1994 පැවති පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු අවුරුද්දක් පමණ කාලය තුළ මා ඉගෙනගත් ක්ෂේත්‍රයන් ඇසුරෙන් ග්‍රන්ථ 2 ක් ලියමින් කල්පනා කළේ විදේශ රටක පදිංචියට ගොස් රැකියාවක් කොට ජීවත්වීමටය. ඒ කාලය වන විට සමානුපාතික ඡන්ද ක්‍රමය තුළින් මතු වූ මනාප ක්‍රමය නිසා දූෂිත වූ මැතිවරණ සඳහා ඉදිරිපත්වීම පිළිබඳව ඇති වූ කලකිරීම නිසා පැන නැගුණු එම අදහස තුළ ගැබ් වූ තවත් කරුණක් නම් තවදුරටත් ලංකාවේ දේශපාලන කටයුතුවල නිරතවීමට වඩා වෙනත් අංශයකට යොමු වීම වඩාත් සුදුසු බවයි.


ඒ අනුව කවර රටකට යා යුතුදැයි කල්පනා කළ මා හට අදහසක් මතු වූයේ ඕස්ට්‍රේලියාවට යාමටයි. දැනට අවුරුදු තිස් ගණනකටත් පෙර සිට මාගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින බැවින් ඔහුගේ ද සහාය ඇතිව ඕස්ට්‍රේලියාවට යාමට හැකිවනු ඇතැයි සිතූ මම ඒ අනුව ඔවුන් සමග ද සාකච්ඡා කොට ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගියෙමි. එසේ ගොස් ඕස්ට්‍රේලියාවේ දී එහි පදිංචිය සඳහා ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කළ මාස 10කට ආසන්න කාලයක් එහි ගත කරමින් එහි ජන ජීවිතය හා පාලන තන්ත්‍රය ගැන යම් අවබෝධයක් ලබා ගැනීමට ද ඉටා ගත්තෙමි. ඒ අනුව එහි රජයේ හා සමාජ ක්‍රියාකාරකම් පිළිබඳව නිරතුරුව විමසුම් සහගතව සිටි මා හට දිනෙන් දින අලුත් ආකාරයේ අත්දැකීම් වලට මුහුණ දීමට හැකි විය.


ඕස්ට්‍රේලියාව ලෝකයේ දියුණු රටකි. නිදහස් රටකි. විවිධ ජන කොටස්වලින් සමන්විත ජන සංයුතියකින් හෙබි රටකි (Multi – Cultural) ඕනෑම ජාතියකට නිදහසේ සමාන අයිතිවාසිකම් සහිතව එහි ජීවත්වීමට ඇති අවස්ථාව දැඩිසේ අගය කළ යුත්තකි. දියුණු තාක්ෂණික ක්‍රම අනුගමනය කරමින් සංවර්ධනය කරා ගොස් ඇති එරට ආර්ථික වර්ධනය ඉතා ඉහළ අගයක පවතින අතර ජනතාවට සතුටින් ජීවත්වීමට හැකි සමාජ වාතාවරණයක් ගොඩනැගී තිබේ. රට පුරාම පිරිසිදුභාවය ඉතා ඉහළ මට්ටමක පවතින අතර කසළ කළමනාකරණය වැනි කටයුතු ද ඉතා ප්‍රශස්තය. කාර්යාලයකට ගොස් යම් වැඩක් කරවා ගැනීමේ දී වැඩි වේලා නොයවා ඉතා කඩිනමින් පිළිවෙළකට එය ඉටුකර දීම ඔවුන්ගේ ජන ජීවිතයේ කැපී පෙනෙන ලක්ෂණයකි. ඉහළ ශ්‍රේණි සඳහා වන පාසල්වල පමණක් නොව ළදරු පාසලක දී වුවද එහි ගුරුවර ගුරුවරියන් ශිෂ්‍ය දූ දරුවන්ට දක්වන අසීමිත කරුණාව හා ආදරය හැමගේ සිත් ඇදගන්නා සුලුය. තරුණ කාන්තාවකට වුවද ඕනෑම වේලාවක භයක් සැකක් නැතිව තනිවම ගමනක් බිමනක් යෑමට හැකි පරිසරයක් උද‌ා වී ඇත. හදිසියෙන් හෝ යම් අකටයුත්තක් සිදුවුවහොත් එය සිදුවන්නේ ශ්‍රී ලංකාව වැනි රටකින් පැමිණි නොහික්මුණු අයෙකුගෙන් පමණි.


ඡන්ද කාලයක දී වුවද තාප්ප කැත කරමින් පෝස්ටර් ඇලවීම හෝ අනවශ්‍ය ප්‍රචාරක වැඩපිළිවෙළවල් නොමැති අතර ශ්‍රී ලංකාවේ මෙන් එවැනි කාලයක දී දක්නට ලැබෙන අනවශ්‍ය වූද අමුතු වූද සමාජ පරිසරයක් එහි දක්නට නොමැති අතර ඡන්දයක් තිබේද නැද්ද කියාවත් සිතා ගැනීමට නොහැකි සාමාන්‍ය සමාජ පරිසරයක් රට පුරාම දක්නට ලැබෙන්නේය. ජනතාවගේ පහසුව සඳහා ඇති කර තිබෙන ගමනාගමන පහසුකම් සැපයීමේ බස් හා දුම්රිය සේවාවන් ඒකාබද්ධව ඉතා ප්‍රශස්ත මට්ටමක පවතින අතර හරියටම වේලාවට ඒවා ධාවනය කරවීමට බලධාරීන් ක්‍රියාකර තිබේ. බස් රථයක් ධාවනය කරනවිට මහමග අයිනේ ආබාධිත අයෙකු රෝද පුටුවක සිටී නම් රියැදුරු බසය නවතා ඔහුම එම ආබාධිතයා ළඟට ගොස් බසයට නංවාගෙන ගමන් කිරීමේ කාරුණික ස්වභාවය මම දුටුවෙමි.


අපගේ රටේ නම් එවැනි අයෙකු දුටුවිට ශීඝ්‍රගාමීව වේගයෙන් බසය ධාවනය කරවීමට තරම් අපගේ රියැදුරන් ආකාරුණික වන අයුරු බොහෝ විට දක්නට ලැබේ. පිහිටවිය යුතු අයට හැම විටම පිහිටවීමට තරම් කාරුණික තත්ත්වයක් පෙන්නුම් කරන ඔවුහු අප රටේ මෙන් මූනිච්චාවට සිනහවක් නොපෙන්නුවත් කළ යුතු දේ නිසි පරිදි හරියාකාරව ඉටු කරති. මේ අතර වැඩිහිටියන් ද තමන්ට ලැබෙන දීමනාවෙන් සතුටට පත්වෙමින් නිදහසේ සිටින ආකාරය දක්නට ලැබේ. මා අත්දුටු ලක්ෂණවලින් කීපයක් පමණක් මෙසේ සඳහන් කළ ද ඒවා ද මීට අවුරුදු 24 කට පෙර මා දුටු ඒවාය. වර්තමානයේ මෙම ලක්ෂණ තව තවත් වැඩි දියුණු වී ඇති ආකාරය 2014 වර්ෂයේ දී මා සංචාරක් සඳහා ඕස්ට්‍රේලියාවට ගිය අවස්ථාවේ දක්නට ලැබුණි.


මෙවැනි හොඳ ලක්ෂණ නිසාම අපගේ ශ්‍රී ලාංකිකයෝ ද බොහෝ විට ඕස්ට්‍රේලියාවට යෑමට උත්සාහ ගනිති. අපගේ රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන වට පිටාවට වඩා වෙනස් වූ ඉතාමත් සාධනීය, ගුණාත්මක හා හරයාත්මක වටපිටාවක් පවතින රටක ජීවත්වීම තම ජීවිතයට අභිමානයක් බව සිතන නිසාම බොහෝ දෙනා ඕස්ට්‍රේලියාව වැනි රටකට යෑමට උත්සාහ ගන්නා අතර දැනට ශ්‍රී ලාංකිකයෝ ලක්ෂ ගණනක් එහි ජීවත් වෙති. 


ඕස්ට්‍රේලියානු සමාජයේ දක්නට ලැබෙන තවත් ඉතා වැදගත් ලක්ෂණ රැසක් සඳහන් කළ හැකි වුවත් මා මෙහිදී විශේෂයෙන් සඳහන් කිරීමට අදහස් කළ එක් කරුණක් නම් අනවශ්‍ය, නාස්තිකාර වියදමින් තොරව කරනු ලබන උත්සව පැවැත්වීමේ කලාව ඉතාමත් ආදර්ශමත් බවයි. මා එහි සිටි කාලයේ දී විවිධාකාර උත්සව අවස්ථා රැසකට සහභාගි වූ අතර එසේ සහභාගි වූයේ අපේ රටේ ක්‍රමවේදයන් හා එරට ක්‍රමවේදයන් අතර ඇති වෙනස්කම් අවබෝධ කර ගැනීම සඳහාය. ලංකාවේ මෙන් අනවශ්‍ය ලෙස වේදිකා තනමින්, රතු පලස එළමින්, අනවශ්‍ය සැරසිලි කරමින්, ජනතාව හා පාසල් ළමුන් අව්වේ රස්තියාදු කරමින් කරනු ලබන පුහු ආටෝපකාරී උත්සව මම එහිදී නුදුටුවෙමි. එක් නිදසුනක් මෙසේය. වික්ටෝරියා ප්‍රාන්තයේ ''Footscray'' ප්‍රදේශයේ සකස් කරන ලද මහා මාර්ගයක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වූ මා පුදුමයට පත් වූයේ එතරම් විශාල ව්‍යාපෘතියක් ඉතාම අඩු වියදමකින් විවෘත කිරීමට ඔවුන් කටයුතු කර තිබූ ආකාරය දැකීමෙනි. 


එදින පෙරවරු 9.30 ට පමණ එම විවෘත කිරීම පැවති අතර කිසිම වේදිකාවක් තනා නොතිබුණි. පෝස්ටර් හා පත්‍රිකා කිසිවක් දක්නට නොලැබුණු අතර ශබ්ද විකාශන යන්ත්‍ර ද නොතිබූ අතර පාර හරහා පීත්ත පටියක් පමණක් සවි කර තිබූ අතර කිසිදු සැරසිල්ලක් හෝ තොරණ ආදිය ද නොතිබුණි. පීත්ත පටිය ආසන්නයේ පැත්තකට වෙන්නට පුටු 50 ක් පමණ තබා තිබුණි. ඒ ආසන්නයේ මේසයක වීදුරු කිහිපයක් හා බීම වර්ග කිහිපයක් තබා තිබුණි. එම ස්ථානයට ගිය මා ද එහි වූ පුටුවක වාඩිගත් අතර සහභාගි වී සිටි සම්පූර්ණ පිරිස පනහකට ආසන්න වූහ. ටික වේලාවකින් එම ප්‍රාන්තයේ ප්‍රධාන පෙළේ ඇමතිවරයෙක් ඔහු විසින්ම පැද වූ වාහනයකින් එතැනට පැමිණ පීත්ත පටිය අසල නතර වී වාහනයෙන් බැස්සේය. පිරිස අතර සිටි කාන්තාවක් ඇමතිවරයා ළඟට ගොස් අතට අත දී පීත්ත පටිය කැපීමට කතුරක් දුන් අතර ඔහු පීත්ත පටිය කපා සියලු දෙනා සමගම අත්පොළසන් දී රැස්ව සිටි පිරිස සමගම සූද‌ානම් කර තිබූ එම සංග්‍රහය භුක්ති වින්දේය. ඉන් පසු ආරාධිතයා පමණක් විනාඩි 3 ක් පමණ කථාකර සියලුදෙනාට ස්තුති කොට පිටත්ව ගියේය. උත්සවය ඉන් නිමාවිය. ගත වූ සම්පූර්ණ කාලය විනාඩි 15 ක් පමණ විය. ඉතා චාම්ව පැවති උත්සවයේ පම්පෝරි කතා නැත. මල්මාලා, බුලත්හුරුලු නැත. වර්ණනා අතිශයෝක්ති කයිකතන්දර නැත. පිළිගැනීම් හා ස්තුති කථා නැත. ස්තෝත්‍ර ගායනා හෝ මඟුල් බෙර වාදන නැත. ලොකු වියදමක් දරා කරන ලද ව්‍යාපෘතිය කෙටි වේලාවකින්, කෙටි වියදමකින් ජනතා අයිතියට පත් කළේය. එම උත්සවය නිම වී මා නැවතී සිටි නිවසට පැමිණ කල්පනා කළේ ලංකාවෙත් මෙවැනි පුහු ආටෝපවලින් බැහැර වූ උත්සව රැස්වීම් පවත්වන්නේ නම් කොතරම් අගනේ ද කියාය. නිම කළ ව්‍යාපෘතියට වඩා වැඩි මුදලක් වැය කොට විවෘත කිරීම් උත්සව පවත්වන ඒ තුළින් මුදල් කාබාසිනියා කරන, ලංකාව වැනි රටකට මෙවැනි රටවල්වලින් ගත හැකි ආදර්ශ කොපමණ නම් තිබේද? එහෙත් වරින්වර නොයෙක් වැඩ මුළුවලට යැයි කියමින් විදේශ සංචාරවල නිරත වන බලධාරීන් නිලධාරීන් මෙවැනි ක්‍රම අධ්‍යයනය කොට ඉන් එකක් හෝ ක්‍රියාත්මක කරන්නේ ද? නැත පසුගිය කාලයේ පිටරටවල්වල තිබෙන ක්‍රමවලින් එක් ක්‍රමයක් නම් රට පුරාම ක්‍රියාත්මක කිරීමට හා ප්‍රචලිත කිරීමට අපේ රටේ අය පසුබට වී නැත. ඒ ''Spa'' ක්‍රමයයි. ලංකාවේ ‘ස්පා’ ක්‍රමයක් තිබුණේ නැත. එය තායිලන්තය වැනි රටවල හැම තැනකම වාගේ ව්‍යාප්තව පවතී. ලංකාවේ ද දැනට අවුරුදු හත, අටක පමණ සිට හතු පිපෙන්නාක් මෙන් හැම නගරයකම කඩපලකම, වීදියකම එවැනි ‘ස්පා’ විවෘත කර ඇත. ස්පා මුවාවෙන් එම ස්ථානවල සිදු කරන නොහොබිනා ක්‍රියා මොනවාදයි කවුරුත් දනිති. තායිලන්තය වැනි රටකින් එවැනි අනවශ්‍ය දේ ආදර්ශයට ගෙන ක්‍රියාත්මක කිරීමට උනන්දු වුවත් රටේ, සමාජයේ ප්‍රගමනය උදෙසා යම් සාදනීය ව්‍යාපෘතියක් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට උනන්දුවන්නේ කවුද? ඇත්තෙන්ම මෙය රට කරවන ඇත්තන්ගේ අවධානයට යොමු විය යුත්තකි. දියුණු රටවල්වලින් උගත යුතු හොඳ පාඩම් ඉගෙන ගෙන ඒවා අපගේ රට තුළ ව්‍යාප්ත කිරීමට උනන්දුවීම අපේ රට ද දියුණුව කරා ගමන් කරවීමට මුල පිරීමකි.