IMG-LOGO

2025 දෙසැම්බර් මස 01 වන සඳුදා


“මාලිගාවේ දේශපාලනයට” එරෙහිව ගිනි පුපුරු මතුවෙයි

සාමාන්‍යයෙන් කලක පටන්ම බොහෝ දිනවල සවසට චම්පික ඇමැතිතුමා මෛත්‍රී ඇමතිතුමාගේ නිල නිවසට පැමිණ දේශපාලනය කථා කිරීම පුරුද්දක් බවට පත්ව තිබිණි. දෙදෙනාගේම මාතෘකාව හා ස්ථාවරයන් බොහෝ සෙයින් සමානය. කථාවට ප්‍රස්තුත විෂය බොහෝවිට ආණ්ඩුවේ අභියෝග හා මාලිගාවේ දේශපාලනයයි. එවන් එක් දිනක චම්පික ඇමැතිතුමා මෛත්‍රී ඇමැතිතුමා අමතා මෙසේ කීය. එනම්, ‘ඉදිරි ජනාධිපතිවරණයේ දී ඔබතුමා ගනු ලබන තීන්දුව මත තමයි ජනාධිපතිවරණයේ ජය පැරදුම තීන්දු වෙන්නේ. මහින්ද රාජපක්ෂවම දිනවනවද? එහෙම නැත්නම් එයාව පරද්දලා වෙන අයකු ජනාධිපති කරවනවද? කියන එක බොහෝදුරට රට තුළ තීන්දු වන්නේ ඔබතුමාගේ ස්ථාවරය මතයි. තවදුරටත් කථා කළ චම්පික ඇමතිතුමා මේ වන විට ඔබතුමා රටේ ජනතාව ඉදිරියේ හොඳ තැනක ඉන්නේ. ඔබතුමා දෙස රටේ ජනතාව බොහෝම අවදියෙන් නිහඬව බලා ඉන්නවා යනුවෙන්ද චම්පික ඇමතිතුමා පැවසීය. 

මේ අතර රතන හාමුදුරුවන්ද දිනපතා මෙන් පෙරවරුවේ මෛත්‍රී ඇමතිතුමාගේ නිවසට පැමිණ පොදු අපේක්ෂක කථිකාවේ හා උන්වහන්සේගේ ‘පිවිතුරු හෙටක්’ සංවිධානයේ අනාගත සැලසුම් පිළිබඳ කතාකරන්නට වූහ. ඒ සෑම විටම උන්වහන්සේ ශ්‍රී.ල.නි.පයෙන් ඉවත්ව පොදු අපේක්ෂක අභියෝගය බාර ගැනීමට සූදානම් දැයි විමසීය. ඒ අනුව දිනක් මෛත්‍රී ඇමැතිතුමා ඊට යම් අනුකූලතාවක් දැක්වෙන පරිදි ධනාත්මකව ප්‍රතිචාර දැක්වීය. එවිට රතන හාමුදුරුවෝ පස්වනක් ප්‍රීතියට පැමිණියකු විලසින් ‘එච්චරයි අපිට ඕන. කැම්පේන් එක අපි පටන් ගන්නම්’ යැයි කීහ. ඒ අතරම මෙහි මීට පෙර දැක්වූ පරිදි රාජිත ඇමතිතුමා සහ චතුර සේනාරත්න ද මීට සමගාමීව මෛත්‍රී ඇමතිතුමාගේ චිත්ත ධෛර්යය වර්ධනය වන ආකාරයට කලක පටන්ම අදහස් හුවමාරු කරගත්හ. වේගවත් හා උද්වේගකර කථා ශෛලියකින් යුත් මේ පියා හා පුතා එලෙස මෛත්‍රී ඇමතිතුමාගේ පොදු අපේක්ෂක ගමන පිටුපස සිටිනා තැන දන්නේ මෛත්‍රී ඇමතිතුමාම පමණි.


ඒ බොහෝ අවස්ථාවල දී අරලියගහ මැදුරට එරෙහිව සන්ධානයේ දේශපාලනඥයන් පැමිණ කුමන හැඟීම්බර, උද්වේගකර, යථාර්ථවාදී තාර්කික කථාබහ සහ ප්‍රකාශ කළද මෛත්‍රී ඇමතිතුමා ඔවුන් ඉදිරියේ හැසිරුණේ තමා ඒ සියලු දේ ඒ කනෙන් අසා මේ කනෙන් පිට කරන ආකාරයෙනි. ඒ සමඟම රතන හිමියන් පැමිණ මෛත්‍රී ඇමතිතුමා සමඟ කරනු ලබන සාකච්ඡාව චම්පික ඇමතිතුමා නොදන්නා අතර. චම්පික ඇමතිතුමා පැමිණ කරන කථාබහ මොනවාද යන්න රතන හාමුදුරුවෝ නොදනිති. ඒ සමඟම මේ කිසි අයකු මේ වන විටත් මෛත්‍රී ඇමතිතුමා චන්ද්‍රිකා මැතිනිය සමඟ කරමින් සිටි අදහස් හුවමාරු කරගැනීම් පිළිබඳ කිසිවක්ම නොදනියි. ඒ අනුව ඉතා සූක්ෂමව හා බුද්ධිමත්ව තම කය, වචනය, සිත පොදු අපේක්ෂක කථිකාව ඉදිරියේ මේ ආකාරයට සංවර කරගැනීමත්.

කළමනාකරණය කර ගැනීමත් හේතුවෙන් මෛත්‍රී ඇමතිතුමාගේ චිත්තසන්තානය හෝ ක්‍රියාකලාපය අරලියගහ මැදුරට කිසිදු ලෙසකින් ගෝචර නොවීය.


එහෙත් නොවැම්බර් මස පළමු සතියේ දී ‘බළලා මල්ලෙන් පැන්නාසේ’ එතුමාගේ මුවින් යම් අදහසක් ගිලිහුනි. එනම්, පොලොන්නරුවේදී එතුමා කරන ලද කථාවක දී’ පොහොර සහනාධාරය පිළිබඳ අතීත මතකය ආවර්ජනය කරමින් ‘චන්ද්‍රිකා මැතිනිය තරම් මේ රටේ ගොවි ජනතාවට වෙන කවුරුවත් පිහිටවෙලා නැතැයි පැවසීය. මෙම කථාව රූපවාහිනී නාළිකාවල විකාශනයවීමත් සමඟම අරලියගහ මැදුර මහත්සේ කලබලයට පත්විය. ඒ අනුව අරලියගහ මැදුරට සම්බන්ධ විද්වත් මණ්ඩලයක් මෛත්‍රී ඇමතිතුමාගේ පොළොන්නරුවේ කථාව ඇතුළත් වීඩියෝ පටයක් ගෙන්වා එම සම්පූර්ණ කථාව සම්පූර්ණයෙන්ම නරඹමින් ඒ පිළිබඳ විමර්ශනය කරන්නට විය. එහෙත් සම්පූර්ණ කථාව ඇසූකල මෛත්‍රී ඇමතිතුමා එතරම්  රැඩිකල් ප්‍රකාශයක් කර නැත. එහෙත් එහි සිටි රාජ්‍ය ආයතනයක සභාපති ධූරයක් දැරූ සභාපතිවරයකු කියා සිටියේ ‘මෛත්‍රීපාල අර චන්ද්‍රිකා කියලා කියනකොට එයාගෙ තිබුණ බොඩි ලැංවේජ් එක මට ඇල්ලුවේ නෑ’ යනුවෙනි.

මේ අතර නොවැම්බර් 20 වැනිදා රාත්‍රියේ සුප්‍රසිද්ධ ආප්ප කෑමේ රැස්වීමේදී ඊට සහභාගි වූ ජනාධිපතිතුමා ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභිකයන් ඉදිරියේ කථාකිරීම අරඹමින් මෛත්‍රී ඇමතිතුමා දෙසට හැරෙමින් ‘ඔය මොනවා කිව්වත් අන්තිමට එන්නේ රනිල්ම තමයි. නේද මෛත්‍රී?’ යනුවෙන් පැවසීය. එවිට ඊට ප්‍රතිචාර දැක් වූ මෛත්‍රී ඇමතිතුමා ‘ඔව් ඔව්’ යනුවෙන් පිළිතුරු දුන්නේය. කෙසේ වෙතත් එදින එහි සිටි අනෙකුත් සියලුම නායකයන් වෙනදාට වඩා වෙනස් දෘෂ්ටිකෝණයකින් තමන් දෙස බලන බව මෛත්‍රී ඇමතිතුමාට පසක් විය. සැබවින්ම, පොදු අපේක්ෂක කතිකාවට මෛත්‍රී ඇමතිතුමාගේ නම යෝජනා වූ මොහොතේ සිටම එතුමා සහ එතුමාගේ පවුලේ සාමාජිකයන් ගත් ජීවිත අවදානම පිළිබඳ මැනබැලීමට මිම්මක් හෝ නිර්ණායකයක් කිසිවකු සතුව නොවීය.


සැබවින්ම, 2010 මහ මැතිවරණයෙන් පසු ක්‍රමයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මෛත්‍රී ඇමතිතුමා දැකීම යම් අප්‍රියජනක දර්ශනයක් බඳුවිය. එතුමා දකින හැමවිටම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මුහුණේ ඉරියව් ක්ෂණිකව වෙනස්වන බව මෛත්‍රී ඇමතිතුමාට නිරීක්ෂණය විය. අනෙක් අතට තමාගේ රූපකාය දැකීමට අකමැති ජනාධිපතිවරයා හා ඔහු සිටින අරලියගහ මැදුරට යාම මෛත්‍රී ඇමතිතුමාගේ සිතට ගෙනාවේ අතෘප්තිකර හැඟීමකි.
2010 මහ මැතිවරණයෙන් පසුව කොටුව ජනාධිපති මන්දිරයට පැමිණෙන ලෙස මෛත්‍රී ඇමතිතුමාට පණිවුඩයක් ලැබුණි. ඊට අනුව එහි ගිය එතුමාට, ජනාධිපතිවරයාට අමතරව ලලිත් වීරතුංග, පී. බී. ජයසුන්දර, ඩලස් අලහප්පෙරුම හා බැසිල් රාජපක්ෂ ද සිටිනු දැකගත හැකිවිය. නව ආණ්ඩුවේ අගමැතිවරයා පිළිබඳ කථාව අරඹමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියා සිටියේ අගමැතිවරයා පත්කිරීම පිළිබඳ  තමාගේ අදහස වෙනස් කළ බවයි. ඒ අනුව අප්‍රේල් සිට එම වසරේ නොවැම්බර් 18 වැනිදා දිවුරුම් දෙන තුරු අගමැති ලෙස දි.මු. පත් කිරීමට තමා තීරණය කළ බව පැවසීය. එහිදී ප්‍රශ්නය නම් මේ පිළිබඳ රත්නසිරි වික්‍රමනායක මහතාට දන්වන්නේ කවුද? යන ප්‍රශ්නයයි. 


ජනාධිපතිතුමාගේ කථා විලාශය තුළ පෙන්නුම් කළේ එම අවස්ථාවේදී අගමැතිධුරය මෛත්‍රී ඇමතිතුමාට ලබාදීමට තම පූර්ණ එකඟතාව ඇතත් ඊට පෙර ජ්‍යෙෂ්ඨත්වයට ගරු කිරීම වටී, වැනි අදහසකි. මන්ද, මෙම යෝජනාව මෛත්‍රී ඇමතිතුමාට ද බැහැර කළ නොහැක. මේ අනුව පළමුව මෙම තීරණය රත්නසිරි වික්‍රමනායක මහතාට දැනුම්දීම මෛත්‍රී ඇමතිතුමාට බාර විය. රත්නසිරි වික්‍රමනායක මහතා එහිදී කියා සිටියේ පක්ෂයේ තීරණයට තමන් එකඟ බවය. එහි තිබූ විශේෂත්වය නම් එතැන් සිට අගමැති සිහිනය එතුමා තුළ නිර්මාණය කරවා ඉන්පසු සමස්ත රාජ්‍ය බලයම යොදවා එම සිහිනයට මහා පරිමාණ ප්‍රහාරයක් එල්ල කිරීමය.

 

 

 

 

 

 

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

“මාලිගාවේ දේශපාලනයට” එරෙහිව ගිනි පුපුරු මතුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 229 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 282 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1201 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site