පුද්ගලයකුගේ දෛවය හෝ ඉරණම පුදුමාකාරය. ඔහු කිසි විටෙකත් නොසිතූ නොපැතූ ඉසව් දක්වා එම දිවිය ගෙන යන අතර බොහෝ දේ හිමිකර දෙනවාක් මෙන්ම අහිමිවීම්ද බොහෝය. ප්‍රකට රංගන ශිල්පියෙකු ගායන ශිල්පියෙකු මෙන්ම කීර්තිමත් දේශපාලනඥයකුද වූ විජය කුමාරතුංගයන් ගැන සලකන කල්හි පෙර සඳහන අතිශයින්ම සත්‍යයක් බව පසක් වනු නිසැකය. ඔහුට දෛවය විසින් ලබාදුන් දේ බොහෝය. දුටු කෙනකුගේ නෙත් සිත් පැහැර ගන්නා මනා රූ සපුවක් ඔහු සතුවිය. රූපයට සරිලන පෞරෂයකින් හෙබි ආරෝහ පරිනාහ දේහ සම්පත්තියක් උපතින්ම විජයට හිමිව තිබුණි. එනිසාම ඔහුට ජනප්‍රිය නළුවෙකු වීමේ භාග්‍යය උදාවිය. මෙසේ නොසිතූ ලෙසින් සිනමාව දිග්විජය කළ විජය කුමාරතුංගයන් රඟපෑ චිත්‍රපටි ගණන සියයකට අධික බව කියවේ. එමගින් මෙරට සිනමා රසික ප්‍රජාවගේ සිහින කුමරා බවට පත්වීම නිසා වසර ගණනාවක් ජනප්‍රිය නළුවා වශයෙන් මුල්තැන දිනා ගත්තේය. 


මෙසේ ජනප්‍රිය නළුවා ලෙස පත්වීම ශ්‍රී ලාංකේය සිනමා වංශ කතාවේ අද්විතීය වාර්තාවක් ලෙසද සැලකේ. තම දක්ෂ රංගන කුසලතාව හුදෙක්ම මිල මුදල් ඉපයීමටම සීමා නොකළ ඔහු බොහෝ පිරිසකට උදව් කිරීමටද එම වෘත්තීය යොදා ගත්තේය. චිත්‍රපට නිෂ්පාදකයන්ට, අධ්‍යක්ෂවරුන්ට මනා සහයෝගයක් ලබාදෙමින් ඔවුන්ගේ දියුණුවට අතහිත දුන් ආකාරයේ නොයෙක් කතා එම යුගයේ පුවත්පත්වල පළවිය. 


යමක් කමක් ඇති මධ්‍යම පාන්තික පවුලක හතරවැනි දරුවා ලෙස ඔහු උපත ලැබුවේ එකල සීදූව වසමේ ගම්මුලාදෑනියා වූ බෙන්ජමින් කුමාරතුංග මහතා සහ එම පතිනිය වූ බියටි්‍රස් කුමාරතුංග මහත්මිය දෙමාපියන් කොටගෙනය. සීදූව මිශ්‍ර පාසලෙන් සහ පසුව කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු රැකියාවක් සොයා වෙහෙසුණේ තම සොහොයුරු සොහොයුරියන්ගේ අනාගතය සරිකොට  දීමටය. මීගමුව, කටාන ප්‍රදේශවල සංකීර්ණ සමාජ වටපිටාවට අනුව කුඩා කල සිටම ඔහුට ජාතිභේද, ආගම් භේද හෝ කුලභේද ගැන තැකීමක් නොවීය. සමාජයේ  කවුරුත් භේද භින්න නොවී සහෝදරත්වයෙන් ජීවත්විය යුතු බව ළමාවියේ සිටම ඔහු අවබෝධ කරගෙන සිටියේය. එම මානවවාදී ජීවගුණය හේතුවෙන් සහ සිය වැඩිමහල් සොහොයුරාගේ ආභාසයද හේතුකොට ගෙන නොබෝ කලකින්ම ඔහු සමසමාජ පක්ෂයේ දේශපාලන ගමන් මගට අනුගතව සිටියේය. 


එහෙත් පෙර සඳහන් කළ පරිදි විජයගේ දෛවය ඔහුව යොමු කළේ වෙනත් පැත්තකටය. 1977 මහා මැතිවරණය එළඹෙන විට විජය කුමාරතුංගයන් ජනප්‍රියත්වයේ ඉහළම තලයට පැමිණ සිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකකාරකාදීන්ගේ අවධානය මේ කෙරෙහි යොමුවිය. එම මහා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කටාන ආසනය සඳහා නව අපේක්ෂකයකු අවශ්‍යව තිබුණි. ඒ සඳහා නම් කෙරුණේ සිනමා රංගන ශිල්පියකු ලෙස සමස්ත දේශයේත් යහපත් මිනිසෙකු සහ මානව හිතවාදියකු ලෙස කටාන සීදුව ප්‍රදේශයේත් මහත් ජනාදරයක් දිනාගෙන සිටි මෙම හුරුබුහුටි තරුණයාය. එම මැතිවරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවාසිසහගත තත්ත්වයක් උදාකළේය. තම වාමාංශික හිත මිතුරන් වෙන්ව ගොස් හුදකලාවී සිටි එම පක්ෂයට දිනාගත හැකිවූයේ ලංකාවෙන්ම ආසන අටක් පමණි. හිටපු ප්‍රබල ඇමැතිවරු බොහෝ දෙනා පරාජය වූහ. එම පක්ෂයේ දැවැන්තයෝ බොහෝ දෙනා දහ පහළොස් දහස් ගණන් වලින් පරාජය වෙද්දී විජයට නම්බුව රැක ගැනීමට හැකිවන අයුරින් පරාජය හිමි වූවේය. ප්‍රබල එජාප ක්‍රියාකාරිකයකු මෙන්ම තම ප්‍රතිවාදියා වූ  විජයපාල මෙන්ඩිස් මහතාට විජය පරාජය වූවේ එක් දහසකට ආසන්න වැඩි ඡන්දයකිනි. 


මෙම මැතිවරණ ක්‍රියාදමයේදී ඇතිවූ දැන හැඳුනුම්කම් සහ ඇසුර හේතුකොට ගෙන සුප්‍රකට බණ්ඩාරනායක පවුලේ බාල දියණිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙනවිය සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇතිකර ගැනීමටත් එය විවාහයෙන් නිමාවට පත්කර ගැනීමටත් විජය වාසනාවන්ත විය. වංශාධිපති සර් සොලමන් ඩයස් බණ්ඩාරනායක මහමුදලිවරයාගේ මිනිබිරිය විවාහ කර ගැනීමට හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මෑණියන්ගේ ආශිර්වාදය හිමිවීමම මෙරට සමාජ ක්‍රමයේ ඇතිවූ ප්‍රබල වෙනස්වීමක් ලෙස එකල පුවත්පත්වල පළවූ බව මට මතකය. 


ජයග්‍රහණයට පියවරුන් දහසකි. එහෙත් පරාජය අවජාතක යැයි කියමනක් තිබේ. 1977 මහා පරාජයේ  වගකීම හිටපු අගමැතිනිය වූ තම නායිකාවට පැවරූ එම රජයේ සිටි බොහෝ බලවත්තු තමන්ගේ දෑත් සෝදාගෙන නිදොස්වීමට උත්සාහ කළහ. දහසකුත් එකක් චෝදනාවන්ට ලක්ව ඇය පක්ෂය තුළ හුදකලාවීමේ අනතුරකට මුහුණ දුන්නාය. එවකට පැවති රජය විසින් ප්‍රජා අයිතිය අහිමි කරන ලදුව සිටි ඇය පක්ෂ නායක ධුරයෙන් ඉවත් කිරීමට මෙම ප්‍රබලයෝ කටයුතු කළහ. එහෙත් ඇය ආරක්ෂා කිරීමේ පරම වගකීම සිය උරමතට ගත්තේ විජය කුමාරතුංගයන්ය. සිය එකම පුත් අනුර බණ්ඩාරනායක මහතා පවා මෑණියන්ට එරෙහිව සිටි එම තීරණාත්මක මොහොතේ විජය ඉදිරිපත්ව කළ සුවිශාල මෙහෙවර නොවූවානම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පමණක් නොව මෙරට ඉතිහාසයේද ගමන් මග වෙනස් වන්නට තිබුණි. ඔහු ඒ වගකීම භාරගත්තේත් සටනට කැපවූවේත් මැතිනියගේ බෑනණුවන් වූ නිසා නොව හුදෙක් යුක්තිය ඉටු කිරීමක් වශයෙනි. 


1982 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස හෙක්ටර් කොබ්බෑකඩුව මහතා තෝරාගැනීමේ සිට මැතිවරණය අවසානය දක්වාම සියලු බර දැරුවේ විජයයි. පක්ෂයෙන් අරමුදල් වශයෙන් කිසිවක් නොලැබෙද්දී රංගන දිවියෙන් උපයා ගත් සෑම සතයක්ම පාහේ වැය කරමින් අපරිමිත සහයෝගයක් ලබාදුන්නේය. ජේ. ආර්. ජයවර්ධන මහතා දෙවැනි වතාවටත් ජනාධිපති ධුරයට පත්වීමෙන් එම සටන අවසානයට පත්වූවේය. එයින් පසු රාජ්‍ය විරෝධී  නැක්සලයිට් කුමන්ත්‍රණයකට සහභාගි වූවේයැයි චෝදනා කරමින් මාස ගණනාවක් සිර මැදිරියක දුක්බර ජීවිතයක් ගත කිරීමට විජයට සිදුවිය. 


විජය කුමාරතුංග යනු දේශපාලන කුහකයකු නොවේ. ප්‍රතිපත්තියක් මත දේශපාලන ගමනක් ගිය ප්‍රගතිශීලියෙකි. 1983 කළු ජූලියෙන් ඇරඹුණු දෙමළ බෙදුම්වාදී සටනේ නිරතව සිටි හමුදා සෙබළුන් කිීප දෙනෙකු ත්‍රස්තවාදීන් අල්ලා සිරකොට ප්‍රාණ ඇපයට ගෙන තබා ගනිමින් රජයට තර්ජනය කළ අවස්ථාවේදී ජේ. ආර්. ජයවර්ධන මහතා දැඩි අර්බුදයකට මුහුණ දුන්නේය. එම අවස්ථාවේදී  ත්‍රස්තවාදීන් සමග සාකච්ඡා කර එම අර්බුදය විසඳීමට විජය නොපැකිළ ඉදිරිපත් වූවේ ජීවිතය අහිමිවීමේ අවදානම පවා නොතකමිනි. එහිදී ඔහු දේශපාලන වාසි බැලුවේ නැත. ත්‍රස්තවාදීන් භාරයේ සිටින හමුදා සෙබළුන් බේරාගතහොත් එහි ගෞරවය හිමිවන්නේ ජේ. ආර්ට ද? තමාටද? යැයි සිතුවේ නැත. මානව හිතවාදියකු වශයෙන් ඔහු කල්පනා කළේ අහිංසක සෙබළුන්ගේ වටිනා ජීවිත ගැනය.


ඒ හිතන්නවත් බැරි කාලයේ ඔහු තම සගයන් සමග යාපනයට හා මදුරාසියට ගියේය. පක්ෂවල පාට කන්නාඩියෙන් ප්‍රශ්න දෙස බැලු විජයගේ බොහෝ සගයෝ මෙම ක්‍රියාව නිසා ඔහු හැරගියහ. ඔහුගේ අවරෝහණය ආරම්භ වූවේ එතනින් යැයි මම අනුමාන කරමි. 


දේශපාලන පොරපිටියේ සදාකාලික සතුරන් හෝ මිතුරන් නැතැයි කියමනක් තිබේ. ප්‍රජා අයිතිය අහිමිව අසරණව දේශපාලන තලයෙන් පලවා හැරීමේ තර්ජනයට ලක්ව සිටි සිරිමාවෝ එම අනතුරෙන් රැකගැනීමට විජය කුමාරතුංගයන් කටයුතු කළ බව පෙර සඳහන් කළෙමි. එහෙත් ඇයට විරුද්ධව කටයුතු කළ අනුර බණ්ඩාරනායක  මහතා කණ්ඩායමක් සමග ආපසු පැමිණි පසු මැතිනියගේ වැඩි කරුණාව සහ අනුග්‍රහය හිමිවූයේ පුත් අනුරටය. ‘අකීකරු පුත්‍රයා’ නිවසට පැමිණි පසු මව් සෙනෙහස හිමිවූවා විය හැකිය. 
විජය කෙමෙන් ඈත් වූවේය. මෙම ගැටුම නැවතුණේ විජය, ටී. බී. ඉලංගරත්න වැනි නායකයන් එක්ව ශ්‍රී ලංකා මහජන පක්ෂය පිහිටුවා ගැනීමෙනි. එය ජනතාවගේ ආකර්ෂනය මනාව දිනා ගත්තේය. ප්‍රධාන කඳවුරු දෙකට විකල්පයක් වශයෙන් එම පක්ෂය ඉදිරියට එනු ඇතැයි විශ්වාසයක් රට තුළ නිර්මාණය විය. එම තත්ත්වයද ඔහුට ජීවිත අනතුරක් වූ බව බොහෝ දෙනා විශ්වාස කළහ. 


ජනවාර්ගික අර්බුදයකට විසඳුමක් ලෙස ඉන්දු - ලංකා ගිවිසුම කරළියට පැමිණි අවස්ථාවේදී විජය එයට පක්ෂ විය. ඔහු කළේ ප්‍රතිපත්තිමය දේශපාලනයකි. බලය බෙදාහැරීමෙන් ජනවාර්ගික සමගිය ඇති කළ හැකි බව ඔහු තරයේ විශ්වාස කළේය. ජනප්‍රිය රැල්ලේ සටන් පාඨ කරපින්නාගෙන ජනප්‍රියවීම ඔහු අනුමත නොකළේය. විජයගේ අපේක්ෂාව වූයේ යථාර්ථවාදීව ප්‍රශ්නය දෙස බලා රැල්ලේ නොව ක්‍රියාකාරකම් මත උඩුගම්බලා පිහිනීමයි. එය අමාරු කාර්යභාරයකි. රට බෙදීමට උදව් කරන්න්නේ යැයි ඔහු චෝදනාවට ලක්වූවේය. එනිසා ඔහු වෛරී දේශපාලනයේ ඉලක්කයක් බවට පත්විය. මින්නේරිය සහ මහර අතුරු මැතිවරණවලදී ඔහු නොමරා මරා දැම්මේය. විජයට තැබූ වෙඩිල්ලට ගොදුරුවූ මහර රාජපක්ෂ සොහොයුරා ඝාතනයට ලක්විය. විජය මහර මන්ත්‍රීවරයා වීම වැලකුණේ කෙසේදැයි  දන්නෝ දනිති. ප්‍රතිවාදී කඳවුරු දෙකම අඩු වැඩි වශයෙන් එයට දායක වූ ආකාරය ලේඛනගතව තිබේ. ප්‍රකාශයට පත් වූ ප්‍රතිඵලය අනුව විජය කුමාරතුංගයන් මහර පරාජයට පත්වූවේ ඡන්ද 45කිනි. 


දරුවන් දෙදෙනකුගේ ආදරණීය පියාණන් වූ විජය ඒ දෙදෙනා ඉදිරියේදීම 1988 පෙබරවාරි 16 වැනි දින උදේ පොල්හේන්ගොඩ නිවසේ අංගණයේ සිටියදී නාඳුනන තුවක්කුකරුවකුගේ  වෙඩි  උණ්ඩයකට ගොදුරුවීමෙන් ඝාතනයට ලක්වූවේය. අති විශේෂ ආකාරයෙන් දෛවය ඔහුට බොහෝ දේ ලබාදුන් නමුදු දිගු කලක් ජීවත්වීමේ වරම ලබාදුන්නේ නැත. අප මුලිනුත් සඳහන් කළ පරිදි දෛවය සමහරුන්ට සලකන්නේ එහෙමය. එම කෘර ඝාතනයෙන් පසු වසර තිස් එකක් ගතව ඇත. ඒ සා දිගු කලක් මේ සුන්දර මිනිසා ගැන ශ්‍රී ලාංකික ජනතාවට අමතක නොවී ඇත්තේ ඔහුගේ මානවවාදී ජීවගුණය නිසා යයි මම අනුමාන කරමි.

 

 


සෝමසිරි වික්‍රමසිංහ
සංරක්ෂිත ඡායාරූප