සියළු අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය උපයෝගී කරගෙන කොළඹ ඇතුළු දකුණු පළාතේ බැංකු කිහිපයකින් මුදල් කොල්ලකා රතු හමුදා සංවිධානයේ වැඩ කටයුතු සඳහා අරමුදල් රැස් කිරීම අරමුණ විය. ගරිල්ලා භටයින් පුහුණු කිරීම සහ වනගත ස්ථානයක් සොයා ගැනීමටද සැලසුම් සකස් කෙරිණි. එම කාලය තුළ හෙන්රි මහනුවර ලංකා සමාජ ආයතනයේ පර්යේෂකයෙක් ලෙස සහ මහනුවර පිහිටි පෞද්ගලික කේබල් රූපවාහිනී සේවයක ද සේවය කළේය.


ප්‍රථම වරට 1983 නොවැම්බර් මස 8 ඉන්දියාවට බෝට්ටුවෙන් ප්ලොට් සාමාජිකයින් සමග යන හෙන්රි ප්ලොට් සංවිධානයේ ඉහළ නායකයින් සමග රතු හමුදා සංවිධානයේ අරමුණුවලට සහාය ගැනීම සඳහා ඉන්දියාවේ සාකච්ඡා පැවැත්වීය. යළිත් 1984 පෙබරවාරි 25 යාපනයට යන හෙන්රි එහිදී ජයචන්ද්‍රන් හමුවී තවත් ද්‍රවිඩ තරුණයින් 15 දෙනෙකු සමග බෝට්ටුවකින් ඉන්දියාවේ රාමදත්තපුරම් වෙත ගොඩබසිනු ලබයි. එහිදී සංවිධානයේ ඉදිරි ක්‍රියාමාර්ග සමග ප්ලොට් සාමාජිකයින් සමග සාකච්ඡාවකද නිරත වේ. දකුණේ සිංහල තරුණයින් ප්ලොට් සංවිධානය යටතේ ඉන්දියාවේ 1984 දෙසැම්බර් සිට 1985 ජනවාරි දක්වා ගිනි අවි පුහුණුවක් ලබාදීමට ප්ලොට් සංවිධානය එකඟවන අතර ඒ සඳහා තරුණයින් යොමු කිරීමේ වගකීම හෙන්රි වෙත පැවරේ. යළිත් 1984 මාර්තු 3 ඉන්දියාවේ සිට බෝට්ටුවෙන් යාපනයට පැමිණෙන හෙන්රි යළි නුවර නවාතැනට පැමිණියේය.


හෙන්රි සේවය කළ සහ නවාතැන්ගත් සැටලියට් රූපවාහිනී ආයතනයේ කළමනාකරු ලෙස සේවය කරන්නේ තලවතුගොඩ පදිංචි රංජිත් පෙරේරා හෙවත් කණ්නාඩි රංජිත්ය. ව්‍යාපාරික ස්ථානය වැසූ බැවින් නවාතැනෙන් ඉවත්වන ලෙස ඔහු හෙන්රිට දැනුම් දෙනු ලබයි. නුවර නවාතැනද හෙන්රිට සොයා දුන්නේ සමාජ විද්‍යාඥයින්ගේ සංගමය ඇතුළු සංවිධාන කිහිපයක පරිවර්තකයකු ලෙස කටයුතු කරන කණ්නාඩි රංජිත්ය. නුවර උඩිස්පත්තුවේ නවාතැනට හෙන්රි 1984 අගෝස්තු 28 පැමිණෙන විට එහි මුරකරු විසින් කාමරය සෝදිසි කර ඇති බව දැනගන්නට ලැබුණු අතර සඟවා තිබූ අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය පෙට්ටි දෙක එලෙසින්ම තිබිනි. හෙන්රි වහා එම පුපුරණ ද්‍රව්‍ය ඇතුළත් කාඞ්බෝඞ් පෙට්ටි වත්තේගම දුම්රිය ස්ථානය අසල පදිංචි සිල්වා නම් මිතුරෙකුගේ නිවසේ තබන්නේ එය පොත් ටිකක් බවත් තෙදිනකින් නැවත පැමිණ එය රැගෙන යන බවත් පවසමිනි. යළි 1984 සැප්තැම්බර් 2 නුවරදී පරාක්‍රම හමුවන හෙන්රි සිය නවාතැනේ සඟවා ඇති අවි ආයුධ පසුදින කොළඹ යන බසයේ ගෙන එන බවද කැලණියේ කිරිබත්ගොඩදී එය පස්වරු 5ට වැන් රථයකින් පැමිණෙන පුද්ගලයකුට භාරදීමටද ක්‍රමවේදයක් සකසා ගනී.


කොළඹ එන බසයට 1984 සැප්තැම්බර් 3 අවි ආයුධ සැඟවූ කාඞ්බෝඞ් පෙට්ටියක්ද සමග හෙන්රි ගොඩවන අතර පෙරවරු 11.15ට කරලියද්දේදී පොලිස් කණ්ඩායමක් විසින් ලැබුණු ඔත්තුවකට අනුව බස් රථය නතර කරනු ලබයි. එහිදී ආයුධ ඇතුළත් පෙට්ටිය සමග එය ගෙන ආ බවට හඳුනාගත් උඩුවරගේ හෙන්රි පෙරේරා තෙල්දෙණිය පොලිස් ස්ථානයට ගෙන එනු ලබයි. එහි නවීනතම ආයුධ 4ක් පොලිස් අත්අඩංගුවට පත්විය. සැණකින් නුවර සහකාර පොලිස් අධිකාරි සහ යුද හමුදා භට කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ හෙන්රි අත්අඩංගුවට ගන්නා අතර ඔහුගෙන් ලැබුණු වැඩි තොරතුරු අනුව වත්තේගම සිල්වාගේ නිවසට යන ආරක්ෂක අංශ එහි සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය අඩංගු පෙට්ටිද අත්අඩංගුවට ගනී. කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ආ හෙන්රි 1984 සැප්තැම්බර් 6 දිර්ඝ කටඋත්තරයක්ද ලබා ගන්නා ලදී. වැඩිදුර විමර්ශන සඳහා උඩුවරගේ හෙන්රි යාපනයේ ගුරුනගර් සහ මුලතිව් හමුදා කඳවුර වෙත හෙළිකොප්ටරයකින්ද ගෙන ගියේය.
අත්අඩංගුවට ගත් හෙන්රි නඩු විභාගය දක්වා සහ දඬුවම් නියම කරන තෙක් මැගසින්, මහර, ගාල්ල, වැලිකඩ, මීගමුව ඇතුළු බන්ධනාගාර රැසක රඳවාගෙන සිටියේය. වරෙක හෙන්රි 1986 ජනවාරි 10 අලුයම 2.30ට වීදුරුවක් බිඳ තවත් සිරකරුවන් දෙදෙනකු සමග මීගමුව බන්ධනාගාරයේ තාප්පයෙන් පැන යාමට සමත් විය. ඔහු අල්ලාගැනීමට ඔත්තුවක් සපයන අයෙකුට රුපියල් 10,000ක ත්‍යාගයක් ලබාදෙන බව පොලිසිය නිවේදනය කළේය. ඔහු සමග පැනගිය අනෙක් සැකකරුවන් දෙදෙනා වූයේ ජයරත්න සහ රහුමාන්ය. ඒ දෙදෙනාම පිළිවෙළින් වසර 11ක් සහ වසර 8ක් සිර දඬුවම්වලට ලක්වූ අය වූහ. පලාගිය හෙන්රි යළිත් රත්නපුර කිරිඇල්ලේදී පොලිසියට හසුවූ අතර යළිත් බන්ධනාගාර ගත කෙරිණි.


නුවර දිස්ත්‍රික්කයේ වත්තේගමදී 1984 අප්‍රේල් 1 සිට සැප්තැම්බර් 4 අතර කාලය තුළදී නීත්‍යානුකුලව බලයක් නොමැතිව පුපුරණ ද්‍රව්‍ය සහ පීඩාකාරි ආයුධ ළඟ තබා ගැනීම සම්බන්ධව චෝදනා දෙකක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හෙන්රිට එල්ල වී තිබිණි. නඩු අංක 1832/85 මගින් රජයේ නීතිපති ශිවකුමාර් පසුපති ඉදිරිපත් කළ චෝදනා යටතේ නඩුව විභාග කළේ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ තුන්මුල්ල හන්දියට නුදුරෙන් පිහිටා තිබූ කොළඹ මහාධිකරණයේ අංක 3 උසාවියේය. එහි විනිසුරු වූයේ එච්. ඩබ්ලිව්. සේනානායකය. මෙම නඩුව 1986 ජූනි 06 ආරම්භ කළ අතර රහස් පොලිසියට විත්තිකරු කරන ලද පාපෝච්චාරණය ඔහු ස්වෙච්ඡාවෙන් කළ එකක් බව අධිකරණය පිළිගෙන තිබිණි.


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටි හෙන්රි එක් චෝදනාවකට බරපතළ වැඩ සහිතව වසර 10ක් බැගින් එකවර ගෙවීයන පරිදි චෝදනා දෙකකට වරදකරු කරමින් වසර 10ක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය මගින් 1987 ජුලි 16 නියම කළේය.


දඬුවම් නියම කිරීමෙන් පසු අධිකරණයේ අවසර පරිදි විත්තිකරු වූ උඩුවරගේ හෙන්රි ප්‍රකාශයක් කරමින් කියා සිටියේ සිරගෙවල් තුළදී දේශපාලන සිරකරුවන් මරාදැමීම අද එතරම් විශේෂ දෙයක් නොවන බැවින් යම් හෙයකින් 1983 ජූලි මස ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රඳවාගත් සැකකරුවන් 53 දෙනෙකු ඝාතනය කළාක් මෙන් තමාවත් මරාදමනු ලැබුවහොත් තම මළ සිරුර යාපනය සරසවියේ වෛද්‍ය සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා භාරදෙන ලෙස ඉල්ලා සිටියේය. ජයග්‍රහණය නැතිනම් මරණය අප දිනන්නෙමු යැයි විත්තිකරු අධිකරණය හමුවේ එහිදී පැවසීය. එදින මෙම අධිකරණ තීන්දුව දැකබලා ගැනීමට දිවයින අධිකරණ වාර්තාකරු රූපසිරි විද්‍යාරත්න සමග ලේඛකයාද එක්ව සිටියේය.


නීතිඥ එම්. සෝමසුන්දරම් සහ කඩවත ගණේමුල්ලේ පදිංචි නීතිඥ දුෂ්‍යන්ත සමරසිංහ හෙන්රිගේ නඩුවට පෙනී සිටි නීතිඥවරුන් අතර විය. නඩුවේ පැමිණිල්ල මෙහෙය වූයේ රජයේ නීතිඥවරුන් වන කෝලිත ධර්මවර්ධන සහ ලලිත් ද සිල්වාය.


මෙම නඩුව පිළිබඳව පරීක්ෂණ මෙහෙය වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරි චන්ද්‍රා ජයවර්ධන, සහකාර පොලිස් අධිකාරි බ්‍රයන් අමුණුගම, පොලිස් පරීක්ෂක මෙන්ඩිස්. තෙල්දෙණිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රියාර්ඩීන් ඇතුළු කණ්ඩායමක් මගිනි. දඬුවම් නියම කිරීමෙන් පසු වැලිකඩ සිරගෙදර ටේලර් පාටියේ වැඩට ඔහු යොමුවිය. හෙන්රි 1987 අප්‍රේල් 3 ලිපියක් ලියමින් ඉල්ලා සිටියේ ත්‍රස්තවාදී සිරකරුවන්ගේ අංශයට ඔහු මාරු කරන ලෙසය. එසේ නොකිරීමෙන් පසු ඔහු ආහාර වර්ජනයක් සිදුකළේය. එයට හේතු වූයේ ජවිපෙට සම්බන්ධ සැකකරුවන් වෙතින් එල්ල වූ තර්ජනයන් බව කියති.


හෙන්රිගේ පියා වූ යූ. ඊ. පෙරේරා 1987 අප්‍රේල් 8 මරණයට පත්වන විට හෙන්රි සිටියේ රාගම මහර බන්ධනාගාරයේ සැකකරුවෙක් වශයෙනි. පියාගේ දේහයට අවසන් ගෞරවය දැක්වීමට ඒම සඳහා අවසරය බන්ධනාගාර කොමසාරිස්ගෙන් ඉල්ලා සිටියද එය නොලැබිණි. පසුව ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් බර්නාඞ් සොයිසා මැදිහත්වී ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් හෙන්රිව පැයක කාලයකට ඒ සඳහා ගෙනවිත් තිබිණි.


හෙන්රි එහිදී බන්ධනාගාරයේ අවසරය මත පහත ශෝක පණිවිඩය පවුලේ ඥාතීන්ට භාර දුන්නේය. එහි මෙසේද සඳහන්ය. ‘කොමියුනිස්ට් අනාගතය කරා ඉදිරියට පිය නැගීමේ උදාර අදිටන පවුලේ සහ පෙළපතේ සියල්ලන් තුළ වඩාත් සවිමත් කිරීමේ මහඟු වගකීම කවර තත්ත්වයන් තුළ හෝ සපුරාලීම පියාට කළ හැකි හොඳම ගෞරවය බව මගේ අදිටනය ‘යූ. ඊ. පෙරේරා ගේ මරණය කොළඹ සහ ඒ අවට වාමාංශික ක්‍රියාකාරිකයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ආචාරය මැද බොරැල්ල කනත්තේදී සිදුවිය.

 

ඉන්දු - ලංකා ගිවිසුම 1987 ජූලි 29 අත්සන් කිරීමත් සමගම එහි කොන්දෙසියක් අනුව උතුරේ මෙන්ම දකුණේද රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ නඩු යටතේ දඬුවම් ලැබූ, චෝදනා ලැබූ සහ සැකපිට අත්අඩංගුවට ගෙන සිටි සියලු දෙනා නිදහස් කරන ලදී. ඒ අනුව උඩුවරගේ හෙන්රි පෙරේරාද 1989 ජනවාරි 27 නිදහස ලැබීය. 


නිදහස ලැබූ හෙන්රි සිය ඥාතීන් සහ හිතවතුන්ගෙන් සමුගෙන යළි වව්නියාවට ගොස් ප්ලොට් සංවිධානයට ක්‍රියාකාරීව එක් වූ අතර රම්බකුලම් ප්ලොට් කඳවුරේ ස්ථානගත විය. එහි සැලසුම් සහ ජාත්‍යන්තර අංශයේ මුල් පෙළේ ක්‍රියාකාරිකයෙකු විය.


උඩුවරගේ හෙන්රි 1989 ඔක්තෝබර් 23 වව්නියාවේදී ආවාහ වූයේ ජෙයපාලනී කනපතිපිල්ලෙයි සමගය. වසර 1962 දෙසැම්බර් 22 උපන් ජෙයපාලනී වව්නියාවේ තෙක්කුලපායිකුලම්හි පදිංචිකාරියකි. විවාහ වනවිට ඇයට වසර 27 කි. හෙන්රිට 33 කි. සිව්දරු පියෙකු වූ ජෙයපාලනීගේ පියා වෘත්තියෙන් ගොවියෙකි. ප්ලොට් සංවිධානයේ 1984 සිට ක්‍රියාකාරිනියක් වූ ඇය සෙට්ටිකුලම් මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය. පවුලේ වැඩිමල් වූ ඇයට සොහොයුරන් 2 ක් සහ සොහොයුරියක් සිටිති. ඇය වැඩිදුර අවි පුහුණුව ලැබුවේ ඉන්දියාවේදීය.


හෙන්රි සහ ජෙයපාලනී අතර දැන හැඳුනුම්කම ගොඩනැගුණේ ගාල්ල රිමාන්ඞ් බන්ධනාගාරයේ සිට කොළඹ බලා ඔවුන් දෙදෙනා සැකකරුවන් ලෙස අධිකරණයට ගෙන ඒමේදීය. සෙට්ටිකුලම් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බන්ධනාගාරයේ වසර 2 කට ආසන්න කාලයක් තබාගෙන සිටි ජෙයපාලනී පසුව කිසිම චෝදනාවක් නොමැතිව නිදොස් කොට නිදහස් කරන ලදී. නිදහසින් පසුවද ඇය හෙන්රි බැලීමට බන්ධනාගාරයට කිහිපවරක් පැමිණියාය.


හෙන්රි සමඟ වව්නියාවේදී විවාහ වූ ජෙයපාලනී වර්තමානයේ පදිංචිව සිටින්නේ වව්නියාවේ සිය දෙමාපියන් සමගය. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අත්අඩංගුවට හෙන්රි පත්වන විට ඔහුගේ බිරිඳ ජෙයපාලනී සිව්මස් ගැබිණි මවකි. එම දරුවා වූ දියණිය වන හෙන්සි ජෙරෝලන් පෙරේරා උපන්නේ 1990 ජුලි 11 ය. පියා වූ උඩුවරගේ හෙන්රි මෙන්ම දියණිය හෙන්සි ජෙරෝලින්ද කිසිදා ඔවුනොවුන් සජීවීව දැක නැත. වර්තමානයේ හෙන්සි 26 හැවිරිදි උසස් අධ්‍යාපනය හදාරන තරුණියකි. උඩුවරගේ හෙන්රිගේ මව (ඇය 2013 අප්‍රේල් 17 මියගියාය) මෙන්ම සොයුරු සොයුරියෝද හෙන්රිගේ බිරිඳ සහ දියණියට ළෙන්ගතුය.


දෙමළ බෙදුම්වාදි ත්‍රස්තවාදී සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ප්ලොට් ඇතුළු වෙනත් දෙමළ බෙදුම්වලදී සංවිධානවලට එරෙහිව ඇති වූ ගැටුමේදී වව්නියාවේ ප්ලොට් කඳවුර අතහැර එහි සාමාජිකයින් 1990 පෙබරවාරි මස පසුබැස ගොස් සැඟවීමට ගත් තීරණයේදී හෙන්රි අත්අඩංගුවට පත්විය. ඒ අනුව හෙන්රි ඇතුළු කණ්ඩායමක් 1990 පෙබරවාරි 21 එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පිරිසකට හසුවන අතර ඔහු සමග පසුබැස යමින් සිටි ප්ලොට් සන්නද්ධ නායක මානිකදාසන් ඇතුළු කිහිපදෙනෙක් පසු බැසගොස් ඉන්දියාවට පලායෑමට සමත්විය.

 

 

 

 

 

 


මතු සම්බන්ධයි.