ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන ජාත්‍යන්තර ඔත්තු සේවා මෙහෙයුම් පිළිබඳ කතා බස් බොහෝ දුරදිග ගොස් තිබේ. එය කොතරම්දැයි කියතොත් ඉන්දියාවේ රෝ ඔත්තු සේවයට සම්බන්ධ චර පුරුෂයෙකු බව කියැවෙන මර්සිලි තෝමස් නම් පුද්ගලයා මෙරට ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට තිබූ සූදානමක් ගැන කියවෙන කතා පුවතක් නිසා අපේ රටේ ආණ්ඩුව පවා වෙනස් වූවේය. රට සෙලවෙන ආකාරයේ වෙනස්කම් සහ ආන්දෝලන ඇතිවිය. ජාත්‍යන්තර අවධානය පමණක් නොව බලපෑම්ද එල්ල වෙමින් තිබේ. මෙහි කටයුතු සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන්ද ප්‍රකාශයක් සටහන් කර ගැනීම පිණිස රහස් පොලිසිය වෙත කැඳවා පැය තුනක් ප්‍රශ්න කළ බවද කියවේ. එයින් මාතෘකාව තවත් උණුසුම්ව ඇත.


අගමැති තනතුරේ කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරට පත් කිරීමටද මෙම කාරණය ඉවහල් වූ බව නොයෙක් විට කියවුණි. එයින් මතු වූ ආරාවුල තවමත් නිමා වී නැත. නීත්‍යනුකූල ආණ්ඩුව පිළිබඳව අර්බුදයක් මතුවන තරමට දුරදිග ගිය විදේශීය ඔත්තු සේවාවන් පිළිබඳව ලොමුදැහැගැන්වෙන කතා ලෝක ඉතිහාසයේ බොහෝ සෙයින් ප්‍රකටව තිබේ.


ප්‍රජාතන්ත්‍රවාදයේ මහගෙදර ලෙස සැලකෙන බි්‍රතාන්‍යයේ ආණ්ඩුවක් පෙරළෙන තැනට පත් කිරීමට මෙම ඔත්තු සේවා කටයුතු හේතුවිය. ක්‍රිස්ටීන් කීලර් යනු බි්‍රතාන්‍යයේ ප්‍රකට නිරූපිකාවකි. මනා රූ සපුවකින් හෙබි ඇය කාගේත් නෙත් සිත් ඇදබැඳගන්නා තරුණියක වූවාය. එමෙන්ම ඇය වෘත්තීයමය ගණිකාවක් වූ බවද පුවත්පත්වල පළවිය. මෙම වෘත්තීයේ නියැළීම උදෙසා ඇය විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග නිසා රටේ රාජ්‍ය රහස් සතුරු රාජ්‍යයක් අතට පත්වූවේය යන බරපතළ චෝදනාවට මුහුණ දීමට එවකට පැවති බි්‍රතාන්‍ය රජයට සිදුවිය. මෙම සිදුවීම් මාලාවේ අවසානය වූයේ රජය වෙනස් වී වෙනත් අගමැතිවරයෙකු පත්වීම සහ මහා මැතිවරණයේදී එම රජය පරාජයට පත්ව තවත් පක්ෂයක් බලයට පැමිණීමයි. මෙම මහත් අර්බුදකාරී සහ ලෝකය හෙල්ලෙන පමණ සංකීර්ණ ගැටලුව පිළිබඳ කතාව දිගහැරෙන්නේ මේ අකාරයෙනි. 


එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තය යන ප්‍රදේශ ඒකාබද්ධ වූ රාජ්‍යය බි්‍රතාන්‍යය නමින් හැඳින්වේ. මෙම රටේ ක්‍රියාත්මක වන්නේ අපේ රටේ මෙන්ම පාර්ලිමේන්තු ක්‍රමයයි. අපේ රටේ පාර්ලිමේන්තු ක්‍රමයේ මුල් යුගයේදී මෙන්ම බි්‍රතාන්‍යයේ අදටත් ක්‍රියාත්මක වන්නේ සභා දෙකකින් යුත් මන්ත්‍රණ සභාවකි. පළමුවැන්න සාමි මන්ත්‍රී මණ්ඩලයයි. දෙවැන්න මහජන ඡන්දයෙන් තෝරා ගත් මන්ත්‍රී මණ්ඩලයයි. මෙම සාමි මන්ත්‍රී මණ්ඩලයට මන්ත්‍රීවරුන් පත් කෙරෙන්නේ දහහත් වැනි සියවසේ පමණ සිට පැවතෙන ගතානුගතික සම්ප්‍රදායට අනුවය. එංගලන්තයේ රජ පවුල නියෝජනය කරමින් රාජකීයයන් පිරිසක්, ආගමික පූජකයන් පිරිසක්, රාජාධිකරණයේ විනිසුරු සාමිවරුන් මෙන්ම බි්‍රතාන්‍යයේ වංශාධිපති රදලවරුන් ලෙස පිළිගන්නා අර්ල්වරුන්, බැරන්වරුන්, නයිට්වරුන් ආදී ප්‍රභූවරුන් අතරින් පිරිසක් සාමි මන්ත්‍රී මණ්ඩලයට පත් කරනු ලබයි. මෙයින් අර්ල්වරු බැරන්වරු සහ නයිට්වරු මෙම සභාවට පත් කෙරෙන්නේ පාරම්පරිකවය. මෙම සභාව අතරින් කීප දෙනෙක්ම කැබිනට් මණ්ඩලයටත් රාජ්‍ය ඇමති සහ නියෝජ්‍ය ඇමති ධුර සඳහාත් තෝරා ගැනීම එරට පිළිගත් ක්‍රමය වූවේය. මෙසේ පත්වූ පස්වැනි ප්‍රොපියුමෝ බැරන්වරයා වූ ජෝන් ප්‍රොපියුමෝ මහතාට හැටේ දශකයේ මුල් කාලය වන විට බි්‍රතාන්‍යයේ යුද කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධුරය පිරිනැමුනි. ඉතා දක්ෂ අන්දමින් කටයුතු කරන ක්‍රියාශීලි පුද්ගලයෙකු වූ ජෝන් ප්‍රොපියුමෝ එවකට බි්‍රතාන්‍යය පාලනය කළ කොන්සර්වේටිව් පක්ෂයේත්, ඇමති මණ්ඩලයේත් ඉතා ජනප්‍රිය පුද්ගලයෙක් වූවේය. 


දීප්තිමත් දේශපාලන අනාගතයක් ගොඩ නගා ගනු ඇතැයි බොහෝ දෙනා ඔහු ගැන විශ්වාසය තබාගෙන සිටියහ. බි්‍රතාන්‍යයේ ඉහළ සමාජයේ ගති සිරිත්වලට අනුව සෙල්ලක්කාර විනෝදකාමී ජීවිතයකට ඔහු හුරු වී සිටියේය. බි්‍රතාන්‍ය දේශපාලන ක්ෂේත්‍රයේ මෙවැනි අය බහුලය. එය කිසිවෙකුගේ අභියෝගයකට හෝ විවේචනයට ලක්වන්නේ නැත. ඔවුහු දිවා කාලයේ දේශපාලන කටයුතුවල නිරත වෙති. රාත්‍රියේදී කති, බොති, නටති, රාත්‍රී සමාජ ශාලාවල ගැවසෙති. කාමිණියන් ඇසුරු කරති. ඒ බි්‍රතාන්‍ය සමාජයේ සංස්කෘතියයි. 


මේ අයුරින් විනෝදකාමී ජීවිතයක් ගත කළ තවත් ප්‍රභූවරයෙකු වූ ඇස්ටර් සාමිවරයා විසින් ජෝන් ප්‍රොපියුමෝ ඇමතිවරයාට ක්‍රිස්ටීන් කීලර් නමැති නිරූපිකාව හඳුන්වා දෙන ලදි. මෙම සුරූපිනියගේ ඇසුර ඉත සිතින් ප්‍රිය කළ යුද්ධ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිවරයා ඇය නිතර හමුවෙමින් විවිධ සංචාරයන්හි යෙදෙමින් ලිංගික ඇසුරද පවත්වාගෙන ගිය බව කියවේ. 

 

 


සියවස් ගණනාවක් තිස්සේ බි්‍රතාන්‍යයට මහත් අභිමානයක් වෙමින් පවත්වාගෙන ගිය හිරු නොබසින අධිරාජ්‍යය පිළිබඳ කීර්තිය මෙන්ම දෙවැනි ලෝක මහා සංග්‍රාමයෙන් පසුව එම සටනේ ජයග්‍රාහකයෙකු වශයෙන් ලැබූ වාසියද අත ඇතිව මේ වකවානුවේ රාජ්‍යාරක්ෂක කටයුතු පිළිබඳව බි්‍රතාන්‍ය රජය දැඩි ලෙස උනන්දුවක් දක්වමින් සිටියේය. යුද්ධයේදී එකම පිලේ සිට හිට්ලර්ට විරුද්ධව යුද කර කෝටි සංඛ්‍යාත මිනිස් ජීවිත සංඛ්‍යාවක් කැප කර හිට්ලර් පරාජය කිරීමෙන් පසු සෝවියට් රුසියාව බි්‍රතාන්‍යයේ පරම හතුරෙක් ලෙස සලකන පමණට දේශපාලන ප්‍රවණතාවන් වෙනස් වී තිබුණි. 


පරාජිත ජර්මනිය හතරට කඩා යුද්ධයේ ජයග්‍රාහක මිත්‍ර පාර්ශ්වය වූ බි්‍රතාන්‍යය, ප්‍රංශය, ඇමරිකා එක්සත් ජනපදය අතර බෙදාගෙන තිබුණි. එයින් රුසියාවට අයත් වූ කොටස නැගෙනහිර ජර්මනිය නමින් කොමියුනිස්ට් රාජ්‍යයක් බවට පත්ව තිබූ අතර, අනෙක් කොටස් තුන එක්සත්ව බටහිර ජර්මනිය නම් රට පිහිටුවා තිබුණි. එම රටවල් නිල වශයෙන් හඳුන්වනු ලැබුවේ ජර්මන් ප්‍රජාතන්ත්‍රවාදී ජන රජය (නැගෙනහිර) ජර්මන් ෆෙඩරල් සමූහාණ්ඩුව (බටහිර) වශයෙනි. මෙම දෙපිල දුටු තැන පොර වැටෙන තරමේ වෛරක්කාරී ප්‍රතිපත්තියක ගැලී සිටියේය. අවි ආයුධ තැනීමේ තරගය, න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදුකිරීම, අභ්‍යවකාශ තරණය පිළිබඳ තරගය සහ වෙනත් සෑම ජාත්‍යන්තර ප්‍රශ්නයක් සම්බන්ධයෙන්ද මෙම කඳවුරු දෙක සිටියේ උග්‍ර මතභේද සහිතවය.


මෙසේ බෙදී සිටීම නිසාම ලෝක දේශපාලන බල අරගලයේදී ඇමරිකාව, බි්‍රතාන්‍යය හා ප්‍රංශය නායකත්වය දුන් බටහිර පිලත් රුසියාව මුල්කර ගත් සමාජවාදී පිලත් අතර පැවති තරගය ලෝක ජන මාධ්‍යයෙන් විසින් නම් කර තිබුණේ සීතල යුද්ධය වශයෙනි. මෙම යුගයේ ඇමරිකාවේ නායකත්වය යටතේ බි්‍රතාන්‍යය, ප්‍රංශය, ස්පාක්‍ඳ්ක්‍ඳය, තුර්කිය, කැනඩාව වැනි රටවල්ද ඇතුළත්ව උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය :භ්ඔධ* පිහිටුවාගෙන තිබුණි. එමෙන්ම ඇමරිකාවේ මූලිකත්වයෙන් අග්නිදිග ආසියානු ගිවිසුම් සංවිධානය නමින් පකිස්ථානය, තායිලන්තය, නවසීලන්තය ඕස්ටේ්‍රලියාවද ඇතුළත් යුද්ධ ගිවිසුමක් ක්‍රියාත්මක විය. එය කෙටියෙන් හැඳින්වුණේ සියැටෝ ගිවිසුම යනුවෙනි. මෙම සියැටෝ සහ නැටෝ යුද ගිවිසුම් දෙකට මුහුණ දීම සඳහා සෝවියට් රුසියාවේ නායකත්වයෙන් පෝලන්තය, චෙකොස්ලෝවේකියාව, නැගෙනහිර ජර්මනිය, හංගේරියාව, බල්ගේරියාව, රුමේනියාව ආදී කොමියුනිස්ට්වාදී රටවල්වල සහභාගීත්වයෙන් වෝර්ෂෝ යුද ගිවිසුම නමින් තවත් ආයතනයක් පිහිටුවාගෙන තිබුණේ න්‍යෂ්ටික අවි ආයුධ රැස්කරගෙන ගනිමිනි. ලෝකයේ බල තුලනය රැඳී තිබුණේ මෙම කඳවුරු තුළ ශක්තියේ ප්‍රමාණයටය.


මෙවැනි වාතාවරණයක් තුළ මෙම කඳවුරු දෙකින් ලැබෙන කුමන හෝ වැදගත් තොරතුරක් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග සඳහා ඉතා වැදගත්කොට සැලකීම නොවැළැක්විය හැකි ක්‍රියාවක් වූවේය. මේ අනුව ඇමෙරිකාවේ සී.අයි.ඒ. ඔත්තු සේවයත්. සෝවියට් දේශයේ කේ.ජී.බී ඔත්තු සේවයත් නිර්මාණය වූ බව වටහාගත හැකිය. එමෙන්ම පලස්තීන ප්‍රශ්නය උග්‍රවීමත් සමග ඊශ්‍රායලය විසින්ද මොසාඞ් නමින් ඔත්තු සේවයක් ඇති කර ගන්නා ලද්දේ තම රාජ්‍යයේ පැවැත්ම සහ ආරක්ෂාව වෙනුවෙනි. මේ අනුව ලොව පුරා බොහෝ රට රාජ්‍යයන් තුළ නිරන්තරව මෙම ඔත්තු සේවාවන්ට අයත් චර පුරුෂයෝ සහ ස්ත්‍රීහු රාජ්‍ය රහස් සහ වෙනත් තොරතුරු සොයා ප්‍රසිද්ධියේ මෙන්ම හොර රහසේද හැසුරුණහ.
ලන්ඩනයේ පිහිටි සෝවියට් තානාපති කාර්යාලයේ උසස් නිලධාරියකු වූ යෝජිනි ඉවනොව් නමැත්තා ලන්ඩනයේ වෙසෙමින් රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලට වඩා එයින් පරිබාහිර ක්‍රියාවල යෙදෙමින් සිටි බව කියනු ලැබේ. මොහුට ක්‍රිස්ටින් කීලර් නිරූපිකාව හඳුනා ගැනීමට හැකිවිය. ඇයගේ රූමත් බවින් සහ කාමාශක්ත බැල්මෙන් කුල්මත් වූ යෙව්ජින් ඉවනොව්, ඇයගේ උනන්දුව මත ලිංගික සබඳතාවට එක් විය. 


මේ සා ආන්දෝලනයට කතාබහට ලක් වූ ක්‍රිස්ටීන් කීලර් තරුණිය කව්ද? ඇය හැදුණේ වැඩුණේ කෙසේද? ඇයගේ පවුල් පසුබිම කුමක් දැයි සොයා බැලීම මෙම කතාවේ පරිපූර්ණ තත්ත්වයට හේතු වේ. ඇය එංගලන්තයේ මිඞ්ල්සෙක්ස් ප්‍රාන්තයේ උක්ස්බ්්‍රජ් නම් ඈත ගමක උපත ලැබුවේ කොලින් කීලර් සිය පියා වශයෙන් ඇතිව 1942 පෙබරවාරි 22 වැනිදාය. දෙවන ලෝක මහා සංග්‍රාමය පවතිද්දී කොලින් කීලර් සිය දරු පවුල අතහැරදමා වෙනතකට යොමු වූවේය. කුඩා දැරිය තනි වූ මව සමග දහසකුත් එකක් අපහසුතා මැද හැදී වැඩුණාය. සිය මව වූ ජූලි එලන් පේන් සහ ඇගේ අලුත් සහකරු ඇයට ජීවිතය ගෙන යාමට උපකාර කළ අතර බාල අවධියේම අපචාර සහිත දිවියට යොමු වූවාය. පහළොස් හැවිරිදි වියේදීම වෙළඳ ව්‍යාපාරයක නිරූපිකාවක ලෙස සේවයට එක්වුණු යොවුන් ක්‍රිස්ටීන් කීලර් පිරිමි බිලිදෙකුට උපත දුන්නාය. එහි හවුල්කරු වූවේ කළු ඇමෙරිකානුවෙකු වූ ගුවන් හමුදා සැරයන්වරයෙකි. ක්‍රිස්ටීන්ගේ දිවිය ගත වූයේ මෙවැනි පසුබිමක් තුළය. යුද කටයුතු ඇමති ජෝන් ප්‍රොපියුමෝ බැරන්වරයා සමග ලිංගික සබඳතා පවත්වන අතරතුරදීම කේ.ජී.බී. රුසියානු ඔත්තු සේවයට සම්බන්ධ යැයි සිතන සෝවියට් තානාපති සේවා නිලධාරියකු වූ සෙව්ජිනි ඉවනොව් සමගද සබඳතා පැවැත්වීම ප්‍රකට වෙද්දී බි්‍රතාන්‍ය පුවත්පත්වලට එය කදිම රස මසවුලක් වූවේය. එපමණක් නොව රුසියන් තානාපති නිලධාරියා ජොන් ප්‍රොපියුමෝ දෙදෙනා එකට මුණ ගැස්වීමට ක්‍රිස්ටීන් කටයුතු කළාය.


මෙම තොරතුරු ප්‍රසිද්ධ වීමෙන් පසු බි්‍රතාන්‍ය ජනතාව ඉමහත් කෝපයට පත්වූවේ තම රාජ්‍යය සතු අභිමානය හා කීර්තිය විනාශ කිරීමට බි්‍රතාන්‍ය රජයේ ඇමතිවරයකු ක්‍රියාකර ඇති නිසාය. යම් හෙයකින් බි්‍රතාන්‍ය යුද රහස් සෝවියට් ඔත්තුකරු අතට පත්වූයේ නම් නුදුරු අනාගතයේම සිදුවිය හැකි ව්‍යසනය ඔව්හු වටහා ගත්හ. ඒ නිසාම හටගත් ජනතා විරෝධය කෙළින්ම එල්ල වූවේ එවකට බි්‍රතාන්‍යය පාලනය කළ කොන්සර්වේටිව් පාක්ෂික හැරල්ඞ් මැක්මිලන් මහතාගේ රජයටය. ජෝන් ප්‍රොපියුමෝ ඇමති ධුරය දැරුවේ ඔහු යටතේය. විරෝධතා දැඩි වෙත්ම කලින් ප්‍රතික්ෂේප කළ චෝදනාව පිළිගෙන ඉල්ලා අස්වීමට බි්‍රතාන්‍ය යුද ඇමති ජෝන් ප්‍රොපියුමෝට සිදු වූවේය. එපමණක් නොව 1962 දෙසැම්බර් මාසයේදී බි්‍රතාන්‍ය අගමැති හැරල්ඞ් මැක්මිලන් මහතාටද ඉල්ලා අස්වීමට සිදුවිය. එයින් පසු අගමැති පදවියට පත්වූවේ හියුම් සාමිවරයාය. එය බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායට යම් පමණක විරුද්ධ ක්‍රියාවක් බව එකල මේ රටේ පුවත්පත්වල පළ වූ ආකාරය මෙම ලියුම්කරුට මතකය. එහි කියවුන අර්ථය වූවේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයකු නොවී සාමි මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයකු වූ හියුම් සාමිවරයා අගමැති තනතුරට පත්වීමයි. එම සිදුවීම ශ්‍රී ලාංකේය ජනතාවගේ වැඩිමනක් අවධානයට යොමු වීමට හේතු වූවේ මේ කියන වකවානුවේ මෙරට පාලනය කළ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිවරිය මහජන මන්ත්‍රීවරියක නොවී සෙනෙට් සභාව හෙවත් උත්තර මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරියක වීමයි. ඊළඟ මැතිවරණයේදී කොන්සර්වේටිව් පක්ෂය පරාජයට පත්ව හැරල්ඞ් විල්සන්ගේ කම්කරු පක්ෂය බලයට පත්විය. කීලර් සිද්ධිය එයට මුල් වූ බව කියවුනි. තම රටේ ජාතික ඕනෑ එපා කම් සඳහා ක්‍රියාත්මක වන ඔත්තු සේවාවන් ලෝකයේ රටවල නොයෙක් ක්‍රියාකාරකම් සිදු කර ඇත. අද අපේ රටේ ජාතික අර්බුදයක් පමණට වර්ධනය වී ඇති මෙම කලබැගෑනිය පිළිබඳව සලකන විට මර්සලි තෝමස් ඔත්තුකරුට අවශ්‍ය වූවේ මෙම අර්බුදය ඇති කිරීම දැයි යන සැකය මා තුළ ඇති වේ. රෝ ඔත්තු සේවාවට අයත් වූවා හෝ නොවූවා හෝ ඇති වී තිබෙන අර්බුදය ද සුළුපටු නොවේ. මහා බලසම්පන්න බි්‍රතාන්‍ය රජයක් පවා බිඳ වැට්ටවීමට සමත් වූ ඔත්තුකරුවන් හා ලිංගික හවුල්කාරියන් ගැන වූ මෙම පුවතින් කියැවෙන්නේ ඔවුනට ඉටු කළ හැකි කාර්යභාරයයි. මෙවැනි දේ වෙනස් මුහුණුවරින් නැවත නැවත ලෝකයේ විවිධ තැන්වලින් අසන්නට ලැබෙනු ඇත.

 

 


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප : අන්තර්ජාලයෙනි