1991 නොවැම්බර් මස ඉදිරිපත් කළ රණසිංහ ප්‍රේමදාස ජනපතිතුමාගේ රජයේ තුන්වැනි අයවැය ලේඛනය පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවැති විවාදය ඉතා උණුසුම් වූයේ ආණ්ඩු පක්ෂයේ මෙන්ම විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ යම් යම් කරුණු කාරණාවන් හේතු කොට ගෙනයි. විශේෂයෙන් 1991 අගෝස්තු 29 වැනිදා ඉදිරිපත් කළ දෝෂාභියෝගය නිසා සසල වී සිටි ආණ්ඩු පක්ෂයත් දීර්ඝ කාලයක් පාලනය කළ එජාප පාලනය අවසන් කළ යුතු බවට විපක්ෂය තුළ තිබූ දැඩි උනන්දුවට හා උද්යෝගයට ගැම්මක් වූ දෝෂාභියෝග යෝජනාවත් අය-වැය විවාදයට සහභාගි වූ සියලු දෙනාට අමුතු උත්තේජනයක් ගෙන දුන්නේය.
 
එසේ උණුසුම් වූ අවස්ථාවන් සමස්ත අයවැය විවාදය පුරා දිස්වූ අතර ඉන් රසවත් අවස්ථාවක් මතුකර දැක්වීමට අදහස් කළෙමි. අය වැය විවාදයේ එක් අවස්ථාවක දී මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී යසරත්න තෙන්නකෝන් මහතා පහත සඳහන් කවිය කීවේය.
 
දෙනවා කියපු දේවල් නැති සාධකය
දැන් පැහැදිලියි ඒකයි මේ බාධකය
ඇති මහ එකා කන්නේ ඉහ බාගෙනය
දෝෂාභියෝගයකි මේ අය වැය ලේඛනය
 
මෙම කවිය කිවූ සැණින්ම නැගී සිටි එවකට ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක හා පරිසර හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආචාර්ය විමල් වික්‍රමසිංහ මහතා ශබ්ද නගා කීවේ මාමේ තව එකක් කියාය. ඒ අතර තවත් මන්ත්‍රීවරයෙක් නැගී සිට කීවේ
 
‘ඔහොම ගිහිල්ලා එතුමා බයිලාත් කියයි ද දන්නෙ නෑ’ යනුවෙනි. ඒ අනුව යසරත්න තෙන්නකෝන් මහතා තවත් කවිපද 2 ක් හිටිවනම කීවේය.
 
‘හෙළා කවිය සිරිතට අනුව කියැවෙයි විරිතට’
 
එය ඇසූ ආණ්ඩු පක්ෂයේ සංවිධායක වික්‍රමසිංහ මහතා රීති ප්‍රශ්නයක් මතු කළේය. ඔහු කීවේ සභා ගර්භයේ කතා කරන විට කවි සිංදු කියන්න පුළුවන් ද? එයට නෑසුණාක් මෙන් මූලාසනය නිශ්ශබ්දතාවය රැක්කේය. ඒ නිසා යසරත්න තෙන්නකෝන් මහතා නැවතත්
 
ඒකයි මම කිව්වේ හෙලා කවි සිරිතට
අනුව කියැවෙයි විරිතට
 
යනුවෙන් පද තුනේ කවියක් කියා තම කථාව සුපුරුදු පරිදි කර ගෙන ගියේය.
 
මේ අතර රුපියල් 25,000ක් ජනසවිලාභීන්ගේ බැංකු පොතේ දැමීමේ යෝජනාව පිළිබඳව මහින්ද රාජපක්ෂ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රීතුමා මෙලෙසින් ප්‍රශ්න කළේය.
 
ඒක මොන පොතේද දාලා තියෙන්නෙ
මොන බැංකු පොතේද දාලා තියෙන්නේ
 
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ද මහජන බැංකුවේ ද එහෙම නැත්නම් හැටන් නැෂනල් බැංකුවේ ද එහෙමත් නැත්නම් අර රහස් ගිණුම්වලට ද ඕක දාලා තිබෙන්නේ.
මෙසේ ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරන අතරතුර වීරසිංහ මල්ලිමාරච්චි ඇමැතිවරයා සභා ගැබට පැමිණියේය. මහින්ද රාජපක්ෂ මහතාගේ කථාවට තරමක් කේන්ති ගොස් සිටි මල්ලිමාරච්චි මහතා ගත් කටටම කීවේ ඩී. ඒ. රාජපක්ෂ මන්ත්‍රීතුමාට අගෞරව කරන්න එපා. යනුවෙනි. එයට පිළිතුරු දුන් මහින්ද රාජපක්ෂ මහතා මෙසේ දුප්පතුන් ගැන විශේෂයෙන් පීඩිත පන්තිය ගැන කතා කිරීම ඩී. ඒ. රාජපක්ෂ මහතාට ගෞරවයක් මිස අගෞරවයක් නොවන බවයි. එවිටම සභාවේ සිටි තවත් මන්ත්‍රීවරයෙක් නැගී සිට කීවේ ඉන්නේ තරු පහේ හෝටලයේ කියලා. එයට තරමක් කේන්ති ගිය රාජපක්ෂ මහතා ඉන්නකෝ මා අයවැයෙන් අඩු කරපුවා තවත් කියන්නම් කියලා දැඩිව කීවේය. එවිට වහාම නැගී සිටි යෞවන කටයුතු හා ක්‍රීඩා ඇමැති නන්ද මැතිව් මහතා අමතකව ගිය හෝටල් කතාව නැවතත් මතක් කරමින් යන්නේ තරු පහේ හෝටල්වලට කියා හයියෙන් කීවේය. 
එයට ලස්සන පිළිතුරක් දුන් මහින්ද රාජපක්ෂ මහතා : ‘තමුන්නාන්සෙයි මමයිනේ එකට ගියේ. ඕවා ඉතින් කියන්න එපා තමුන්නාන්සෙයි මමයි අපි දෙන්නා ගිය ඒ තැන් කියන්න ගියොත් එහෙම අනෙක් අය කැමැති වන එකක් නැහැ.’ යනුවෙන් උපහාසාත්මකව හා ශෘංගාරාත්මකව කී පසු යෝජනා කර තිබූ විනෝදය සඳහා යොදා ගන්නා ඔරු බෝට්ටු හා රුවල් යාත්‍රාවල තීරුබදු අඩු කිරීමේ යෝජනාව ගැනත් විවේචනාත්මකව කරුණු කියා ගෙන ගියේය. එවිට නැවතත් නැගී සිටි සී. නන්ද මැතිව් අමාත්‍යවරයා “පදින්නේ මොකක්ද?” කියලා ඇසුවේය. එයට නොබියව පිළිතුරු දුන් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා.
 
“මේ අපි එකට ඔරු පැද්දෙ, දෝෂාභියෝග තවත් ගෙන්වා ගන්න හදනවා” කියලා නන්ද මැතිව් මහතාට අමුතුම විධියේ උත්තරයක් දුන්නේය.
 
ඉන් පසුව ත්‍රිරෝද රථ සඳහා තීරුබදු ගාස්තු වැඩි කිරීම ගැන කතා කළ අයුරු හැන්සාඞ් වාර්තාවේ පළවී තිබෙන්නේ මෙසේය.
 
‘මහින්ද රාජපක්ෂ මහතා - ධනපති කොම්පැණි කාරයින් ත්‍රිරෝද රථවල යන්නෙ නැහැ. ඒවායේ යන්නේ දුප්පත් මිනිස්සුයි. ඒ මිනිස්සුන්ට ඒක පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. ත්‍රිරෝද රථ සඳහා තීරු බදු වැඩි කළේ ඒක හින්දයි.
 
දයානන්ද වික්‍රමසිංහ මහතා : ‘තමුන්නාන්සේ යනවා ද?
සී. නන්ද මැතිව් මහතා : ‘තමුන්නාන්සේලා යන්නේ බී. එම්. ඩබ්ලිව්වල
මෙසේ ප්‍රහාරාත්මකව කරුණු ඉදිරිපත් විය.
 
ඊට පසුව මහින්ද රාජපක්ෂ මහතා සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමියගේ පාලන කාලයේදී එනම් 1975 අයවැය පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදයේ දී 1974 නොවැම්බර් 19 වැනිදා එවකට විපක්ෂයේ සිටි රණසිංහ ප්‍රේමදාස මන්ත්‍රීතුමා කියු කවි කිහිපයක් කියන්නට පටන් ගත්තේය.
 
මේ අය වැයෙන් පොදු ජනතාවගෙ තත්තේ
අබමල් රොණක නැංවීමක් කර නැත්තේ
අගපුර මෙන්ම ගම්බද වන්නිය පැත්තේ
මේ වැනි කතා බැලු බැලු හැම තැන ඇත්තේ
වැඩි කල හාල් ටික රුපියල් පහකි මිල
රුපියල් පහකි කුණු කරවල වෙළෙඳ පොළ
කෑවද ලුණු රුපියල් දෙකට කිසි කල
කීයක් දී නමුත් ගන්නට නොහැක අල
මිල වැඩි මස් මාළු නොබුදිති බොහොම දෙන
කුමටද කතා එළවළු මිල මුදල ගැන
කන්කුන් මුගුණුවැන්නා කොළ ඇඟට ගුණ
මිටියක් කෑ හැකිද ශත විස්සකට ගෙන
සිගරැට්ටුවක නැග එන දුම් රොටුව මිස
කම්කරුවෙකුට නැත මිහිරක් මිහිර රස
ඒකත් ගණන් නංවා ඇත පුදුම ලෙස
ඔහොමද බලන්නේ කම්කරු පිරිස දෙස
 
මෙලෙස කවි පන්තියක් දිගටම කියාගෙන කියාගෙන යන විට වෙලාව අවසන් නිසාද නැත්නම් කවි පන්තිය නොඉවසූ නිසාද මුලසුනෙන් කීවේ දැන් කරුණාකරලා කතාව අවසන් කරන්න, කියාය. සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක අගමැතිතුමියගේ පාලන කාලයේ රණසිංහ ප්‍රේමදාස මහතා මන්ත්‍රීවරයෙකු වශයෙන් කිවූ කවිම 1991 පැවැති රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ පාලන කාලයේ දී මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා විසින් පාර්ලිමේන්තුවේ දී කියා පෑම එක්තරා අන්දමකින් දෛවයේ සරදමකි. ඉතිහාසයේ සමහර සිදුවීම් නැවත නැවතත් වරින් වර එලෙසින්ම සිදුවීම ඉතිහාසය පුරා දක්නට ලැබෙන සාමාන්‍ය ස්වභාවයකි.