පසුගිය වසරේ නොවැම්බර් 16 වැනිද‌ා පැවැත් වූ ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශාල ජනවරමකින් බලයට පත්විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් එතෙක් පැවති යහපාලන රජය බිඳ වැටුණි. නව පාලනයක් ජනතාවට ලැබුණි. පැවති රජය, අගමැති සහ ඇමති මණ්ඩලය ඉවත්ව ගියේය. ඒ නිසා මැති සබය තුළ බහුතර බලය තිබෙන්නේ පැවති රජයටය. රටේ බහුතර ජනතාවගේ මතයට ඉඩ දී ඔවුන්ගේ අවශ්‍යතාව අනුව ජනාධිපතිවරණයේ දී රටට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට අවශ්‍ය පරිදි නිසි සංයුතියකින් යුතු පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමට ව්‍යවස්ථාමය අවහිරවලට මුල්තැන දෙමින් ජනතා පරමාධිපත්‍යයට පිටුපාමින් සමහරුන් කටයුතු කරන්නේ යම් කිසි යටිකූට්ටු අරමුණකින් බව ඉතා පැහැදිලි කරුණකි.


තවත් සතියකට දෙකකට වඩා ආයු වින්දනයකට කල් නැති මිය යමින් පවතින ව්‍යවස්ථාදායකය කටින් හුළං පිඹ පවත්වාගෙන යන ආකාරයෙන්ම මෙම තත්ත්වය වටහා ගත හැකිය. නුදුරු අනාගතයේම මහ මැතිවරණයක් එළඹීමට නියමිතය. එහිදී ජනතා කැමැත්තට අනුව රජයක් පත්වනු ඇත. එය ජයගන්නා බවට පාර්ශ්ව කීපයක්ම අදහස් දක්වනු පෙනේ. ‘ලෙහන්නට තිබෙන මල්ල ඔබා බැලිය යුතු නොවේ.’ ඒ නිසා ඉතා කෙටි කලකින් ප්‍රජා තන්ත්‍රවාදී දේශපාලන සංකල්පයට අනුව තමා සතු පරමාධිපත්‍යය උපයෝගී කොටගෙන ජනතාව විසින් නව ව්‍යවස්ථාදායකයක් පිහිටුවා ගනු ඇත.


මෙවැනි පසුබිමක් හමුවේ කොළඹ අගනගරය කේන්ද්‍ර කරගනිමින් උද්ඝෝෂණ රැල්ලක් නිර්මාණය වෙමින් පවතින බව මාධ්‍ය මගින් වාර්තාවෙමින් තිබේ. එවැනි උද්ඝෝෂණ ඇතිවීම මෙරටට අලු‍ත් අත්දැකීමක් නොවේ. නිදහස ලබා වසර හැත්තෑ දෙකකි. එයට පෙර යටත් විජිත යුගයේදීත් මෙවැනි දේ කොතෙකුත් සිදු වූ බව අපි දනිමු. මෙරට කාරණා කටයුතු මාතෘකා කර ගනිමින් පමණක් නොව ‘‘වියට්නාමයට අත නොතබව් ’’ ‘‘කියුබාවට අත නොතබව් ’’. ‘‘චෙකොස්ලෝවේකියාවෙන් රුසියන් ඉවත්කර ගනිව් ’’. ආදී වශයෙන් ජාත්‍යන්තර ප්‍රශ්න මුල්කර ගනිමින් ද විරෝධතා රැස්වීම්, පෙළපාළි සහ උද්ඝෝෂණ පැවැත්වෙනු අපි දැක ඇත්තෙමු. එය විස්තර වූවේ ජාත්‍යන්තර සහයෝගය ප්‍රකාශ කිරීමක් වශයෙනි. වරක් කොළඹ නගරය පුරා පෝස්ටර් අලවා තිබුණේ ‘‘ මහා වැඩ වර්ජනයකට දිනයක් නියම කරව් ’’යනුවෙනි. ඒ වෙනුවෙන් කම්කරු පන්තියට සහ වෘත්තීය සමිති ව්‍යාපාරයට බලකෙරෙමින් එක්තරා කොටසක් පෙළපාළියක් ද පැවැත්වූහ. එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා මේ ගැන ප්‍රකාශ කළේ ‘‘අනේ සහෝදර මහත්වරුනි, මට කොපමණ ඉල්ලීම් කළත් ඒක නම් මට කොරන්ට පුළුවන්කමක් නැහැ. මොකද මම නියම කරන දිනයට මේ රතු කමිසකාරයො ඒක කොරන්නෙ නැහැ’’ යනුවෙනි. එය උපහාසය මුසු කථාවක් වූවා විය හැකිය. එහෙත් ප්‍රායෝගික තත්ත්වය ද එයම වේ. මේ දිනවල පවතින උද්ඝෝෂණ රැල්ලට රජය ප්‍රතිචාර දැක්වූවේ ඉතා සංවේදී ආකාරයෙනි. බොහෝ විට ඒ මොහොතේම සාකච්ඡා ලැබුණි. විටෙක ජනාධිපතිවරයාම උද්ඝෝෂකයන් වෙතටම පැමිණියේය. කඳුළු ගෑස්, ජල ප්‍රහාර තවමත් එල්ලවූවේ නැත.


මෙම උද්ඝෝෂණ නිසා බස් රියේ සහ දුම්රියේ යන මගියෙකු වශයෙන් මා දරන පෞද්ගලික මතයක් ද ඇත. සේවය නිම වී ඕනෑම කෙනෙක්, තම සේවා ස්ථානයෙන් පිටවෙනුයේ හැකි ඉක්මනින් නිවසට යා ගැනීමටය. පන්ති සහෝදරත්වය, මානවදයාව හෝ අනුන්ගේ දුකේ දී සංවේදී වීම යනාදී යහපත් ගුණධර්ම කොතරම් සිත තුළ දරා සිටියත් විරෝධතා ව්‍යාපාර නිසා බස් රිය මාර්ග තදබදයට ලක්ව එක තැන පැය ගණන් ළතවෙද්දී සිතට නැගෙන්නේ දැඩි කෝපයකි. එමෙන්ම බොහෝ දෙනෙකුගේ මෑණියන් වහන්සේලා සිහිපත් කිරීම ද නොවැළැක්විය හැකිය. එයට ප්‍රතිකාර්මයක් වශයෙන් විරෝධතා පැවැත්වීමට ගාලු‍ මුවදොර නිශ්චිත ස්ථානයක් වෙන් කර දීම ඉතා වැදගත්ය. මෙම අත්දැකීම මා පමණක් නොව දස දහස් ගණනකගේ අත්දැකීමක් වූවා නිසැකය. අයිතිවාසිකම් ලබා දෙනවා තබා සාකච්ඡාවක්වත් නොදී මර්දනයට ලක් කරන අයගෙන් කිසිවෙකුත් යමක් ඉල්ලා සිටීමට පෙළඹෙන්නේ නැත.


මේ හා සමානම පසුබිමක් සැකසුණු අතීත අත්දැකීමක් කරා මගේ සිතුවිලි ඇදී යයි. ඒවාට මා මුහුණදුන් බවක් මතකයේ නැතත් ඇසූ දුටුවන්ගේ මතක සටහන් සහ අත්දැකීම් මම කෙතෙකුත් කියවා ඇත්තෙමි. මෙයට ප්‍රස්තුතය සපයන්නේ 1956 සමාජ විප්ලවය හෙවත් පෙරළිය අවස්ථාවේ දී ඇතිවුණ තත්ත්වයයි. යටත් විජිත සමයේ බ්‍රිතාන්‍ය පාලකයෝ කිසි විටෙකත් මෙරට ජනතාවගේ දුක සැප සොයා නොබැලූහ. ඔවුනට අවශ්‍ය වූවේ මෙරට ධනය හැකි උපරිමයෙන් සූරා ගනිමින් තම මව් රටට ගෙන යාමටය. ශ්‍රී ලංකාවාසී ජනතාවගේ ආහාර පාන රැකියා සුරක්ෂිතතාව, වැඩි වැටුප්, සමාජ සුබ සාධනය වැනි දේ ගැන ඔවුහු මොහොතකටවත් කාලය මිඩංගු නොකළහ. පැන්සයකවත් මුදලක් එවැනි දෙය කෙරෙහි නොයෙදවීමට ඔවුහු වග බලා ගත්හ. ඔවුනට අවශ්‍ය වූවේ හැකි තරම් වැඩිපුර ධනයක් මව් රටට යැවීමය.

 

 


දෙවැනි ලෝක මහා යුද්ධය 1939 දී ආරම්භ වූවේ තව තවත් යටත් විජිත අල්ලා ගැනීම මගින් තම රටවල භාණ්ඩාගාරය පුරවා ගැනීමට බ්‍රිතාන්‍යය, ප්‍රංශය හා ඇමරිකාව අතර ඇතිව තිබූ නොනවතින තරගයට ජර්මනිය ද පිවිසීම නිසාය. හය වසරකට ආසන්න කාලයක් එකිනෙකා මරා ගනිමින් කෝටි සිය දහස් ගණන් ධනය හා සම්පත් විනාශ කර ගත්හ. නාවික ගමන් මාර්ග යුද්ධය නිසා අවහිරවීම නිසා ආහාර පාන හිඟයෙන් සමස්ත ලෝකයම පීඩාවට පත්විය. මියගිය අයගේ සංඛ්‍යාව මෙතෙකැයි කිව නොහැක. යුද්ධය අවසානවීමට ඔන්න මෙන්න කියා තිබිය දී ජර්මනිය පරාජය පිළිගෙන යටත්ව තිබියදීත් ජපානය තවදුරටත් යුද්ධය මතම එල්බගෙන සිටීම නිසා ජපානයේ හිරෝෂිමා නාගසාකි යන නගර දෙකට ඇමරිකාව විසින් පරමාණු බෝම්බ දෙකක් හෙළනු ලැබීම නිසා එම නගර දෙකේ වැසියෝ ලක්ෂ ගණනක් මැසි මදුරුවන් සේ මරණයට පත් වූහ. පරාජිත හා ජයග්‍රාහක යන පිල් දෙකටම උරුම වූවේ විනාශයම පමණි. මෙම තත්ත්වය මත ඇති වූ ආර්ථික අහේනිය ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනයට දරාගත නොහැකි මට්ටමට පත්විය. එය කොතෙක් උග්‍ර වූවේ ද යත් බ්‍රිතාන්‍යයේ පාලකයෝ දුප්පත් ශ්‍රී ලංකාවටත් ණය වූහ. පවුම් කෝටි ගණනක ධනයක් ලංකාවේ සංචිතයෙන් ඔවුහු ණයට ගත්හ. එළඹ ඇති තත්ත්වයට මුහුණදීම සඳහා සුළු වශයෙන් වුවත් ලංකාවේ පැවති කර්මාන්ත ආයතනවලට අමුද්‍රව්‍ය ගෙන්වීම සීමා කිරීම, බොහෝ දෙනා රැකියාවලින් නෙරපීම, ඉතිරි වන සේවකයන්ගේ වැටුප් අඩු කිරීම ආදී කටුක පියවරයන් රැසක් ගැනීමට පාලකයෝ කටයුතු කළහ. යුද්ධය නිසාත් එකල පැවති ආර්ථික අර්බුදය නිසාත් ආහාර මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබුණි. නගර වැසියන්ට දෛනික ජීවිතය ගෙන යාම අතිශය දුෂ්කර විය. නගරයේ නිවාස කුලිය ද අහස උසට නැග තිබුණු නිසා කොළඹ පදිංචි කම්කරු ජනතාව මුහුණ දුන්නේ බලවත් අසීරුවකටය. ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නාක් වැනි විපත්තිදායක කාලයකට ඔවුහු මුහුණ දුන්හ. කරන ලද ඉල්ලීම් කිසිවකට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු නිසා කොළඹ කම්කරුවෝ සාමූහිකව එක් වී 1946 දී මහා වැඩ වර්ජනයක් ආරම්භ කළහ. මෙම යුගය වන විට රජයේ ලිපිකරු ශ්‍රේණිය සැලකුණේ ඉහළ මට්ටමේ සේවක පිරිසක් වශයෙනි. (පරිපාලන සේවයේ මෙන්) ඉතිහාසයේ කිසිම විටෙක ලිපිකරුවන් වැඩ වර්ජනයකට එක්ව තිබුණේ නැත. එහෙත් 1947 දී සිදු කරන ලද ලිපිකරු වැඩවර්ජනයේ දී සමස්ත ලංකා ලිපිකරු සංගමයේ නායකත්වය දැරුවේ මහනුවර සිට පැමිණ සේවයේ යෙදුණු ටී. බී. ඉලංගරත්න නම් මහතෙකි. ජීවත්වීමේ අපහසුව කෙබඳු වුවත් බ්‍රිතාන්‍ය පාලනය මෙම උද්ඝෝෂණවලට පිළිතුරු දුන්නේ සිය දහස් ගණන් වූ සේවක පිරිස් සේවයෙන් ඉවත් කර දැමීමෙනි. එවකට බලවත්ව සිටි ලංකා සම සමාජ පක්ෂය ද මෙයට මැදිහත් වූ නිසා එම සිදුවීමට ප්‍රතිචාර දැක්වීමට මහා රැලියක් සහ පෙළපාළියක් පැවැත්වීමට ඔවුහු තීරණය කළහ. 1947 ජූනි 05 වැනිදා ගාලු‍මුවදොර පිටියේ සිට කොළොන්නාවේ රාළහාමිගේ වත්තේ රැස්වීම් භූමිය කරා ගමන් කරමින් සිටි පෙළපාළිය දෙමටගොඩට පැමිණි විට පොලිස් බැටන් ප්‍රහාරයක් ආරම්භ විය. එයට ලක් වූ බොහෝ දෙනා තුවාල ලැබූහ. අවසානයේ වෙඩි තැබීම් ද සිදුවිය. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකු ලෙස සේවය කළ වී. කන්දසාමි නම් තරුණයෙක් මෙම පොලිස් වෙඩි ප්‍රහාරය නිසා මරණයට පත් විය. 29 දෙනෙක් බරපතළ තුවාල ලැබූහ. ලක්ෂ දෙකකට අධිකව සේවයෙන් ඉවත් කර සිටි සේවක පිරිසට නැවත රැකියාවක් ලබාදෙන ලෙසත්, වැටුප රුපියල් 2.50 කින් වැඩි කරන ලෙසත් ඉල්ලා සිදු කරන ලද සටනට අධිරාජ්‍යවාදීහු ඒ අයුරින් පිළිතුරු දුන්හ.


පනස් තුනේ වසරේ දී බඩු මිල අහස උසට ඉහළ නැගි අවස්ථාවේදී කම්කරු ජනතාවත්, දුප්පත් ගැමි ජනතාවත් ඒකරාශී වී වමේ නායකයන්ගේ සහයෝගය ඇතිව මහා හර්තාලයක් සංවිධානය කළහ. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මහා වැඩවර්ජනයක්, රටපුරා රැස්වීම්, පෙළපාළි පැවැත්වීම, කළු කොඩි ඔසවා රජයට විරෝධය දැක්වීම ආදී නොයෙකුත් ආකාරයේ විරෝධතා දැක්වීම් සිදුවිය. එහිදී ඇති වූ ගැටුම්වලින් නොයෙක් පළාත්වල පුද්ගලයෝ නව දෙනෙක් පොලිස් වෙඩි පහරින් මිය ගියහ. එම හේතුව මත පදනම්ව අගමැති ඩඩ්ලි සේනානායක මහතාත් බඩු මිල වැඩි කළ මුදල් ඇමති ජේ.ආර්. ජයවර්ධන මහතාත් ඉල්ලා අස්වූහ. ඉන්පසු අගමැති ධුරයට පත් වූවේ සර් ජෝන් කොතලාවල මහතාය. කිසිවෙකුගේ බහට කන් නොදෙන, විශේෂයෙන් වාමාංශික බලවේගවලට කිසිදු බුරුලක් නොදැක් වූ නායකයෙක් වශයෙන් ඔහු චිරප්‍රසිද්ධය. තමාගේ රජයට විරුද්ධව කෙරෙන කිසිදු විරෝධතාවක් කෙරෙහි ඔහු කිසිදු අනුකම්පාවක් දැක්වූවේ නැත. ප්‍රසිද්ධ රැස්වීම් තබමින් විරෝධය පළ කරමින් සිටි භික්ෂුන් වහන්සේලාට ඔහු ප්‍රතිචාර දැක්වූවේ ‘‘හොර ගණයින්ගේ පස්ස පැත්තෙ තාර ගා ශාසනයෙන් එළවනවා’’ යි වහසි බස් කියමිනි. මේ දිනවල දෙවැනි එලිසබෙත් මහ රැජිනිය ලංකා සංචාරයක් සඳහා ලංකාවට පැමිණීමට නියමිතව සිටියාය. සමහර අධිරාජ්‍ය විරෝධී වාමාංශික කොටස් ඇය ලංකාවට ගොඩබසින විට ඊට එරෙහිව පෙළපාළි දැක්වීමට සූදානම් වන බව කොතලාවල අගමැතිවරයාට දැන ගන්නට ලැබුණි. ඔහු කීවේ ‘‘රැජිනට විරුද්ධව පෙළපාළි යන හැම එකෙකුගේම අත පය කඩන්න මම පොලිසියට නියම කරලා තියෙනවා. ඒවාට බේත් කරන්න ඉස්පිරිතාලත් ලෑස්ති කරනවා’’ කියමිනි. උසස් හමුදා නිලධාරියෙකු ද වූ කර්නල් ජෝන් කොතලාවල කිසිම විටක සහනශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නැත. මිලිටරි විනයෙන් පෝෂණය ලද දේශපාලනඥයෙකු වූ ඔහු ප්‍රශ්න විසඳුවේ ‘කැත්තට පොල්ල’’ න්‍යායෙනි.

 

 


කොතලාවල මහතාගේ ප්‍රධාන විරුද්ධවාදියා ලෙස මේ වන විට කරළියට පැමිණ සිටියේ ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාය. බටහිර විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පෝෂණය ලබා නිදහස් හා ලිබරල්වාදී අදහස්වලින් යුතු දේශපාලන ප්‍රතිපත්තියක් අනුගමනය කළ ඔහු සාකච්ඡාවෙන්, සම්මුතියෙන් ප්‍රශ්න විසඳා ගැනීමට නිරන්තරයෙන්ම උනන්දුවක් දැක්වූවේය. 1956 මහ මැතිවරණයට ඔහු ඉදිරිපත් වූවේ කම්කරු පන්තියේ විශාල කොටසකට නායකත්වය දුන් විප්ලවකාරී සමසමාජ පක්ෂය සමග සන්ධාන ගතවය. එමෙන්ම එවකට ඉතිරි වෘත්තීය සමිති සියල්ලේම බලය රඳවාගෙන සිටි ලංකා සමසමාජ පක්ෂය හා ලංකා කොමියුනිස්ට් පක්ෂය සමග තම සන්ධානය වූ මහජන එක්සත් පෙරමුණ නිතරග ගිවිසුමක් මගින් සමගියෙන් බැඳීගෙනය. එම යුගයේ තත්ත්වය අනුව සමාජයේ පමණක් නොව දේශපාලන ක්ෂේත්‍රයේ ද නොවැදගත් සහ කොන්කරනු ලැබ සිටි සමාජ කණ්ඩායම් ලෙස හඳුනාගෙන තිබුණු සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගය මුල් කර ගනිමින් තම දේශපාලන සටන මෙහෙය වූවේය. ටී. බී. ඉලංගරත්න, ඇම්. ඇස්. තේමිස් වැනි වෘත්තීය සමිති නායකයෝ මහජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයන් අතර ප්‍රධාන තැනක් ගත් අතර ඒ දෙදෙනාම ජයග්‍රහණය කළහ. බණ්ඩාරනායක මහතා මැතිවරණය දිනා බලයට පත්වීමත් සමග කම්කරු ඇමති පදවියට පත් කරගනු ලැබුවේ ද කම්කරු සමිති නායක ටී.බී ඉලංගරත්න මහතාය. එකල කම්කරු පන්තිය මැයි දිනයට සහභාගි වූවේ වැටුප් රහිත නිවාඩු ලබා ගනිමිනි. ඉලංගරත්න මහතාගේ නිර්දේශය පරිදි බණ්ඩාරනායක අගමැතිතුමාගේ රජය මැයි දිනය රජයේ නිවාඩු දිනයක් කළේය. රාජ්‍ය නායකයා ද ඇමතිවරු ද සහභාගි වූ මැයි රැළියක් පවත්වන ලද්දේ ද 1956 වසරේ දීය. නීත්‍යානුකූලව වෘත්තීය සමිති පවත්වාගෙන යාමට පරිපාලන රෙගුලාසිවලින් තිබුණු අවහිරතා ඉවත් කළ එම රජය පෞද්ගලික අංශයේ සේවකයන්ට විශ්‍රාම යාමේ දී හිස් අතින් ගෙදර යාමට තිබුණු අවස්ථාව ගැන සිතා හාම්පුතුන්ගේ දැඩි විරෝධතාව නොසලකා සේවක අර්ථ සාධක අරමුදල පිහිටුවීමට අවශ්‍ය මූලික කටයුතු සූදානම් කරමින් තිබුණි.


කම්කරු පන්තිය වෙත මහත් කරුණාවෙන් සහ මිත්‍රශීලි භාවයෙන් අවධානය යොමු කර කටයුතු අරඹා තිබුණු වාතාවරණයක් තුළ වුවද සියලු‍ කම්කරු නායකයන් රජයේ මිත්‍ර පාර්ශ්වයන් නියෝජනය කළා වුවද වටින් ගොඩින් වැඩවර්ජන ඇති වන්නට විය. පෙර කාලයේ එවැන්නක් කිරීම අත පය කඩා ගැනීමකට හෝ මරණය උරුමකර ගැනීමට හෝ නිසැකවම රැකියා අහිමිවීමේ අවද‌ානමක් බවට පත්ව සිටි සමාජයක ඉතා සුළු කරුණු මුල් කොටගෙන වැඩ වර්ජන පැන නගින්නට විය. කම්කරු ඇමති ඉලංගරත්න මහතා පසු කලෙක වරක් මා සමග පැවසුවේ වරායේ සේවකයෙකුගේ බත් පතේ මැරුණු මැස්සෙක් තිබීම නිසා ද වැඩ වර්ජන සිදු වූ බවයි. එහි ඇත්ත නැත්ත කෙසේ වුවත් විවිධ හේතු මත බොහෝ ආයතන වෙතින් වැඩ වර්ජන මතු වන්නට විය. මේවා ගැන උනන්දුවක් දැක් වූ බණ්ඩාරනායක අගමැතිවරයා තමාම සාකච්ඡා කර නොපමාවම ප්‍රශ්න විසඳුවේය. මෙයින් ඇමති ඉලංගරත්නයන් ද හිතේ කහටක් ඇතිකර ගත්තේය. සාකච්ඡා සඳහා ඇමතිවරයා වශයෙන් තමා නොකැටුව අගමැතිවරයා පුද්ගලිකවම මැදිහත්ව ගැටලු‍ විසඳීම නිසා තමාට එම ගෞරවයෙන් කොටසක් හිමි නොවීම ඔහුගේ කනස්සල්ලට හේතු වී තිබුණි. අගමැතිවරයා මැදිහත්ව ප්‍රශ්න විසඳීම නිසා තව තවත් ආයතන තම ඉල්ලීම් ඉදිරිපත් කරමින් වැඩ වර්ජනය කිරීමට ක්‍රියා කරනු දක්නට ලැබුණි. දිනකට නොවැරදීම වැඩ වර්ජන කීපයක් ඇරඹීම සුලබ දසුනක් විය.

 

 


රජයට මිත්‍රශීලීභාවයෙන් කටයුතු කළ කොමියුනිස්ට් පක්ෂය යටතේ පැවති රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය හා ලංකා කම්කරු සමිති සම්මේලනය මහා වැඩ වර්ජනයක් කරා ජනතාව පෙළ ගස්වන ආකාරයක් ද දක්නට ලැබුණි. 1958 මහා වැඩවර්ජනය නමින් ඉතිහාසයට එක්ව ඇති මෙම සටන් ව්‍යාපාරය නිසා රට බෙහෙවින් අස්ථාවර වූ බව රහසක් නොවේ. ආහාර ද්‍රව්‍ය ගොඩබෑම සිදුකරන වරාය, බඩු සහ මගී ප්‍රවාහනය, බඩු බෙදා හරින දුම්රිය, තැපැල් සමස්ත ලිපිකරු සේවාව එමෙන්ම කොළඹ නගර සභාවේ පිරිසිදු කිරීමේ අංශ පවා සේවයෙන් ඉවත්ව සිටීම නිසා රටේ සම්පූර්ණ ක්‍රියාකාරිත්වය ඇන හිටියේය. හිතවත්කමෙන් ආරම්භ වූ වැඩ වර්ජන සටන් ව්‍යාපාරය සීමාව ඉක්මවා ගොස් තිබුණි. මෙයට යම් යම් දේශපාලන පක්ෂ විසින් සිදු කරන ලද වැරදි තක්සේරු ද හේතු වූ බව රටට රහසක් නොවීය. එක්සත් ජාතික පක්ෂය ආසන අටට බැස 1956 මැතිවරණයෙන් අන්ත පරාජයකට පත්ව තිබුණි. බලයට පත්ව ජයග්‍රාහීව සිටි මහජන එක්සත් පෙරමුණ පසුපසට තල්ලු‍ කර දැමුවහොත් ඊළඟ වාරය තමන්ට යැයි ලංකා සම සමාජ පක්ෂය වටහා ගෙන තිබුණි. එයට සාධාරණ හේතුවක් ද තිබුණි. එවකට විපක්ෂ නායක ධුරය දැරුවේ සම සමාජ නායක ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතාය. ඔවුන්ගේ අවස්ථාව ඉක්මනින් ලබා ගැනීමට කොමියුනිස්ට් පක්ෂයේ ද ආධාර ඇතිව සමසමාජය මෙම වැඩ වර්ජන රැල්ල මෙහෙය වූ බව බොහෝ අය සිතූහ.


පසු කලෙක බලයට පත් සිරිමාවෝ බණ්ඩාර නායක මැතිනියගේ ප්‍රකට ප්‍රකාශයක් වූ ‘මගේ සැමියා නොමරා මැරුවේ ඇන්.ඇම්’’ යැයි කියවුණේ මෙම පසුබිම නිසාය. වර්තමාන රජය ආරම්භයේ සිටම නොයෙක් බලවේගයන් විසින් ඇති කරන ලද උද්ඝෝෂණයන්ට මුහුණ දෙමින් සිටී. මෙය බණ්ඩාරනායක රජය සමය පටන් ගැනීමේ දී ඇති වූ වැඩ වර්ජන රැල්ලට අතිශයින්ම සමානය. එහෙත් එයින් හටගත් ගැටලු‍ නිසා ඇමති වර්ජන ද ඇතිවූ බව අපි අසා ඇත්තෙමු. ඇමති මණ්ඩලයේ බෙදීම්, ඇමතින් නෙරපා හැරීම්, ජාතිභේදවාදී කෝලාහල නිසා රට ගිනිගැනීම් රට ලේ විලක් බවට පත්වීම් සහ අගමැතිවරයා ද ඝාතනය වී රට අරාජික වීම් දක්වා මෝරා ගියේය. මහා ව්‍යසනයක් ඇති විය. සියල්ල අවසානයේ දී හුරතලයට මෙබඳු දේ කළ හැමදෙනාටම සිදුවූයේ දුක්වන්නටය. ඒ ගැන සඳහන් කළ එක් නායකයෙකු පවසා තිබුණේ ගාම්‍ය ප්‍රකාශයකි. එහෙත් එය මෙහිලා සඳහන් කරන්නේ ඉතිහාසයේ පාඩම් අප නැවත නැවතත් අවධානයට යොමු කළ යුතු නිසාය. එම නායකයා කියා තිබුණේ ‘‘විහිළුවට අධෝ වාතයක් යවන්ට ගිය අයට ඇත්තටම මල පහවුණි’’ කියාය. වර්තමාන විරෝධතා රැල්ලත් දැන හෝ නොදැන යන්නේ එම පාරේම ද? පොදු ජනයා මේ ගැන විමසිල්ලෙන් සිටිනු නිසැකය.

 

 

 

සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප අන්තර්ජාලයෙනි