දයා පතිරණ ඝාතනය කළේ 1986 දෙසැම්බර් 15 වැනිදා පස්වරු 8.30ට බණ්ඩාරගම හිරණ තොටුපොල අසලදීය. ප්‍රථමයෙන් පිහියෙන් බෙල්ලට ඇන කෙටේරියෙන් බෙල්ල කපා තිබිණි.


එහි නතරකර තිබූ ඔරුවක හිමිකරු වූ ලබුගම රාලලාගේ ගිල්බට් පීරිස් විසින් ඒ පිළිබඳව බණ්ඩාරගම පොලිසියට දැනුම්දුන් අතර පොලිසිය පැමිණීමෙන් පසු මරණීය තුවාල සහිතව වැටී සිටි පුංචිරාලගේ සෝමසිරි පානදුර රෝහලට ද අනතුරුව කොළඹ මහ රෝහලේ වාට්ටු අංක 52, ඇඳ 21ට ද ප්‍රතිකාර සඳහා ඇතුළත් කරන ලදි. පතිරණ ඝාතනයෙන් දින කිහිපයකට පසු ජනක, සරත්. සුගත්, ආගිරිස් කොස්තා, මහීපාල, ගාමිණී සහ කුමාර මල්ලී හෝකන්දර නිවසක දී යළි හමුවූහ. පොරොන්දු වූ පරිදි යතුරුපැදියෙන් මඟ පෙන්වීමට නොපැමිණීම පිළිබඳව සරත්ට එහිදී චෝදනා එල්ල විය.


දයා පතිරණ ඝාතන සැලසුම ක්‍රියාවට නැගු කණ්ඩායමේ නායකයා වූයේ ගම්පහ දිස්ත්‍රික් ජවිපෙ සන්නද්ධ නායකයෙකුව සිටි යුස්ටස් දිලිප් චන්ද්‍ර ප්‍රනාන්දු හෙවත් පතීය. වැලිසර පදිංචි ඔහු කතෝලිකයෙකි. පියා විදුහල්පතිවරයෙකු වූ අතර පවුලේ සිව් දෙනෙකි. ජවිපෙ සමඟ 1984 සිට පූර්ණකාලීනව කටයුතු කළේය. කටුනායක ගුවන් හමුදා කඳවුරෙන් අවි පැහැර ගැනීමේ දී අත්අඩංගුවට පත් වූ පතී පසුව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටියදී 1988 දෙසැම්බර් 13 ජවිපෙ සැකකරුවන් 221 ක් සමඟ පලා ගියේය. පලායෑමෙන් පසු කොළඹ දිස්ත්‍රික් සන්නද්ධ නායකයා විය. දීප්ති, පතී, සුගත්. සොයිසා යන නම් වලින්ද ඔහුව හැඳින්විණි.


සමාජවාදී විප්ලවය හැර කිසිදු අරමුණක් හෝ බලාපොරොත්තුවක් නොතිබූ දිලිප් හෙවත් පතී ඒ සඳහා උපරිමයෙන් ජවිපෙ වෙනුවෙන් දිවා රෑ වෙහෙසුණු අයෙකු ලෙස ජවිපෙ ක්‍රියාකාරිකයන් පිළිගත්තෙකි. ගම්පහ 5 දෙනාගේ කමිටුවට 1986/87 දී අයත් වූයේ රණසිංහ, ෂෙල්ටන් රාජපක්ෂ, ගාමිණී වැන්ඩකෝන්, පියල් විජේසිංහ සමඟ පතීය. රාගම සෝමේ, ෂෙල්ටන් රාජපක්ෂ, ලයනල් රණසිංහ, ගුණේ. විනී. අම්පාරේ දිසා, වව්නියාවේ තිලක් ඇතුළු පිරිසක් සමග කොළඹ, ගම්පහ, හෝමාගම, කැස්බෑව, කොට්ටාවේ දී සම්බන්ධකම් පැවැත් වූ පතී 1989 දෙසැම්බර් 28 ආරක්ෂක හමුදා අත්අඩංගුවට පත්විය. පසුව ජවිපෙ දෙවැනි නායකයා වූ සමන් පියසිරි ප්‍රනාන්දු, රාගම සෝමේ, දකුණු පළාත් සන්නද්ධ නායකයෙකු වූ රත්නායක සමගින් පතී ද 1989 දෙසැම්බර් 29 ඝාතනයට ලක්විය. 


පතිරණ ඝාතනය පිළිබඳව කලින් චෝදනා ලැබූ පොල්ගස්ඕවිට හල්පිට පදිංචි ආගිරිස් කොස්තාගේ බිරිඳ අර්ධ මිල්ටරි කණ්ඩායමක් විසින් පසුව ඝාතනය කරන ලදි. ආගිරිස් කොස්තාද 1989 දී රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ජවිපෙට අයත් නිවසක ආරක්ෂාව සහිතව සිටියේය.


දයා ආනන්ද පියසිරි හේවාපතිරණගේ පියා මාතර දීයගහ පොල්ගස් අද්දර පදිංචි හුංගංගොඩ පතිරණගේ හෙන්ද්‍රික් අප්පුහාමිය (70). දරුවන් සයදෙනෙක් සහිත පවුලේ වැඩිමලා වූයේ දයා පතිරණය. මව කරුණාහේවා හතරසිංහය. කොටිකාවත්තේ බැස්ටියන් විදුහලේ ප්‍රාථමික අධ්‍යාපනය ලත් දයා පතිරණ පසුව දියගහ නැගෙනහිර විද්‍යාලයට ද උසස් පෙළ සඳහා රාහුල මහා විද්‍යාලයට ද ඇතුළත් විය. සරසවි ප්‍රවේශයේ දී රුහුණු සරසවියට තේරුණ ද ඔහුගේ මනාපය අනුව කොළඹ සරසවියට මාරුවක් ලබාගෙන තිබිණි.


දයා පතිරණගේ ඝාතනයෙන් පසු ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සභාපති ධූරයට 1986 දෙසැම්බර් 17 පත් වූයේ කේ. එල්. ධර්මසිරිය. පතිරණ ඝාතනයෙන් පසුව ද ස්වාධීන ශිෂ්‍ය සංගමය කොළඹ සරසවියේ දිගින් දිගටම පවත්වාගෙන ආ දඩබ්බර ක්‍රියාකාරකම් බහුතර සරසවි සිසුන්ට තවදුරටත් දරාගත නොහැකි විය.


ඒ අනුව ගෙවිදු කුමාරතුංගගේ නායකත්වයෙන් යුත් විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය එයට එරෙහිව පොදු සිසුන්ට නායකත්වය දුන්නේය. ඒ අනුව ස්වාධීන ශිෂ්‍ය සංගමයේ මැර ක්‍රියාකාරිකයන් වූ සිව් දෙනෙකු ගස් බැඳ මධ්‍යස්ථ 500කට ආසන්න සිසුන් පිරිසකගේ දායකත්වයෙන් සංවිධානාත්මක ප්‍රහාරයක් 1987 මාර්තු 24 එල්ල කිරීම තුළින් ස්වාධීන ශිෂ්‍ය සංගමය මුළුමනින් පරාජයකර දෙමළ බෙදුම්වාදය පලවා හැර කොළඹ සරසවියේ බලය ලබාගන්නා ලදී. ගස් බැඳි සෙනරත් ජයවර්ධන ඇතුළු සිව් දෙනා බේරා ගත්තේ පොලිස් විශේෂ කාර්ය බළකායේ 100කට අධික පිරිසක් කොළඹ සරසවියට එකවර කඩා වැදීමෙනි.

 

වසර 1986 දෙසැම්බර් 15 ඝාතනය වූ දයා පතිරණ නඩුව විභාග වූයේ පානදුර මහාධිකරණයේදී විනිසුරු ටී. බී. වීරසූරිය ඉදිරියේය. විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව නඩුව පවරා තිබිණි. එහිදී පළවෙනි විත්තිකරු වූයේ හේවා හෙට්ටිගේ ජයතිස්ස හෙවත් ගාමිණී, දෙවැන්නා කොඩිප්පිලි තන්ත්‍රිගේ මහීපාලය. තෙවැන්නා වැලිසර යුස්ටස් දිලීප් චන්ද්‍ර ප්‍රනාන්දුය. සිව්වැන්නා හේවාහෙට්ටිගේ නිමල් ජයරත්නය. ඒ වන විට ජයතිස්ස හෙවත් ගාමිණී, මහීපාල සහ දිලිප් ප්‍රනාන්දු ඝාතනයට ලක්වී තිබිණි.


එහිදී දෙවැනි සහ තෙවැනි විත්තිකරුවන්ට පළමු වැනි චෝදනාවට වසර 05 බැගින් ද දෙවැනි චෝදනාවට වසර 07 බැගින්ද තෙවැනි චෝදනාවට වසර 08 බැගින්ද දඬුවම් නියම කරන ලදි. ශ්‍රී ලංකාවේ ජීවත්ව සිටි සිව්වැනි විත්තිකරු වූ ජයවර්ධනපුර සරසවියේ සිසුවෙකු වූ හේවාහෙට්ටිගේ නිමල් ජයරත්න සියලු අධිචෝදනාවන්ට නිවැරදි කරු බවට තීරණය කර නිදොස්කර නිදහස් කරන ලදී.


පැමිණිලි පක්ෂය වෙනුවෙන් බර්නාඞ් සුනිල් කාරියවසම් සහ කුරුප්පු මුදියන්සේලාගේ මහින්ද කිංස්ලි ඇතුළු සාක්ෂිකරුවෝ 15 දෙනෙක් සාක්ෂි දුන්හ.


පළමු විත්තිකරු වූ හේවාහෙට්ටිගේ ජයතිස්ස හෙවත් ගාමිණි 1980 දී ජවිපෙට එක් වූ අතර කලක් රෝහණ විජේවීරගේ ආරක්ෂකයෙක් වශයෙන්ද කටයුතු කළේය. දයා පතිරණ පැහැරගෙන ගිය වාහනයේ රියැදුරු වූයේ ගාමිණිය. ජවිපෙ සිදුකළ ගල්ගමුව බැංකු කොල්ලයෙන් පසු මුදල් සහ රන්බඩු පැහැරගෙන ගිය වාහනයේ රියදුරු වූයේද ගාමිණිය. ගාමිණී වාහන මංකොල්ලකෑමක් සම්බන්ධයෙන් 1987 මැයි 25 නුගේගොඩ දී අත්අඩංගුවට ගත් අතර පසුව 1988 දෙසැම්බර් 13 ජවිපෙ සැකකරුවන් 221 ක් සමඟ මැගසින් බන්ධනාගාරයෙන් පලා ගියේය.

 

 

 

පසුව ජවිපෙට අයත් පිළියන්දල කැස්බෑවේ පිහිටි ගොවිපළක දී 1989 ඔක්තෝබර් 3 ගාමිණී ද එවකට ශික්ෂණ රෝහල් ඇමතිනී සුනේත්‍රා රණසිංහ ඝාතනය කිරීමට උත්සාහ කළ බවට චෝදනා ලත් වීරසිංහ ද ආරක්ෂක හමුදා මගින් අත්අඩංගුවට ගත් අතර පසුව ඝාතනයට ලක්විය.


දෙවැනි විත්තිකරු වූ කොඩිප්පිලි තන්ත්‍රිගේ මහීපාල 1987 ජුනි 18 වාහන මංකොල්ලකෑමක් සම්බන්ධයෙන් නුගේගොඩ දී අත්අඩංගුවට ගනු ලැබුවේ සහකාර පොලිස් අධිකාරි මොහොමඞ් රියාල්ඩීන්ය. පිළියන්දල-කහපොල පදිංචි කේ. ටී. මහීපාල 1977 සිට ජවිපෙ පූර්ණකාලීනයෙකු වූ අතර එයට කලින් ඔහු දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෙක් විය. ඔහු අවි පුහුණුව ලබාගෙන තිබුණේ ශ්‍රී පාද රක්ෂිතය ආශ්‍රිතවය. පසුව අත්අඩංගුවට ගත් මහීපාල බත්තරමුල්ලේ ඉසුරුපාය වධකාගාරයේ රඳවා සිටි අතර 1989 නොවැම්බර් 15 ඝාතනයට ලක්විය. මහීපාල 1981 ජුනි 4 පැවති දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයේදී ජවිපෙ වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කණ්ඩායමට අංක 18 යටතේ තරග කළ අයෙකි.


දයා පතිරණ සාකච්ඡාව සඳහා කැඳවාගෙන ගිය සිව්වැනි විත්තිකරු බවට පත්වෙමින් පසුව නිදහස් වූ හේවාහෙට්ටිගේ නිමල් ජයරත්න හෙවත් සමන් 1963 නොවැම්බර් 18 කරවනැල්ලේදී උපන් අතර ඔහුගේ ජීවන වටපිටාව මෙසේය. නිමල් රුවන්වැල්ලේ අම්පාගල පදිංචිකරුවෙකි. පියා සුගතසිංඤා් ජනවසම විශ්‍රාමික මුරකරුවෙකි. මව වන නෝනහාමි ගෘහණියකි. පවුලේ සොයුරු සොයුරියන් 6 දෙනෙකු වූ අතර සත්වැන්නා වන බාලයා නිමල්ය.


නිමල් පන්නල මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා 1984 දී ජයවර්ධනපුර සරසවියේ ශ්‍රාස්ත්‍ර පීඨයට ඇතුළු විය. ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙක් බවට පත්ව සිටි නිමල්ගේ සොහොයුරිය සෝමාවතී තාවකාලික වතු කම්කරුවෙකි. එක් සොහොයුරෙකු වූ විජේරත්න වඩු කාර්මිකයෙකි. තවත් සොහොයුරෙක් වන ලීලාරත්න මේසන්වරයෙකි. අනෙක් සොහොයුරා දෛනික වැටුප් ලබන කම්කරුවෙකි. අන් සියලු දෙනා විරැකියාවෙන් පසු වූහ.


කටුනායක ගුවන් හමුදා කඳවුරෙන් අවි පැහැර ගැනීමේ ප්‍රහාරයට එක් වූ නිමල් ද පසුව අත්අඩංගුවට ගෙන මැගසින් බන්ධනාගාරයේ සිටිය දී 1988 දෙසැම්බර් 13 ජවිපෙ සැකකරුවන් 221 ක් සමග පලාගිය අයෙකි.