ආසියාවේ යෝධයන් මෙල්ල කළ “සිරිලක සිරිකත”02
 
 
චීනය හා ඉන්දියාව නිකම් සිටියේ නැත. තම අනන්‍යතාව ලොවටම කියාදිය යුතු යැයි සිතූ ඔවුහු ලොව හැම රටකටම විදේශ ඇමැතිවරුන් යැවූහ. ඉන්දියාවේ විදෙස් ඇමැතිනි ලක්‍ෂ්මී මෙනන් මෙන්ම ආචාර්ය ඇස්. ගෝපාල් ඇතුළු නියෝජිත පිරිස ලොව වටා යද්දී චීනයේ විදේශ ඇමැති හ්වාන් චෙන් ඇතුළු කණ්ඩායම තරගකාරිව ගුවන් ගත වූහ.
චීනයට වැඩි තැනක් හිමි වේ යැය සැකසිතූ ඉන්දියාව විදේශ කටයුතු මහ ලේකම් ආර්. කේ. නාරායන් ඇතුළු දූත පිරිසක් වහා කොළඹට එවූ අතර මාධ්‍ය ඔවුන් හැඳින්වූවේ “ගිනි නිවන හමුදාව” ලෙසිනි.
නමුත් බටහිර මාධ්‍ය හැසිරුණේ ප්‍රතිගාමි අයුරකිනි “ආසියා අප්‍රිකා නායකයන් අතර දැඩි මත භේද” 
 
“හවුල අවුලක් විය” වැනි ශීර්ෂපාඨ යොදා ඇතැම් ඉන්දීය පුවත්පත් වලද බටහිර මාධ්‍යවල ද පුවත් පළවන්නට විය.
 
“රාජ්‍ය නායකයන්ගේ සිත් තැලෙන කිසිම දෙයක් පළ කරන්න එපා.” යැයි අගමැතිනිය දැඩි ස්ථාවරයක සිට ප්‍රකාශ කළාය. සමුළුවට හානි වන පුවත් එතෙර මාධ්‍යවල පළවන විට ඒවා උපුටා දැක්වීම් පළනොකරන ලෙස මෙරට පුවත්පත් වලටද ඇය දැඩි සේ ආයාචනා කළාය. එම ආයාචනයට සවන් දී මෙරට පුවත්පත් නිහඬව ඇයට සහාය දුන්හ.
 
චීනයටත් ඉන්දියාවටත් එකඟ විය හැකි වැඩපිළිවෙළක් කොළඹ සමුළුවේ තීරණාත්මක යෝජනා 1962 දෙසැම්බර් මස 12 වැනිදා එළිදැක්විණ.
 
ඊළඟට යෙදී තිබුණේ මෙම යෝජනා දෙරටට පැහැදිලි කරදීමේ සාමදූත ගමනයි.
 
ආසියා - අප්‍රිකා නායකයන් සමග අගමැතිනිය නවදිල්ලිය බලා ගමන් ඇරඹුවේ මහත් බලාපොරොත්තුවෙනි. ඒ 1963 ජනවාරි 10 වැනිදාය.
 
1963.01.07 වැනිදා මහජන චීනයට පැමිණි සිරිමාවෝ බණ්ඩාරනායක සාම දූතිකාව චීන අගමැති වෞ එන් ලායි විසින් උණුසුම් ලෙස පිළිගැනිණි. කෝටි 80ක් ජනතාව වෙනුවෙන් චීන රාජ්‍යයේ සෑම ප්‍රශ්නයකට වාගේ සාමයේ හා සුහදත්වයේ පණිවුඩය රැගෙන ගියාය.
 
“කොළඹ සමුළුවේ යෝජනා අපි පිළිගන්නවා.” 
 
චීන අගමැති මිත්‍රත්වයේ හස්තය දිගු කළේය. “තනිව සටන් නැවැත්වීමේ තීරණයක් ගැනීමටත් කැමතියි.”
 
සාමය සඳහා තැබූ මුල් පියවර සාර්ථක වීමෙන් උද්දාමයට පත් අගමැතිනිය ඒ බව ජනමාධ්‍යයට හෙළි කළේ මෙතෙක් නිහඬව සිටි මාධ්‍යයට නව පණදෙමිනි.
 
වට කිහිපයකින් පැවති චීන -  ශ්‍රී ලංකා සාම සාකච්ඡා අතර තුර සාමාන්‍ය ජනතාව අතර හැසිරෙමින් ඇය සාමයේ හා සහජීවනයේ පණිවුඩය බෙදා දුන්නාය.
 
ශ්‍රී ලංකාවේ දරුවන් සහ චීන දරුවන් අතර සමීප සුහදතාව සංකේතවත් කිරීමටත් චීනයේ සහ ශ්‍රී ලංකාවේ අන්‍යෝන්‍ය මිතුදහම තහවුරුවීමටත් ‘මිතුරා” නම් ඇත් පැටවකු චීනයට තෑගි කළාය.
 
මිතුරා නම් ඇත් පැටවාගේ ඇඳුම දේශිය චීන කලා රටා අනුව අපූරුවට සහ ආකර්ෂණිය ලෙස විපුල ධර්මවර්ධනයන් නිර්මාණය කර තිබිණි.
 
ඇත්පැටවා ක්‍රීඩා මණ්ඩපයේ දී චීන අගමැති වෞ එන් ලායි සහ පාසල් දරු දැරියන් වෙත පිරිනැමිණ. 
 
නවදිල්ලියේ දී ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ සාමදූතිකාව භාරත අගමැති ජවහර්ලාල් නේරු සහ දියණි ශ්‍රීමති ඉන්දිරා ගාන්ධි විසින් පිළිගෙන රාජ්‍ය තාන්ත්‍රික මෙන්ම සුහද සාකච්ඡාවලට සහභාගි වූ අතර සාම යෝජනා ද ගෞරවයෙන් පිළිගැනිණි.
 
1963.01.16 වැනිදා අන්තර් ජාතික සාම දූතිකාව මව්රටට ගුවන් තොටින් පැමිණි විට දහස් සංඛ්‍යාත ජනතාව ඔල්වරසන් නැඟූහ. සැතපුම් 20ක පමණ වපසරියකින් ජනගඟින් වැසී තිබිණ. මල් වෙඩි සංදර්ශන, මඟුල් බෙර රබන් හඩ හා සක්හඬ මැදින් ඇය මව්බිමට පා තැබුවාය.
 
මෛත්‍රීපාල සේනානයාක සහ පී. බී. ජී. කළුගල්ල යන ඇමැතිවරුන් විසින් ගුවන් යානාය තුළදී ද ඇමැති ටී. බී. ඉලංගරත්නයන්ගේ දියණිය විසින් රතු මල්දමක් දමා පිය ගැටපෙළ අසලදීත් ලකියුරු විලියම් ගොපල්ලව යුවළ විසින් මල්කළඹ පිරිනමා පීඨිකාව අසලදීත් ඇය පිළිගන්නා ලදී. ඊ. ඒ. අබේසේකර කවියා එම මොහොත මෙසේ දුටුවේය.
 
සමාදානය කට
දෙපිලම එකට රැස්කොට
කටයුතු කරන්නට
බාර දුන්නේ අපේ මැතිනිට
පෙර කළ පිනැන්තිය
දුර පෙනෙන නුවණැත්තිය
වළකන විපත්තිය
එ සිරිමාවෝ සාම දූතිය
 
 
 
 
 
 
 
 
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි