මැතිවරණ පරාජයකින් අනතුරුව විපක්ෂයට තල්ලූ වූ විට ඒ අය හැම විටම කල්පනා කරන්නේ නැවත ආණ්ඩුබලය ලබාගැනීම පිළිබඳවය. එසේම බලය ලබාගෙන ආණ්ඩු පිහිටු වූ අයගේ බලාපොරොත්තුව කෙසේ හෝ අදාළ කාලය දක්වා ආණ්ඩුකිරීමය. සාමන්‍ය ජනතාව නරඹමින් සිටින්නේ මේ කණ්ඩායම් දෙක අතර දේශපාලන අරගලය දැයි කියන්න දන්නේ නැත.

මෙවර සිදුවී තිබෙන්නේ මේ සාමාන්‍ය කාරණයට වඩා සුවිශේෂී තත්ත්වයකි. ප‍්‍රධාන ධාරාවේ දේශපාලන කණ්ඩායම් දෙකම එකතු වී ආණ්ඩු කිරීමකි. එහි නායකත්වය මෙන්ම ආණ්ඩු පවත්වාගෙන යාමේ න්‍යෂ්ටිය බවට පත්ව සිටින්නේ ජනාධිපතිවරයාය. ඊට අමතරව හිටපු ජනාධිපතිවරයා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ කණ්ඩායමක් හා වෙනත් යූ.ඇන්.පී. විරෝධී පක්ෂ සමඟ ඒකාබද්ධ විපක්ෂය ලෙසින්  සංවිධානය වී  සිටී. ඒ පිරිසේ සංඛ්‍යාව 51කි. ආණ්ඩුව පෙරළා නව රජයක් පිහිටු වීමට කතා කරන්නේ මේ පිරිසයි. ඒ සඳහා ඔවුනට ආණ්ඩු පක්ෂයෙන් තවත්  මන්තී‍්‍රවරුන් 62 ක් තම කණ්ඩායමට එක් කරගත යුතුය. මින් ආණ්ඩුව නියෝජනය කරන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමට මන්තී‍්‍රවරු 44ක් අයත් වෙති. එම කණ්ඩායම වත්මන් සහයෝගීතා ආණ්ඩුව නියෝජනය කරන්නේ පක්ෂයේ තීන්දුවක් මතයි. එම තීන්දුව හිටපු ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම නොපිළිගනිති. පවතින දේශපාලන අරගලය සරලව ගත් කල දක්නට ලැබෙන්නේ මෙලෙසිනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වත්මන් රජය පෙරළා දැමීමට තව වෙසක් පෝය දෙකක කාලයක් ඉල්ලා සිටින්නේ මෙවන් පසුබිමකය.

‘‘පෙරළන්න පුළුවන් නම් අපි පෙරළනවා. පෙරළන්නෙ නැතුව ඉන්නෙ නැහැ. බැරි උනොත් අපි ඊළඟ අවුරුද්දෙ එක කරනවා. පෝය දෙකයි.’’ (3. 4. 2017)

ආණ්ඩු පෙරළීම වෙසක් පෝය ඇසුරින් ගණන් හැදීම සංවේදීය. සමහරුනට සාදු නාදය දනවන්නකි. ඒ සාදුනාදය මතින් එම පිරිස තව දුරටත් තමා වටා රඳවා ගැනීමට එතුමා උත්සාහයක යෙදෙනවා විය හැකිය. එහෙත් එතුමා මේ වසර මුලදී  කීවේ මේ වසරේ ස්ථිරවම ආණ්ඩුව පෙරළන බවය. මහින්ද පිලේ සිටින පවිත‍්‍රා වන්නිආරච්චි මන්තී‍්‍රතුමියට අනුවනම් එය පසුගිය ජනවාරියේ විය යුතුව තිබුණි. විපක්ෂයට ගිය විට තමාවටා සිටි පිරිස් රඳවා ගැනීමට මෙවන් කතා පැවසීම ස්වාභාවිකය.

පසුගිය 20 වසර පුරාම යූ.ඇන්.පීය විපක්ෂයේ සිටිමින් මෙවැනිම කතා කී නමුත් ආණ්ඩුපෙරළියක් නම් සිදු නොවීය. එහෙත් එදානම් ආණ්ඩුව පෙරළනවාය කී කණ්ඩායමේ මීට වඩා මන්තී‍්‍රවරුන් පිරිසක් වත් දක්නට ලැබුණි. අවසානයේ සිදු වූයේ ඒ අය ද එකා දෙන්නා රාජ්‍ය නායකයාගේ දෑත් ශක්තිමත් කිරීමට යැයි කියමින් ආණ්ඩුවට එක්වීම යි. මින් අදහස් වන යථාර්ථය කුමක්ද? දේශපාලන බලවේගවල මෙහෙය වීමකින් තොරව හෝ අදාළ මැතිවරණයකදී හැරෙන්න පෞද්ගලික චරිතවල  ඕනෑ එපා කම්වලට අනුව ආණ්ඩු පෙරළන්නේ නැති බවය.

මේ විධියට වෙසක් පෝය ගානේ වැඬේ පස්සට යනවිට හෙට දවසේ මහින්ද ළඟ කී දෙනෙක් ඉතිරි වේ දැයි කියන්න දන්නේ නැත. එසේම තව කී දවසක් ඉවසන්නද යන ප‍්‍රශ්නාර්ථය ඔවුන් (ඒකාබද්ධ විපක්‍ෂ මන්තී‍්‍රවරුන්) තුළින්ම මතුවීම ස්වාභාවිකය. ආත්මගත යූ.ඇන්.පී. විරෝධී ගතිය නිසාම සමහර මන්තී‍්‍රවරුන් මහින්ද ළඟ සිටියද ඒ අය ඇතුළත් සමහරු පුද්ගල චරිතවලට වඩා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන පිරිසකි. මේ වන විට අගමැති රනිල් වික‍්‍රමසිංහ නියෝජනය නොකරන ආණ්ඩුවක් උදෙසා මෛතී‍්‍ර සම`ග එක් වීමට කැමැත්ත පළකර  සිටින්නේ එම පිරිස බව පෙනේ. ඉන් වාසුදේව නානායක්කාර මන්තී‍්‍රවරයා එම දේශපාලන සූත‍්‍රය එළිපිටම ප‍්‍රකාශ කිරීමට පටන්ගෙන තිබේ. එතැන මහින්දගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිළිබඳ කතා බහක් ඇති වන බවක් අදහස් වන්නේ නැත. එසේම වාසු ඇතුළු පිරිස අනාගත ගෝඨාභය ව්‍යාපෘතියෙන් ද  වෙන් වෙලා වාගේය. පසුගිය දිනවල එම ව්‍යාපෘතියේ තදින් ඇලී ගැලීසිටි විමල් වීරවංශ මන්තී‍්‍රවරයා දිගින් දිගටම රිමාන්ඞ් බාරයේ පසුවන්නේ මන්ද යන ප‍්‍රශ්නාර්ථය දැන් ඒකාබද්ධ විපක්‍ෂ කණ්ඩායම අභ්‍යන්තරයේ ද මතුවෙමින් පවතී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ද මේ යථාර්ථය නොදන්නවා නොවේ. ඔහුගේ සොහොයුරු හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂට ද දැන් මේ කාටත් වඩා ආණ්ඩු පෙරළීමේ අමාරුව හොදින් දැනෙන බව පෙනේ. ඊට හේතුව හිටපු ජනාධිපතිවරයාගේ ප‍්‍රතිරූපය රැගෙන රට වටා සැරිසරන්නේ බැසිල්ය. ඒ සඳහා මහන්සි වන්නේ බැසිල්ය. ඔහු දේශපාලනයේ රැඳී සිටින්නේ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙනි. ඒ අනුව නම් මහින්ද වටා සිටින බොහෝ අය කයිවාරු කාරයෝය. සමහරු නිල ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමඟ හොර ඞීල්වලය. තවත් අය ආණ්ඩුවට දැන් නොයන්නේ ගන්න ඇමතිකම් ආණ්ඩුවේ නොමැති නිසා ය. කොටසක් 2020 දී විශ‍්‍රාම යනු ඇත. මේ නිසා ප‍්‍රායෝගිකව බලය ඇල්ලීමේ වැඬේට බැස සිටින කෙනාට එහි අමාරුව තේරේ. මහින්ද කොපමණ ජනපි‍්‍රය වුණත් ඡුන්ද දිනන එක ලෙහෙසි වන්නේ නැතැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මේ ඊයේ පෙරේදා වෙන්නප්පුවේදී කීවේ ඒ නිසා විය හැකිය.

”මහින්ද රාජපක්‍ෂගේ ජනපි‍්‍රයත්වය තිබූ පමණින් වත්, ජනබලය කො තරම් ප‍්‍රබල වුණත්, ආණ්ඩුවක් අප‍්‍රසාදයට පත් වූ පමණින්වත්, දේශපාලන පක්‍ෂයක් ජයග‍්‍රහණය කර ඡෙන්ද දිනන්න බැහැ. ඒකට හොඳට සංවිධානය වෙලා. සෑම තලයක්ම  නියෝජනය කරන විධියට පක්ෂයක් සංවිධානය කළ යුතුයි.” (බැසිල් රාජපක්‍ෂ 4/4/2017 මාධ්‍ය)

හිටපු අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඔහුට තේරෙන ප‍්‍රායෝගික සත්‍යයයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට විරුද්ධව තවත් පක්‍ෂයක් තනාගෙන අවසානයේ යූ.ඇන්.පීයටත් විරුද්ධව තුන්කොන් සටනකින් ආණ්ඩුබලයක් ලබාගැනීමට තිබෙන අමාරුව හා අපහසුව ඔහුට (බැසිල්ට) තේරේ. අවසානයේ ජයගන්නේ ශී‍්‍ර.ල.නි.ප. ය දෙකඩ කිරීමේ වුවමනාව පමණි. ඊට ශී‍්‍ර ලංකා කාරයෝ කී දෙනකු කැමති දැයි මැතිවරණ සටනකදී බලාගත හැකිය.

ජනාධිපති මෛතී‍්‍ර කල් යල් බලා වැඩ පටන් ගෙන තිබෙන්නේ මෙවන් පසුබිමකය. ඔහුගේ දේශපාලන ”බකතපස් වෘතය”. නැත්නම් ගොදුරු හමුවෙන තුරු කල්ගෙන ඉවසීමෙන් වැඩට බැසීමේ ශෛලිය කි‍්‍රයාවට නැඟීමට පටන් ගෙන තිබේ.

එ් වුණාට ගමේ ශී‍්‍ර ලංකා කාරයා ඉන්නේ මහින්ද එක්කනෙ.

බැලූ බැල්මට එවැන්නක් පෙනෙන්නට තිබෙන්නේ කාරණා දෙකක් නිසාය. එකක් ගමේ ශී‍්‍ර ලංකා කාරයා තුළ අටුවන් බැසගෙන ඇති යූ.ඇන්.පී. විරෝධයයි. දෙවැන්න දුෂිත පළාත් පාලන සභිකයන් පිරිසක් ශ්‍රී ලංකා තරුණ නායකයන්ට හා තරුණියන්ට දේශපාලනයට එ්මට ඉඩ නොදෙමින් මහින්දගේ පිහිටෙන් බලයට ඒමට ”කාබොල්ලක්” ලෙසින් ගම වසාගෙන සිටීමයි. එ. ජා. පය සමඟ අනුබද්ධ ආණ්ඩුවක් ගෙන යන්නේ ඇයි ද යන්නත්, ඒ ආණ්ඩුව තුළින් මෛතී‍්‍ර ශී‍්‍ර. ල. නි. ප අනන්‍යතාව රැකගෙන සිටින බවත් තේරුම් කර දීමට ආණ්ඩුව නියෝජනය කරන ශී‍්‍ර ලංකා නායකයන් අපොහොසත් වීමද ගමේ සමහර ශී‍්‍ර ලංකා කාරයන්ගේ විරෝධයට එක් හේතුවකි. එහෙත් දේශපාලනය ගැන දැනුම් තේරුම් ඇති ශී‍්‍ර ලංකා කාරයෝ මෛතී‍්‍ර ශී‍්‍ර. ල. නි. ප ය ආණ්ඩුවට සම්බන්ධ කරගෙන ගෙන යන වැඩ පිළිවෙළ තේරුම් ගෙන සිටිති. ආණ්ඩුව තුළ ශී‍්‍ර. ල. නි. ප ය හිඳිමින්ම ගන්නා තීන්දු හා සමහර කාරණා දෙස බලන විට ජනාධිපති මෛතී‍්‍ර තරම් යූ. ඇන්. පී විරෝධියෙක් නොමැති තරම්ය.

පක්ෂය යළි ගොඩ නැඟීම හා නව සියවසට ගෙනයෑමේ අභියෝගය ජය ගැනීමට මෛතී‍්‍ර වත්මන් ආණ්ඩුව උපයෝගී කර ගන්නා බව පෙනේ. එසේම ගමේ දුෂිත ශී‍්‍ර. ල. නි. ප කබොල්ල කඩාබිඳදමා ගමට නැවුම් පක්‍ෂයක් ඇතුළු කිරීමේ සටන මෛතී‍්‍ර ශී‍්‍ර. ල. නි. ප තරුණ සමුළුව හරහා දැනටමත් අරඹා ඇත. වසර 13කින් නොපැවැත්වූ ශී‍්‍ර. ල. නි. ප තරුණ සමුළුව පසුගියදා ඉතා සාර්ථකව ඇරඹුණේ තරුණ බලමණ්ඩල 147ක නායකත්‍වයෙනි.  ඕනෑම අලූත් නායකයකු තමන් අතට පක්‍ෂය ගොඩ නැඟීමේ වාහකය ලෙසින් තෝරාගනු ලබන්නේ තරුණ ප‍්‍රජාවයි. එම තේරීම නිවැරැදිය.

ජනාධිපති මෛතී‍්‍ර මෙහිදී උපක‍්‍රම දෙකක් පාවිච්චි කරමින් සිටින බව පෙනේ. එකක් ගෝලීය යථාර්ථයට එකඟව යූ. ඇන්. පීය සමඟ එකට ආණ්ඩු කරමින්ම  ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ නායකයකුට ආවේණිකව ගොඩ නැඟෙන ”දේශීය මිනිසා” බවට පත් වීමයි. මේ වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අත්පත් කරගෙන සිටි දේශපේ‍්‍රමී මෙවලම්ද ක‍්‍රමයෙන් ඔහුටත් හොරා සියතට ගැනීමයි. දෙවැන්න පක්‍ෂයේ තරුණයා දේශපාලන දැනුමින් සන්නද්ධ කර ගමට මුදාහැරීමයි. මේ සඳහා පසුගියදා ඇරඹුණු ශී‍්‍ර. ල. නි. ප දේශපාලන ඇකඩමිය දැනටමත් වැඩ පටන්ගෙන ඇත. මේ අතර වැඩ නොකරන සංවිධායකයන් වෙනුවට අලූත් සංවිධායකවරුන්ද පත්වේ.

එ කියන්නේ ජනාධිපති මෛතී‍්‍ර වැඩ පටන්ගෙන කියන එකද?

සත්‍යයද එයමය. තව ඔහුට ඉටුකිරීමට ඇත්තේ එක් කරුණක් පමණක් බව පෙනේ. එනම් ශී‍්‍ර. ල. නි. පක්ෂයෙන් ඈත්ව ගන්ධබ්බයන් ලෙසින් ”පොහොට්ටු” පක්ෂයේ සැරිසරන ශී‍්‍ර ලංකා සංවිධායකයන් නිශ්චිතවම ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත් කිරීමය. ජනාධිපති පේ‍්‍රමදාස ලලිත්, ගාමීණි කණ්ඩායමට කළේ ඒ ටිකය. පසුකලෙක එක්සත් ජාතික පක්ෂයට එක්වීමට ගාමිණී දිසානායක වැනි පතාක යූ. ඇන්. පී. නායකයනට වුවද දැඩි වෙහෙසක් ගැනීමට සිදු විය. බොහෝ විට ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර එවැන්නකට ඉඩ තිබේ. ඒ අනුව පොහොට්ටුව පුද්ගල කේන්ද්‍රීය පක්ෂයක් වන අතර ඒ අයට ශී‍්‍ර. ල. නි. පයට බලපෑම් කිරීමට ඇති ඉඩකඩ ඇහිරී යනු ඇත.