ඊළාම් සටනේ මහ මුහුදේ යුද්ධය 42


යුද ජයග්‍රහණයට දස වසරකි. ඒ යුද ජය ග්‍රහණය නිර්මාණය වූයේ මරණයට අභියෝග කළ වීරෝදාර රණවිරුවන්ගේ අයස්කාන්ත මැදිහත් වීමෙනි. ඇස්, ඉස්, මස්, ලේ හා ජීවිත පරිත්‍යාග කළ මව්බිමේ සුජාත දූ පුතුන්ගේ ඒ උත්තම පූජාවන් වර්තමානයට මතු නොව අනාගතයටද දෑසක්ව පැලඳවිය යුතුය.


තිස් වසරක යුද්ධය තුන් වසරකින් නිමා කිරීමේ මෙහෙයුමේදී නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා නාවික හමුදාවට සැපයූ නායකත්වය නොවන්නට ඉතිහාසය වෙනස් විය හැකිව තිබිණි. මේ ඒ ඉතිහාසයෙන් වසන් කළ නොහැකි කතාවය. අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ තම යුද අත්දැකීම අළලා ලියූ ‘අධිෂ්ඨානය’ කෘතියෙන් මේ උපුටනය අනාගත පරපුර වෙනුවෙනි.


 

 

  • සාම ගිවිසුම අනුව රටේ භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරීත්වය රැකීම හමුද‌ා තුනෙහිම වගකීමය. L.T.T.E ය අවි ආයුද රට තුළට ගෙන ඒ නම් එය රටේ භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරීත්වයට සෘජුවම එල්ල කරන ලද තර්ජනයකි. එය වැළැක්වීම ආරක්ෂක පියවරකි. ප්‍රහාරාත්මක පියවරක් නොවීය. එය සාම ගිවිසුමේ 1.3 කොන්දේසියට සම්පූර්ණයෙන් අනුකූලය. SLMM සාමාජිකයන් හට මෙය දැන්වූයේ නම් L.T.T.E යේ උවමනාවට මෙම නෞකාව නිදහස් කර යැවීමට සිදුවනු ඇත. ඒ වන විටත් නාවික හමුද‌ාව විසින් අල්ලා ගන්නා ලද L.T.T.E කුඩා බෝට්ටු ගණනාවක් අවි ආයුධ සමඟ ඉහළින් ආ නියෝග මත නිදහස් කර තිබුණි.

 

 

‘‘කමක් නැහැ. ඔය ප්‍රදේශයේම රැඳී ඉන්න. අපට ලැබුණු තොරතුරු ඉතාමත් විශ්වාසනීයයි’’


‘‘රොජර් (එසේ කරන්නම්) සර්’‘


තොරතුරු දුන් පළමු අවස්ථාවේදීම නෞකාව එන නිවැරදි දිනය බ්‍රිගේඩියර් හෙන්දවිතාරණ මට පමණක් දන්වා තිබුණි. ජූනි 13 වැනිදා දහවල් 12.30 ට පමණ බ්‍රිගේඩියර් හෙන්දවිතාරණ නැවත වරක් දුරකථනයෙන් මා අමතමින් අද‌ාළ නෞකා දෙකේ පැමිණීම නැවතත් සනාථ කළේය.
එදින දහවල් 1.45 ට පමණ සැක කටයුතු නෞකාව පැය 24 කින් ප්‍රමාද වන බව නාවික හමුද‌ා මූලස්ථානයෙන් සංඥ‌ා පණිවිඩයක් ලෙසද මට ලැබුණි. මෙහෙයුමට ගිය සියලුම නෞකා ඒ අනුව දැනුවත් කෙරුණි.


පැය 24 කින් සැක කටයුතු නෞකා පැමිණීම ප්‍රමාද වන පණිවිඩයට අමතරව, එම සංඥ‌ා පණිවිඩයේ තවත් විශේෂ පණිවිඩයක් විය. එනම් සැක කටයුතු නෞකා L.T.T.E නෞකා ලෙස හඳුනාගතහොත් වහාම SLMM සාමාජිකයන් හට ඒ බව දැන්වීමට සූද‌ානම්ව සිටින ලෙසද එහි සඳහන් විය. ඊට අමතරව නෞකාවල සහ නාවික දේපළවල ආරක්ෂාව සඳහා අනුගමනය කරන ලද පිළිවෙන් අනුගමනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවද මතක් කිරීමක් කර තිබුණි.


මේ වන විට නාවික හමුද‌ාපතිවරයා රටින් බැහැරව එක්සත් ජනපදයේ හවායි දූපතේ සම්මේලනයකට සහභාගි වෙමින් සිටියේය. එහෙත් එක් එක් ප්‍රදේශවල ආඥ‌ාපතිවරුන්ට අවශ්‍ය සියලු බලතල  පවරා ගොස් තිබිණ. හදිසි අවශ්‍යතාවක් එළඹුණොත් සෘජුවම ඔහු අමතන ලෙසටද දැනුම් දී තිබිණ.


2001 වර්ෂයේ වයිස් අද්මිරාල් සඳගිරි නාවික හමුද‌ාපති ලෙස පත් වූ ද‌ා සිට ඔහු රටින් බැහැරව යනවිට ප්‍රධාන මාණ්ඩලික නිලධාරියා නාවික හමුද‌ාපති ධුරයේ වැඩ බලන බව දන්වා ආරක්ෂක ලේකම් ඇතුළු අද‌ාළ සියලුම දෙනා දැනුවත් වන අන්දමේ ලිපියක් ඔහු විසින් නිකුත් කරන්නට යෙදුණි. එහෙත් 2002 සැප්තැම්බර් මස වන විට ප්‍රධාන මාණ්ඩලික නිලධාරියා සහ නාවික හමුද‌ාපති අතර යම් මතභේදයක් ඇතිව තිබුණි. වයිස් අද්මිරාල් සඳගිරිට වයස 55 වූ දිනයේ සිට පිළිගත් සම්ප්‍රද‌ායට අනුකූලව  වසරක සේවාකාලය දිගු කරනු වෙනුවට ජනාධිපතිනිය ඔහුට වසර තුනක සේවා දිගුවක් එකවර ලබා දුන්නේය. මෙය මාණ්ඩලික ප්‍රධානී නිලධාරියාගේ අසතුටට තදින්ම හේතු විය. එය එක්සත් ජාතික පක්ෂ රජයේ අප්‍රසාදයටද හේතු වූ බව අපට දැනගන්නට ලැබුණි. මෙයට ප්‍රධාන හේතුව වන්නට ඇත්තේ සේනාධිනායිකාව වූ ජනාධිපතිනිය සහ බලයේ සිටි රජය දේශපාලන පක්ෂ දෙකකින් වීම විය යුතුය. වයිස් අද්මිරාල් සඳගිරි නාවික හමුද‌ාපති ධුරයට පත් කරනු ලැබුවේ ජනාධිපතිනිය විසිනි. එම අවස්ථාවේදී බලයේ සිටි රජයේ නායකත්වය ඉසුළුවේද ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියයි. එහෙත් සඳගිරිගේ වයස 55 වන විට තත්ත්වය වෙනස් වී තිබුණි. ඒ වන විට වයිස් අද්මිරාල් සඳගිරි, නාවික හමුද‌ාපති ලෙස වසරකුත් මාස 7 ක් සේවය කර තිබුණි. නාවික හමුද‌ා රෙගුලාසි අනුව නාවික හමුද‌ාපතිට පමණක් සේනාධිනායිකාවට/ රජයට අවශ්‍ය නම් අවුරුදු 55 න් පසු සේවය දිගුකිරීම් සමඟ සේවයේ රැඳී සිටිය හැක.


පසුදින පාන්දර 3 ට පමණ ‘‘නන්දිමිත්‍ර’’ යාත්‍රාවේ අණදෙන නිලධාරි කපිතාන් කුලරත්නගෙන් මට දුරකථන ඇමතුමක් ලැබිණ.
‘‘සර්, අපි සැක කටයුතු නැව ඩිටෙක් කරා (සොයාගත්තා). ඒ නැවෙන් ලොකු බෝට්ටුවක් ඇදගෙන යනවා. ඒ බෝට්ටුවේ මොනවාහරි බඩු ගොඩක් පටවලා තියෙන බව පේනවා. බෝට්ටුව ඉස්සරහ තුවක්කවකුත් හයි කරලා තියෙනවා. තර්මල් කැමරා (රාත්‍රී පෙනෙන කැමරා) එකෙන් තමයි විස්තර දැක්කේ’’
‘‘ඒ නැවට චැලෙන්ජ් කරලා විස්තර ගන්න රූල්ස් ඔෆ් එන්ගේජ්මන්ට් එකට අනුව. මම විනාඩි පහකින් ඔබට කථා කරන්නම්’’


මෙය ලෝකයේ ඕනෑම නාවික හමුද‌ාවක් මුහුදේදී සැක කටයුතු නැවක් පරීක්ෂා කිරීමට අවශ්‍ය වූ විට පිළිපදින ක්‍රියා පටිපාටියේ කොටසකි.
නාවික හමුද‌ාපතිවරයාට කතා නොකොට පනවා ඇති රූල්ස් ඔෆ් එන්ගේජ්මන්ට් අනුව එම නැව විනාශ කිරීමට උපදෙස් දීමට මට පුළුවන්කම තිබුණි. එහෙත් මම නාවික හමුද‌ාපතිවරයාව ඇමතුවේ සාමාන්‍ය දෙයකට වඩා සිද්ධියක් වුවහොත් ඔහුව දැනුවත් කරන ලෙස රටින් පිටත්වීමට පෙර ඔහු විසින් ලිඛිතව සියලු ප්‍රාදේශීය බලධාරීන්ට දන්වා තිබූ බැවින් හා වැඩබලන නාවික හමුද‌ාපතිවරයාගෙන් රූල්ස් ඔෆ් එන්ගේජ්මන්ට්වලට පටහැනිව උපදෙස් ලැබුණු බැවින්ය.


මෙම තත්ත්වය එම අවස්ථාවේ ඇමරිකාවේ හවායි දූපතේ සම්මන්ත්‍රණයකට සහභාගි වීම සඳහා ගොස් සිටි නාවික හමුද‌ාපතිට දුරකථනයෙන් දැනුම්දී ඔහුගෙන් උපදෙස් ඉල්ලා සිටියෙමි. ඔහු මට දුන් පිළිතුර වූයේ ‘‘ටේක් ඇප්ප්‍රෝප්‍රියේට් ඇක්ෂන්’’ (නිසි පියවර) ගන්නා ලෙසය. මා බලාපොරොත්තු වූයේ නාවික හමුද‌ා මූලස්ථානයෙන් පනවා තිබූ ‘‘රූල්ස් ඔෆ් එන්ගේජ්මන්ට්’’ අනුව කටයුතු කර නෞකාව විනාශ කරන ලෙස ඔහු මා හට උපදෙස් දේවි කියාය. එහෙත් එය එසේ සිදු නොවීය. මාර්තු මාසයේදී විනාශ කරන ලද නැව පිළිබඳව ගත යුතු ක්‍රියා මාර්ගය මා හට සංඥ‌ාවක් මගින් පැහැදිලි උපදෙස් ලැබුණි. එනම් නැව අත්අඩංගුවට ගන්න හෝ විනාශ කරන ලෙසත් කිසිම ආකාරයකින් එයට බේරී පලායාමට ඉඩ නොදෙන ලෙසත්ය.


මෙවර තත්ත්වය වෙනස්ය. නාවික හමුද‌ාපති රටින් පිට සිටින අවස්ථාවකදී වැඩබලන නාවික හමුද‌ාපති සැක කටයුතු යාත්‍රාව L.T.T.E යාත්‍රාවක් නම් SLMM සාමාජිකයන්ට දන්වන ලෙසත් රටින් පිට සිටින නාවික හමුද‌ාපති ‘නිසි පියවර’ ගන්නා ලෙසත් යනුවෙන් දෙආකාරයකින් මා හට උපදෙස් ලැබුණි. මා විසින් තීරණයක් ගත යුතුය.


නාවික හමුද‌ාපති ‘සුදුස්සක් කරන්න’ කියා මට කී විට මෙම නැව විනාශ කිරීමේ වගකීම සම්පූර්ණයෙන් මගේ පිට පැටවුණු බව මම දැන ගතිමි.


සාම ගිවිසුම අනුව රටේ භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරීත්වය රැකීම හමුද‌ා තුනෙහිම වගකීමය. L.T.T.E ය අවි ආයුද රට තුළට ගෙන ඒ නම් එය රටේ භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරීත්වයට සෘජුවම එල්ල කරන ලද තර්ජනයකි. එය වැළැක්වීම ආරක්ෂක පියවරකි. ප්‍රහාරාත්මක පියවරක් නොවීය. එය සාම ගිවිසුමේ 1.3 කොන්දේසියට සම්පූර්ණයෙන් අනුකූලය. SLMM සාමාජිකයන් හට මෙය දැන්වූයේ නම් L.T.T.E යේ උවමනාවට මෙම නෞකාව නිදහස් කර යැවීමට සිදුවනු ඇත. ඒ වන විටත් නාවික හමුද‌ාව විසින් අල්ලා ගන්නා ලද L.T.T.E කුඩා බෝට්ටු ගණනාවක් අවි ආයුධ සමඟ ඉහළින් ආ නියෝග මත නිදහස් කර තිබුණි. 


නාවික හමුද‌ාපතිට මේ තත්ත්වය මා විසින් පැහැදිලි කළ නිසාත් ඔහු මට ‘නිසි පියවර’ ගන්නා ලෙස දන්වා සිටිය නිසාත් නාවික හමුද‌ා මූලස්ථානයෙන් මේ පිළිබඳ නැවතත් උපදෙස් ඉල්ලීම අනවශ්‍ය බව මම තීරණය කළෙමි.


මෙ නෞකාව විනාශ කළ පමණින් සාම කතා බිඳ වැටෙන්නේ නැත. එයට හේතුව L.T.T.E ය සාම ගිවිසුම මුවාවෙන් මෙවැනි දේ සිදුකරන්නේ එය උල්ලංඝනය කිරීමක් බව හොඳටම දන්නා නිසාය.


මෙම නෞකාව මීට පෙර වතාවක විනාශ කිරීමට තිබූ අවස්ථාවද අප්‍රේල් මාසයේදී බුද්ධි තොරතුරු පුවත්පතක පළවීම නිසා මගහැරුණි.


මෙය විනාශ නොකළහොත් මෙදින හෝ වෙනත් දිනක මෙහි ඇති අවි ආයුධ කෙසේ හෝ ධීවර බෝට්ටු මගින් ගොඩබිමට ගෙන එනු ඇත. එසේ වුවහොත් හමුද‌ා පුද්ගලයන් පමණක් නොව සාමාන්‍ය අහිංසක වැසියන් විනාශ කිරීමටද මෙම අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය L.T.T.E ය විසින් භාවිත කරනු නියතය.


මේ සියලු සිතුවිලි එකිනෙක පරයමින් මගේ මනස තුළ පොරබදද්දී නිවැරදි දේ කිරීමට, එනම් නෞකාව විනාශ කිරීමට මම තීරණය කළෙමි.


මෙම මෙහෙයුම නිසා පෙර දින රාත්‍රී 10 සිට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කාලසටහනක් අනුව මෙහෙයුම් මැදිරියේ රාජකාරියේ යොද‌වා තිබුණි. නැගෙනහිර නාවික විධ​ානයේ මෙහෙයුම් අංශයේ ඉතිරි නිලධාරීන්වද වහාම මෙහෙයුම් මැදිරියට කැඳවන ලෙසද, ඉතිරි නෞකා කණ්ඩායම් දෙකටද වහාම ‘‘නන්දිමිත්‍ර’’ නෞකාව තිබෙන ස්ථානයට උපරිම වේගයෙන් යාත්‍රා කරවන ලෙසද මෙහෙයුම් මැදිරිය භාර නිලධාරියා ලෙස එවෙලේ කටයුතු කළ මාණ්ඩලික මෙහෙයුම් නිලධාරියා වූ ලුතිනන් කොමාන්ඩර් දසනායකට දුරකථනයෙන් උපදෙස් දී මමද මෙහෙයුම් මැදිරියට ගියෙමි.


‘‘මොකක්ද දැන් අලුත්ම  තත්ත්වය?’’ මම දසනායකගෙන් ඇසුවෙමි.


‘‘සර්, ‘නන්දිමිත්‍ර’, සැක කටයුතු නැවේ විස්තර දුන්නා. අපි චෙක් කළා. අපිට දීලා තියෙන්නේ ඔක්කොම බොරු විස්තර. මේ නැව කිසිම රටකට අයිති නැති, කිසිම වරායක ලියාපදිංචි නොකළ සමාගමක කොඩියක්වත් නැති නෞකාවක්.’’

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූප අන්තර්ජාලයෙනි