1977 ජයග්‍රහණයෙන් පසු බිහි වූ එක්සත් ජාතික පක්ෂ රජයේ බල කඳවුරක් වූයේ ජා-ඇළය. ජෝන් අමරතුංග, ජෝශප් මයිකල් වැනි ප්‍රබල ඇමැතිවරු එහි බලය තහවුරු කර ගත්හ.


ප්‍රථම විධායක ජනපති ජේ. ආර්. ජයවර්ධනයන් පවසා තිබුණේ දැන් තමුන්නාන්සේලාට ඉස්තාලෙත් තියෙනවා අස්වයත් ඉන්නවා කියාය. නමුත් 23 වතාවක් ජා-ඇළ ආසනයේ ඡන්ද දිනලා මං වමේ බලය පෙන්නුවා, අමාත්‍ය ෆීලික්ස් පෙරේරා පැවසීය. කොටින්ට අවශ්‍යව තිබුණේ ද එවැනි නායකයන් අඩපණ කර කොටි බලය ව්‍යාප්ත කිරීමටය. 


නත්තලට ජා-ඇළ ජනාකීර්ණය. ඒ නිසා බෝම්බය පුපුරුවා හැරීමෙන් සැඟවීමට ලැබෙන අවස්ථාව අඩුය. 2007.12.25 වැනිදා කාල බෝම්බය පුපුරුවා හැරීම කල් දැමූ ඝාතකයෝ පසුදා උදෑසන ද රැක ගෙන සිටියත් ගොදුර නොපැමිණියේය. 


වැරදුණු කුරුමානම ගැන දෙවියන්ට ශාප කරමින් යළි ගොහොරුවේ එරෙමින් බෝම්බය රඳවනය දුරස්ථ පාලකය හා දුරදක්නය ද රැගෙන ගෙදර ගියහ. කීටයා ගේ මෙම අපරාධය සැලසුම් ගැන ඔහුගේ නිවසේ අය පවා නොදැන සිටි බව පැවසේ. මේක හරියන්නේ නෑ. මෝටර් සයිකල් බෝම්බ, වළලපු බෝම්බ මේ වැඬේට ගැළපෙන්නේ නෑ. 


කොටි බලවතුන් තීරණය කර තිබිණ. එල්.ටී.ටී.ඊ.ය. මෙවර පිරිනැමුවේ අධි බලැති අලුත් තාක්ෂණය යෙදූ බෝම්බයකි. ඩබල් කැබ් රියකින් ගෙන ආ බෝම්බය නිල් පැහැති බැරලයක බහා සදාසරණ නිවසේ ගෙවත්තේ වළලන ලදී. අවුරුද්දක් ඉවරයි. මෙදා සැරේ නම් ඇමතියට ගැලවිල්ලක් නෑ. ඔවුහු නින්දට ගියහ. 


2008.01.08 වැනි දින ඇමතිවරයාට මෙන්ම කොටින්ටද වැදගත් දිනයක් විය. පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස් වෙන නිසා අනිවාර්යයෙන්ම එහි යා යුතුය. ඒ බව හොඳින්ම දැන සිටියේ කොටි සංවිධානයයි. ඇමැතිවරයා යා යුත්තේ මෙම මාර්ගයෙන්මය. 


ඔහු නිවසින් පිට වූ වහාම සුරේස්ට දුරකථනයෙන් දැනුම්දෙන ලෙස ඔත්තු බලන්නන්ට දැනුම් දී තිබිණ. නමුත් උපාය දන්නෝ අපායේ නොවැටෙතියි කීවා සේ මෙදිනද ෆීලික්ස් ඇමතිවරයා ප්‍රධාන පාරෙන් නොගියේය. 


එහෙත් අධි බලැති බෝම්බයට රිය පෙළ ගොදුරු විය. කෑලි කෑලිවලට බිඳී කැඩී විසිර ගිය වාහන කොටස් පාරේ වැටී තිබිණ. ගිනිදැල් හා දුම් ගුළි බොහෝ වේලා යන තුරු පිට විය. මර ලතෝනි කෙඳරිලි මැදින් පොලිස් හා ගිලන් රථවල නළා හඬ නැගෙන්නට විය. 


වෙනදා මෙන්ම අංගණයේ වාහන පෙළ නිවසේ නවත්වා තිබිණ. ඇමැතිවරයා කලට වෙලාවට කොළඹට ළඟා වෙමින් සිටියේය. මාරාන්තික බෝම්බයේ මෙවර ගොදුර වූයේ ආණමඩුවේ සිට ගව් ගණනක් දුර ගෙවා කොළඹට යමින් සිටි ද. මු. දසනායක ඇමැතිවරයාය. 


මාව මරන්න හේතු දෙකක් තිබුණා. එකක් තමයි ද්විත්ව මිනී මැරුම් කර පැනලා ගිය අයගේ වුවමනාව. දෙවැනි හේතුව තමයි දිගටම යුද හමුදාවට ආහාර සැපයුවේ මට අයිති සමාගමකින් වීම. 


ද. මු. දසනායක වනාහි දක්ෂ ක්‍රියාශීලී දේශපාලනඥයෙකි. ප්‍රාදේශීය නායකයන් එකිනෙකා කොටින් බිලි ගනිද්දි ද. මු. නොබියව හුදෙකලාව රැස්වීම්වලට සහභාගී විය. කිව යුතු දේ මුහුණටම කියා දැම්මේය. ඔහුට හැමෝම මචංලා විය. ආරක්ෂාව පතා සහෝදර දේශපාලනඥයන් කරන ඉල්ලීම් ඔහුට විහිළුවක් විය. 


කුමන්ත්‍රණ ආරංචි අස්සේ ෆීලික්ස්ට ද. මු. ව පාර්ලිමේන්තු අංගණයේදී හමු විය. මචෝ මොකද මේ මොරිස් මයිනරයකින් දමු ඇසීය. 


“මල්ලි ඔයා එන්නෙත් මීගමු පාරෙ ජා-ඇළ හරහානෙ. පරිස්සම් වුණොත් හොඳයි.” ෆීලික්ස් අවවාද කළේය. ද. මු. සිනාසුණා පමණි. හිනා වෙන්න එපා. මං කාරණා ඇතුවයි කියන්නේ. ඉස්සෙල්ලාම පාර වෙනස් කරන්න. ලයිට් දාගෙන පෙරහර වගේ වාහනවල එන්න එපා. වාහනෙත් මං වගේ මාරු කරන්න බලන්න. නැත්නම් වෙස් වළා ගන්න. ද. මු. ට දුන් අවවාද ගඟට ඉනි කැපුවා සේ විය. සුනාමියනේ පසු ඇමැති ෆීලික්ස් මඩකළපුවට ගිය මොහොතේ යළි අමාත්‍ය ද. මු. හමු වී නිදැල්ලේ යාම ගැන තරවටු කළේය. එදා අමාත්‍ය හිස්බුල්ලාට දෙදෙනාම හමු වී ආරක්ෂක කලාපයට ඇරලුවේය. නැතිනම් දෙදෙනාගේම ඉරණම මඩකළපුවේ දී විසඳෙන්නට තිබිණි. 


ෆීලික්ස් ඝාතන සඳහා පළාතේ ප්‍රබල දේශපාලනඥයෙක් හා ප්‍රාදේශීය දේශපාලනඥයෙකුගේ ආශිර්වාදය හා උනන්දුව තිබිණ. ඒ බලය සඳහාය. 


ත්‍රස්තවාදීන්ට සියලු පහසුකම් සැලසූ සිංහල පරිවාරකයා වූ කීටයා නොහොත් මැල්කම් ටිරොන් 32 හැවිරිදි විවාහකයෙකි. ඔහු ජා-ඇළ ශාන්ත මරියා පාරේ පදිංචිව සිටි අතර බෝම්බකරුවන් ජා-ඇළ සදාසරණ පාරේ ලැගුම් ගෙන සිටියෝය. කීටයා අත්අඩංගුවට පත් වූයේ 2008.08.14 වැනිදාය. 


ත්‍රස්තවාදීන්ගේ නවාතැන් ගාස්තු වාහන ගාස්තු වාහන නඩත්තු ගාස්තු ආහාර පාන වියදම් සියල්ලම ඔහුගේ ගිණුමට බැර විය. මොහුට කොටි සංවිධානය විසින් වෙඩි තැබීමේ පුහුණුව පවා ලබා දුන් බව හෙළි විය. ඒ මුලතිව් ප්‍රදේශයේදීය. වරක් කොටි සංවිධාන බුද්ධි නායකයකු වූ තමිල් අරසව්ට පවා ඔහු නවාතැන් සපයා තිබිණ. 


මේ තොරතුරු කීටයාගේ බිරිඳ හෝ ගෙදර අය දැන සිටියේ නැත. බෝම්බකරුවන්ට නතර වීමට ගත් සදාසරණ මාවතේ මාසික කුලිය රු. 7500 කි. අත්තිකාරම් මුදල රුපියල් 50,000 කි. කටුනායක බැංකුවේ ඔහුගේ ගිණුමට මුදල් බැර වූ නමුත් ඒවා බැර කරන්නේ කවුදැයි තමා නොදන්නා බව කීටයා පොලිසියට දුන් කටඋත්තරයේ සඳහන්ය. 


මෙම සැකකරුවන්ට එල්ල වූ චෝදනා බරපතළය. 2008.05.06 දින කොළඹ කොටුව ලෝටස් පාරේදී පොලිස් බස් රිය තුළ බෝම්බ පිපිරවීමේ සිද්ධියට සැකපිට 2008.04.16 දින ජෙයපාල් ජෙනාර්ථන් අත්අඩංගුවට ගැනිණි. එම සිද්ධියට හා ද. මු. දසනායක ඝාතනය මෙන්ම ඇමැති ෆීලික්ස් පෙරේරා ඝාතන ප්‍රයත්නය තුනටම කීටයා අත්අඩංගුවට ගැනිණ. 
බගවන්තලාවේ රාමයියා රාඝු 2008.05.05 වැනිදා වැල්ලවත්තේ සැඟව සිටි සුන්දරම් සදිස් හෙවත් වේලියන් නමැත්තා 2008.07.14 දින ද ඔහුගේ බිරිඳ සදිස් කවිදා වැල්ලවත්තේ දී ද පොලිස් දැලේ පැටළුණහ. 


කොටි නායකයෙකු වූ තමල් අරසමි හා සතිස් සුරේෂ් තම නිවසෙහි සඟවාගෙන අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මරා දැමීමට කුමන්ත්‍රණය කිරීම 2007-2008 කාලයේ අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මැරීමට කුමන්ත්‍රණය කිරීම හා අමාත්‍ය ද. මු. දසනායක ඝාතනයට මෙන්ම කටුනායක ගුවන් තොටුපොළට පහර දීමට ඔත්තු බැලීම හා රාමයියා රාඝු සමග තොරතුරු රැස් කර එල්.ටී.ටී.ඊයට යවා එවූ මුදල් පරිහරණයට ළඟ තබා ගැනීම යන චෝදනාවට කීටයා වග උත්තරකරු විය. ජා-ඇළ ද්විත්ව මිනී මැරුමෙන් පසු උතුරුකරේ ඕමන්ත මුරපොළ හරහා ආරක්ෂක කලාපයට පැන ගත් සිංහල කොටි හිතවාදීන්ගේ පළිගැනීමේ චේතනාව කොටි ලවා කරගැනීමට උත්සාහ ගැනීමේ රහස මෙසේ එළිවෙද්දී දේශපාලනඥයෝ මුනිවත රැක්කාහ. ද. මු. ඝාතන නඩුව මෙතෙක් විසඳාලීමට නීතියට හැකි වී නැත. 


කොළඹ ආ කොටි වටිනා ජීවිත හා රාජ්‍ය හා පෞද්ගලික දේපොළ රැසක් විනාශ කර විශාල පිරිසකට තුවාල සිදුකර රටේ ආර්ථික හා දේශපාලනික කොඳුනාරටිය බිඳ දැමූහ.


මෙම පිරිසට නවාතැන් සපයමින් වාහන, අවි, ආහාර පාන හා ආරක්ෂාව සපයමින් අඹු දරුවන් පවා මුළා කළ මුදල්වලට පමණක් ගිජුව බලලෝභී දේශපාලනඥයන්ට ඉහළට යාමට පාර කැපූ ද්‍රෝහීන් රැසක් පිළිබඳ තොරතුරු කාලයේ වැලි තලයෙන් වැසී යමින් පවතී. 


2008.01.07 වැනි දිනට පසු දින සිදු කිරීමට යන අපරාධය පිළිබඳව සතුට සැමරුවේ මත් පැන් වතුරේ ගිලෙමින් ගණිකාවන් ඇසුරු කරමින් බව කීටයා දුන් පාපෝච්චාරණයෙහි සඳහන් වේ. 


නෆීර් සුරේෂ් සහ මම දිවා ආහාරයෙන් පසු කාර් රියෙන් මීගමුව කුරණ පිහිටි ගණිකා නිවාසයට ගියා. ඊළඟට මීගමු බැංකුවට ගිහින් ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් ඇති තරම් මුදල් ගත්තා. ඉන් පසු ජා-ඇළ තුඩැල්ලට පැමිණ අමාත්‍ය ෆීලික්ස් මහතාගේ නිවස ඉදිරිපිට රජයේ මත්පැන් හලෙන් බියර් බෝතල් තුනක් ගත්තා. 


දකුණේ දේශපාලනඥයන් ඝාතනය කිරීමට මෙතරම් නිදහසක් භූක්ති විඳිමින් හැසිරීමට ත්‍රස්තවාදීන්ට ඉඩ සැලසුවේ මුදලට වහල් වීමේ වරද නිසාය. 


අමාත්‍ය ෆීලික්ස් ආරක්ෂක උපදෙස්වලට අමතරව ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කළ නිසා අද ද නිරුපද්‍රිතව සිටීම වාසනාවකි. එහෙත් ක්‍රියාශීලි ජනතා නියෝජිතයන් වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ හා ද. මු. දසනායක වැනි නායකයින් දැයෙන් සමුගැනීම පිරිමැසිය නොහැකි පාඩුවකි.

 

 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප : අන්තර්ජාලයෙනි