ඉඩම් පිටිය රාල්ලාගේ පුංචි බණ්ඩා ගුණතිලක කලුගල්ල යන නම ඇසු සැණෙන් අපට මැවෙන්නේ සුපේශල ශික්ෂාකාමී සිංහල උපාසක මහතෙකි. තේජෝබල පරාක්‍රමය විහිදුවමින් මෝටර් රියකින් බසින ඇමතිවරයකුගේ රුවක් නම් නොවේ. එම මතයට සාධාරණත්වය ඉටුකළ සිංහල බෞද්ධ ජන නායකයකු ලෙස කලුගල්ල අමාත්‍යවරයා හඳුන්වාදිය හැකිය.


‘අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පරිවාර අමාත්‍යවරයා’ ලෙස ද එතුමා එකල හැඳින්වූයේ ඇය සමගම දෙස් විදෙස් සංචාරවල නියැළෙන නිසාය. රාජ්‍ය නායකයකු කිසිදා පා තබා නැති ගම්මානවල කරත්ත පාරවල්, වැලි හෝ බොරලු පාරවල් මෙන්ම මඩවගුරු හරහා ද ඇය පරිස්සමින් කැටුව ගියේ කළුගල්ල මැතිඳුය.


කලුගල්ල අමාත්‍යවරයා අගමැතිනියට මෙන්ම රජයටම හිතෛෂීයකු නිසා විදෙස් රාජ්‍ය අමුත්තන් මෙහි පැමිණි විට පරිවාර අමාත්‍යවරයා ලෙස කළුගල්ල මැතිඳුන් රජය නියෝජනය කළ බව නොරහසකි.


කැගල්ලේ සුප්‍රකට ආයුර්වේද වෛද්‍යවරයකු වූ ඉඩම් පිටිය රාල්ලාගේ ටිකිරි බණ්ඩා කළුගල්ල හා පුංචි මහත්තයා මැණිකේ කළුගල්ල දම්පතින්ගේ පුතු වූ පුංචි බණ්ඩා තරුණයා කුඩා කල සිටම පියාගේ රටාවට හැඩ ගැසීමට තැත්කළේය. 56 ජනතා විප්ලවයට දායක වූ පංච මහා බලවේගයෙන් එක්ක වූ වෙද පරපුර නියෝජනය කළ එතුමාගේ පියා ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු විය.


දේශීය වෛද්‍ය ක්‍රමය පමණක් නොව හෙළ බෞද්ධ සංස්කෘතිකාංගයන් පිළිබඳ කළුගල්ල පරපුර තුළ වූ දැනුම කුසලතා හා ආකල්ප නිසාම 56 ජනතා රජයේ සංස්කෘතික හා සමාජසේවා නියෝජ්‍ය ඇමති පදවිය පුංචි බණ්ඩා කළුගල්ල වෙත පිරිනැමිණ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ප්‍රබලයකු වූ හිටපු තැපැල් අමාත්‍ය එන්. එච්. කිර්තිරත්න පරදවා කෑගල්ල අසුන ජයගැනීම නිසාය.


නීතිවේදියකු වූ තරුණ කළුගල්ල මැතිදුන් තමාට පැවරුණු අමාත්‍ය ධුරය භාරගත්තේ ඉබ්බා දියේ දැම්මාම ඇන්නෑවේ කිවා සේය. ඔහු උඩරට හා පහතරට මෙන්ම සබරගමු නැටුම් කලාව දිවයින පුරාම ප්‍රචලිත කරමින් රජයේ ලියාපදිංචි කලායතන රැසක් බිහි කළේය.


පුරා විද්‍යාත්මක වටිනාකම ඇති පැරණි වෙහෙර විහාරාංග ප්‍රතිසංස්කරණය කර රාජ්‍ය අනුග්‍රහය සහිත දහම් පාසල් ඇරඹීය. ඇත ගම්බද කලාකරුවාගේ පණ නල ගැසෙන හද තේරුම් ගත් එතුමා චිත්‍රමුර්ති කැටයම් ශිල්පයට මෙන් කාව්‍ය ලේඛන කටයුතු සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදුන්නේ නිර්ලෝභිවය.


හැමකෙනෙක්ම පොරොන්දු වෙන්නෙ බලයට ආහම රස්සා දෙන්නම් කියල. ඒත් කළුගල්ල මහත්තයා උදව් කළේ අපට ස්ව උත්සාහයෙන්ම නැගිටින්න.


අපට කැගල්ලේ පැරණි ජනතාව පැවසූහ. පි. බී. ජී. කළුගල්ල අමාත්‍යවරයාගේ කුසලතාවන් දුටු රජය ඔහුට දිගින් දිගටම විවිධ රාජකාරි පැවරූවේය. සාම්ප්‍රදායික දේශපාලනඥයකු අබිබවා ගිය සංවේදී මෙන්ම ක්‍රියාකාරි මනුෂ්‍යයකු එතුමා තුළින් දකින්නට ඇත.


බණ්ඩාරනායකවරුන්ගේ පාලනය යටතේ කළුගල්ල මැතිඳුන්ට ගමනාගමන, ප්‍රසිද්ධ වැඩ, තැපැල්, මුදල්, අධ්‍යාපන, නාවික, වරාය, සංචාරක, ගුවන් හා වැනි භාරධූර අමාත්‍ය ධුර පැවරුණි.


අගමැති බණ්ඩාරනායක ඝාතනයෙන් පසු අග්‍රාමාත්‍ය ධුරයට පත් ඩබ්ලිව්. දහනායක මුළු කැබිනට් මණ්ඩලයම පහකර දැමු අතර කළුගල්ලගේ ඉරණමද එසේ විසඳිණ. 1960 මාර්තුවේ ඩඞ්ලි සේනානායකයන්ගේ සුළුතර ආණ්ඩුව බලයට පත් වූ අතර 1960 ජුලි මහ මැතිවරණයෙන් යළි ජයග්‍රහණය ශ්‍රීලනිපය ඇතුළු වමේ බලවේගයට හිමිවිය.
ඒ වන විට පී. බී. ජී. කළුගල්ලයන්ට තවත් භාරධූර කාර්යයක් පැවරි තිබිණ. එනම් දිවංගත අගමැති බණ්ඩාරනායක ගුණනුස්මරණ කමිටුවේ ලේකම් ධුරයයි. හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධිය වෙත පිදෙන පුෂ්පෝපහාර උත්සව, ගුණානුස්මරණ අවස්ථා, කෞතුකාගාරය, සංචාර සපිරිකර සංඝගත දක්ෂිණා පුණ්‍ය ක්‍රියා සියල්ලම ඔහු විසින් මෙහෙයවන ලදි.


1965 දී බලයට පත්වූ ඩඞ්ලි සේනානායකයන්ගේ ආණ්ඩුවට කැගල්ල ආසනය අහිමිවිය. ඒ කළුගල්ල නම් ජනතා නායකයා නිසාය.


1970 දීත් කැගල්ල අතිවිශාල ඡන්ද සංඛ්‍යාවක් ලබා රැකගත් කළුගල්ල මැතිදුන් වටා ප්‍රගතිශිලි බලය රැස් වළල්ලක් මෙන් රැදී තිබිණ. විශේෂයෙන් සිසු - ගුරු බලවේගයේ වගකීම භාරගත් අමාත්‍යවරයා සැම මැතිවරණ ආසනයකම මහා විද්‍යාලයක් බිහිකිරිමේ සංකල්පය ක්‍රියාත්මක කළේය.


කවදාවත් අපේ දරුවන්ට ඉහළ ඉගෙනීමක් ලැබෙන්නෙ නෑ කියල හිතාගෙනයි හිටියෙ. අට පාස් වුණහම ගෙදර නතර වෙනව ඇර මොනව කරන්නද? ඒත් කළුගල්ල මහත්තයා අපේ ගමටත් ලොකු ඉස්කෝලයක් දීලා දරුවන්ගෙ ඇස පෑදුව පිනම ඇති නිවන් දකින්න”


පි. බි. ජී. කළුගල්ල මැතිදුන්ගේ 11 වන ගුණානුස්මරණ පින්කමට පසුගිය 21 වැනිදා කෑගල්ල වැලිමන්නාතොට ඉදිකළ පිළිරුවට පුෂ්පෝපහාර කිරීමේ උත්සවයට ගිය අපට පැරැණි ගැමියෝ පැවසූහ.


කෑගල්ල නගරයේ රෝහල් උසාවි සහ වෙළෙඳ සංකිර්ණ ඉදිකර පානීය ජල යෝජනා ක්‍රමය අරඹා පින්නවල අලි අනාථාගාරය දියුණු කළ එතුමා ඔලන්කන්ද, දික්හේන, මාදෙයියාව සහ අතුකෝරලවත්ත ප්‍රදේශවල ඉඩම් නොමැති ජනතාවට ඉඩම් බෙදා දුන්හ.


රජයේ ගුරුවරුන්ට ලැබෙන සියලු වරප්‍රසාද පිරිවෙන් ගුරුවරුන්ට ද හිමිවිය යුතුයි. අමාත්‍යවරයා තර්ක කළේය.


අධ්‍යාපන අමාත්‍ය ධුරය දරද්දී එතුමා කළ තවත් පෙරළියක් වූයේ සෞන්දර්ය ගුරුවරුන් 25,000 එක්වර රාජ්‍ය සේවයට බඳවා ගෙන පුහුණු කිරීමය.


මේ සියලු හපන්කම් කිරීම සඳහා එතුමා අද දේශපාලනඥයන්ට මෙන් මිලියන ටි්‍රලියන ගණන් මුදල් හෝ බැංකු ගිණුම්, විදේශ ආයෝජන, බහුජාතික සමාගම්වල අනුග්‍රහ නොවිය. එතුමාගේ උපරිම වැටුප වූයේ රුපියල් 15,000 කි. 77 මහ මැතිවරණයෙන් දී ශ්‍රීලනිපයේ පරාජය සනිටුහන් විය. කෑගල්ල අසුනද අන්සතුවිය ඒ වන විට පුරාවසර 21 ක් එය රැඳුණේ කළුගල්ල අතය.


මෙකල ශ්‍රීලනිපය තුළ අර්බුදකාරි තත්ත්වයක් උද්ගත වූ අතර එය දෙදරායාමට වැඩිකලක් ගත නොවිණ. අගමැතිනිය සමග ආරවුලක් ඇති කරගත් ඇගේ පුත් අනුර බණ්ඩාරනායක සහ මෛත්‍රීපාල සේනානායක වැනි ජ්‍යෙෂ්ඨයෝ ශ්‍රිලනිප විකල්ප පිලක් පිහිටුවාගත්හ. කළුගල්ලගේ ඉරණම ලෙස එම දෙදෙනා සමග එක්වීම සිදුවිණ. ජනපති ජේ. ආර්. ජයවර්ධන කළුගල්ල මැතිදුගේ කුසලතා හඳුනාගත් අතර ඒ අනුව කැනඩාවේ තානාපති පදවිය ඔහුට පිරිනැමිණ. එහෙත් ජනපති ප්‍රේමදාස යුගයේදි යළි සියරට ආවේය. 
අනතුරුව පි. බි. ජී. කළුගල්ල නාමය යළි කරළියට නැගෙන්නේ ශ්‍රිලනිප තුළින් හෝ විකල්ප පිල තුළින් හෝ එක්සත් ජාතික පක්ෂය තුළින් නොවේ. පක්ෂයේ අර්බුද නිසා තමා මෙන්ම ස්වාධීන වූ තවත් බලවේගයක් වූ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සන්ධානයෙනි.


එහි නියමුවන් වූයේ එජාපයේ පෙරළිකාර ජ්‍යෙෂ්ඨයන් තිදෙනකු වූ ලලිත් ඇතුලත්මුදලි, ගාමිණි දිසානායක සහ ජි. ඇම්. ප්‍රේමචන්ද්‍රයන්ය. කළුගල්ලට තිබුණේ වැඩ කිරීමේදී කුළල් කා ගැනිමේ ප්‍රතිපත්තිය නොව නිවැරදිව වැඩරාජකාරි ඉටුකිරිමේ ප්‍රතිපත්තියයි. පක්ෂවල ගතානුගතික ප්‍රතිපත්තිවලට වඩා ජනතාවගේ අවශ්‍යතා කෙරෙහි ඔහු යොමුවිය.
අන්තිමේදී ජනතාව ඔහුගේ අභිමතය තේරුම් ගත්හ. සබරගමුව පළාත් සභාව ‘රාජාලියා පිලෙන්’ හෙවත් ප්‍රජාතන්ත්‍රවාදි එක්සත් ජාතික පෙරමුණේ තරඟ වැදුණු කළුගල්ල මැතිඳු ඉන් ජයගෙන පාර්ලිමේන්තුවට පිවිසියේය.


මෙම හපන්කම නිසා ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය පදවිය පිරිනමන ලදී.


දශක 05ක් ජනතාව නියෝජනය කරමින් තමාට පැවරුණු සෑම කාර්යයක්ම අවංකව හා එඩිතරව ඉටුකළ මෙම වයෝවෘද්ධ දේශපාලනඥයාගේ අවසන් යුගය ගතවූයේ රෝගාතුරවය.


එහෙත් රෝද පුටුවේ දිගා වී සභාගර්භයට රැස්විම් වේදිකාවට හා ශ්‍රීලනිප සැසිවාරවලට සහභාගිවන ඔහුගේ රුව කළගුණ දන්නා ජනතාවගේ නෙතට කඳුළක් නැංවීමට සමත්විය.
පි. බී. ජී. කළුගල්ල චරිතය සිහි ගන්වන තවත් ස්ථාන දෙකක් ගැන ද සඳහන් කළ යුතුමය. එනම් කෑගල්ල තපෝවන විහාරය හා බුද්ධජයන්ති ළමා නිවාසය යි. අද සුදු ආරිය ඇදුමින් සැරසී දන් බෙදන්නට හා දරුවන්ට ප්‍රදානයන් කිරීමට එතුමා නොමැති වුවත් දහස් ගණනකගේ සාදුකාර මැද එම කටයුතු සිදු කෙරිණි.

 

 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප : අන්තර්ජාලයෙනි