රටම හොල්ලන උතුරේ දෙමළ ඡන්දය

03 කොටස

 

 

කුමන අංශයෙන් බැලුවත් යුද්ධය විනාශකාරීය. බියකරුය එයට කුමන පාර්ශ්වයෙන් හෝ දායක වන කෙනෙකුගේ ජීවිතය කොයි මොහොතේ විනාශ වේදැයි කිසි කෙනෙකුටවත් කිය නොහැක. සිවනාදන්ගේ ගෙලේ එල්ලාගෙන ඇති සයනයිඞ් කරල දකින හෝ ස්පර්ෂවන මොහොතක් පාසා ඔහුට දැනෙන්නේ මහත් අප්පිරියාවකි. ඉපදෙන ඕනෑම සත්වයෙකුටම මරණය උරුමයක් බව සත්‍ය නමුදු ජීවිතයේ ඉටුකරගත යුතු අරමුණු කොතෙකුත් තිබියදී මරණයම පතාගෙන මෙසේ බියෙන් සැකෙන් සහ ත්‍රාසයෙන් යුතුව වනවැදී ආහාර පානයෙන් පවා හිඟව තිබියදී මේ ගත කරන ජීවිතය කුමක්දැයි සිවනාදන් තමාගේ සිතින්ම විමසූ වාර ගණන අනන්තය. තමා ආදරයෙන් හදාවඩා පෝෂණය කර උපාධියක් දක්වා අධ්‍යාපනය ලබාදුන් ආදරණීය පියා සහ මව සිටින්නේ කොහිද? කියාවත් ඔහු නොදනී. එපමණක් නොව එකී ආදරණීයන් ජීවතුන් අතර සිටිනවාද? නැද්ද? කියාවත් ඔහු නොදනී. වනන්තරයේ අවි දරාගෙන සිටින තමාට ඔවුන් ගැන තොරතුරක් දැන ගැනීමට කිසිදු ඉඩක් නැත. ආරංචියේ  හැටියට නම් පේදුරුතුඩුව අවට ප්‍රදේශයේ විශාල සටන් ගණනාවක් සිදුව ඇත. ගෙවල් දොරවල් බෝම්බ ප්‍රහාරවලින් කුඩු පට්ටම් වී ගොස්ය. මරණ කීපයක් සිදු නොවූ නිවසක් නැති තරම්ය.


ඔහු විශ්වවිද්‍යාලයේදී කියවූ පොතක තිබූ කතාවක් මතකයට ආවේය. එක් කාන්තාවක් රෝගීව මිය ගිය තමාගේ දරුවාගේ මළ සිරුර දෝතින්ගෙන බුදු හිමියන් හමුවට පැමිණ දරුවා සුවපත් කර දෙන ලෙස බුදු හිමියන්ගෙන ඉල්ලා සිටියාය. මළ කෙනෙකුට පණ දීමට ඒ උත්තමයාටද නොහැක. කාන්තාවට කාරණය අවබෝධ කරදෙනු පිණිස එතුමෝ උපක්‍රමයක් කල්පනා කළහ. නැගෙණිය! මට එය කළ හැකිවන්නේ මිනිසෙකු නොමළ ගෙයකින් අබ මිටක් ගෙනාවොත් පමණකැයි එතුමෝ පැවසූහ. දුක්බර කාන්තාව නගරය පුරා සැරිසරමින් අබ ටිකක් ලබා ගැනීමට මිනිසෙකු නොමළ ගෙයක් සෙව්වාය. මේ ගෙදර පියා මැරුණා. මේ ගෙදර සීයා සහ ආච්චි යන දෙදෙනාම මළා. ඉතින් අපේ ගෙදරින්, අබ රැගෙන ගොස් ඵලක්වේද කියා නුවර වැසියෝ විමසූහ. පේදුරුතුඩුවද දැන් එවැනි නගරයකි. අඩක් කඩා නොවැටුණු නිවසක් නගරයේම නැත. සෑම නිවසෙකම කීප දෙනෙකු මියගොස් බව නිසැකය. සියලු කරුණු මෙසේ යෙදී තිබුණත් සිවනාදන්ගේ යටි සිතේ තිබුණු තවත් එක් අදහසක් වූවේ යුද්ධයට කොතනදී හෝ සහභාගි වීමටය. එම කටුක අත්දැකීම විඳගැනීම මෙන්ම මව්බිමේ විමුක්තිය උදෙසා වන සටනට ක්‍රියාකාරී දායකත්වය දැක්වීමද එම අරමුණේ ගැබ්ව තිබුණි. ඔහුට එම අවස්ථාව ලැබුණි. එය තීරණාත්මක සටනක් විය. හමුදා අංශයන්ගේ ප්‍රචාරක මාධ්‍යයන්ට අනුව එය හැඳින්වුණේ සහ ජනතාව අතර ප්‍රචාරයට පත්වූවේ පුනගරි සටන යනුවෙනි. එහෙත් කොටි සංවිධානය එය නම්කර තිබුණේ “ඔපරේෂන් තවලෙයි” හෙවත් “ගෙඹි මෙහෙයුම” යනුවෙනි. එයට හේතුවක් තිබුණි. පුනගරි හමුදා කදවුරට පහර දීමට කොටි සංවිධානය සැලසුම් කළේ මුහුදින් සහ ගොඩබිමින් යන දෙආකාරයටමය. ඒ නිසා දිය ගොඩ දෙකම හුරු පුරුදු ගෙම්බාගේ නම එයට යොදා තිබුණි. සංවිධානයේ බුද්ධි අංශයේ නායකයා වූ පොට්ටු අම්මාන් මෙම ක්‍රියාන්විතයේ දිග ගොඩ දෙක සම්බන්ධීකරණය කළ බව සිවනාදන්ට මතකය. පුනගරි හමුදා කඳවුරට පහර දී විනාශ කිරීම තුළින් යාපනය සඳහා වන පිවිසුම් මාර්ගය ලෙස පවතින අලිමංකඩ හමුදා කඳවුර දුර්වල කිරීමත්. වන්නිය සහ යාපනය අතරෙහි කිලාලි කළපුව හරහා වන පාර කොටි සංවිධානයේ පාලනය යටතට ගැනීමත් යාපනය සම්පූර්ණයෙන්ම අත්පත්කර ගැනීමේ ශ්‍රී ලංකා හමුදාවේ සැලසුම ව්‍යර්ථ කිරීමත් කොටි සංවිධානයේ අරමුණ විය.


යාපනයේ සිට මෙම සටන් කරුවන් කිලාලි කලපූව හරහා වන්නියට යවනු ලැබීය. රාත්‍රි කාලයේ ලොරිවල නංවා අම්බකාමම් කැලෑ ප්‍රදේශයේ පිහිටි කඳවුරකට රැස්කරන ලදි. එහිදී තවත් දින දෙකක කාලයක් තුළ ඉදිරියේ සිදුවන ප්‍රහාරය ගැන පැහැදිලි කිරීමක් සිදු කෙරුණි. සියලු දෙනාටම ගෝණිවලින් මැසූ තොප්පියක් තුවක්කු සඳහා වන අමතර වෙඩි උණ්ඩ, අත් බෝම්බ, දුරස්ථ සබදතා සඳහා භාවිතවන රහස් වචනවල සංකේත, උපකරණ සඳහා අමතර බැටරි, වියළි ආහාර පාර්සල් ආදී බොහෝ දේ එහිදී අපට ලැබුනි.
සැප්තැම්බර් මාසය උතුරට මහවැසි කාලයයි. එය කොටි මෙහෙයුම්වලට මහත් බාධා ඇති කළේය. මඩ වගුරු මැදින් ගමන් කිරීම අතිශය දුෂ්කර කාර්යයක් විය. එක්වරම වෙල්යායක් මැදින් ගමන් කිරීමට සිවනාදන්ලාට සිදුවිය. ඉදිරියේ ආසන්න දුරකින් හමුදාවේ පිරිස් සිටින බව ඔව්හු දැන සිටියහ. ඒ නිසා ඉදිරියට ගමන් කළ යුත්තේ බඩ ගාගෙනය. සිය ගණනක් ගමන් කර මඩ ගොහොරුවක් බවට පත්ව තිබූ මෙම වෙල්යායේ බඩගාගෙන ඉදිරියට යන්නේ කෙසේද යන ගැටලුව ඔවුන් හමුවේ විය. එහෙත් විවෘත බිමක් වූ එහි ඇවිදගෙන යා නොහැක. එසේ වුවහොත් පෙනෙන නොපෙනෙන දුරින් සිටින හමුදා ආරක්ෂක වළල්ලේ වෙඩි පහරවලට ලක්වෙනු නොඅනුමානය. නොපෙනුණාවුව දැනටද හමුදා භටයෝ ඉදිරිපසට වෙඩි තබති.


සිවනාදන් බඩ ගාමින් මඩ වගුර තරණය කරද්දී ඔහු අසන්නයේම එසේ කරමින් සිටියේ කොටි කෙල්ලෙකු වූ සෙල්විය. ඔහුගේ ඇගේ ඇයගේ අත වැදුණි. අන්නා සොරි ඇය කීවාය “අයියේ කනගාටුයි” එහි අර්ථය විය. මඩෙහි බඩගාමින්ම දෙදෙනා අතර වචන කීපයක් හුවමාරු විය. මොහොතකින් ඉහළට එසවී තිබුණු සෙල්විගේ හිස පහළට කඩා වැටී මුහුණ මඬේ ගිලුණි. සිවා අත දිගුකර සෙල්විගේ කොණ්ඩයෙන් අල්ලා හිස එසවුවේය. ඇගේ දෑස් පියවී තිබුණි. අවට මඩ දිය රතු පැහැයට හැරුණි. කොහේදෝ සිට පැමිණි වෙඩි උණ්ඩයක් ඇයගේ පිටට වැදී තිබුණි. මව්බිමේ විමුක්තිය උදෙසා ඊළාම් සටනේදී පිදූ කතක් තවත් එක් අයෙකු වශයෙන් ඇය වීර මරණය උරුම කරගෙන තිබුණි.


සෙල්වි පමණක් නොව පන්සියයකට අධික හමුදා භටයන්ද දහසක් පමණ වූ කොටි සගයන්ද මෙම පුනගරී සටනේදී මරණයට පත්ව තිබුණි. දෙපාර්ශ්වයේම අයගේ මළ සිරුරු වෙල්යායේ තැන තැන වැටී තිබුණි. ඔවුන් ජීවිත පූජා කළේ කුමක් සඳහා දැයි මේ කිසිවෙකුට දැන් වැටහීමක් නැත. එමෙන්ම මරා ගත්තේ කුමන විරුද්ධවාදිකමටදැයි ඔව්හු නොදත්හ. පුනගරි සටන කොටි සංවිධානයට බෙහෙවින් සතුටු විය හැකි ජයග්‍රහණයක් ලබා දුන්නේය. හමුදාවේ යුද්ධ ටැංකියක්ද ඔවුන් සතු විය. එහෙත් සටනේ අවසාන මොහොතේ වැදුණු හමුදා වෙඩි පහරකින් නිවනාදන් සතුරු අත්අඩංගුවට පත්විය. එහෙත් හමුදාවෙන් ඔහුට කිසිඳු හිරිහැරයක් හෝ තර්ජන ගර්ජනයක් ලැබුණේ නැත. පලාලි රෝහලට ගෙන ගොස් ප්‍රතිකාර ලබා දුන්නේය. ශල්‍යකර්මයකින් දිගු කලකට පසු ඔහුගේ වෙඩි වැදුණු පාදය සුවපත් විය.


හින්දු විශ්වාසයට අනුව විෂ්ණු සකල ලෝකය සහ ඊට අදාළ සියලු වස්තු මවා වදාළේය. එම සමස්ත විශ්වය බ්‍රහ්ම විසින් පාලනය කරනු ලැබේ. මතු අනාගතයේ දිනෙක ඊශ්වර එය විනාශ කරනු ඇත. මෙම බ්‍රහ්ම විෂ්ණු මහේශ්වර යන ත්‍රිමූර්තියට අනුව ලොව පවතිනු ඇත. එම දේව කැමැත්ත වෙනස් කිරීමට තමන්ට හෝ ප්‍රභාකරන්ට හෝ අන් හමුදාවකට හෝ නොහැකිය. එමෙන්ම පරමානන්දය අත්පත් කරගත හැකි වනු ඇත්තේත් යුක්ති ගරුක ලෙස ජීවත් වීමෙනි. පළමුව රෝහලේත් පසුව හමුදාව භාරයේත් ඉන්පසු පුනරුත්ථාපන කඳවුරේත් ගත කළ සිවනාදන් ඇත්ත තේරුම් ගත්තේය. ඔහු භගවත් ගීතාව මෙන්ම තිරක්කුරල් නම් මහා කාව්‍ය ග්‍රන්ථයද පරිශීලනය කළේය. භගවත් ගීතාවේදී ශ්‍රී ක්‍රිෂ්ණයන් විසින් අර්ජුන කුමාරයාට දේශනා කළ කුරුහණ්ඩව යුද්ධය ගැන වූ අවවාද ඔහුගේ සිත් ගත්තේය.


මේ සියලු සිදුවීම් අවසානයේ පුනරුථාපනයෙන් පසු සිවනාදන් ආපසු පේදුරුතුඩුවට පැමිණියේ යහපත් ජීවිතයක් ගත කිරීමටය. ඔහු ආපසු උපන් ගමට එන විට සැතපුම් ගණනක් දුරට මුහුදු බඩ පාරේ දෙපසම නටබුන් ප්‍රදේශයකි. 


අප සංචාරය කළ බස් රියේ මා වාඩි වී සිටින අසුනට යාබද අසුනේ සිටින්නේ සිවනාදන්ය. පලාලි ගුවන් තොටුපොළට හැරෙන පාර අසලදී ඔහු මගෙන් පැනයක් අසයි. මේ නටබුන් වී සැතපුම් ගණනක් වනාන්තරයක් බවට පත්ව ඇති විශාල බිම් තීරුවේ සිටි ජනතාවට කුමක් සිදු වන්නට ඇත්ද? සමහර නටබුන්වලට ඉදිරිපසින් නව නිවාස කීපයක්ද ගොඩ නැගෙමින් තිබේ. ඒ ඉතාම සුළු ප්‍රමාණයකි. මේ මහා විනහශයට වගකිව යුත්තේ ආරම්භයේ සිටම සිංහලයන් යනු යක්ෂ කොට්ඨාසයක් බවට දෙමළ ජනතාවට කියා දුන් සියලුම දෙමළ දේශපාලකයෝය. 


පසුගිය දින තුන අපි කෙතරම් සතුටෙන් ගත කළෙමුද? අතීතයේ අප වර්ග භේදයෙන් තොරව සහෝදරයන් ලෙස ජීවත්වුණේත් මෙහෙමයි. එම සමගිය විනාශ කර දැමීමේ පොන්නම්බලම්, චෙල්වනායගම් නාගනාදන්, රාජවරෝදියම්ගේ සිට බිහි වූ දේශපාලන පරම්පරාවයි. මේසා විශාල විනාශයකින් පසුවත් අද සිටින නායකයන්ටවත් මේ යථාර්ථය තේරුම් ගන්නට බැරිවීම කනගාටුවක්. ඔවුන් නැවතත් කතා කරන්නේ සංහිදියාවේ නාමයෙන් ජාතිවාදයයි. උතුරේ වාසය කරන අපට අවශ්‍ය සාමයයි. ජාතිවාදය පතුරවන සියලු නායකයන් වෙසෙන්නේ කොළඹයි. එහි ඔවුන් ආරක්ෂිතයි. නැවතත් ඇල්ෆ්‍රඞ් දොරෙයප්පා, ලක්ෂ්මන් කදිරගාමර් වැනි නායකයන් උතුරට  බිහිවිය යුතුයි. සිවනාදන් තවත් බොහෝ දේ මා සමග කීවේය. වැඩිහිටියෙකු වශයෙන් මට ඔහු මහත් ගෞරවයක් දැක්වූවේය. අප සමුගන්නා විට ඔහු මගේ දෙපා අල්ලා වැන්දේය. ඔහුගේ දෑස් තෙමී ඇතැයි මට සිතුනි. ඔහු අන්තිමට කීවේ “අද නත්තල් දවස නිසා අරවා තහනම් කොහෙන්වත් හොයා ගන්ට බැහැ” කියාය. සිංහලයාගෙන් වෙන් වී වෙනම රටක් ඉල්ලා යුද්ධ කළේ මෙවැනි සුන්දර මිනිසුන්ය. ඔහු අද ගුරුවරයෙකි. ඔහු තම සිසු පරපුරට ජාතිවාදය විසින් රටට අත්කළ විශාල විනාශය සහ එයට මුල් වූ හේතුවද වටහා දෙනු ඇත. එමගින් සමගි සම්පන්න රටක් බිහි කිරීමට ශක්ති ප්‍රමාණයෙන් ප්‍රයත්න දරනු ඇත. එහෙත් දේශපාලකයන් මේ අහිංසක උත්සාහයට ඉඩදෙනු ඇත්ද? මෙම අදහස් දරන සිවනාදන්ලා තවත් බොහෝ ගණනක් උතුරේ වෙසෙතැයි මම අනුමාන කරමි. එහෙත් ආත්මාර්ථකාමීව බලය උදෙසා සියලු විනාශයන්ට මුල්වන දේශපාලකයන් ඔවුනට වඩා ශක්තිමත්ය. ඒ නිසා කාගේත් ඉරණම රැඳී ඇත්තේ දේශපාලකයන් අතේය. ඒ නිසා උතුරේ සිවනාදන්ලා මෙන්ම දකුණේ සෝමසිරිලාත් අසරණය.

 

 


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප අන්තර්ජාලයෙනි