රැඳවියන් 131ක් පලාගොස් ඇති බව පරිපාලනය ප්‍රථමවරට දැන ගත්තේ දින කිහිපයකට පසු 1988 නොවැම්බර් 6 වැනිදාය. ඒ පාතාලයේ නමගිය අපරාධකරුවෙකු වූ ගාල්ල දඩල්ලේ ඌරගහ සමන් චන්ද්‍රසිරි හෙවත් සමනලයා හදිසියේ මීටියාගොඩ පොලිසියේ ස්ථානාධිපති ජගත් ගුණවර්ධනට හමුවීමෙනි. තමාට ඇප දුන් බව එහි දී සමනලයා කියා සිටියේය. එහෙත් පොලිස් ස්ථානාධිපතිවරයා ගාල්ල මූලස්ථාන පොලිසියෙන් සොයා බැලූ විට ඔහුට ඇප දී නොතිබුණි.


පොලිස් තාඩන පීඩන හමුවේ සමනලයා කියා සිටියේ ජවිපෙ සැකකරුවන් සමඟ පැලවත්ත කඳවුරින් උමඟකින් පලා ආ බවය. රහස හෙළිවූයේ එහිදීය. පසුව ආරක්ෂක අංශ විසින් උමඟ නැවත පරිහරණයට ගත නොහැකි සේ වසා දමන ලදි. පසු කලෙක බළපිටියේ මිගෙට්ටුවත්තේ සංගීත සංදර්ශනයක දී ප්‍රේමලාල් සමඟින් පාතාල කල්ලියක වෙඩි තැබීමකින් 1997 දී මියයන විට චන්ද්‍රසිරි හෙවත් සමනලයා 42 හැවිරිදිය. ඔහුගේ ජීවිතයෙන් වසර 30 ක්ම ගතකළේ සිරගෙදර වූ අතර දුම්පානයෙන් හෝ මත්පැනෙන් වැළකී සිටි ඔහුද ජවිපෙ රැඳවියන් සමග ළෙන්ගතුව පැලවත්තේ ගත කළ අයෙකි.

 

 

පැලවත්ත උමඟින් දෙවන වර පලාගියේ 1992 සැත්තැම්බර් 19 ය. එහිදී 64 දෙනෙකු පලායෑමට එක් වී සිටි අතර ඔවුනට මහාධිකරණයේ පමණක් නඩු 19 ක් විය. එහෙත් 64 දෙනාගෙන් පලායෑමට හැකි වූයේ 10 දෙනෙකුට පමණි. පලාගිය එම 10 දෙනා නම් සමරතුංග ආරච්චිගේ උපාලි අරුණ ශාන්ත, අලගයාදුර කැලැරන්ස් සිල්වා, කෝන්ගහගේ ඩග්ලස් ඇන්තනි, අරහෙල්ලගේ ලක්ෂ්මන් වසන්ත, විජේන්ද්‍ර වඩුගේ වීරසිරි ජයරත්න, කංකානපතිරගේ උපාලි  ජයවර්ධන, වත්තල දොන් දුරෙයිලාගේ පියසේන, රන්පදි දේවයාලාගේ උපාලි වීරසිංහ, කේ. චන්ද්‍රදාස විජේමාන්ත (අවිස්සාවේල්ලේ එජාප පළාත් සභා මන්ත්‍රී වික්‍රමරත්න රැස්වීමක් අමතමින් සිටියදී පැහැරගත් ලොරියකින් ගොස් වෙඩි තබා ඝාතනය කළේ ඔහු විසිනි. පසුකලෙක පාදුක්කේ වතු ගැටුමකදී මරුමුවට පත්විය) රණසිංහ ආරච්චිගේ සංජය චමින්ද පෙරේරා (ඔහුගේ සොහොයුරා වූ රංජිත්ද බම්බලපිටිය පොලිස් බළකා මූලස්ථානයට කඩාවැදීමේ සිද්ධියටද සම්බන්ධ අයෙකි. පසුව ප්‍රහාරයකදී ඝාතනයට ලක්විය.) වේ. පැනගිය සැකකරුවන් 10 දෙනා ගෙන් බහුතරය ගම්පහ, ජා ඇල, මීගමුව සහ කළුතර පදිංචිකරුවෝ වෙති.


එහිදී 11 වැන්නා වූ උපුල් උමඟින් එළියට පැමිණ එක්වරම පහතට පෙරළී ඇති බැවින් විශාල ශබ්දයක් ඇතිවිය. එවිට රාත්‍රී 12 පමණ වූ අතර රැකවලේ සිටි ආරක්‍ෂක නිලධාරියෙක් විදුලි පන්දම් එළියෙන් ඔහුව දැකගන්නට ලැබී මුරකාවල් තරවී උපුල් අත්අඩංගුවට පත්විය. ඉතිරි අයට පලායෑමට නොහැකි විය. එම උමඟ මීටර් 59 ක් දිගය. මෙම උමග කැපීමට දින 47 ක් ගතවිය. එම කණින ලද උමඟ ගැන පොලිසියට ඔත්තු දීම ගැන සැක සිතීම නිසා සෙසු රැඳවියන් විසින් පැලවත්ත කඳවුරේ රැඳවියෙකු වූ අනුරාධපුර කලත්තෑවේ පදිංචි හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු වූ ප්‍රියන්ත මහීපාල 1992 නොවැම්බර් 11 ගල්ගසා හිස පොඩිකර දමා මරා දමා තිබිණි.


සෝසා කමිටුව සහ ජයලත් කමිටුව මගින් පැලවත්ත කඳවුර පිළිබඳව කරන ලද නිර්දේශ 1992 අවසානය දක්වා ක්‍රියාත්මක වී නොමැතිවීමෙන් එම කඳවුරේ රැඳවියන් තුළ නොසන්සුන්තාවය දිනෙන් දිනම උග්‍ර විය. ඒ වන විට පැලවත්ත රැඳවුම් කඳවුරේ රැඳවියන් 747ක් රඳවා සිටියහ. ඉන් 561ක් වූ සිරකරුවන් 1992 සැප්තැම්බර් 20 සිට එනම් දහදෙනෙකු 1992 සැප්තැම්බර් 19 පලා යෑමෙන් පසුදිනය. උපවාසය කළ 27 දෙනා දින 8 පසු එනම් 1992 සැප්තැම්බර් 28 ඉතා අසාධ්‍ය තත්ත්වයට පත්වූ අතර ඔවුන් බැලීමට මානව හිමිකම් කාර්ය සාධක බළකායේ විශ්‍රාම ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජේ. එෆ්. සෝසා පැලවත්ත කඳවුරට පැමිණ සිරකරුවන් සමග පැය 5 පැවැති සාකච්ඡාවකින් අනතුරුව උපවාසය නතර කිරීමට රැඳවියෝ එකඟතාව පළ කළහ. ජවිපෙ 2 වැනි කැරැල්ල සම්බන්ධයෙන් පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව මගින් අත්අඩංගුවට ගත් 20,000 ක් පමණ වූ සැකකරුවන් අතරින් ඒ වන විට රැඳවුම් කඳවුරුවල රැඳවාගෙන සිටියේ 1,800ක් පමණි.


ගාල්ල දිස්ත්‍රික්කයේ ජවිපෙ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයෙකු වූ පිටිගල පියල් ද පැලවත්ත කඳවුරෙන් දෙවරක් පලායෑමට සමත් වූවෙකි. පිටිගල පියල් පැලවත්ත උමඟින් 131 පලායෑමට දෙදිනකට ප්‍රථම තවත් 5 දෙනෙකු සමග රාත්‍රී 2කට කඳවුරේ වහලෙන් පැන එළියට යෑමට සමත් විය. පිටත සිට පලායෑම සංවිධානය කරන්නන්ට ඔවුහු සහාය වූහ. පිටිගල පියල් සමග එසේ පැන ගිය අය වූයේ කුරුණෑගල සංජීව, වාරියපොළ නිමල්, මෙන්ඩිස් හා කම්පියුටර් නමින් හැඳින්වූ අයෙකු වේ. ඔවුන්ගේ පලායෑමද බැරවූයේ උමඟින් පලාගිය පිරිසටය. පසුව පිටිගල පියල් ඇතුළු කිහිප දෙනෙක් 1991 දී යළි අත්අඩංගුවට ගත් විට පැලවත්තෙන් පලායෑම පිළිබඳව මතුගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් නඩු පැවරූ අතර එම නඩුවෙන් 1995 මාර්තු 2 ඔහු නිදහස් විය. එයට හේතුව වූයේ පොලිසිය නඩුව පවරා තිබුණේ පැලවත්ත බන්ධනාගාරයෙන් පලායෑමේ සිද්ධියකට වන අතර චූදිතයාගේ නීතිඥයා ගේ තර්කය වූයේ පැලවත්ත යනු සංක්‍රමණික රැඳවුම් කඳවුරක් මිස බන්ධනාගාරයක් නොවන බවය.


එමෙන්ම පැලවත්ත කඳවුරේ සිටි පොළොන්නරුවේ ජයසේන ඇතුළු රැඳවියන් 5 දෙනෙක්ද 1991 ඔක්තෝබර් 21 පලාගිය අතර පසුව එක් අයෙකු හිනිදුම හබරකඩදී ඇති වූ වෙඩි හුවමාරුවකදී මියගොස් තිබුණි. ධම්මික ප්‍රනාන්දු ඇතුළු තවත් තරුණයෙක්ද පැලවත්ත කඳවුරේ සිටියදී 1992 මැයි 11 ඝාතනය කර පලායෑමේදී වෙඩි වැදුණු බව සඳහන් කර තිබුණි.


කඳවුරෙන් නිදහස් කළ බව කියමින් එළියට දැමූ අකුරුස්සේ ජයරත්න ඇතුළු 15 දෙනෙකු පමණ නිදහස ලබා යන විට මහමගදී පැහැරගෙන ඝාතනය කර තිබිණි. ජයරත්න ගේ සිරුර යක්කලමුල්ල මාගෙදර ලයිට් කණුවක එල්ලා තිබිණි.


උමඟ දෙකක් කැපීමෙන් 1988 නොවැම්බර් සහ 1992 සැප්තැම්බර් මස රැඳවියන් 141 ක් පැලවත්ත කඳවුරෙන් පලා ගියද එම පලායෑම්වලට සක්‍රීය උදව් දී පලායෑමට හැකියාව තිබියදී පලා නොගිය පිරිසක්ද ඒ අතර වූහ. ඒ අතර පසු කලෙක තිස්සමහාරාම ජවිපෙ ආසන සංවිධායකවරයා වූ විජේසිරි වේහැල්ල ඇතුළු පිරිසක් වූහ. එයට හේතුව වූයේ ඔවුනට නඩු නිමිති නොමැතිවීම සහ නිදහස්වීමට දින ආසන්නව තිබූ හෙයිනි.


පළමුවර පැලවත්ත උමඟින් ප්‍රථමවරට පලා ගිය 131 දෙනා අතරින් ඉදිරියෙන්ම සිටි අය අතර සරත්, සුනිල්, රණසිංහ සමන්, බණ්ඩාර, උපුල් නීල් ජයසේකර, ඒ. කේ. සිල්වා, වන්නිආරච්චි, නානායක්කාර, මතුගම රංජිත්, කෙනෙක් සිල්වා, යූ. කේ. කොස්වත්තගොඩ, නෙළුවේ සුනිල්, දයානන්ද, නේවි රාජු, පාදුක්කේ ඩබ්ලිව්. ඩබ්ලිව්. වීරසිරි ජයමාන්න, හොරණ අරුණ වීරසිරි ජයරත්න, බස්නායක, ඇඹිලිපිටියේ ජයතිස්ස, අලුත්ගම රොෂාන්, බදුල්ලේ සුගුණ කහවිට, ඒ ලක්‍ෂ්මන් ගම්පහ චානක වීරක්කොඩි, පොළොන්නරුවේ ඩබ්ලිව්. පියසේන සහ ජයන්ත මහානාම ඇතුළු කිහිප දෙනෙක් වූහ.


බූස්ස රැඳවුම් කඳවුරේද සිටි ජවිපෙ සැකකරුවන් පිරිසක් උමඟක් හාරා බූස්ස කඳවුරෙන් 1992 ඔක්තෝබර් 1 පලායෑමට ගත් උත්සාහයක් අසාර්ථක විය.


පල්ලකැලේ රැඳවුම් කඳවුරේද ජවිපෙ සැකකරුවන්ව සිටි රැඳවියන් 9 දෙනෙකු 1992 ජුනි 17 පැනගිය අවස්ථාවේදී ඉන් තිදෙනෙකු වූ පුංඩලුඔය මල්දෙණියේ කේ. ඩබ්ලිව්. එම්. බාලසූරිය බණ්ඩාර (28), නාවලපිටිය වැටකේපොත ආර්. ජී. නවරත්න (25) සහ වලපනේ වැලිකැටියේ කේ.ඒ. අමරචන්ද්‍ර පොලිස් වෙඩි තැබීමෙන් මියගියහ. සෙසු 6 දෙනා පලායෑමට සමත් වූහ.


පැල්ලකැලේ කඳවුරේ ශාලා අංක 3 ඇතුළේ සිට පිටතට උමඟක් හාරා දැමීමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් පවත්වාගෙන යෑමේදී මෙම පැනයෑම සිදුවූ බව පොලිසිය ප්‍රකාශ කළේය. එම උමඟ අඩි 29ක් පමණ දික් අතට හාරා තිබූ අතර එය අඩි 3 ක් පමණ උස විය. යකඩ පට්ටමකින් සාදාගත් උලක් ලී මිටි ගසා සාදා ගත් යකඩ උල් තුරු 2ක් ඉටිපන්දම් ගසා තිබූ ලී කොටයක් ඇතුළු උපකරණ කිහිපයක් සොයා ගෙන තිබිණි.


ප්‍රධාන අවස්ථා දෙකේදී පැලවත්ත කඳවුරෙන් මෙසේ පලාගිය 141 දෙනා ගෙන් 50කට ආසන්න පිරිසක් ජවිපෙ සන්නද්ධ අංශයේ මුල්පෙළේ කේඩර්වරු වූහ. ප්‍රථමයෙන් පලාගිය 131 න් සියයට 90ක් පමණ යළි ජවිපෙට සම්බන්ධ වී ජවිපෙට එක් වූ අතර සියයට 10ක් පමණ කැරැල්ල අතහැර සැඟවුණු ජීවිතයක් ගත කළහ. එසේ යළි කැරැල්ලට එක් වූ සියයට 90න්  සියයට 85ක් පමණ ජීවත්වීමට වාසනාව ලැබීය. ඉන් 20ක් පමණ විදේශ රටවලට සංක්‍රමණය වූ අතර අන් අය රැකියා සහ ස්වයං රැකියා ක්ෂේත්‍රයේ නිරත වෙති.


පක්ෂයක් ලෙස සාමුහිකව කැරැල්ලේදී මුහුණ දුන්න ද අත්අඩංගුවට ගැනීමෙන් පසු නිදහස්වීම නීතිය ඉදිරියට යෑම, දඬුවම් විඳීම සහ නිදහසින් පසු ඉදිරි ජීවන ගමන ගෙන යෑමට කැරලිකරුවන්ට මුහුණ දීමට සිදුවූයේ තනි තනිවය.