා.පය නියෝජනය කළ තංගල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී ජිනදාස වීරසිංහ මහතා නොහඳුනන තුවක්කුකරුවන් විසින් මරා දමනු ලැබීය. මේ අවධිය වන විට රජය මගින් ජ.වි.පෙ. තහනම් කරනු ලැබ ප්‍රසිද්ධ දේශපාලනයෙන් පලවා හැර තිබුණු අතර ඔවුන් දේශපාලනය කරමින් සිටියේ “මර්දනයට එරෙහිව යටිබිම් ගතවය” ඒ නිසා කැලේ නීතිය රජ කරවීම ඔවුන්ගේ විකල්පය වූවේය. ඒ අනුව හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්ක දෙකේ මිනී මැරුම්, දේපල විනාශ කිරීම් බහුල වී තිබුණි. මෙම පසුබිම හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්ක දෙකට සීමා නොවී සමස්ත ලංකාව පුරාම ඇති වීමට ගතවූවේ කෙටි කාලයකි. ජනතා විමුක්ති පෙරමුණෙම අංශයක් දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය නම් සංවිධානයකින් නිකුත් කරන නිවේදනයකින් නොහොත් ඒ බව දැක්වෙන තුණ්ඩුවකින් කඩසාප්පු වසා දමා ගමනා ගමනය අත්හිටුවා රාජ්‍ය සේවාව මුළුමනින්ම අක්‍රීය කර දැමීමට ඔවුනට හැකිවිය. ජනතාවගේ එදිනෙදා ජන ජීවිතය දිවයින පුරාම බිඳ වැටුනි. රටේම පාහේ ක්‍රියාත්මක වූවේ ආරක්ෂක අංශ පමණකැයි කීවොත් නිවැරදි විය.


උතුරු - නැගෙනහිර පළාත්වල ත්‍රස්ත කල්ලි ගණනාවක් ක්‍රියාත්මක වෙමින් තිබුණි. වෙනම ඊළාම් රාජ්‍ය වෙනුවෙන් පොදු අරමුණක් උදෙසා සටන් වැද සිටිය ද සාමාජිකයෝ එකි නෙකා දුටු තැන මරාගත්හ. අරමුණ පොදු වුවද ඒ එක් එක් කල්ලියට අනන්‍ය වූ න්‍යාය පත්‍ර හා දේශපාලන දර්ශන ද තිබුණි. මේ සියල්ලටම එරෙහිව සටන් වැදුණු නමුදු ඉන්දියානු සාම සාධක හමුදාවේ ක්‍රියා කලාපය වඩාත්ම එල්ලවුවේ එම ප්‍රදේශවල උතුරු මැද පළාතේ ඈත එපිට ගම්බිම්වල ජීවත් වූ සිංහල වැසියන් හා භික්‍ෂුන් වහන්සේලා මරා දමමින් ස්ත්‍රීන් දූෂණය කරමින් ඉන්දියානුවන් බලවත් අපරාධ සිදු කළ බවටද රාවයයි. එමෙන්ම ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් බැරැක්කවලට යවා උතුරු නැගෙනහිර මෙහෙයුම් කටයුතු ඉන්දියානු හමුදාවට භාරදීමක් සිදු වූ බැවින් එය ලාංකේය ජාතික අභිමානයට වැදුණු මරු පහරක් ලෙස සැලකුවෝ බහුල වූහ. ඔවුන්ගේ වීරාභිවාදනය මුසු සහාය ජ.වි.පෙට හිමිවීම වැළැක්විය නොහැකිවිය. එමෙන්ම උතුරත් දකුණත් වශයෙන් මුළු රටම දෙකොන දැල්වුණු විලක්කුවට සමාන විය. දෙකොනේම රුධිර ගංගා ගලාගියේය. පෙර කී ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වූවේ මේ අතරවාරයේය. ප්‍රජාතන්ත්‍රවාදීව සර්ව ජන ඡන්ද බලය ක්‍රියාත්මක කර රටේ නායකයා තෝරාගත හැකි වාතාවරණයක් රටේ කිසිදු ප්‍රදේශයක නොවීය. සමස්ත ලංකාවම මරණයේ පාරාදිසයක් විය. එය මිනී කන්නන්ගේ දේශයක් බව විදේශීය පුවත්පත්වල පළවී තිබුණු ආකාරය එකල විදේශයක ජීවත් වූ මම සියැසින් දුටුවෙමි. තත්ත්වය එපමණටම බරපතළ විය. රටේ පවතින කැරලිකාරී ස්වභාවය පාලනය කිරීම සඳහා ආරක්ෂක හමුදා මුහුණට මුහුණ සටන් වැද සිටි අතර සමහර පුද්ගලයන්ගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වූ පෞද්ගලික හමුදාද මිනීමැරීම් සිදු කරනු ලැබීය.


මේ වන විට විරුද්ධ පක්ෂයේ කාර්යභාරය සහ හැසිරීම ගැනද සැලකිල්ල යොමු විය යුතුය. එතෙක් රජයේ දැඩි ප්‍රතිපත්තියට එරෙහිව ජනතාවට දැනෙන අන්දමේ විරෝධයක් එල්ල කිරීමට සමත්ව සිටියේ ජ.වි.පෙ පමණකි. අසුවේ වැඩ වර්ජනයේදී හැට දහසකට ආසන්න පිරිසක් රැකියාවලින් ඉවත් කර තමන්ගේ හිතවතුන් පත්කර ගැනීමේ සිට පළාත් සභා පිහිටුවීම, ඉන්දියානු හමුදා ගෙන්වීමෙන් කළු ජූලියක් නිර්මාණය විය. එමගින් දරුණු යුද්ධයක් ඇතිවීම ඇතුළු තවත් බොහෝ ක්‍රියාවන්ට ප්‍රතිචාර දැක්විමට සමත් ජ.වි.පෙ පමණක් යැයි විශ්වාස කරන්නෝ මෙකල බහුල වූහ.


බලහත්කාරයට සහ මර්දනයට ප්‍රතිචාර දැක්විය යුත්තේ ආයුද සන්නද්ධවීමෙන් කෙරෙන භීෂණය තෙක් බව ඔව්හු විශ්වාස කළා. මෙකල එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරකම් පවා රජයට රිදවීමක් ලෙස සලකා ඔවුන් වෙත අනුකම්පාව දැක්වීමට පවා සමහරු පෙලඹී සිටියහ. මේ අනුව විපක්ෂයේ ප්‍රධාන බලවේගය ලෙස පෙනුණේ ජ.වි.පෙ. යයි.

 

 


මතු සම්බන්ධයි.


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප අන්තර්ජාලයෙනි