ගල් අඟුරු පතල පිහිටා ඇත්තේ අප‍්‍රිකානු රටක් වූ සැම්බියාවේ දකුණු දිග ප‍්‍රාන්තයේය. 2000 වසරේ සිට ක‍්‍රියාත්මක වූ මෙම පතලේ හිමිකරුවන් වූයේ චීන පෞද්ගලික සමාගමකි. සැම්බියාවේ දුෂ්කර හා මූලික වශයෙන් කෘෂිකාර්මික ප‍්‍රදේශයක පිහිටා ඇති කොලම් පතල ජාත්‍යන්තර ප‍්‍රවෘත්තියක් බවට පත්වූයේ 2010 දී වූ සිදුවීමක් හේතුවෙනි.

 

 

 

 

 

 

 

 

 

කොලම් පතලේ ක‍්‍රියාකාරීත්වය සිදුවූයේ පරිසර දුෂණ සාධකය පිළිබඳ සැලකීමකින් තොරවය. මේ නිසා පතලේ චීන හිමිකරුවන් - කළමනාකරණයත් ප‍්‍රදේශවාසී සැම්බියා ජනතාවත්  අතර යහපත් සබඳතාවක් නොවීය. පතලේ ක‍්‍රියාකාරීත්වය නිසා වාතය මෙන්ම වගා හා පානීය ජලය දුෂණය වීම මෙයට මූලික හේතුව විය. සැම්බියානු බලධාරීන් පතලේ චීන හිමිකරුවන්ට එරෙහිව කීපවතාවක් නීතිමය පියවර ගත්ත ද නියමිත දඩය ගෙවනවා විනා පතලෙන් වන වායු හා ජල දුෂණය අඩුකිරීමට චීන සමාගම කිසිදු උත්සාහයක් ගත්තේ නැත.

වැටුප් ප‍්‍රශ්නයක් මත පතලේ සැම්බියානු කම්කරුවන් වැඩ වර්ජනයක් ආරම්භ කළේ මේ සංදර්භය තුළය. වර්ජනය සාමකාමී එකක් වුවද චීන සමාගමේ කළමනාකාරීත්වය ඊට දැක්වූයේ සාමකාමී නොවන ප‍්‍රතිචාරයකි. චීන කළමනාකරුවෝ සැම්බියානු කම්කරු උද්ඝෝෂණයට වෙඩි තැබුවේ කම්කරුවන් 11 දෙනකුට තුවාල සිදු කරමිනි.

නිරායුධ කම්කරුවන්ට වෙඩි තැබූ චීන කළමනාකරුවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමට සැම්බියා රජය කටයුතු කළේ නැත. සිද්ධියට වගකිව යුතුයැයි සැක කෙරුණු චීන කළමනාකරුවන්ට නිරුපද්‍රිතව රටින් පිටවීමට සැම්බියා පාලකයෝ ඉඩ දුන්හ. චීන සමාගම සිද්ධියෙන් තුවාල වූ කම්කරුවන්ට වන්දි ගෙවීමක් කළේය.

එහෙත් කොලම් පතලේ කතාව එතැනින් නිමා වූයේ නැත. චීන සමාගම කම්කරුවන්ට අඩු වැටුප් දීම දිගටම කරගෙන ගිය අතර සේවා කොන්දේසි ද අයහපත් තත්ත්වයක පැවතුනි. මෙහි ප‍්‍රතිඵල වූයේ 2012 දී යළිත් වැඩවර්ජනයක් හට ගැනීමය. මෙවර ප‍්‍රචණ්ඩත්වයට මුල පිරුවේ වර්ජක කම්කරුවෝය. මෙම ප‍්‍රචණ්ඩත්වයේ ප‍්‍රතිඵලය වූයේ පතලේ චීන ජාතික කළමනාකාරවරයා මරණයට පත්වීමත් පතල ආණ්ඩුවට ගැනීමත්ය.

මෙම සිදුවීම් දෙක වන අවධියේ චීන සමාගමේ කළමනාකාරී තනතුරක් දැරූ එක් චින ජාතිකයෙක් ද නිව් යෝර්කර් සඟරාවට කියා තිබුණේ මෙම සිදුවීම් දාමයට වගකිව යුත්තේ යම් පාසල් අධ්‍යාපනයක් ලැබූ සැම්බියා ජාතික කම්කරුවන් අතලොස්සක් බවය.

දේශීය හෝ විදේශීය හෝ ආයෝජකයන් රටක පරිසරය වැනසීමෙන් වළකින්නේත් සේවකයන්ට සාධාරණ වැටුප් හා සේවා කොන්දේසි සහතික කරන්නේත් බොහෝ විට තමන්ගේ හිතහොඳකම නිසා නොව රටේ නීතිරීති නිසාය. නීතිරීති රැකීමට බලධරයන් කටයුතු නොකරන්නේ නම් ආයෝජකයෝ ද නීතිය අනුගමනය කිරීමට බොහෝ විට උනන්දුවක් නොදක්වති. කොලම් පතලේ සිදුවීමට පාදක වූ තත්ත්වය එයයි. ඒ අවස්ථාවේ සැම්බියාවේ බලයේ සිටියේ චීනයට ඉතාමත් හිතවත් ආණ්ඩුවකි. පාලකයන්ගෙන් චීන ආයෝජකයන්ට විශේෂ සැලකිල්ලක් ලැබූ බවත් එම නිසා චීන සමාගම් සැම්බියා නීතිය නොතකා නීතියට ඉහළින් ක‍්‍රියාත්මක වූ බවත් එරට වෘත්තීය සමිති හා විපක්ෂය චෝදනා කළහ.

පරිසර නීතිරීති නොතකා ජනතා විරෝධය සැලකිල්ලට නොගෙන පාදුක්ක ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක වූ චීන සමාගමකට අයත් (කොළඹ වරාය නගරයට ගල් සපයන) ගල් කොරියකට ප‍්‍රදේශයේ ජනතාව පහර දුන් පුවතක් මෙයට දෙමසකට පමණ පෙර අසන්නට ලැබුණි. උග‍්‍ර පරිසර හානි සිදුකරන පාදුක්ක ප‍්‍රදේශයේ ගල් කොරි ගණනාවක් වසා දැමීමට බලධාරීන් තීරණය කළ බව මේ මස 1 වෙනිදා ලංකාදීප පුවත්පත වාර්තා කළේය. කොලම් පතල් සිද්ධිය හා රතුපස්වල සිද්ධිය වැනි ඛේදවාදකයන් හටගනුයේ රටේ නීතියට පිටුපා කටයුතු කරන ආයෝජකයන් හා ඒ අවනීතික ක‍්‍රියාවන්ගෙන් බැටකන පුරවැසියන් අතර හටගන්නා ප‍්‍රතිවිරෝධතාව බලධාරීන් විසින් නොතැකීම නිසා ඒවා පිපුරුම් ලක්ෂය දක්වා උත්සන්න වූ විටය.

වතුර වෙනුවට උණ්ඩ

රාජපක්ෂ ආණ්ඩුවේ සාමාජිකයකු මෙන්ම උග‍්‍ර රාජපක්ෂවාදියකු වූ ධම්මික පෙරේරා මහතාට අයත් යැයි කියන සමාගමක් විසින් පවත්වාගෙන ගිය අත්වැසුම් කම්හලක් පාරිසරික නීතිවලට පිටුපා කටයුතු කිරීම රතුපස්වල ඛේදවාදකයේ මුල් පියවර විය. කොලම් පතලට මෙන්ම රතුපස්වල කම්හලට ද රටේ නීතියට පිටුපා දිගින් දිගටම ක‍්‍රියා කිරීමට හැකිවූයේ දේශපාලන රැකවරණ හේතුවෙනි. ධම්මික පෙරේරා මහතා හා රාජපක්ෂ පාලනය සමග තිබූ සම්බන්ධතාව කොතරම් සමීප ද යත් ඔහු අමාත්‍යාංශ ස්ථිර ලේකම් තනතුරකට පත්කිරීමට පවා රාජපක්ෂ ජනාධිපතිවරයා කටයුතු කළේය.

කම්හලේ ක‍්‍රියාකාරීත්වය නිසා තම ජල සැපයුම විසවීම රතුපස්වල ජනතාවගේ විරෝධතාවට හේතු විය. මෙම විරෝධය දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයක් විසින් සංවිධානය කළ එකක් නොව ජල ප‍්‍රශ්නයෙන් පීඩිත ප‍්‍රජාව තුළින්ම මතුවූවකි.

රතුපස්වල ජනතාවගේ ඉල්ලීම සාධාරණ වූවා මෙන්ම ඔවුන්ගේ උද්ඝෝෂණය ද සාමකාමී විය. සාමාන්‍යයෙන් සාමකාමී උද්ඝෝෂණ මැඩලන්නේ පොලිසියයි. ඒ සඳහා අවශ්‍ය පුහුණුව මෙන්ම උපකරණ ද සතු පොලිසියටය. රතුපස්වල ජනතාවගේ උද්ඝෝෂණය පැවැත්වුණු වැලිවේරිය හන්දියට බි‍්‍රගේඩියර්වරයකු තරම් උසස් නිලධාරියකුගේ මෙහෙයවීම යටතේ ජීව උණ්ඩ සහිත අවිවලින් සන්නද්ධ වූ හමුදා කණ්ඩයක් එවීම කිසි ලෙසකිනුදු අවශ්‍ය නොවීය.

මෙම අසාමාන්‍ය තීන්දුවට පිටුපස වූ සිදුවීම් තවමත් අනාවරණය නොවුණ ද කම්හල හිමිකරුවා හා රාජපක්ෂ පාලනයේ අතර වූ ඉතා කිට්ටු සබඳතාව ද ඊට එක් සාධකයක් වූ බව අනුමත කළ හැක. මෙම හමුදා ඛණ්ඩය වැලිවේරියට පැමිණ ඇත්තේ පොලිසියේ ඉල්ලීමක් අනුව නොවන බව මේ වනවිට හෙළිදරව් වී තිබේ. 200ක් පමණ තරම් වූ හමුදා පිරිසක් වැලිවේරියට පැමිණෙන්නට ඇත්තේ තමන්ගේ වුවමනාවකට නොව ඉහළින් ලැබුණු නියෝගයක් මත බව අනුමාන කිරීම තාර්කිකය. හමුදා ඛණ්ඩය බාරව සිටි බි‍්‍රගේඩියර් දේශප‍්‍රිය ගුණවර්ධන මහතාට වැලිවේරියට යන ලෙස නියෝග කළේ කවුද යන්න තවමත් ජනතාවට රහසකි. මේ වනවිට නීතියේ රැුහැනට හසුව ඇත්තේ සැරයන්වරුන් දෙදෙනකු හා කෝප‍්‍රල්වරයෙකු පමණි.

රතුපස්වල සිද්ධියෙන් අනාගතයට වැදගත් සත්‍යයක් අනාවරණය වේ. එනම් පාලකයන් දේශීය හෝ විදේශීය ආයෝජකයකුට සුවිශේෂ සැලකිල්ලක් දැක්වීම කොතරම් නම් අවදානම් සහගත ක‍්‍රියාවක් ද යන්නය. මෙවැනි සංදර්භයක් තුළ රටේ නීතිරීතිවලට පිටුපා කටයුතු කිරීමෙන් තම ලාබය තවත් උපරිම කරගැනීමට ආයෝජකයෝ පෙළඹෙති. මෙහි අවසන් ප‍්‍රතිඵලය වනුයේ කම්කරුවන් හෝ අවට ප‍්‍රජාව සමඟ ඇති ප‍්‍රතිවිරෝධතා වර්ධනය වීමයි. දේශපාලන බලයට ඇති සබඳතාව නිසා එක්කෝ තමන්ට නීතිය අතට ගැනීමට නැතහොත් රජය ලවා නීති විරෝධී මර්දනයක් දියත් කරවීමට ආයෝජකයෝ පෙළඹෙති.

20 වැනි ශතවර්ෂය පුරාම ලතින් ඇමෙරිකානු රාජ්‍යයන් ගණනාවකම ඇමෙරිකානු ආයෝජකයන් හා ඒ ඒ රටවල දේශපාලන බලවතුන් එක්ව කම්කරු හා මානව අයිතීන් උල්ලංඝනය කිරීම සාමාන්‍යයෙන් විය. අප‍්‍රිකාවේ ඇතැම් රටවල චීන ආයෝජකයන් ද මේ ආකාරයෙන්ම ක‍්‍රියාත්මක වනු වර්තමානයේ දැකිය හැක.

හම්බන්තොටින් අක්කර 15,000ක් සුවිශේෂ චීන ආයෝජක කලාපයක් සඳහා බදු දීමේ වත්මන් සැලැස්ම ක‍්‍රියාත්මක වුවහොත් රතුපස්වල සිදුවීමට වඩා බරපතළ තත්ත්වයක් නිර්මාණය විය හැක. හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දීමේ සැලැස්මේ වඩාත්ම භයානක ප‍්‍රතිඵලය විය හැක්කේ එයයි.

හම්බන්තොට වරාය යනු රටේ ආර්ථික අවශ්‍යතාව මත ක‍්‍රියාත්මක වූ ව්‍යාපෘතියක් නොව මහින්ද රාජපක්ෂ මහතාගේ පවුල් අවශ්‍යතාව මත ක‍්‍රියාත්මක වූ ව්‍යාපෘතියකි. රාජපක්ෂ මහතා ලංකාව දුටුවේ තම රාජධානිය ලෙසය. තමන්ගේ ගම වූ හම්බන්තොට කොළඹට නොදෙවෙනි විශාල නගරයක් බවට පත්කිරීම ඔහුගේ අභිප‍්‍රාය විය. හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ, සූරියවැව ජාත්‍යන්තර කී‍්‍රඩාංගණය, හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව මෙම උන්මාදකාරී අවශ්‍යතාවේ ප‍්‍රතිඵල විය. වසර 9ක රාජපක්ෂ පාලනය නිමාවූයේ මෙවැනි මනා පාඩු ලබන සුදු අලි රැසක් රටට ඉතිරි කරමිනි.

වෙබ් අඩවියේ පළවූ වාර්තාවකට අනුව හම්බන්තොට වරායේ සිදුවන ප‍්‍රධානතම ව්‍යාපාරික කටයුත්ත වාහන ආනයනයයි. මෙයද ආනයනකරුවන්ගේ හෝ මෙරට ගැනුම්කරුවන්ගේ වුවමනාවට සිදුවන්නක් නොව රාජපක්ෂ පාලන සමයේ ගත් රාජ්‍ය තීන්දුවක් මත සිදුවන්නකි. ඉහත වාර්තාවට අනුව 2013 සිට හම්බන්තොට වරාය ලැබූ පාඩුව රුපියල් බිලියන 15.6 කි.

රාජපක්ෂ පවුලේ දේශපාලන අවශ්‍යතා මත ඉදිවූ හම්බන්තොට වරාය සඳහා චීනයෙන් ලැබුණේ සහන දායක පදනමක් මත වූ ණය නොව ඉහළ පොලියක් සහිත ණයයි. මේ ණයට පොලිය ගෙවීමටවත් වරායෙන් ලැබෙන ආදායම ප‍්‍රමාණවත් නොවේ. හම්බන්තොට වරාය නිසා ලංකාව පැටලැවී ඇති ණය උගුල තවත් උත්සන්න වන බවත් මෙම ප‍්‍රශ්නයට විසඳුමක් අවශ්‍ය බවත් අවිවාදිතය. එසේ නමුත් වරාය චීනයට දීම ඉන්දියාවේ අප‍්‍රසාදයට හේතුවිය හැකිය. වරායත් සමග අක්කර 15,000ක් චීනයට සුවිශේෂී ආර්ථීක කලාපයක් සඳහා ලබාදීමෙන් දැනටමත් පාරිසරික වශයෙන් අවදානම් අඩියක සිටින හම්බන්තොට දිස්ත‍්‍රික්කයට අලූත් හා වඩාත් භයානක පාරිසරික හා සමාජයීය ගැටලූ රාශියක් නිර්මාණය කළ හැක.

රාජපක්ෂ සමයේ ආරම්භ කළ දැවැන්ත යටිතල පහසුකම් ව්‍යාපෘති බොහොමයකම ආයෝජනය කිරීමට හෝ ඒවාට ණය දීමට බොහෝ රටවල් මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන ද අකැමැති වූයේ ඒවා ආර්ථිකමය වශයෙන් ලාබදායී නොවන බවත් ගත් ණය ආපසු ගෙවීමේදී ප‍්‍රශ්න ඇතිවන බවත් ඔවුන් වටහාගත් නිසාය. චීනය මේ ව්‍යාපාරවලට ඇතැම් විට වැඩි පොලියට ණය දීමට ඉදිරිපත් වූයේ ලංකාව ණය උගුලක නිමග්න වූ විට ඒ තුළින් වාසි ලබා ගැනීමේ අරමුණින් ද යන ප‍්‍රශ්නය ඇසිය යුත්තකි.

හම්බන්තොට වරායේ තත්ත්වයම මෙයට කදිම උදාහරණයකි. චීනය වරාය ඉදිකිරීම සඳහා අධික පොලියට ණය දුන්නේය. වරාය ලාබ නොලබන විට එය 99 අවුරුදු බද්දකට පවරා ගැනීමට චීනය කැමැත්ත පළ කළේය. ඒ සමගම වරාය බද්දට ගැනීමේ කොන්දේසියක් ලෙස ඒ කර්මාන්ත පුරයක් සඳහා ඒ අවටින් විශාල භූමි ප‍්‍රමාණයක් ඉල්ලා සිටියේය. ඒ සියල්ල ලබා දුනහොත් තමන්ගේ ආයෝජනය කලාපය තුළ සාමාන්‍ය පරිසර මානව හා කම්කරු නීති නොසලකා හැරීමේ වරප‍්‍රසාදය ද චීනය ඉල්ලා සිටිනු නොඅනුමානය.

කොලම් පතලේ සිද්ධිය සම්බන්ධයෙන් චීන කළමනාකරුවා, ද නිව් යෝර්කර් සඟරාවට කළ ප‍්‍රකාශය බෙහෙවින් වැදගත්ය. ඔහු කීවේ පතල තුළ කම්කරු ප‍්‍රශ්න නිර්මාණය කළේ යම් පාසල් අධ්‍යාපනයක් ලැබූ කම්කරුවන් අතලොස්සක් විසින් බවය. මෙහි අර්ථය පැහැදිලිය. පාසල් අධ්‍යාපනයක් නොලත් අනෙක් කම්කරුවෝ වැටුප් හා සේවා කොන්දේසි කොතරම් අයහපත් වුවද ඒවා දරාගෙන සිටිති. සාධාරණ වැටුපක් සහ සේවා කොන්දේසි ඉල්ලා සිටිනුයේ යම් අධ්‍යාපනයක් ලැබූ කම්කරුවන් පමණි.

ලංකාවේ කම්කරුවන් අති බහුතරය යම් මූලික අධ්‍යාපනයක් ලද්දෝ වෙති. එබැවින් සුවිශේෂී චීන ආර්ථික කලාපයේ චීන සමාගම් ක‍්‍රියාත්මක කරන වැටුප් හා සේවා කොන්දේසිවලට ඔවුන් එකඟ වෙතැයි සිතීම අපහසුය. මෙවැනි තත්ත්වයක් යටතේ එක්කෝ වර්ජන හෝ විරෝධතා රැල්ලක් නිර්මාණය විය හැක. නැතහොත් තමන්ට අවශ්‍ය ශ‍්‍රම අවශ්‍යතා සපුරාලීමට චීනයෙන් ශ‍්‍රමිකයන් ගෙන ඒමට ආයෝජක සමාගම් තීරණය කළ හැක. මේ දෙකම තුළින් පාර කැපෙනු ඇත්තේ ගැටුම්කාරී තත්ත්වයන්ටය.

රාජපක්ෂ ආණ්ඩුව නිර්මාණය කළ ණය උගුල සිරිසේන වික‍්‍රමසිංහ පාලනයට මරු තොණ්ඩුවක් බවට පත්ව ඇති බව පැහැදිලිය. මෙම තත්ත්වයට වත්මන් ආණ්ඩුව දක්වන ප‍්‍රතික‍්‍රියාවල ප‍්‍රතිඵලය වනු ඇත්තේ ප‍්‍රශ්නය සමනය වීම නොව වඩාත් බරපතළ දේශපාලන, සමාජ, ආර්ථික අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වීමය.

ආයෝජකයෝ හා ඡන්ද දායකයෝ

තවත් ඇමැති හා නියෝජ්‍ය ඇමැතිවරුන් 9කට අලූතෙන් වාහන ගැනීම සඳහා කෝටි 37ක ඇස්තමේන්තුවක් ආණ්ඩුව ගතවූ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ණය උගුල බොරුවක් නොවේ. ආණ්ඩුව මුහුණ දෙන මූල්‍ය අර්බුදය මුසාවක් නොවේ. එවැනි තත්ත්වයක් තුළ පාලකයන් මෙතරම් වගකීම් විරහිත ආකාරයෙන් ක‍්‍රියා කරනුයේ මන්ද?

හම්බන්තොට යෝජිත චීන ආර්ථික කලාපය පිළිබඳව ලාංකීය පෞද්ගලික අංශය ද ප‍්‍රශ්න මතුකර තිබේ. මාර්තු 2 දා ඬේලි මිරර් පුවත්පත වාර්තා කළ පරිදි චීනය සමඟ අත්සන් කරන ගිවිසුම පිළිබඳව හෝ චීන ආර්ථික කලාපය පිළිබඳව තොරතුරු තවමත් දැන ගන්නට ලැබී නැතැයි ලංකා වෙළෙඳ මණ්ඩල සභාපතිවරයා කියා තිබේ. මෙම ගිවිසුම හා යෝජිත චීන ආර්ථික කලාපය පිළිබඳව තොරතුරු පාරදෘෂ්‍ය නොවීම අනෙකුත් පෞද්ගලික ව්‍යාපාරිකයන්ගේ සැකයට තුඩුදී ඇති බව පුවත්පත් වාර්තා කරයි. චීනය හම්බන්තොටට ගෙන ඒමට අපේක්ෂා කරනුයේ කවරාකාර කර්මාන්තදැයි එක් දේශීය ව්‍යවසායකයකු ප‍්‍රශ්න කර ඇත. අධික පරිසර දුෂණ කර්මාන්ත තෙවන ලෝක රටවලට ස්ථාපිත කිරීම චිනයේ අලූත්ම පුරුද්ද බැවින් මෙය අවධානයට ලක්විය යුතු ප‍්‍රශ්නයකි.

හම්බන්තොට වරායේ ණය අර්බුදය විසඳා ගැනීම සඳහා වරාය බදු දීමට අවශ්‍ය නම් කළයුතුව තිබුණේ ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීම බව වාර්තාව සඳහන් කරයි. රාජපක්ෂ පාලනය විසින් තමන්ට උරුම කළ ආර්ථික, මූල්‍ය හා ණය අර්බුදය විසඳීම සඳහා වත්මන් පාලකයන් නිසි ක‍්‍රමවේදයක් අනුගමනය නොකරන බව පැහැදිලිය. රට මුහුණ දෙන තත්ත්වය පිළිබඳවත් ඊට හේතු පිළිබඳවත් ජනතාවට සත්‍යයම පවසා වගකිව යුතු ආර්ථික සංවර්ධන හා මූල්‍ය කළමනාකරණ ක‍්‍රමවේදයක් අනුගමනය කරනු වෙනුවට රාජපක්ෂවරුන්ට පමණක් දෙවැනි වූ නාස්තිකාර හා අතාර්කික මූල්‍ය හා ආර්ථික පිළිවෙතක් අනුගමනය කිරීමට වත්මන් පාලකයන් පෙළඹීම රටේම අවාසනාවකි.

රාජපක්ෂ පවුලට බලය අහිමි කිරීමට මගපෑදු සාධක අතර රතුපස්වල ප‍්‍රහාරය මූලික තැනක් ගනී. තමන්ගේ ව්‍යාපාරික ගජ මිතුරන් රැකීම සඳහා යුද්ධ හමුදාව නිරායුධ සිංහල පුරවැසියන්ට එරෙහිව යෙදවීමට රාජපක්ෂවරු මැලි නොවන බව ඉන් පැහැදිලි විය. රතුපස්වල ඝාතනයෙන් මෙන්ම ඊට රාජපක්ෂ පාලනය දැක්වූ ප‍්‍රතිචාරයෙන් ද අනාවරණය වූයේ ඔවුන්ගේ දේශපේ‍්‍රමය බලය රැක ගැනීමේ අවියක් පමණක් බවය. තමන්ට හෝ තම ගජ මිතුරන්ට එරෙහි වන නිරායුධ සිංහල ජනතාවට එරෙහිව සන්නාහ සන්නද්ධ හමුදාව යෙදවීමට ඔවුන් කටයුතු කරන බවය. රාජපක්ෂවරුන්ට දකුණෙ තිබූ සහාය සැලකිය යුතු තරමකින් ඛාදනය වීමට මේ සියල්ල හේතු සාධක විය.

හම්බන්තොටින් අක්කර 15,000ක් චීන ආර්ථික කලාපයක් වෙනුවෙන් වෙන් කිරීමට එකඟ වීමෙන් සිරිසේන-වික‍්‍රමසිංහ පාලනය සිදුකරනුයේ රාජපක්ෂවරුන්ටත් වඩා එහා යන අමනෝඥකමකි. මේ කර්මාන්ත පුරය නිසා හම්බන්තොට ප‍්‍රදේශයේ ජල ප‍්‍රශ්නය උග‍්‍රවී ජලය බෙදාගැනීම අරභයා චීන සමාගම් හා ලාංකීය ප‍්‍රදේශවාසීන් අතර ගැටුම්කාරී තත්ත්වයක් හටගතහොත් පාලකයන් කරන්නේ කුමක්ද? පාදුක්ක ගල් කොරියේ සිද්ධියේදී මෙන් වායු හා ජල දුෂණය දරා ගත නොහැකිව ජනතාව තම විරෝධය පළ කළහොත් රතුපස්වල මෙන් ජල සම්පත රැක දෙන්නැයි උද්ඝෝෂණය කළහොත් පාලකයන්ගේ ප‍්‍රතිචාරය කවරක් වේද? චීන කම්හල්වල ලාංකීය කම්කරුවන් වැටුප් හා සේවා කොන්දේසි ප‍්‍රශ්න අරභයා වර්ජන හා විරෝධතාවලට පෙළඹුණොත් ආණ්ඩුව ගන්නා පියවර කවරේද? චීන සමාගම් මහා පරිමාණයෙන් චීන ශ‍්‍රමිකයන් ආනයනය කළහොත් ඇතිවන සාමාජීයීය ප‍්‍රතිවිරෝධතාවලට ආණ්ඩුව මුහුණ දෙන්නේ කෙළෙස ද?

කොටින්ම රතුපස්වලදී මෙන් ප‍්‍රදේශයේ ජනතාව හා චීන ආයෝජකයන් අතර ප‍්‍රතිවිරෝධතාවක් ජනිත වී ඒවා ගැටුම්කාරී තත්ත්වයක් දක්වා උත්සන්න වුවහොත් සිරිසේන-වික‍්‍රමසිංහ ආණ්ඩුව ගන්නේ කාගේ පැත්ත ද? ධන බලය චීන ආයෝජකයන් සතු වුවද ඡන්ද බලය ඇත්තේ ලාංකීය ජනතාවට බව වත්මන් ආණ්ඩුවට අමතක වේද?

සටහන - තීසරණී ගුණසේකර