ඉල්මහේ බිලිගත් ජවිපෙ දෙවැනියා

 

රට තුළින් මතුවූ බරපතළ විරෝධය නිසා අවසානයේ එජාපයේ සුක්කානම ප්‍රේමදාස මහතාට බාරදීමට ජයවර්ධන මහතා අකමැත්තෙන් වුවත් තීරණය කළේය. එහිදී ජයවර්ධන තම පෞද්ගලික අරමුණට වඩා පංතියේ පැවැත්ම ගැන කල්පනා කළ බව පෙනේ. ඒ අනුව මීළඟ ජනාධිපතිවරණයේ එජාප අපේක්ෂකයා ප්‍රේමදාස බව එජාපය ප්‍රකාශයට පත් කළේය. 1988 දෙසැම්බර් 19 පැවති ජනාධිපතිවරණයෙන් ප්‍රේමදාස ජයග්‍රහණය කළේය. මෙය ඉතාම බරපතළ ගැටුම් හා විරෝධයන් මැද පැවති රාජ්‍ය බලය හා මර්දනය උපරිම ලෙස යොදා ගත් ජනාධිපතිවරණයක් විය. ජනාධිපතිවරණය වර්ජනය කිරීමේ ජවිපෙ ක්‍රියාමාර්ගයද කිසියම් සාර්ථකත්වයක් අත්කරගෙන තිබිණි.


1988 දෙසැම්බර් ජනාධිපතිවරණයෙන් ජයගත් ප්‍රේමදාස පාර්ලිමේන්තුව විසුරුවා හැරිය අතර ප්‍රේමදාස පාලනය යටතේ 1989 පෙබරවාරි 15 වැනිදා මහමැතිවරණය පවත්වන ලදී. ජවිපෙ එයද වර්ජනය කළ අතර මහමැතිවරණය වර්ජනය කිරීමට ගත් ක්‍රියාමාර්ගය තුළ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් මෙන්ම ආරක්ෂක අංශවල මර්දනකාරීත්වය ද නිසා මැතිවරණය ගැටුම්, මිනිස් ඝාතන හා රාජ්‍ය මර්දනය බරපතළ ලෙස ක්‍රියාත්මක වූ මැතිවරණයක් විය. 1989 මහ මැතිවරණයෙන් පසුව එම වසර අග දක්වා වූ කාලය මර්දනය හා භීෂණය එතෙක් නොවූවිරූ අන්දමින් උත්සන්න වූ කාලයක් වූ අතර ජවිපෙ බිඳවැටීම සනිටුහන් වූයේද එම කාලය තුළදීය.


සංග්‍රාමික උපක්‍රමයන්ගෙන් අනූන ජීවිතයක් ගත කළ ගමනායක තමන්ගේ ඉරණම ධනපති පාලකයන්ට වුවමනා පරිදි විය යුතු යැයි නොසිතූ අයෙකු බව ඔහුගේ ඉතිහාසය සාක්ෂි දරයි. තම පදිංචිය වෙනස් කළ යුතු බවට තීරණය කළ ගමනායක, කරුණා හා දරුවන් දෙදෙනා සමගින් බණ්ඩාරගම මහවිල ග්‍රාමයෙහි පිහිටි නිවසට පදිංචියට පැමිණියේය. කුරුප්පුගේ සෝමසිරි ඩයස් ලෙස සමාජයේ පෙනී සිටිමින් ගමනායක මෙම නිවස මිලදී ගත්තේ 1988 අගභාගයේදීය.


ගමනායක පවුල නිවසේ පදිංචියට පැමිණ නොබෝ දිනකින් යාබද කාමරයක ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක් ආරම්භ කළ අතර නිවසේ දකුණු පස කොටසෙහි සිල්ලර කඩයක්ද ආරම්භ කළේය. කරුණාගේ උදව්වට පක්ෂ සාමාජිකයකුගේ දියණියක් ද නිවසේ සිටි අතර සිල්ලර බඩු කඩයේ වෙළඳාම් කටයුතු කළේ ඇයයි. ගම්මුන්ට හඳුන්වා දී තිබු ඇය කරුණාගේ නැගණිය බවය. ගමනායක පවුල අසල්වැසියන් සමග හිත හොඳ ඇත්තෝ වූහ. ඩයස් මුදලාලි සිය කොළ පැහැති මෝටර් රථයෙන් හෝ හදිසියේ නිවසට එන මිත්‍රයෙකුගේ මෝටර් සයිකලයකින් හෝ නිතරම ගමන් බිමන් ගියේය. අවශ්‍ය අවස්ථාවල අහල පහල කාටත් නොපැකිළව උපකාර කළ ඉතා හිත හොඳ මිනිසකු වුවත් ඔහු කිසිවකු සමග කතාබහට ගියේම නැති තරම්ය. මහවිල ආදර්ශ පටුමගෙහි ඕනෑම රෝගියෙකුට ඩයස් මුදලාලිගේ මෝටර් රථය උපකාරී විය. බොහෝ උදවිය ඩයස් මුදලාලිගේ කඩෙන් ණයට සිල්ලර බඩු ලබාගත් අතර මුදල් හදල් ද අතමාරු කරගත්හ. එය කලාතුරකින් දක්නට ලැබෙන සහජීවනයක් හා එකමුතුකමකි.


කොළඹ දිස්ත්‍රික් ජවිපෙ නායකයාව සිටි කඳුරුපොකුණ අත්අඩංගුවට පත්වීම හා ඒ හරහා ජවිපෙ තෙවැනි නායකයා වූ ඩී. එම්. ආනන්ද අත්අඩංගුවට පත්වීමත් හරහා ජවිපෙ යාන්ත්‍රණය මුළුමනින්ම ආරක්ෂක අංශවලට විවෘත විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජවිපෙ නායකත්වය කොටු කර ගැනීමට ආරක්ෂක අංශ සමත්විය. බණ්ඩාරගම මහවිල ග්‍රාමයේ ඩයස් මුදලාලි නමින් පෙනී සිටි උපතිස්ස ගමනායක අත්අඩංගුවට පත්වන්නේ එහි නියතියක් ලෙසය.


දිනය 1989 නොවැම්බර් 12 වැනිදාය. වේලාව පෙ.ව. 11 ට ආසන්න වෙමින් තිබිණි. ඩයස් මුදලාලි නිවසේ කාමරය තුළ රූපවාහිනිය නරඹමින් සිටියේය. දරුවන් පෙර පාසල් ගොසිනි. තරුණියෝ කිහිපදෙනෙක් ඇඳුම් මසන කාමරයෙහි වැඩෙහි යෙදී සිටියහ. පටුමග ඔස්සේ පැමිණි මෝටර් රථයක් නිවෙසට තරමක් දුරින් නවත්වනු ඩයස් මුදලාලිගේ බිරියට ඇසුණෙන් ඈ ඊට සවන් දුන්නාය. ඊළඟ නිමේෂයේ දී සිවිල් ඇඳුමින් සැරසුණු අවි අමෝරා ගත් පිරිසක් දෙතුන් පැත්තකින් නිවෙස වටලන බව පෙණිනි. දුවන්න දුවන්න යැයි ඩයස් මුදලාලිගේ බිරිය කෑගැසීම නිසා නිවැසියෝ කලබලයට පත්ව දුවන්නට වූහ. ඩයස් මුදලාලිගේ බිරිය ද ඒ ඇසිල්ලේම නිවසින් පිටව ගියාය. එහෙත් කාමරයේ සිටි ඩයස් මුදලාලිට හැකිවූයේ සාලයට පැමිණීමට පමණි. මහවිල ආදර්ශ පටුමගේ මිනිස්සු වහවහා එහි පැමිණ ඩයස් මුදලාලිගේ ආරක්ෂාව වෙනුවෙන් පිහිට වන්නට මං සෙවූහ. මේ වනවිටත් ඩයස් මුදලාලිගේ දෑතට විලංගුලා තිබූ අතර අමෝරා ගත් අවි සහිත සෙබළු ඩයස් මුදලාලිට රැකවරණය සපයමින් සිටියහ. ගම්මු අයාගත් මුවින් යුතුව බලා සිටිති. තම ගමට ආගන්තුක වුවද ගමේ කා සමගත් හොඳ හිත දිනා ගනිමින් ගමට ආදරය කරමින් ගමේ මිනිසකු බවට පත්වූ ඩයස් මුදලාලි සිදුකර ඇති වරද කුමක්දැයි ගම්මු කල්පනා කළහ. කිසිවක් තේරුම් ගත නොහැකිව ගම්මු වික්ෂිප්තව බලා සිටිති.


මිදුලට පිවිසි ඉහළ හමුදා නිලධාරියා ගම්මුන්ව දැකීමෙන් තරමක් විමතියට පත්විය. අනතුරුව ගම්මුන්ට ඔහු මෙසේ කීවේය.


අපි හමුදාවෙන්. ඔයගොල්ලෝ කලබල වෙන්න එපා. මේ ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි නායකයා. උපතිස්ස ගමනායක අපි ඔහුව අත්අඩංගුවට ගත්තා.
තමන් මහත් සේ ආදරය කළ ඩයස් මුදලාලි හමුදා අත්අඩංගුවට පත්වීම ගම්මුන්ගේ වේදනාවට හේතුවී තිබිණි.


ගමනායක රැගත් වාහන පෙළ කෙළින්ම ගමන් කළේ ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයටය. ඒ වන විට ගමනායකට අමතරව විජේවීරව ද එහි රැගෙන විත් තිබුණේ එයට පැය කිහිපයකට කලින් වන හෙයින් ඔහු සමග වූ සාකච්ඡා සියල්ල අවසන් වී තිබුණි. ඉතිරි වී තිබුණේ රෝහණ විජේවීර එකඟ වූ පරිදි රූපවාහිනියෙන් ජනතාව ඇමතීම පමණය.


කන්තලේ සිට කොළඹ පැමිණි ගමනායක නැවුම් දේශපාලන දහමක් රැගෙන රට පුරා සංචාරය කළේය. ඒ ගමන ඔහු තම විප්ලවවාදී ජීවිතයේ දී නරකම නපුරුම තැන වශයෙන් ඇදහූ සතුරු කඳවුරක නතර කිරීමට සිදුවී තිබේ. වඩාත් දුෂ්කරම මොහොතක වුවද ධෛර්ය හීන කරනොගන්නා අපූර්වතම සටන්කාමියෙකු වූ ගමනායකට ඒ මොහොතේද පෞද්ගලික අරමුණු කිසිවක් නොවීය. අඩුම තරමින් ජීවිත ආශාව හෝ ඔහුට නොවීය. එහෙයින්ම සම්මුති විරහිත අරගලයකට ඔහු ඒ මොහොතේද සූදානමින් සිටියේය. අවසානයේ දී සතුරු කඳවුරේ දී යටත් වීම වෙනුවට සියලු දේශපාලන අභිමානයන් සුරකිමින් මතු පරපුරට විප්ලවවාදියකුගේ ජීවන විලාසය කුමක් ද යන්න පසක් කර මේ බිමෙන් වෙන්ව ගියේය.


ගමනායකගේ මරණය සම්බන්ධයෙන් එවකට පැවති රජය නිකුත් කළ නිවේදනයක වූයේ, ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි නායක උපතිස්ස ගමනායක අත්අඩංගුවට ගෙන කොළඹ බලා රැගෙන ඒමේ දී කොහුවල ප්‍රදේශයේ දී කිසියම් සංවිධානාත්මක කල්ලියක් ප්‍රදේශයේ විදුලිය විසන්ධි කර තැබූ වෙඩි පහරකින් ඔහු මරුමුවට පත්විය යනුවෙනි.
මේ සටහන මෙසේ අවසන් කරමු.


නොමළවුන් නිදිගත් බිමක මළවුන් උදෙසා යුක්තිය ඉටු නොවේ.

 

 


එම්. තාරික්
ඡායාරූප : අන්තර්ජාලයෙනි