අසූදෙකේ අවුරුද්ද වනවිට ඇතිවුණ අර්බුදත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විනාශ වී යන්නට ඉඩ තිබුණ බවත් ඒ හැම අර්බුදයක්ම පක්‍ෂ නායිකාව හැටියට මැතිනිය විසඳා ගැනීමට එඩිතරව මෙන්ම උපක්‍රමශීලිවත් ඥානවන්තවත් කටයුතු කළ බව තමා දුටුවේ යැයි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පෞද්ගලික ආරක්‍ෂකයාව සිටි සෙනරත් සෝමරත්න මහතා කියයි.


ඔහු ඒ අසූදෙකේ අත්දැකීම් ගැන මෙසේ සඳහන් කරයි.


මුල්ම ජනාධිපතිවරණය පැවැත්වුණේ 1982 ඔක්තෝබර් මාසේ 20 වැනිදායි. මේ සඳහා  නාමයෝජනා බාරගත්තේ සැප්තැම්බර් 17 වැනිදා. කොළඹ මහනගර සභාවේදීයි නාමයෝජනා බාරගැනීම සිදුකෙරුණේ. මැතිවරණ කොමසාරිස් ආර්. කේ. චන්ද්‍රානන්ද ද සිල්වා මහතායි නාමයෝජනා බාරගත්තෙ.


මේ සඳහා ලියාපදිංචි දේශපාලන පක්‍ෂ හයකින් අපේක්‍ෂකයන් ඉදිරිපත් වුණා. ස්වාධීන අපේක්‍ෂකයන් තුන්දෙනෙක් ඉදිරිපත් වුණා. මේ ස්වාධීන අපේක්‍ෂකයන් තුන්දෙනාගේම නාමයෝජනා ප්‍රතික්‍ෂේප කෙරුණා. ඒ නාමයෝජනා පත්‍රවල යම් යම් අඩුපාඩු තිබිලයි ප්‍රතික්‍ෂේප වුණේ.


නාමයෝජනා ප්‍රතික්‍ෂේප වුණ එක අපේක්‍ෂකයෙක් තමයි නිකවැරටියෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුදියන්සෙ තෙන්නකෝන් මහත්තයා. ඊළඟ කෙනා එන්. එච්. කීර්තිරත්න මහත්මයා. අනික් කෙනා නීතා කැතරින් ඇන්ජලා පෙරේරා මහත්මිය. නාමයෝජනා පිළිබඳ විරෝධතා දැක්වෙන කාලය තුළ එකම විරෝධයතාවයක්  ඉදිරිපත් වුණා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉදිරිපත් කර සිටිය හෙක්ටර් කොබ්බෑකඩුව මහත්මයාගේ නාමයෝජනා පත්‍රයට පමණයි.


මුදියන්සේ තෙන්නකෝන් මහත්මයයි එම විරෝධතාව ඉදිරිපත් කරල තිබුණේ. ඒ විරෝධතාවයෙන් කියැවුණේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායිකාව එතුමිය ප්‍රජා අයිතිය අහෝසිවෙලා ඉන්න කෙනෙක්. ඒ නිසා එම පක්‍ෂයේ අපේක්‍ෂකයාගේ නාමයෝජනා නීති විරෝධියි. එම නාමයෝජනාව ඉවත් කරන්න කියලයි මුදියන්සෙ තෙන්නකෝන් මහතා ඉදිරිපත් කර තිබුණ විරෝධතාවයේ සඳහන් වුණේ.


මේ නීතිය මැතිනිය ඊට කලින් අවුරුද්දෙ එනම් 1981 සංවර්ධන සභා ඡන්දයේදී බිඳලයි තිබුණේ. ඒ නිසාම මැතිවරණ කොමසාරිස් මුදියන්සෙ තෙන්නකෝන් මහතාගේ විරෝධතාව ප්‍රතික්‍ෂේප කළා. මුදියන්සෙ තෙන්නකෝන් මහත්තය නිකම් හිටියේ නෑ. ඊට විරුද්ධව අධිකරණයටත් ගියා. එය අධිකරණයෙනුත් ප්‍රතික්‍ෂේප වුණා.


අන්තිමේ ලියාපදිංචි දේශපාලන පක්‍ෂ හයේ අපේක්‍ෂකයන් හය දෙනාට පමණයි එම ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට හැකිවුණේ. එක්සත් ජාතික පක්‍ෂයේ ‘අලියා’ ලකුණින් ජේ. ආර්. ජයවර්ධන මහත්මයා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ‘අත’ ලකුණින් හෙක්ටර් කොබ්බෑකඩුව මහත්මයා, සමසමාජ පක්‍ෂයෙන් ‘යතුර’ ලකුණෙන් ආචාර්ය කොල්වින්  ආර්. ද සිල්වා මහත්මයා, සමස්ත ලංකා ද්‍රවිඩ සංගමයේ ‘බයිසිකලය’ ලකුණෙන් ජී.  ජී. පොන්නම්බලම් මහත්මා, ජනතා විමුක්ති පෙරමුණේ ‘සීනුව’ ලකුණෙන් රෝහණ විජේවීර මහත්මයා සහ නව සමසමාජ පක්‍ෂයේ ‘කුඩය’ ලකුණෙන් වාසුදේව නානායක්කාර මහත්මයත් යන හයදෙනා තමයි තරග කළේ.


මේ හැම අපේක්‍ෂකයම වට කරගෙන ගැහුවේ කොබ්බෑකඩුව මහත්මයාටයි, විජය කුමාරතුංග මහත්මයයි, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියයි තමයි කොබ්බෑකඩුව මහත්මයාගෙ ඡන්දය කරගහල ඇද්දෙ. මැතිනියත් ප්‍රජා අයිතිය නෑ කියලා පැත්තකට වෙලා හිටියෙ නෑ. රට වටේ ගියා. ප්‍රසිද්ධියේ කොබ්බෑකඩුව මහත්තයට ඡන්දෙ දෙන්න කියල නොකිව්වට ඡන්ද දායකයන් තුළ උනන්දුව උණුසුම ඇති කළා. එතුමිය බෝධිපූජා වැනි පින්කම් සුදානම් කරගෙන රට වටේ පන්සලක් දේවාලයක් පල්ලියක් කෝවිලක් ගානෙ ගියා.


මේ වෙලාවෙ අනුර - මෛත්‍රී කල්ලිය මවාපු සිහින මාලිගා සේරම කඩාවැටිල ඒ කණ්ඩායම දහවිහිලි වුණා.

පක්‍ෂයේ අයිතිය ඉල්ලගෙන ඒ අය කළ උප්පරවැට්ටි සේරම වතුරෙ ගියා. ජනාධිපතිවරණය ප්‍රචාරක කටයුතු ඇරඹෙද්දී මේ කණ්ඩායමත් සීසීකඩ කැඩිල ගියා. අනුර බණ්ඩාරනායක, අලෙවි මවුලානා, ජේ. ආර්. පී. සූරියප්පෙරුම, සුමතිපාල ජයවර්ධන යන අය ආපසු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ආවා.


මංගල මුණසිංහ, ඩික්සන් සිල්වා ඇතුළු කීපදෙනෙක් නිහඬ වුණා. බැසිල් රාජපක්‍ෂ, මෛත්‍රීපාල සේනානායක, පී. බී. ජී. කළුගල්ල, ඇස්. ඩී. ආර්. ජයරත්න සහ හලීම් ඉෂාක් යන අය එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂක ජේ. ආර්. ජයවර්ධන මහතාගේ වේදිකාවට ගියා. ඒ අය ජේ. ආර්. මහත්මයාගේ වේදිකාවෙ නැගල කිව්වේ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අයිති අපිටයි. එය රැකගන්නේ අපියි. අපේ එකම ඉල්ලීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආරක්‍ෂා කරගන්න නම් ජේ. ආර්. ජයවර්ධන මහත්මයාට ඡන්දෙ දෙන්න කියලයි. අපිට හොඳට මතකයි එදා ඒ අපේ කට්ටිය ගොඩවුණ එක්සත් ජාතික පක්‍ෂ රැස්වීම්. ඒ අය කතා කළේ එහෙමයි.

වදාකඩ නවරත්න