සේනානායකවරුන්ගේ යූ.එන්.පී. විත්ති - 02

 

 

 

පනස් හයේ රජයේ මැති ඇමැතිවරුන් පිරිසකට විරුද්ධව ප්‍රසිද්ධියේම අල්ලස් චෝදනා නැගෙන්නට වීම නිසා බණ්ඩාරනායක අගමැතිතුමා 1958 දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වෝල්ටර් තල්ගොඩපිටිය මහතාගේ සභාපතිත්වයෙන් අල්ලස් කොමිසමක් පත්කරන ලද්දේ තම රජයේ නම පිරිසුදු කර ගනිමින් වරදකරුවන් සොයා ගැනීම පිණිසය. දීර්ඝ නඩු විභාගයකින් පසු වාර්තාව එනවිට බණ්ඩාරනායක මහතා ඝාතනය වී ඉන් පසු ඇතිවු දහනායක රජයත් ඩඞ්ලි සේනානායකයන්ගේ දින තිස් තුනේ රජයක් වශයෙන් ආණ්ඩු තුනක් අවසන්ව තිබුණි. 1960 දෙසැම්බර් 18 වැනිදා එම කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ඒ අනුව හිටපු ඇමැතිවරුන්වූ ආර්. ඊ. ජයතිලක, සී. ඒ. ඇස්. මරික්කාර්, ඇම්. ඇස්. කාරියප්පර්, හෙන්රි අබේවික්‍රම, ඇම්. පී. ද  සොයිසා යන මහත්වරු සහ නියෝජ්‍ය ඇමැතිවරයෙකු වූ ඩී. බී. මොන්නෑකුලම මහතාත් වරදකරුවන් බව ඔප්පු වී තිබුණි. 

 

එහෙත් මේ වනවිට මේ අය අතරින් පාර්ලිමේන්තුවේ සිටියේ රත්ගම මන්ත්‍රී ඇම්. පී. ද සොයිසා මහතා සහ කුරුණෑගල මන්ත්‍රී ඩී. බී. මොන්නෑකුලම මහතා පමණි. වාර්තාව නිකුත් වූ දිනම මේ දෙදෙනා මන්ත්‍රීධුරවලින් ඉල්ලා අස්වූහ. සියල්ල එතෙකින් නිමාවිය. කලක් ශ්‍රීලනිප සම ලේකම්වරයෙකු ලෙස ද කටයුතු කළ ඇම්. පී. ද සොයිසා කරළියේ ප්‍රබල ඥාති සම්බන්ධතා ඇතිව සිටියේය. මොන්නෑකුලම මහතාද ජනප්‍රිය චරිතයක් විය. අල්ලස් චෝදනා තිබියදීත් බරපතළ ලෙස විවේචනයට ලක්වෙද්දීත් එම දෙදෙනා 1960 ජූලි මැතිවරණයේදී ජය ලැබුවේ එහෙයිනි. පරාජය වූ අය අතර ද රජයට බලපෑම් කළ හැකි ප්‍රබලයෝ වූහ. මෙනිසා වරදකරුවන්ට දඬුවම් කිරීමේ ක්‍රියාමාර්ගයකට යාමට රජය උනන්දු වූවේ නැත. විපක්ෂ නායක ඩඞ්ලි සේනානායක මහතා මේ ගැන නොයෙක්විට මතක් කරන ලද නමුදු රජය පාර්ශ්වයෙන් කිසිදු පියවරක් ගැනුණේ නැත. 


අල්ලසට දූෂණයට හා දේශපාලන බලය මගින් මුදල් ඉපයීමට තරයේ විරුද්ධවූවෙකු වශයෙන් එතුමාට තවදුරටත් නිහඬව සිටිය නොහැකි විය. ඔහු විරුද්ධ පක්ෂයේ සිටිමින්ම පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කළේය. එයින් කියැවුණේ අල්ලස් දූෂණ වරදකට වරදකරු වන තැනැත්තෙකුට ව්‍යවස්ථාදායකය නියෝජනය කිරීමට ඉඩ නොදිය යුතු බවත් ඔවුන්ගේ ප්‍රජා අයිතිය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු බවත්ය. අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඇතුළු සමස්ත රජයම ගැලවිය නොහැකි උගුලක හිරවුණි. අල්ලස් වැරදි කරුවන්ට දඬුවම් නොදෙන්නැයි පාර්ලිමේන්තුවේ අත ඉස්සිය හැකි දේශපාලනඥයා කවරෙක්ද? මැතිනිය මේ අවදියේදි මන්ත්‍රී වරියක් නොවූවාය. සි. පී. ද සිල්වා මහතා සභානායක වශයෙන් ආණ්ඩු පක්ෂයට නායකත්වය දුන්නේය. සමස්ත විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු ඩඞ්ලි සේනානායක මහතාගේ පනතට පක්ෂ වූහ. ආණ්ඩු පක්ෂයේ පෙරළිකාරී මන්ත්‍රීවරු 13 දෙනෙක්ද එයට පක්ෂව ඡන්දය දුන්හ. ශ්‍රීලනිපයේ අනෙක් මන්ත්‍රීවරු ඡන්දය දීමෙන් වැළකී සිටියහ. පනත විරුද්ධත්වයකින් තොරව සම්මත විය. එහෙත් විරුද්ධ පක්ෂයෙන් ඉදිරිපත් කෙරෙන පනතක් නීතියක් බවට පත්වීමේ ඉඩකඩ අඩුය. එහෙත් විපක්ෂ නායකවරයා විශාල දේශපාලන ජයග්‍රහණයක් ලබා ගත්තේය. තමා අල්ලසට දූෂණයට විරුද්ධ නායකයෙකු බව මනාව ඔප්පුකර පෙන්වීය. රජය අල්ලස්කාරයන් ආරක්ෂා කරන්නේ යැයිද මතයක් ගොඩ නැගුණු අතර රජය තුළ බෙදීමක් ඇති කිරීමට ද සමත් විය.


එක් දහස් නවසිය හැත්තෑවේ මහා මැතිවරණයෙන් එජාප රජය බරපතළ පරාජයකට මුහුණ දුන්නේය. ඒ නායකයාගේ වරද නිසා නොවේ. ඔහු දිවා රෑ නොබලා වැඩ කළේය. ලංකාවේ එතෙක් මෙතෙක් ඇතිවූ විශාලම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේය. පොල්ගොල්ලෙන් මහවැලි ගඟ හැරවීමට මුල්ගල් තැබීය. ක්‍රියාත්මක කළේය. සහල් සේරුවක් බැගින් සතියකට සෑම වැසියෙකුටම නොමිලයේ දුන්නේය. රට සහලින් ස්වයං පෝෂිත කිරීම සඳහා දැවැන්ත වැඩපිළිවෙළක් දියත් කළ අතර ඇම්. ඩී. බණ්ඩා මහතා වැනි දක්ෂයෙකුට එහි වගකීම භාර දුන්නේය. මෙතරම් වැඩ කොටසක් ඉටු කළත් ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ හැසිරීම නැවත වරක් පෙන්නුම් කරමින් මැතිවරණයේදී ඩඞ්ලි සේනානායකයන්ගේ එජාපයට ලබාගත හැකි වුයේ ආසන 17ක් පමණි. සමගි පෙරමුණට විශාල ජයග්‍රහණයක් ලැබුණි. ඩඞ්ලි වහාම තීරණයක් ගත්තේය. ඔහු නාම මාත්‍රිකව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තබාගෙන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වය ජේ. ආර්. ජයවර්ධන මහතාට පැවරුවේය. පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ විශාරදයින් ප්‍රකාශ කර ඇති ආකාරයට ආණ්ඩුවක් මෙහෙයවමින් අගමැතිකම කරනවාට වඩා විපක්ෂ නායක ධුරයේ සාර්ථකව කටයුතු කිරීම අපහසු ක්‍රියාවකි. 


පරාජයට පත්ව සිටින පක්ෂයත් ඊළඟ මැතිවරණයකදී බලයට පත්කිරීමේ වගකීම පැවැරෙන්නේ විපක්ෂ නායකට බැවිනි. අද ඒවා සිදුවන්නේ නැත. ක්‍රමය වෙනස්වීමෙන් දැයි නොවැටහේ. එහෙත් එම තනතුරුවල වටිනාකම දැන නිසි කල සුදුස්සාට සුදුසු තැන දුන්නේය. එම නිවැරදි තීරණය නිසා 1977 අද්විතීය ජයග්‍රහණයක් ලබා බලයට පත්වීමට එක්සත් ජාතික පක්ෂයට අවස්ථාව ලැබුණි.


හැත්තෑ තුනේ අප්‍රේල් දහතුන්වැනිදා මුළු රටම හඬවමින් ඩඞ්ලි සේනානායකයෝ මෙලොව හැර ගියහ. එදා ලක්ෂ සංඛ්‍යාත ජනයා ශෝකයෙන් හඬා වැලපුනහ. මෙහිලා සුවිශේෂී කාරණය එය නොවේ. සිව්වරක් රට පාලනය කළ දේශපාලකයෙක් වුවත් ඔහු සතුව තිබුණේ රුපියල් හාරසියයක් සහිත බැංකු ගිණුමක් පමණි. ධන ලෝභය කිසිසේත්ම නොතිබූ අවංක නායකයකු වූ ඩඞ්ලි සේනානායක චරිතය උදර පෝෂණය සඳහා දේශපාලනය කරන බොහෝ වර්තමානිකයන්ට අවංකව රටට සේවය කරන හැටි ඉගෙනීමට පූර්වාදර්ශයකි.


ජනාධිපතිතුමා පැවැසූ පරිදි සේනානායක දේශපාලනය සොයා ගත යුතු නම් මෙම කරුණු කීපය වුවත් ප්‍රමාණවත්ය. එහෙත් මෙම ප්‍රතිපත්ති කොතෙක් දුරට අදට ප්‍රායෝගික වේදැයි කිව නොහැක්කේ එම ප්‍රතිපත්ති යල් පැන ගොස් ඇති නිසා නොව බොහෝ දෙනා සිටින්නේ හොරු සමග හෙළුවෙන් නිසාය.

 

 


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූපය : අන්තර්ජාලයෙනි