පසුගිය නොවැම්බර් 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා එම තනතුරෙහි දිව්රුම් දී වැඩ භාරගත්තේය. එම දිව්රුම්දීම සිදුවූවේ අපේ ඉපැරණි ඓතිහාසික රාජධානිය වූ අනුරාධපුරයේ රත්නමාලි මහ සෑ රදුන් සෙවණේ දුටුගැමුණු නරනිඳුගේ ප්‍රතිමාව ඉදිරියේ වීමද විශේෂත්වයකි. 


දක්‍ෂිණ ලංකාවේ රුහැණු රට කවදත් දේශ මාමකයන්ගේ නිජබිමක් විය. ක්‍රිස්තු පූර්ව තුන්වැනි සිය වස තරම් ඈත අතීතයකදී ද්‍රවිඩ සොළී ආක්‍රමණිකයන්ගේ දිගු කලක් පැවැති කෘර පාලනය නිමාකරනු පිණිස මහ සටන් කොට ජයගත් දුටුගැමුණු නරදේවයන් බිහිවුණේ ඈත රුහුණේ මාගම රාජධානියෙනි. “මගේ මේ ව්‍යායාමය රජ සැප පිණිස නොව සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසය” යන්න එතුමාගේ උදාර පැතුම වූවේය. පසුකලෙක ක්‍රි. ව. 1065 වසරේදී පමණ නැවතත් සොළී උවදුර නිසා අනුරාධපුරය නැවතත් විනාශව ත්‍රි සිංහලය අරාජිකව ගිය යුගයක එම උපද්‍රවයන් පිටුදැක ශ්‍රී ලංකාව එක්සේසත් කරමින් පොළොන්නරුවේ රජ පැමිණි පළමුවැනි මහ විජයබාවන් ජනිතවූවේද රුහුණෙනි. එදා මෙදා තුර එම පෙදෙසින් රට, ජාතිය, ආගම රැක ගැනීම සඳහා පෙරට පැමිණි ජාති හිතෛෂීන් සංඛ්‍යාව අපමණය.


මෙවැනි පසුබිමක් තුළ රුහුණු ගිරුවාපත්තුවෙන් ඇරඹී, ජාතික දේශපාලන තලයට පැමිණි රාජපක්‍ෂවරුන්ගේ අතීත සහ වර්තමාන ක්‍රියාකාරකම්ද ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ නොමැකෙන අයුරින් සටහන්ව ඇත. මෙරට බි්‍රතාන්‍යයන්ගේ යටත් විජිතයක්ව පැවති රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේදී තම දේශපාලන ගමන ඇරඹූ මෙම පරපුරේ ඇත්තෝ අධිරාජ්‍ය විරෝධී හා විමුක්තිකාමී කාර්යභාරය මනාසේ ඉටුකළහ. එයින් දශක අටකට අධික කාලයක් ගතව යන මේ මොහොතේ එම පරපුරේ සාමාජිකයෙක් නැවතත් මෙරට රාජ්‍ය නායක ධූරයට ජනතා වරමින් පත්ව සිටියි. දිළිඳු ගැමි ගොවි ජනතාවක් නියෝජනය කරමින් ශ්‍රී ලංකා ව්‍යවස්ථාදායකයට පැමිණි ඔවුහු පසුගිය අසූතුන් වසරක් මුළුල්ලේ ජනතා සුබසිද්ධිය සඳහා අප්‍රමාණ සේවාවක් ඉටුකළහ.


දොන් මැතිව් රාජපක්‍ෂ


‘රුහුණේ සිංහයා’ යන විරුදාවලියෙන් රුහුණු ජනතාව අතර ඉමහත් ආදර ගෞරවයට පාත්‍රවූ රාජපක්‍ෂ දේශපාලන ගමන් මගේ පුරෝගාමී පෙර ගමන්කරු වූයේ වීරකැටියේ, ඩී. ඇම්. රාජපක්‍ෂ රාජ්‍ය මන්ත්‍රීවරයාය. ගාල්ලේ රිච්මන්ඞ් විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වූ ඔහු දක්‍ෂ ක්‍රීඩකයෙකු වශයෙන්ද ප්‍රකටව සිටි අතර වසර කීපයක් එහි ක්‍රිකට් නායකයාද විය. අධ්‍යාපන කටයුතුවලින් පසු උසස් රැකියාවකට ගොස් සුඛෝපභෝගී දිවි පෙවෙතක් ගත කළ හැකිව තිබියදී එම අවස්ථාව ඩී. ඇම්. රාජපක්‍ෂ මහතා අතහැර දැමීය. එයට හේතුවවූයේ දරිද්‍රතාව, මන්දපෝෂණය හා කුසගින්න රජකරන ඉතා නොදියුණු පෙදෙසක්ව පැවති රුහුණු ගිරුවාපත්තුවේ ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා ඒ මහතා තුළ පැවති අභිලාෂයයි. මේ අනුව 1936 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හම්බන්තොට ආසනයට තරග කිරීම සඳහා ඔහු ඉදිරිපත්වූයේ ස්වාධීන අපේක්‍ෂකයෙකු වශයෙනි. එම යුගයේ ඡන්දදායකයා තම ඡන්දය ප්‍රකාශ කළේ තමා කැමති අපේක්‍ෂකයාට ලැබී ඇති වර්ණය සහිත පෙට්ටියට තම ඡන්ද පත්‍රිකාව බහාලීමෙනි. මේ සඳහා රාජපක්‍ෂ මහතාට තෝරාගන්නට සිදුවූයේ තම ප්‍රදේශවාසී ජනතාවගේ දිවි රැකගැනීමට උපකාර කරන ප්‍රධාන ආහාරය වන කුරක්කන්වල පැහැය ගෙන දෙන දුඹුරු වර්ණයයි. එහි සංකේතයක් වශයෙන් දුඹුරු පැහැති සාටකයක් පැලදීම ඔහු පුරුද්දක් කරගත්තේය. ඒ පිළිබඳවද රසවත් කතා පුවතක් ගිරුවාපත්තුවේ ජනතාව අතර අදටත් පවතී. එම ප්‍රදේශයේ ජනී ජනයා ඩී. ඇම්. රාජපක්‍ෂ මහතාට ඉතා ආදරය කරන බවත් එනිසා ඔහුගේ ජයග්‍රහණය නිසැක බවත් දැනසිටි ප්‍රතිවාදීහු කුමන්ත්‍රණකාරී ලෙස බොරු චෝදනාවක් ගොතා මැතිවරණ අවධියේදීම ඒ මහතා සිරභාරයට ගැනීමට කටයුතු කළහ. එහෙත් ප්‍රතිඵල නිකුත් වෙන විට ගිරුවාපත්තුවේ ජනතාව වැඩි ඡන්ද දොළොස් දහසකින් ඔහු හම්බන්තොට රාජ්‍ය මන්ත්‍රීවරයා ලෙස සිරභාරයේ සිටියදීම පත්කරගෙන තිබුණි.

 

ඩී. ඒ. රාජපක්‍ෂ මහතා පුතුන් සමග.

 


අද පාර්ලිමේන්තු ආසන හතරකින් යුතු දිස්ත්‍රික්කයක් ලෙස පවතින මුළුමහත් හම්බන්තොට දුගී දුප්පත් ජනතාවට සෙත සැලසීම භාරගත් ඔහු නිසැකවම මහජන සේවකයෙක් වූවේය. දිවා - රාත්‍රී නොතකා ඔවුන් වෙනුවෙන් කැපවූවේය. රාජ්‍ය බලයට මෙන්ම හිස උදුම්මාගත් යටත් විජිත නිලධාරී තන්ත්‍රයටද ගම්බදව රජ කළ මුදලි මුහන්දිර්ම් සහ ගම්බාරාලාගේ ආධිපත්‍යයටත් එරෙහිව සටන් වැදීමට රාජපජෂ මහතා නිර්භීත වූවේය. එහෙයින්ම ඉතා උසස් බි්‍රතාන්‍ය නිලධාරීන් සමග ගැටෙමින් ජනතා හිතසුව සැලසීමටද මෙම මන්ත්‍රීවරයා පසුබට නොවීය. වරක් හම්බන්තොට කච්චේරියේ පැවති සාකච්ඡාවකදී සුදු දිසාපතිවරයා සමඟ තම ප්‍රදේශවාසීන්ගේ ගැටලු සම්බන්ධයෙන් ඇති වූ බහින් බස්වීමක් දුර දිග ගොස් ඔහුට පහරදීමට රාජපක්‍ෂ මහතා සිය බස්තම එසවූ බවත් එය අවට සිටි නිලධාරින් විසින් වළක්වා ගන්නා ලද්දේ ඉතා අසීරුවෙන් බවත් පැරැන්නෝ පවසති. තවත් වරෙක රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මහ ලේකම් ලෙස කටයුතු කළ සර් ග්‍රෙහැම් ටිරල්ගේ අපහාසාත්මක ප්‍රකාශයකට එරෙහිව ඔහුගේ මුහුණට තම සෙරප්පුවෙන් පහරදීමට රාජපක්‍ෂ මහතා පසුබට නොවීය. යටත් විජිත සමයේ මහේශාඛ්‍ය සුදු නිලධාරීන් හමුවේ මෙසේ එඩිතරව කටයුතු කිරීමට ධෛර්ය තිබුණේ දේශපාලනඥයන් කීප දෙනෙනකුට පමණක් බවද පැරැන්නෝ කියති.


ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන ඇස්. ඒ. වික්‍රමසිංහ ආදී ප්‍රගතිශීලි නායකයන් සමග එක්ව දුගී දුප්පත් ජනතාවගේ යහපත පිණිසත්, දේශයට නිදහස ලබාගැනීම සඳහාත් ඩී. ඇම්. රාජපක්‍ෂ මහතා මැතිසබය තුළදීත් ඉන් පිටතත් ගෙන ගිය අරගලය සමකාලීන ඉතිහාසයේ වෙනම පිටුවක් පුරා ලියවෙන දීර්ඝ ක්‍රියාවලියකි. තම රෝගී තත්ත්වයන් පවා නොතකමින් ජනතා සේවාවේ යෙදුණු ඒ මහතා, 1945 මැයි මස 18 වැනිදා අභාවප්‍රාප්තවූවේ රාජ්‍ය මන්ත්‍රණ සභා රැස්වීමට පැමිණ සිටියදී මැති සබා ගොඩනැගිල්ල තුළදීමය.


දේශපාලනය ජීවිකා වෘත්තියක් කර නොගෙන මහජන සේවයක් ලෙස සලකා කටයුතු කිරීම නිසා ඒ මහතා මියයන විට සියලු ධනය අහිමි වී තිබුණි. යටත් පිරිසෙයින් මෘත දේහය කොළඹ සිට වීරකැටියට ගෙනයාම පවා පවුලේ අයට අසීරුසහගත කරුණක් වූ බවද කියවේ.


අවංක සේවය නිසාම ‘රුහුණේ සිංහයා’ යැයි හැඳින්වෙමින් ජනතා උපහාරයට පාත්‍රවූ ඩී. ඇම්. රාජපක්‍ෂ මහතාගෙන් පසු ඔහුගේ බාල සොහොයුරු ඩී. ඒ. රාජපක්‍ෂ සහ ඩී. ඇම්. ගේ පුත්තු දෙදෙනා වූ ලක්‍ෂ්මන් සහ ජෝර්ජ් යන දෙදෙනාද දේශපාලනයට පිවිසියහ. 


දොන් ඇල්වින් රාජපක්‍ෂ


මෙරට දේශපාලනය වංශ කතාවේත් විශේෂයෙන් ප්‍රගතිශීලි ක්‍රියාකාරිත්වයේත් පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ නායකයෙකු වශයෙන් ඩී. ඒ. රාජපක්‍ෂ මහතා සිහිපත් කළ හැකිය.
1905 මාර්තු 30 වැනි දින රුහුණු ගිරුවාපත්තුවේදී උපත ලැබූ ඩී. ඒ. රාජපක්‍ෂ මහතා, අධ්‍යාපන කටයුතුවලින් පසු සිය වැඩිමහල් සොහොයුරා වූ ඩී. ඇම්. ගේ දේශපාලන කටයුතු සඳහා තිරයෙන් පිටුපස සිට සහාය දුන්නේය. එහෙත් “රුහුණේ සිංහයාගේ” හදිසි අභාවයෙන් පසුව ගිරුවා ගම් දොළොස් දහසේ ජනතාවගේ නායකත්වය ගන්නා ලෙස එම ජනතාවගෙන් ලද බලවත් ඉල්ලීම මත අකමැත්තෙන් එකඟවීමට ඔහුට සිදුවූ බව කියනු ලැබේ. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හිස්වූ හම්බන්තොට අතුරු මැතිවරණය සඳහා ඔහු නාමයෝජනා අත්සන් කිරීම සිදුකර ඇත්තේ කුඹුරේ සීසාමින් සිටියදී වක්කඩෙන් අතසෝදා ගැනීමෙන් පසුව බව ප්‍රකට කරුණකි. රාජපක්‍ෂවරුන්ගේ මහජන සේවාව පිළිබඳව සාක්‍ෂි දරමින් එම අතුරු මැතිවරණය සඳහා ප්‍රතිවාදීන් කිසිවකු හෝ ඉදිරිපත්ව නැත. එනිසා 1945 ජූලි 14 වැනිදා ඩී. ඒ. රාජපක්‍ෂයෝ නිතරගයෙන්ම හම්බන්තොට රාජ්‍ය මන්ත්‍රීවරයා ලෙස පත්වූහ.


අනතුරුව බණ්ඩාරනායක මහතාගේ සිංහල මහ සභාවට සමීපව කටයුතු කරනු දක්නා ලදී. සිංහල මහා සභාව එක්සත් ජාතික පක්‍ෂය පිහිටුවීමේදී එයට ඒකාබද්ධ කිරීමට ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා කටයුතු කළ නිසා 1947 මහා මැතිවරණයේදී ඩී. ඒ. සහ බණ්ඩාරනායක තරග කළේ එ.ජා.ප. අපේක්‍ෂකයන් වශයෙනි. ඒ අනුව ඩී. ඒ. රාජපක්‍ෂ මහතා බෙලිඅත්ත මන්ත්‍රීවරයා ලෙස පත්වීම් ලැබුවේය. 1951 දී බණ්ඩාරනායක මහතා එ.ජා.ප. රජයෙන් ඉවත්ව විපක්‍ෂයට යාමේදී එතුමා අනුගමනය කළ ප්‍රථමයා වූයේ ඩී. ඒ. රාජපක්‍ෂ මහතාය. ඉන්පසු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිහිටුවීමේදී හා එම පක්‍ෂය මැතිවරණයක් තුළින් රාජ්‍ය බලයට පත්කර ගැනීම දක්වා විශාල හා පුරෝගාමී දායකත්වයක් දැක්වීය. ශ්‍රීල.නි.ප.ය මුහුණ දුන් ප්‍රථම මැතිවරණයේදී (1952 දී) එහි ජයග්‍රාහකයන් නව දෙනා අතුරෙන් කෙනෙකු වූ ඩී. ඒ. එවරද බෙලිඅත්ත ආසනය දිනාගත්තේය. 1956 නිහඬ විප්ලවයේදී විශේෂ ස්ථානයක් දරමින් 15,000 අධික වැඩි ඡන්දයක් ලබමින් ජයග්‍රහණය කළ අතර එය දකුණු පළාතේ ආසනයකදී ලැබූ වැඩිම වැඩි ඡන්දය ලෙසද වාර්තාගත විය.
ඒ අනුව බණ්ඩාරනායක රජයේ ඉඩම් සහ ඉඩම් සංවර්ධන උප ඇමැතිවරයා වශයෙන් විශාල මහජන සේවාවක් ඉටුකිරීමට අවස්ථාව ලබාගත්තේය. ගොවිතැන සඳහා ඉඩම් හා ජලය නොමැතිව පීඩාවිඳින රුහුණේ ගොවි ජනතාවට විශාල සේවාවක් එතුමා වෙතින් ඉටුවූ බව දන්නෝ දනිනි. විශේෂයෙන් වලවේ ගඟ සංවර්ධන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම උදෙසා ලබාදුන් ප්‍රබල දායකත්වය එයට එක් නිදසුනක් පමණි. 1960 ජූලි මහා මැතිවරණයේදී ශ්‍රී.ල.නි.පයෙන් බෙලිඅත්ත මන්ත්‍රීවරයා ලෙස නැවතත් තේරීපත්වුණු ඩී. ඒ., සිරිමාවෝ රජයේ උප කතානායකවරයා ලෙස පත්වීම් ලැබුවේය. පදවි තනතුරු ලෝභයකින් තොරව නිහඬව සහ නිහතමානීව තම ජාතික මෙහෙවර ඉටුකළ මෙම කෘතහස්ත දේශපාලනඥයා නිරන්තරයෙන්ම ඍජු දේශපාලන ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනීසිටියේය.


දහඅට වසරක් පමණ දීර්ඝකාලයක් ව්‍යවස්ථාදායකය නියෝජනය කරමින් තමා පත්කර එවූ ගැමි ගොවි ජනතාවටත් පොදුවේ මුළු මහත් ශ්‍රී ලංකාවටත් විශාල මෙහෙයක් ඉටුකළ ඩී. ඒ. රාජපක්‍ෂ මහතා 1967 නොවැම්බර් 7 වැනි දින පරලෝ සැපත් විය. ඒ මහතාගේ දූ පුතුන්, හිටපු කතානායක චමල් රාජපක්‍ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ යන මහත්වරුන් මෙන්ම නැසීගිය අමාත්‍යංශ ලේකම් චන්ද්‍රා රාජපක්‍ෂයන්ද දියණියන් වූ එස්මි, ප්‍රීති, සහ ගාන්ධිනී ද වූහ.


ලක්‍ෂ්මන් රාජපක්‍ෂ


ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තුවේ ළාබාලම මන්ත්‍රීවරයා ලෙස 1947 දී ව්‍යවස්ථාදායකයට පත්ව ආ ලක්‍ෂමන් රාජපක්‍ෂ මහතා වාමාංශික මතවාදය වෙනුවෙන් පෙනීසිටි චරිතයක් විය.


හිටපු රාජ්‍ය මන්ත්‍රී ඩී. ඇම්. රාජපක්‍ෂ මහතාගේ වැඩිමහල් පුතණුවන් වශයෙන් 1924 ජූලි 24 වැනිදින උපත ලද ඒ මහතා පියාගේ සටන්කාමී ජනතා සේවය වෙත ඇදී ගියේය. ඩී. ඇම්. ගේ අභාවයෙන් පසු ප්‍රථම පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී එවකට විසිතුන්වන වියේ පසුවූ තරුණයෙකු වශයෙන් ඔහු හම්බන්තොට ආසනය සඳහා ඉදිරිපත් වූවේ ස්වාධීන සමාජවාදී අපේක්‍ෂකයෙකු වශයෙනි. එහිදී ජයග්‍රහණය ලැබූ ඒ මහතා විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙකු හැටියට විශාල ජාතික මෙහෙවරක් ඉටුකරමින් සිටියදී පිලිප් ගුණවර්ධන මහතාගේ නායකත්වය යටතේ පැවති විප්ලවකාරී සමසමාජ පක්‍ෂයට සම්බන්ධවිය. 1956 දී එම පක්‍ෂය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයද සමග ම.එ. පෙරමුණ පිහිටුවා තරගයට පිවිසෙද්දී එකොළොස් දහසකට අධික වැඩි ඡන්දයක් ලබා හම්බන්තොට ආසනය ජය ගත්තේය. 

 

 


එමගින් පිහිටුවූ බණ්ඩාරනායක රජයේ වෙළඳ උප ඇමැතිවරයා ලෙසද පත්වීම් ලැබුවේය. එහෙත් එම රජය තුළ ඇති වූ මතභේදයක් නිසා වමේ ඇමැතිවරුන් දෙදෙනා වූ පිලිප් ගුණවර්ධන සහ විලියම් සිල්වා මහත්වරුන් රජයෙන් ඉවත්ව යද්දී ලක්‍ෂ්මන් රාජපක්‍ෂ මහතාද ඔවුන් අනුගමනය කරමින් විපක්‍ෂයට ගියේය. දීර්ඝ කාලයක් මහජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරයකු වශයෙන් තිස්සමහාරාම ආසනය නියෝජනය කිරීමට ඔහුට අවස්ථාව ලැබුණි. මෙරට ගොවි ජනතාවට මහත් ප්‍රතිලාභ අත්කර දීමට සමත්වූ කුඹුරු පනත ක්‍රියාත්මක කිරීමට විශාල උනන්දුවක් දැක්වූ ඒ මහතා, එය ප්‍රථමයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරවීමෙන් රටට මනා ආදර්ශයක් දුන්නේය. රටේ අනෙකුත් ප්‍රදේශවල කුඹුරු පනත ක්‍රියාත්මක කරන ලද්දේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ එය සාර්ථකවීම ආදර්ශයට ගනිමිනි. ඒ මහතාගේ බාල සොහොයුරු ජෝර්ජ් රාජපක්‍ෂ මහතා අභාවප්‍රාප්තවීමෙන් පසු ඔහු දීර්ඝකාලයක් නියෝජනය කළ මුල්කිරිගල ආසනයට පැවති අතුරු මැතිවරණයේදී ශ්‍රී.ල.නි.ප. අපේක්‍ෂකයා වශයෙන් තරග කර 1976 අවසන් වරටද පාර්ලිමේන්තුවට පැමිණියේය.


ජෝර්ජ් රාජපක්‍ෂ


අධිනීතිඥවරයකු, දේශපාලනඥයෙකු සහ දක්‍ෂ ක්‍රීඩකයෙකුද වූ ජෝර්ජ් රාජපක්‍ෂ මහතා රුහුණේ සිංහයා යන විරුදාවලියෙන් සම්මානිත වූ ඩී. ඇම්. රාජපක්‍ෂයන්ගේ බාල පුතුණුවන්ය.


1926 දෙසැම්බර් මස 25 වැනි දින උපත ලැබූ ඔහු කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. එහිදී ඉතා දක්‍ෂ ක්‍රීඩකයෙකු වූ හෙතෙම වරක් විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වශයෙන්ද ක්‍රියා කළේය. පසුව නීති විද්‍යාලයට ඇතුළත්ව අධිනීතිඥයෙකු ලෙස සමත්ව ඉතා ඉක්මනින්ම දකුණු පළාතේ අතිශය ජනප්‍රිය නීතිඥයෙකු බවට පත්විය. එමගින් විශාල ධනයක් උපයාගෙන සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ හැකිව තිබුණත් සිය පියා මෙන්ම එම වරප්‍රසාද හැරදමා තම ගිරුවාපත්තුවේ දුක්විඳින ජනතාව වෙනුවෙන් සේවයකර ඔවුන්ගේ දිවිපෙවෙත සරුකිරීමට තම දිවියම කැප කළේය.


එහි පළමු පියවර වශයෙන් වලස්මුල්ල ගම් කාර්ය සභාවේ සභාපති ධූරයට පත්ව දේශපාලන කටයුතු ඇරඹුවේය. ඉතා පහසුවෙන් ජනතාවගේ ආදරය ගෞරවය දිනාගත් මෙම තරුණයා 1960 මාර්තු මැතිවරණයේදී මුල්කිරිගල ආසනය දිනාගෙන ප්‍රථම වරට මැති සබයට පැමිණියේය. 1960 ජූලි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් තරගකර එම අසුන දිනාගෙන සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රථම රජයේ මුදල් උප ඇමැතිවරයා ලෙස කටයුතු කළේය. එහෙත් එම රජයේම මුදල් ඇමැති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා විසින් 1962 අයවැය ලේඛනයෙන් එකල දුප්පතුන්ට ලබාදී තිබුණු සතියකට සහල් සේරු දෙකක සහනාධාරයෙන් සේරු බාගයක් කපා හැරීමට කර තිබුණු යෝජනාවට එරෙහිව තමා දැරූ මුදල් උප ඇමැති ධුරයෙන් ඉල්ලා අස්විය.


1970 මහ මැතිවරණයේදීද අතිශය පහසු ජයග්‍රහණයක් ලබා මුල්කිරිගල ආසනයෙන් මැති සබයට පැමිණි රාජපක්‍ෂ මහතා ධීවර කටයුතු අමාත්‍ය පදවියෙන් පිදුම් ලැබීය. එම අමාත්‍යාංශයට අයත් විෂය ක්ෂේත්‍රය ගැන පමණක් නොව තවත් විශාල සේවයක් ඉටුකළේය. රාජ්‍ය හා ව්‍යවස්ථාපිත මණ්ඩල සේවකයන්ගේ වැටුප් විෂමතා හා සේවා කොන්දේසි නිර්දේශ කරනු පිණිස පත්කරනු ලැබූ කැබිනට් අනුකාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් අගනා සේවයක් ඉටුකළේය. එසේම ජාතික සම්පතක් වූ සිංහරාජ වනාන්තරයේ ගස් කැපීම සම්බන්ධව පරීක්‍ෂා කිරීමට පත්කළ කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළ ඒ මහතා ඉදිරිපත් කළ නිර්දේශ වාර්තාව නිසා අගනා ජාතික සම්පතක් වූ එම වැසි වනාන්තරය රැකගැනීමට හැකිවූ බව පරිසරවේදීහු අදත් පවසති.


මෙවැනි අති විශිෂ්ට සේවයක් සිදුකරමින් සිටියදී කලක් තිස්සේ පැවති හෘදයාබාධයක් සඳහා මහා බි්‍රතාන්‍යයේ රෝහලකදී ශල්‍යකර්මකට භාජනය වීමේදී 1976 ජූනි 18 වැනි දින පරලෝසැපත් විය. එම අභාවය පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවති ශෝක ප්‍රකාශ යෝජනා විවාදයට සහභාගිවෙමින් කෘතහස්ත දේශපාලනඥයෙකු වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා මෙසේ ප්‍රකාශ කළ බව හැන්සාඞ්ගතව තිබේ. “ජෝර්ජ් රාජපක්‍ෂ මැතිතුමාගේ ජීවිත කථාව කවරදා හෝ කව්රුන් විසින් හෝ ලියනවා ඇත. එය ලියන්නට වටිනවා. රාජපක්‍ෂ පවුල රුහුණේ කීර්තියක් දරන පවුලක්. දුප්පත් මිනිසුන් වෙනුවෙන්, පීඩනයට ලක්වුණු ජනතාව වෙනුවෙන් ලොකු මිනිසුන්ට එරෙහිව කවදත් විශාල සටනක් ගෙන ගිය පවුලක්. එම නිසා රාජපක්‍ෂ නාමයට විශේෂ තැනක් හිමිවෙනවා. දේශපාලන ඉතිහාසය දන්නා කව්රුත් එය අනුමත කරනවා ඇත. ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතාගේ එම අනාවැකිය පසු කාලයේදී සම්පූර්ණ වූ ආකාරය වර්තමානිකයෝ සතුටෙන් යුතුව අත්විඳිමින් සිටිති.


1983 දී මුල්කිරිගල ආසනයේ ශ්‍රී.ල.නි.ප. සංවිධායකවරිය ලෙස පත්වීම් ලැබූ නිරූපමා රාජපක්‍ෂ 1994 මහා මැතිවරණයේදී හම්බන්තොට දිසා මන්ත්‍රීනියක ලෙස පත්වීම් ලැබුවාය. ඇය චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයේ නියෝජ්‍ය ඇමැති ධුරයක්ද දැරුවාය. ඇය සහ අධිනීතිඥ ශ්‍යාමලාල් රාජපක්‍ෂ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා යන දෙදෙනා හිටපු අමාත්‍ය ජෝර්ජ් රාජපක්‍ෂ මහතාගේ දූ දරුවෝ වෙති.

 

මතු සම්බන්ධයි

 

 

සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප :
චතුර එස්. රත්නායක
අන්තර්ජාලය