පොහොට්ටු ශ්‍රීලනිප සන්ධානය, වෙල්ගමගේ ගෝඨා විරෝධය, චමල් රාජපක්ෂගේ ඇප තැන්පත් කිරීම, අධිකරණයේ ස්වාධීනත්වය, ඇවන්ගාඞ් නඩුව, තිස්ස අත්තනායකගේ පිල් මාරුව, සිංහල ඡන්ද කැඩිල්ල හා පුරවැසි පනත ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතායි.

ප්‍රශ්නය:- ඔබලා දිගටම කිව්වේ එජාපයේ සමගියක් නෑ කියලයි. හැබැයි අන්තිමේදී එජාප නායකයාම නියෝජ්‍ය නායකයා ජනපති අපේක්ෂකයා හැටියට නම් කළා. සජිත් ප්‍රේමදාස මහතා තරග බිමට පැමිණීම අභියෝගයක් හැටියට සලකනවද?

පිළිතුර:- කිසිසේත් නෑ. ඔය වැඩපිළිවෙළ ගියේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙ පක්ෂ නායකකම රැකගන්නයි. විපක්‍ෂයට ගියොත් විපක්ෂනායකකම රැකගන්නයි. එහෙම නැතිව සජිත් දිනුවොත් අගමැති ධූරය ඔහුට ලබාගන්නයි.

ප්‍රශ්නය:- ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා දිගින් දිගටම සිදුවුණා. මේ වනවිට තත්ත්වය මොකද්ද?

පිළිතුර:- ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී 5 වැනිදා ඒ ගැන කතා කළා. තීන්දුව ගැනීමේ බලය ජනාධිපතිවරයාට පවරා තිබෙනවා. දෙපාර්ශ්වය අස්සන් කරන අවබෝධතා ගිවිසුම් ගැනත් සාකච්ඡා වී තිබෙනවා. ඒ දෙපාර්ශ්වයේ එක්වීම ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයි.
 
ප්‍රශ්නය:- ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයකු වූ කුමාර වෙල්ගම මහතා හිටියේ පොදුජන පෙරමුණ එක්ක. ඒත් ගෝඨාභය රාජපක්ෂ මහතාට අපේක්ෂකත්වය දීමට විරෝධය පළකරමින් ඔහු එතැනින් ඉවත් වුණා. වෙල්ගම මහතාගේ තීරණය ගැන ඔබ මොකද හිතන්නේ?

පිළිතුර:- 2005 දි මා ඇමැති වෙද්දී වෙල්ගම මහත්තයා කටයුතු කළේ පැට්‍රෝලියම් කොටසේ මගේ නියෝජ්‍ය ඇමැතිවරයා හැටියටයි. අපි කාගෙත් ජ්‍යෙෂ්ඨත්වය තිබෙන්නේ පාක්ෂිකයන්ගේ මනාපය මතයි. ප්‍රගතිශීලී කඳවුර එක දිශාවකට යනකොට ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට කවුරු හරි යනවා නම් ඒකට කී දෙනකු කැමැතිවේද කියන ප්‍රශ්නය තිබෙනවා. වෙල්ගම ප්‍රතිපත්තිය ගැන අපේ අපේක්ෂකයාට නම් කිසිම ප්‍රශ්නයක් නෑ.
 
ප්‍රශ්නය:- ඒත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය හැටියට කුමාර වෙල්ගම මහතා විකල්ප අපේක්ෂකයකු හැටියට තරග කිරීමට නියමිතයි. මේ කැඩෙන්නේ පොහොට්ටුවේ ඡන්ද නෙවෙයිද?
 
පිළිතුර:- කවුද දැන් ශ්‍රීලනිපය සුරකින්න ඉන්නේ? පොහොට්ටුවෙ ඡන්ද මොනවත් කැඩෙන්නේ නෑ. තරග කළොත් ලැබෙන ඡන්ද ගණන බලාගන්න පුළුවන්.
 
ප්‍රශ්නය:- ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරමින් මහින්ද රාජපක්ෂ පොදුජන පෙරමුණ හැඳින්වූවේ පශ්චාත් නූතනවාදී පක්ෂයක් කියලයි. හැබැයි උපක්‍රමයක් හැටියට වුණත් විකල්ප අපේක්ෂකයා හැටියට ඇප තැන්පත් කරන්නේ චමල් රාජපක්ෂයි. එකම පවුලක් වටා කැරකීම පශ්චාත් නූතනවාදී ලක්ෂණයක් ද?

පිළිතුර:- නෑ එකම පවුලක් වටා කියනවට වඩා මා හිටියේ මගේ නීතිඥ දැනුම අනුව අභියාචනාධිකරණ පෙස්සම් දෙකම ප්‍රතික්ෂේප කෙරෙනවා කියන මතයේයි. සමහර විට අවදානම් තත්ත්වයක් තුළ විකල්පයක් හැටියට ඕක කරන්න ඇති. ඒත් ඒක දැන් ඉදිරියට යන්නේ නෑනෙ.

ප්‍රශ්නය:- මගේ ප්‍රශ්නය වුණේ ඒ විකල්පයත් රාජපක්ෂ කෙනෙකුම වුණේ ඇයි කියලයි?

පිළිතුර:- මෙහෙමයි. අපි පළාත් පාලන මැතිවරණය දැක්කනෙ. මහරගම නගර සභාවෙ නාමයෝජනා ප්‍රතික්ෂේප වෙච්ච වෙලාවේ විකල්ප කණ්ඩායමකට ඡන්දය දෙන්න කියලා මහින්ද මහත්තයා එක රැස්වීමයි තිබ්බේ. ශ්‍රීලංකා යූ.එන්.පී ඔක්කොම පෙරළාගෙන ඒ ස්වාධීන කණ්ඩායම දිනුවා. මෙතැනදි පැහැදිලි වෙන්නේ වැදගත්ම සාධකය මහින්ද රාජපක්ෂ කියන එකයි. එතුමා දරන මතයත් එක්ක තමයි ඔය අදහස එන්න ඇත්තේ.
 
ප්‍රශ්නය:- ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය සම්බන්ධ අධිකරණ තීන්දුවෙන් පසු විපක්ෂ නායකවරයා මාධ්‍යයට ප්‍රකාශ කළේ අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු වුණා කියලයි. ඒ කියන්නේ අධිකරණය ස්වාධීනව ක්‍රියාත්මක වෙන බව පොදුජන පෙරමුණ පිළිගන්නවා කියන එක නේද?
 
පිළිතුර:- ඔව්. අධිකරණය ස්වාධීනව කටයුතු කරනවා. සමහර අවස්ථාවල දුන් තීන්දු එක්ක එකඟ නොවෙන්න පුළුවන්. මේ සිද්ධිය සම්බන්ධයෙන් නෙවෙයි. ඒත් මානව හිමිකම් හා වෙනත් කාරණා ගැන අධිකරණ ශාලා තුළ කරුණු ඉදිරිපත් වෙනවා. පෙස්සම්කරුවන් හා වජිර අබේවර්ධන ඇමැතිවරයා වෙනුවෙන් අධිකරණ ශාලාවේ පෙනී සිටි නීතිඥයන් දෙදෙනාම දේශපාලන ප්‍රශ්න පවා ඇහුවා. ගෝඨාභය මහතා ජනපති වුණොත් ජාතික ආරක්ෂාව සලසන්නේ කොහොමද වගේ ප්‍රශ්නත් ඇහුවා. එක්සත් ජාතික පක්ෂය තමයි මේකෙ පසුපස සිටියේ. ඒ රිට් ආඥාව සම්බන්ධයෙන් අධිකරණය ස්වාධීනව ක්‍රියා කළා.

ප්‍රශ්නය:- ඒත් ඔබ පාර්ශ්වය වෙනුවෙන් මෙවර පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාම ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට එරෙහිව එවක ආණ්ඩුව පත්කළ තේරීම් කාරක සභා ක්‍රියාවලියේදී එදා එය ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ආණ්ඩුව තමන්ගේම නඩුව තමන්ම අහනවා කියන පදනමිනුයි. රොමේෂ් ද සිල්වාගේ එදා තර්කත් නිවැරැදි ද?
 
පිළිතුර - රොමේෂ් ද සිල්වා මහතා දේශපාලන පක්ෂයකට අයත් කෙනෙක් නෙවෙයි. එතුමාගේ වෘත්තියේ කටයුත්ත එතුමා කරනවා. අපි ඒක දේශපාලනය එක්ක පටලවාගන්න ඕන නෑ.
 
ප්‍රශ්නය:- අධිකරණ නියෝගයෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සෘජුව සම්බන්ධ දේශපාලන සාමාජිකයන් සමාජ මාධ්‍ය හරහා අදාළ පෙස්සම්කරුවන්ට සෘජු හා වක්‍ර ආකාරයෙන් ජීවිත තර්ජන දියත් කරමින් තිබෙනවා. මේ වැඩ ගැන මොකද හිතන්නේ?

පිළිතුර - නෑ. අපි ඒවා අනුමත කරන්නේ නෑ. ඕනෑම කෙනකුට අධිකරණයට යන්න අයිතියක් තියෙනවා. අභියාචනාධිකරණ තීන්දු පිළිගැනීම හෝ නොපිළිගැනීම මත ඊළඟ අධිකරණවලට යන්නත් අවස්ථාව තිබෙනවා. එවැනි ආකාරයේ බලපෑම් වෙනවා නම් අපි ඒවා ප්‍රතික්ෂේප කරනවා. අපි කියන්නේ ඕනෑ නම් තවත් පෙස්සම් දාන්න.

ප්‍රශ්නය:- දැන් ඔය විදියටම අනෙක් නඩුවලටත් බය නැතිව ගියා නම් ඉවර නේද කියලයි එක්සත් ජාතික පක්ෂය අහන්නේ?

පිළිතුර:- බයක් නෑනෙ. ඒකනෙ ගිහින් තියෙන්නේ. ඔය කතා කියන එක්සත් ජාතික පක්ෂයම ලංකාවට ගෙන්න ගත්ත අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවත් කොල්ල කාලා රට පැනලා ඉන්නවා. තනතුර දෙන්න ලංකාවට ගෙන්න ගත්ත විදියටම උසාවියේ පෙනීඉන්න එයාව ගෙන්නගන්න එජාපයට පුළුවන් නේ. පුරවැසියකු විදියට ගත්තම ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මේ රටේ විසි අට අවුරුදු යුද්ධය නිමා කරන්න විශාල දායකත්වයක් දුන් කෙනෙක්. යූ.එන්.පී එකට ඔහොම කෑ ගහන්න හරි රටක් ඉතුරු වුණේ ගෝඨාභයලා හින්දනේ.
 
ප්‍රශ්නය:- මේ ආණ්ඩුව දේශපාලන ඩීල් දාලා වංචා දූෂණ නඩු යට ගැහුවා කියලා සිවිල් සංවිධාන චෝදනා කරනවා. ඔබලා පිහිටුවන ආණ්ඩුවකින් මහ බැංකු බැඳුම්කර සිදුවීම වැනි කාරණා ප්‍රමුඛ කාරණා හැටියට සලකනවද?
 
පිළිතුර:- අපට දේශපාලන ඩීල් නෑ. උදාහරණයකට ඇවන්ගාඞ් නඩුවෙදි එ.ජා.ප පසුපෙළ මන්ත්‍රීවරුන් කෑ ගහපු නිසා තිලක් මාරපන ඇමැතිවරයා ඉල්ලා අස්වුණා. එතුමා හිටපු නීතිපති කෙනෙක්. ඇවන්ගාඞ් සම්බන්ධයෙන් නඩු දාන්න පදනමක් නෑ කියලයි එතුමා කිව්වෙ. විජයදාස රාජපක්ෂ මහත්තයටත් බරපතළ වශයෙන් පීඩනයක් දී තිබුණේ දේශපාලන නඩු පවරන්නේ නෑ කියලයි. මේ නඩුව දාන්න වුණේ ජරා දේශපාලනය නිසා යැයි අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මිය කිව්වා. මේ නඩු නිර්මාණය කළේ කොහොමද කියලා ඊට දවස් දෙකකට පසුව පළ වූ හිටපු සොලිස්ටර් ජනරාල් සුහද ගම්ලත්ගේ පුවත්පත් ලිපියේ පැහැදිලිව සඳහන් වෙනවා. ඉතින් නිර්මාණය කරන නඩු පවත්වාගෙන යන්න බෑ. එකම දේ නඩු ඉවරවෙනකොට මිනිසුන්ගේ ප්‍රතිරූප පොඩිපට්ටම් වෙනවා. ජොන්ස්ටන් ප්‍රනාන්දු රිමාන්ඞ්භාරයේත් හිටියා. නඩුව ඉවර වෙනකොට නිදොස් කොට නිදහස්.

ප්‍රශ්නය:- හැබැයි නිශ්ශංක සේනාධිපතිගේ ගමන් බලපත්‍රය අධිකරණ භාරයේ තිබියදී ඔහු විදෙස්ගත වුණේ විජයදාස රාජපක්ෂ හා තිලක් මාරපන යන එවක ඇමැතිවරුන්ගේ මැදිහත්වීම් මත යැයි කියනවා. එතකොට වුණේ නීතිය නැවීමක් නෙවෙයිද?

පිළිතුර:- මන්දා. මම නම් අධිකරණ ඇමැති හැටියට හිටියේ දවස් ගානයි. එතුමන්ලා අහලා තිබුණේ මෙයා මෙහෙම ඉල්ලීමක් කරනවා කියන එක විතරයි. සුහද ගම්ලත් මහතාගේ ලිපියේ ඒ බව සඳහන් වුණා. එහෙම නම් සහරාන්ල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරද්දි හිටපු හමුදාපතිවරයාට රිෂාඞ් බදියුදීන් කතා කළා කියල පිළිගත්තා. ඒවායින් දෙන්නම නිදොස්නෙ. අරය සජිත්ට උදවු කරනවා. මෙයා ජනාධිපතිවරණයටත් තරග කරනවා. මේවා මොන ඩීල් ද?

ප්‍රශ්නය:- මහේෂ් සේනානායක මහතාගේ දේශපාලන ආගමනය ඇමෙරිකන් කුමන්ත්‍රණයක් බවත් ඔවුන්ගේ අරමුණ සිංහල ඡන්ද තීරු තීරුවලට කැඩීම බවත් ඔබ පෙරමුණේ ප්‍රබල කථිකයකු වන විමල් වීරවංශ මහතා චෝදනා කරනවා. ඔබත් කරන්නේ ඒ චෝදනාවමද?
 
පිළිතුර:- නෑ.. නෑ.. මම සාධක නැතිව කතාකරන්න යන්නේ නෑ. තරග කරල බලන්න මහේෂ් සේනානායක මහත්තයටත් හිතෙන්න ඇති. තරග කරන්න එතුමාටත් අයිතියක් තියෙනවා. හැබැයි ඒ තරගයට එන අය කවුද නියෝජනය කරන්නේ කියන එක ගැනත් තමන්ගේ දෘෂ්ටිකෝණ අනුව අදහස් දක්වන්න පුළුවන්. මගේ සරල ප්‍රශ්නය එතුමා හමුදාපති හැටියට ඉන්නකොට තමයි බෝම්බවලින් 266 ක් මැරුණේ. ආරක්ෂක ලේකමුයි පොලිස්පතියි කූඩුවට නග්ගලානෙ දැන් තියෙන්නෙ. එතකොට හමුදා බුද්ධි අංශයට මොකද්ද වුණේ. එතුමා කිව්වේ තමන්ට දැනුවත් කළේ නෑ කියලයි. සී.අයි.ඩී එකෙන් දැනුවත් කරනකම් හිටියා නම් යුද්ධය අවසන් කරන්න වෙන්නේ නෑ. යුද්ධය අවසාන කරද්දී අංක එකට හිටියේ හමුදා බුද්ධි අංශය.

ප්‍රශ්නය:- ලංකාවේ පළමු වැනි වතාවට ජනපති අපේක්ෂකයන් එකම වේදිකාවකට ගෙන්වන වැඩපිළිවෙළක් දියත් වුණා. ඒත් ගෝඨාභය රාජපක්ෂ මහතා එතැනට ගියේ නෑ. ලෝක ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් අභ්‍යාස කරද්දී ඒවා පිටුදකින්නේ ඇයි?
 

පිළිතුර:- යන්නේ නෑ කියලා එකක් නෑ. දෙන්නා දෙන්නානෙ දාන්නෙ. ඒ ගොල්ලා ආරාධනා කළාම ඒක කෙරෙයි.

ප්‍රශ්නය:- ආරාධනා කර තිබුණා. ඒත් සහභාගී වුණේ නෑ?

පිළිතුර:- පොඞ්ඩක් ඉන්න කියනකන්. සහභාගී වෙන්න නාමයෝජනා දීලා ඉන්න එපැයි.

ප්‍රශ්නය:- නාමයෝජනා බාර නොදුන් නිසයි එහෙනම් නොගියේ?

පිළිතුර:- නෑ. නෑ. ඒක නිසා නෙවෙයි. හැබැයි ඒ දින කීපයේදී එතුමා හිටියේ විශාල බලපෑමකට ලක්වෙමින්. තීන්දුව දුන්නට පස්සේ ජනතාව කොයි තරම් ප්‍රමෝදයට පත්වුණාද කියලා දැක්කනෙ. 2005 දි ගත්ත පුරවැසිකම ගැනනේ මේ 2019 දි ප්‍රශ්න කරන්නේ. යුද්ධය දිනනකොට කවුරුවත් ප්‍රශ්න කළේ නෑනෙ. එයත් එක්ක 21 දෙනෙකුට ඒ පදනමමින්ම දීලා තිබුණා. තීන්දුව වෙනස් වුණා නම් ඒ 21 දෙනාටත් අසාධාරණයක් වෙනවනෙ. ඒගොල්ලො පාර්ශ්වකරුවොවත් කරලා නෑනේ.
 
ප්‍රශ්නය:- ඒ අනුව පුරවැසිභාවය ප්‍රදානය කරන ලේඛන විධායක ජනාධිපතිවරයාට මින්මතුවට නිකුත් කළ හැකියි නේද?
 
පිළිතුර:- ඉතින් එහෙම නම් තියෙන්නේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනැල්ලා පුරවැසි පනත සංශෝධනය කරන්න. පුරවැසි පනතේ 19(2) වගන්තියේ ඕක තියෙන්නේ. ඇමැතිවරයාට තමයි අයැදුම්පත ඉදිරිපත් කරන්න ඕනේ. ඇමැතිවරයාට තමයි බලය තිබෙන්නේ.
 
ප්‍රශ්නය:- දැනට ජනාධිපතිවරයාට පුළුවන්?

පිළිතුර:- නරියා මිදි වැලට පැන්නා වගේ වැඩක්නේ මේක. පැනලා පැනලා කඩාගන්න බැරිවුණාම තිත්තයි කියනවා. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළාටත් පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා විධායක ධූරය අහෝසි කරන්න හැදුවේ. දිනන්න බැරි බව දන්න නිසානෙ. සජිත්ද රනිල්ද කියලා අපට ප්‍රශ්නයක් තිබුණේ නෑනෙ. පක්ෂ ලේකමුයි සභාපතියි එක්ක සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති මුණගැහෙන්න ගියේ මොකටද? රටේ පරිපාලනය ගැන කතාකරන්නද? නෑ. ඒ ගියේ ශ්‍රීලනිපයේ සහාය ගන්න පුළුවන්ද කියලා බලන්න. 1982 ඉඳලා තිබුණු කිසිම ජනාධිපතිවරණයකදී යූ.එන්.පී ඉතිහාසයේ කිසිම අපේක්ෂකයෙක් ශ්‍රී ලංකා එකේ සහායගන්න ගියේ නෑ.
 
ප්‍රශ්නය:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකා වූ ජනාධිපතිවරයා පසුගිය ඔක්තෝම්බරයේ අගමැති හැටියට මහින්ද රාජපක්ෂ මහතා නම් කළේ කරු ජයසූරිය හා සජිත් ප්‍රේමදාස එම ආරාධනාව ප්‍රතික්ෂේප කළ පසු තුන් වැනි තෝරාගැනීම හැටියටයි. එහෙම ආරාධනා කළ කෙනෙකුගෙන් සහාය ලැබේ යැයි සිතීම දේශපාලනිකව වැරැදිද?

පිළිතුර:- ඒක ඒගොල්ලන්ගෙ විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක්. අපේ ප්‍රශ්නයක් නෙවෙයි.
 
ප්‍රශ්නය:- අලි කොටි ගිවිසුමක් ගැන කියලා 2015 දි ඔබලා සමග අත්වැල් බැඳගත් තිස්ස අත්තනායක මහතා මේ වෙද්දී සිටින්නේ එජාප අපේක්ෂකයා සමගයි. කූට ලේඛන ගැන තිබුණු චෝදනාත් අවසන් වුණා. මැතිවරණ සමයේ කියන අලි කොටි ගිවිසුම් බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ පෙණ බුබුළු වගේ නේද?
 
පිළිතුර:- ඔව් ඉතින් මැතිවරණ කාලවලදී ඔය වගේ පොරොන්දු එනවා. දැන් සජිත් ප්‍රේමදාස මහත්තයම ගන්න. ඔහු කිසිම දීමනාවක් ගන්නේ නෑලු. තාක්ෂණය දියුණු යුගයක බුද්ධිමත් තරුණ ජනකායක් ඉන්න රටක මේවා සාමාන්‍ය ජනතාවට ගෝචර වන කාරණා නෙවෙයි. මේවා සඳහන් කරලා රටක් දියුණු කරන්න බෑ. රටේ ආර්ථිකය දියුණු කරන වැඩපිළිවෙළ, නව නිපැයුම්, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැනයි කියන්න ඕනේ. සුගතදාස ස්ටේඩියම් එකේදි පළමු යෝජනාව බලය බෙදාහැරීම. පාර්ලිමේන්තුවේ මේ අවුරුදු තුනහමාරක් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය ගැන ක්‍රියාත්මක වුණු කමිටු හයට සජිත් ප්‍රේමදාස මහතා තඹ දොයිතුවකින් දායක වුණාද? අඩුම ගානේ අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට දැම්මාම කතා කළාද? කරුමෙට හරි දිනුවොත් රනිල් ආයෙ අගමැති.
 
ප්‍රශ්නය:- ඔය ප්‍රශ්නෙම අනික් පැත්තට ඇහුවොත් ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවේවත් හිටියේ නෑ නේද?

පිළිතුර:- හරියට හරි. සහරාන්ගේ බෝම්බෙන් පස්සේ කිව්වේ මුන් 225ම එපා කියලනෙ. ප්‍රධාන අපේක්ෂකයෝ හැටියට ගෝඨාභය, සජිත්, අනුර ගත්තොත් 225ට අයිති නැත්තේ මෙතුමා විතරනේ.
 
ප්‍රශ්නය:- ජයගත්තත් ආණ්ඩු හදන්න වෙන්නේ නැවතත් මේ 225 එක්කම නේ?

පිළිතුර:- මාර්තු 02 වෙනකන් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑනේ. රටක් ඉස්සරහට ගෙනියන්න නම් විෂය ක්‍ෂේත්‍ර ගැන අවබෝධයක් තිබෙන අය ඇතුළත් කරගන්නේ කොහොමද කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කල්පනා කරාවි.

සංවාද සටහන
බිඟුන් මේනක ගමගේ