අසූව දශකයේ ශ්‍රී ලංකා ධර්මද්විපය ලේ විලක් විය. රටක ජනගහනය සෑම ලක්‍ෂයකටම සාපේක්‍ෂව සිදුවන මිනීමැරුම් සංඛ්‍යාව අනුව වර්ෂ 1989 අපගේ රට ලෝකයේ වැඩිම මිනීමැරුම්  සිදුවූ රට බවට පත්විය. වර්ෂ 1988 ඒ ලෝක වාර්තාව පිහිටුවීම සඳහා පෙරහුරුවක් විය.


ඒ වසරේදී දයා පතිරණ, නන්දන මාරසිංහ ඝාතනයත් පෙබරවාරි මස 16 වන දින විජය කුමාරතුංග ඝාතනයත් සිදුකෙරිණි. එය ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ලයනල් රණසිංහ, වසන්ත වීරසිංහ, ශ්‍රීකාන්ත, පාල ධර්මසේන ඇන්ටෝ යන හත්දෙනෙකුගේ සහභාගිත්වයෙන් බව ඔප්පු වී තිබේ.


විජය කුමාරතුංගගේ ඉතා සමීප දේශපාලන සටන් සඟයන් අතළොස්ස අතරින් එක් අයකු වූයේ දේව බණ්ඩාර සේනාරත්න බව මම දනිමි. විජය කුමාරතුංග ඝාතනය කරනු ලැබූ අතර ඒ උණුසුම ගෙවීයාමට පෙරාතුව දේව බණ්ඩාර සේනාරත්න ඝාතනය කරනු ලැබීම පුදුමයට කරුණක් නොවීය. ඒ ඔහු මේ රටේ සැබෑ නිවහල් සමාජ ක්‍රමයක් වෙනුවෙන් සිය ජීවිත කාලය කැප කරමින් සිය බුද්ධිය, ශ්‍රමය, කාලය හා ශක්තිය ද නොමසුරුව කැප කරමින් සිටි  බැවිනි. ඔහුගේ කෙටි දේශපාලන ජීවිතය ත්‍රාසජනක සිදුවීම්වලින් ගහණ විය.
දේවා දේශපාලනය පටන් ගත්තේ ලංකා සම සමාජ පක්ෂයේ තරුණ සංවිධානයේ සභාපතිවරයකුව ලංකා සම සමාජ පක්‍ෂයේ රොබට් ගුණවර්ධන මහතාගේ මඟපෙන්වීම යටතේය. 1970 එම පක්‍ෂයෙන් ඉවත් වී ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන සාමාජිකයෙකු වී 1971 අරගලයේදී අවුරුදු 5ක සිර දඬුවමක් විඳීමට සිදුවිය. සිර ගෙදරින් නිදහස් වූ පසු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සම්බන්ධ වී ආනමඩුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සංවිධායක බවට පත්විය 1981 මැතිනියගේ ප්‍රජා අයිතිය නැති කිරීමට එරෙහිව ජනතාව සංවිධානය කළ නිසා සිරගෙදර යවන ලදී. 1982 කොබ්බෑකඩුව ජනාධිපති කිරීම සඳහා ගෙනගිය සටනේදි නක්සලයිට් චෝදනාව මත නැවත සිරගත කරනු ලැබීය. 1983 ජූලි කලබලවලදී ද බොරු චෝදනා යටතේ නැවත සිරගෙදරට ගාල් කරනු ලැබීය. ලංකා දේශපාලන ඉතිහාසයේ වැඩි වාර ගණනක් සිරබත් කෑ දේවා නැවත ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත් වී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ටී. බී. ඉලංගරත්න, විජය කුමාරතුංග සමග එකතු වී මහජන පක්‍ෂය නිර්මාණය කර එහි උපසභාපති පදවියට පත්විය. සමස්ත ලංකා ගොවි සම්මේලනයේ සභාපති පදවියද ලැබීය.


එකල රටේ පැවති මිනීමරු දේශපාලනයට එරෙහිව අභීතව සටන් වැදුණු ඔහු කොළඹ කොස්ගස් හන්දියේදී සහ මාතලේ දිත් වෙඩි පහරින් අනූනවයෙන් බේරී අතිවිශාල ජනතාවක් අමතමින් සිටි කඩවත රැලියේදී ඝාතනය විය. ඔහුගේ අවංක භාවයත් එඩිතරකමත් සටන්කාමි ස්වරූපයත් වර්තමාන පරපුරට පහන් ආලෝකයක් වේවා!

 

 


මහාචාර්ය කාලෝ ෆොන්සේකා
සංරක්‍ෂිත ඡායාරූප කිහිපයකි.