නිදහසින් පසු 1947 අවසාන දශකයේ වලව් පැලැන්තියට දාව උපන් අනාගත ඔටුන්න හිමි කුමාරයා අනුර ප්‍රියදර්ශන බණ්ඩාරනායක විය. ප්‍රථම පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය හා පළාත් පාලන අමාත්‍ය හා සභානායක පදවිය හෙබ වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක අනුරාධපුර පූජා නගරයට මුල් ගල තැබූ දිනයේම සිය පුතණුවන් උපත ලද නිසා ඔහුට අනුර යයි නම තබන ලද බව එකල ප්‍රකට කරුණක්ව තිබිණි.


ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී. ඇස්. සේනානායක මහතාගේ පුත් ඩඞ්ලි ෂෙල්ටන් සේනානායක පියාගේ ඇවෑමෙන් රටේ අගමැති පදවියට පත්වූවා සේ අනාගතයේ හොරගොල්ලේ අනුර කුමරු ද සුදුසු අවස්ථාවක රටේ නායකත්වයට පත්වනු ඇතැයි බොහෝ දක්ෂිණාංශික සහ වාමාංශික නායකයෝ විශ්වාස කළහ.


අගමැති බණ්ඩාරනායක ඝාතනයේ සිට හොරගොල්ලේ පැවති අවමංගල්‍ය උත්සවය දක්වා “ලංකා ගුවන් විදුලි සේවය’ (්ෂඍ ක්‍ෑශඛධභෑ) මගින් ඒ ශෝක ජනක සිද්ධිය පිළිබඳ විස්තර ප්‍රචාරය කරන ලද්දේ තේමිස් ගුරුගේ මහතාගේ උපදෙස් යටතේ ප්‍රවීණ ගුවන් විදුලි නිවේදක කරුණාරත්න අබේසේකර විසිනි. එදා ඔහු, හුරුබුහුටි අනුර, අනාගත රාජ්‍ය නායකත්වය දක්වා ඔසවා තැබවේය.


විදේශ අධ්‍යාපනය ලබා තරුණ වියට එළඹී අනුර දේශපාලනයට පිවිසියේ, බණ්ඩාරනායක පරපුරේ නියෝජිතයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගත නායකත්වයට පත්වීම ගැන ජනතාව තුළ බලාපොරොත්තු ඇති කරමිනි. සිය මෑණියන්ගේ පූර්ණ ආශිර්වාදය ඇතිව පක්ෂයේ තරුණ සංවිධානයේ නායකත්වය බාර ගත් හේ 1977 ප්‍රථම වරට නුවරඑළිය ආසනයෙන් පාර්ලිමේන්තුවට පිවිසියේය. ඔහුගේ ප්‍රශ්නකාරී සහ අර්බුදකාරී දේශපාලනය එතැනින් ආරම්භ විය.


එක්සත් ජාතික පක්‍ෂයේ ගාමිණී දිසානායක පළවැනි තැනටත් වතු කම්කරු නායක තොණ්ඩමාන් තුන්වැනි තැනටත් දමා අනුර නුවරඑළිය ආසනයේ දෙවැනි තැන දිනා ගත්තේ ගාමිණි - අනුර රහස් ගිවිසුමක් නිසා බවට එදා කටකතා පැතිරිණි. අනුර පාර්ලිමේන්තුවේ දී එදා බලයේ සිටි ජේ. ආර්. ජයවර්ධනගේ යූ.ඇන්.පී. ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කළේය. එහෙත් ඒවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දක්ෂිණාංශයට බර වූ ඒවා මිස වමට බර ඒවා නොවීය.


ජේ. ආර්. ආණ්ඩුව බණ්ඩාරනායක මැතිනියගේ සහ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාගේ ද රට වැසි අයිතිය පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් අහෝසි කිරීමෙන් පසු අනුර විපක්ෂයේ සිට ජේ. ආර්. ට බොහෝ ළං විය. එය නිදහස් පක්ෂයේ ප්‍රබලයන්ට ද ප්‍රශ්නයක් වී තිබිණ. මුල සිටම ආර්. ප්‍රේමදාස මහතා සහ අනුර අතර පැවතියේ කිසිදාක නොවිසඳුණ වෛරයකි.


“ජේ. ආර්. ලොක්කාට ළං නොවී අම්මාගේ ප්‍රජා අයිතිය ලබා ගන්න බැහැ’ යි එකල ඔහු නිතර කීවේය.


ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වම දකුණ ලෙස දෙකට බෙදීමේ වගකීමට අනුර ද වගකිව යුතුය. මැතිනිය වාමාංශිකයන් සිය පක්ෂයට ළං කර ගත් විට, මෛත්‍රීපාල සේනානායක වැනි පක්ෂ නායකයන් සමග දකුණේ සිටියේය.


සිය සහෝදරියන් වන සුනේත්‍රා බණ්ඩාරනායක කුමාර් රූපසිංහ සමග විවාහ වීමත්, චන්ද්‍රිකා බණ්ඩාරනායක විජය කුමාරතුංග සමග විවාහවීමත්, ඔහු නොඉවසුවේය. කුමාර් සහ විජය වමට බර අය වූ අතර අනුර ඔවුන්ට එරෙහිව පක්ෂය තුළ දක්ෂිණාංශික බලවේගයක් බිහි කළේය.


1977 ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අන්ත පරාජයකට පත්වීමෙන් පසු, පක්‍ෂය දෙදරා යාම ආරම්භ විය. අනුර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බලය දක්ෂිණාංශිකයට ලබා ගැනීමට වෙහෙස විය. මෛත්‍රීපාල සේනානායක මහතාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමක් සමග ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයටම ගොස් මහ දොරට ඉබි යතුරු දමා එහි බලය අත්පත් කර ගැනීමට අනුර ගත් පියවර ඔහුගේ දේශපාලන ජීවිතයේ අප්‍රසන්න කළු පැල්ලමක් විය.


අනුරගේ මේ හිතුවක්කාර ක්‍රියාව නොඉවසූ මැතිනිය එදා විජය කුමාරතුංගගේ නායකත්වයෙන් යුතු තරුණ පිරිසක් සමග පැමිණ, දොර අගුළු කඩා පයින් ගසා මූලස්ථානයේ මහ දොර විවෘත කළාය.


මැතිනිය සහ අනුරගේ දේශපාලන බල අරගලය උසාවිය දක්වා ගෙන යෑම එතැනින් ඇරඹිණි. කොළඹ දිසා අධිකරණයේ පැවති නඩු විභාගයේ දී මැතිනියගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේ අධිනීතිඥ එච්. ඇල්. ද සිල්වා මහතාය.


මැතිනියට පක්ෂව නඩුව තීන්දු විය


එදා මැතිනිය උසාවියෙන් පිට වී යන අවස්ථාවේ පැමිණිලි පාර්ශ්වයේ සිටි අනුර දෙස බලා “ඔයාගේ අනුගාමිකයන්ගෙන් පරිස්සම් වන්න” යනුවෙන් ඉංග්‍රීසියෙන් කීවාය. දහස් ගණන් නිදහස් පාක්ෂිකයන්ගේ ජය ඝෝෂා මැද රොස්මිඞ් පෙදෙසේ නිවසට ගිය මැතිනිය, ප්‍රථමයෙන් කළේ එම නිවසේ ම ඉදිරිපස  පදිංචිව සිටි අනුරට, දහවල් ආහාරය සේවකයන් ලවා යැවීමට සැලැස්වීමය. දරු සෙනෙහස, දරු කැක්කුම ඇති තැනට දේශපාලනය අදාළ නොවන බව මැතිනියගේ හැඟීම වන්නට ඇත.


පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක පදවිය, යූ.ඇන්.පී. ආණ්ඩුවේ සහ සිය සහෝදරිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ නායකත්වය යටතේ ඇමැති පදවි හෙබ වූ අනුර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 11 වැනි කතානායකවරයා විය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ලබා ගැනීමට ඔහු ගත් සියලු උත්සාහයන් අසාර්ථක විය. අන්තිමේ ඔහු හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධිය අභියසට ගොස් දෑත් ඔසවමින්, හඬා වැලපී, පක්ෂ නායකත්වය තමාට හිමි විය යුතු බව කියා සිටියේය.


මොන මොන දේ වුවත් රටේ ජනතාව පක්ෂ භේදයකින් තොරව අනුරට ආදරය කළහ.


අවිවාහකයෙකු ලෙස මිය ගිය ඔහුගේ දේහය හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධිය තුළ ඔහුගේ දෙමාපියන්ගේ සිරුරු අසල තැන්පත් කෙරිණි.


හොරගොල්ලේ බණ්ඩාරනායක නම අනාගතයට ගෙනයාමේ කාර්ය එතැනින් අවසන් විය.

 

 


උපාලි රූපසිංහ
ඡායාරූපය : අන්තර්ජාලයෙනි