සර් ජෝන්ගේ නොපළ කතා

 

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැයි සම්මත කුලවල ජනප්‍රිය පුද්ගලයන්  රැසක් ගෙන්වා ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්විණි. මේ අය අතර ඉතා ප්‍රකට චරිතයක් වූයේ උඩරට කුලවත් පවුලක නිලමේ කෙනෙකි. ඔහු කියන කියන වචනය සනාථ කිරීමට මෙන් “එහෙමයි”, “යහපති”යි කියන අතවැසියෙක් ද ඔහුට සිටියේය. 


සාකච්ඡාව අවසන් විය. ඒ පැවැති සාකච්ඡාවේ දී ද මේ නිලමේතුමා ප්‍රධාන පුද්ගලයකු වූයේ ඔහු කියන කියන දේ අන් සියලු දෙනාම අනුමත කළ බැවිනි. ඔහු කියූ ඇතැම් කාරණා දේශපාලනයට නොගැළපෙන්නේ වුව ද කුල ගර්වය නිසාම ඔහුගේ අදහස් සියල්ල උසස් ලෙස සැලකීමට සියල්ලෝම උත්සුක වූහ. ඉන් පසු භෝජන සංග්‍රහයක් පැවත්විණි. 
මේ භෝජන සංග්‍රහය අතරතුර නිලමේ තුමා රැස්ව සිටි අන් අයගේ තොරතුරු විමසන්නට වූයේය. මේ අතර පහත් යැයි සම්මත කුලයක අයෙක් ද මේ භෝජන සංග්‍රහයට එක්ව සිටි අතර ඔහු ගැන වැඩි දෙනකු දැන සිටියේ නැත. 


“තමුන්නාන්සේ කොයි පළාතේ ද?” යැයි කියා නිලමේ තුමා යම් ගෞරවයක් ඇතිවන ආකාරයෙන් ඔහුගෙන් විමසුවේය. 


මේ තැනැත්තා ජීවත්වූයේත් රැකියාව කළේත් කොළඹය. එහෙත් අවාසනාවකට මෙන් තමන් උපන් ගම ගැන ඔහු එකවරම කීවේය. 
“මගේ ගම තලම්පිටිය” යි ඔහුගේ පිළිතුර විය. තලම්පිටිය එකල එක්තරා කුලයකට අයත් පිරිසකගේ ගමක් වශයෙන් ප්‍රසිද්ධය. එකම මේසයක වාඩිවී තමන් කෑම කෑවේ එවන් පුද්ගලයකු සමග යැයි දැනගත් වහාම නිලමේ තුමා වේගයෙන් පුටුව පසුපසට කරමින් නැගී සිටියේ “තලම්පිටිය” යැයි දැඩි කෝපයෙන් කෑ ගසමිනි. 
ජෝන් කොතලාවල මහතා මේ ගැන මෙසේ පවසා ඇත. 


“මේ භෝජන සංග්‍රහයට ආරාධනා කළ තැනැත්තා වශයෙන් මා ඔහුට කළේ බලවත් නින්දාවක්, අපහාසයක් යැයි ඔහු සිතුවාට කිසිදු සැකයක් නැත. පුටුව පසෙකට තල්ලු කළ ඔහු වහා නිවසින් එළියට බැස “තලම්පිටිය”, “තලම්පිටිය” කියමින් තම උගුරට ඇඟිල්ලක් යවා මෙතෙක් ආහාරයට ගත් සියලු කෑම වමාරන්නට විය. මට දෙපාර්ශ්වයේම ආධාර උපකාර අවශ්‍යව තිබූ බැවින් කළ යුත්තේ කුමක්දැයි පවා සිතා ගැනීමට නොහැකි විය. මම වහාම ගෙවත්තට ගොස් වයෝවෘද්ධ නිලමේට කරුණු පහදා දුන්නෙමි. කුල කීපයක ජනයා වාසය කරන ප්‍රදේශයක නියෝජිතයා වීමට නම් කළ යුත්තේ අපක්ෂපාතීව කටයුතු කිරීම බව මම විස්තර කළෙමි. නිලමේ තුමා ඒ මොහොතේ කෝප ගත්ත ද මට උදව් කළේය. දෙපාර්ශ්වයේ ම උදව් උපකාරය මට හිමිවිය.”


ජෝන් කොතලාවල මහතා සඳහන් කරන්නේ තමන්ට එදා ඡන්ද පිටියේ දී මුහුණපාන්නට සිදුවූ සිදුවීම් විනෝදයෙන් සිහිපත් කළ හැකි බවයි. වරක් ඔහුට උදව් පිණිස සංවිධානය කර තිබූ රැස්වීමකදී වේගවත් කතාවක් කළ ආධාරකරුවකු අධිරාජ්‍යවාදයට විරුද්ධව බරපතළ ප්‍රහාරයක් එල්ල කළේය. ඔහු අධිරාජ්‍යවාදයේ කුරිරුකම්, එහි අඳුරු ලක්ෂණ සියල්ල ගෙනහැර පාමින් කළ කතාව අපූරුය. මේ කතාවෙන් කොතලාවල මහතා ද කම්පාවට පත්වූ බව හෙතෙම පවසයි. 


“මට එදා මේ කතාව ඉවසාගෙන ඉන්න බැරිවුණා. මගේ ඇස්වලිනුත් කඳුළු පිටවුණා. මම බලවත් පීඩනයකින් සිටින බව දුටු කථිකයා මගේ පිටට තට්ටුවක් දාලා “ඕක තමයි කරන්න ඕන, තව ටිකක් අඬන්න. තව ටිකක් අඬන්න.” යැයි කීවා. ඔහු එසේ කීවත් මා සිටියේ විශාල ජනකායක් මධ්‍යයේ. මේ නිසා මම කඳුළු පිසදා ගත්තා.”
ඔහු පවසන්නේ තමන් මුහුණ දුන් අනෙක් සිද්ධිය තමන්ගේ විරුද්ධවාදීන් විසින් ඉතා සූක්ෂ්ම ලෙස සංවිධානය කර තිබූ එකක් බවයි. තමන් කෝපයට පත්වූ විට ඉතා කලහකාරී සහ නොඉවසන සුලු අයකු බව දන්නා ප්‍රතිවාදීන්ට අවශ්‍ය වූයේ තමන් කෝප ගැන්වීම බව කොතලාවල පවසයි. 


“මා කෝපවී නොඉවසිල්ලෙන් යමක් කළොත් මා පරාජය කළ හැකි බව ඔවුන් දැන සිටියා. මේ සඳහා ඔවුන්ගේ උපාය වූයේ සිංහල නාට්‍යයක්. මේ නාට්‍යය සංවිධානය කළේ බාලදක්ෂ සංවිධානයේ නායකයෙක්. එහි ප්‍රථම දර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස මට ආරාධනා කර තිබුණා. මා එය පිළිගෙන එතැනට ගියා. ඒ අවස්ථාවේ දක්නට ලැබුණේ මා කිසිසේත්ම බලාපොරොත්තු නොවූ නාට්‍යයක්. මගේ චරිතය එහි ඉතා පහත් අන්දමින් නිරූපණය කර තිබුණා.”


ඔහු පවසන්නේ නාට්‍යයේ කතා නායකයා යුද නිලධාරියකු බවයි. යුද්ධ හමුදාවේ අණ දෙන නිලධාරියකුගේ තත්ත්වයට පත්ව සිටිය ද මේ තැනැත්තාට බුද්ධියක් තිබුණු බවක් පෙනෙන්නට නොතිබිණි. දර්ශන තලය කොළඹ ‘ඔරියන්ට්‘ සමාජ ශාලාවය. ‘ඔරියන්ට්‘ සමාජ ශාලාව ධනවත් තරුණ තරුණියන් මත්පැන් බීම හා සූදුව සඳහා රැස්වන ස්ථානයක් වශයෙන් එකල ප්‍රකටව තිබිණ. මේ ස්ථානයේ බොහෝ විට හැසිරෙන යුද්ධ නිලධාරියා කිසිම සැලකීමකින් හෝ පැකිළීමක් නැතිව මුදල් වියදම් කරයි. මේ කතා නායකයා නෘත්‍ය නරඹන ජනතාවගේ සිනහවටත් අවඥාවටත් ලක්වෙයි. මෙය සංවිධානය කර තිබුණේ ජෝන් කොතලාවල කෝප ගැන්වීමට බව පැහැදිලිය. 


“මේ නාට්‍යය නරඹා දැඩි කෝපයට පත්වන මා මෙහි සංවිධායකයන්ටත් නිර්මාණකරුවන්ටත් පහර දී යනු ඇතැයි මගේ ප්‍රතිවාදීන් බලාපොරොත්තු වන්නට ඇති. නමුත් මම කළේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. සියලු දෙනා සේම මම ද මේ චරිත නිරූපණයෙන් මහත් ආශ්වාදයක් ලබන බව පෙන්වූයේ කෝපය මැඩ ගනිමිනි. එය මා කෙසේ හෝ කළා. නාට්‍යය අවසන්වනතුරු මා ඉතා ඕනෑකමින් නැරඹුවා. අවසානයේ නාට්‍යයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ නළුවාට ත්‍යාග මුදලක් ද පිරිනමා මල් මාලයක් ද පැලඳුවා. මට හූ කීමට රැස්ව සිටි ජනතාව මට අත්පොළසන් දී ප්‍රීති ඝෝෂා පැවැත්වූවා.”


ජෝන් කොතලාවල සිය ස්වයං චරිතාපදානයේ මේ ගැන සඳහන් කරමින් පවසා ඇත්තේ තමන් මේ රසවත් සිද්ධීන් ගැන පවසන්නේ පාඨකයාගේ විනෝදය සඳහා මෙන්ම ලංකාවට ප්‍රථමයෙන් ම සර්වජන ඡන්ද බලය ලැබුණු අවස්ථාවේ දී ම ලාංකේය ඡන්ද දායකයා යුරෝපීය ඡන්ද දායකයන් තරම් දේශපාලන බුද්ධියකින් කටයුතු කළ බව පෙන්වීමට යැයි කියමිනි. 


එවර ඡන්දයට කුරුණෑගල නිදහස් අපේක්ෂකයකු වූ ජෝන් කොතලාවල මහතා ඡන්ද 17,159ක් ලබාගන්නා විට ලංකා ජාතික සංගමයේ අපේක්ෂක නීතිඥ මහතා ලබා ගත්තේ ඡන්ද 8,114කි. ඒ අනුව වැඩි ඡන්ද 9,045කින් ජයගත් ජෝන් කොතලාවල ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූයේය.

 

 

සජීව විජේවීර
ඡායාරූපය අන්තර්ජාලයෙනි