ජිනීවා යෝජනා කි‍්‍රයාත්මක කිරීම තවත් වසර දෙකකට කල්දමා ගැනීමට හැකිවීම රජය පැත්තෙන් අත්පත් කරගත් ජයග‍්‍රහණයකි. එය මේ ආණ්ඩුව නිසාම සිදුවූවක් බව පැහැදිලිය. ”මෛතී‍්‍ර පාලනයක්” ඇති නොවන්නට මේ වනවිටත් ආර්ථික සම්බාධක වැටී අපේ කැමැත්තකින් තොරව වුවද අපට එරෙහිව යුද අපරාධ චෝදනා විභාග වීමට ඉඩ තිබුණි. ඒ අර්ථයෙන් ගත් කල ජිනීවාහිදී අප අත්පත් කරගෙන ඇති ”වෙනස” සුවිශේෂීය.

මෙවන් යෝජනාවකට ඉඩදීමෙන් ජිනීවා මානව හිමිකම් කොමිසම හා බටහිර ජාත්‍යන්තර යන හැඟීමක් ද ඇති වේ. ශී‍්‍ර ලංකාවේ අනාගත දේශපාලන පෙරළි සම්බන්ධයෙන් යම් අවධානයකින් සිටිනවා වාගේය. කල් ලබාදීමේ දේශපාලන අර්ථය එයම දැයි කියන්න දන්නේ නැත. ඊට හේතුව තව වසර දෙකකින් පසු මෙරට තුළ උදාවන්නේ මැතිවරණ සමයකි. එ් අනුව අපේ රටේ දේශපාලනය කරන අය මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ද ශී‍්‍ර ලංකාවේ අනාගත රාජ්‍ය බලය හා බලපෙරැුළි පිළිබඳව සැලකිලිමත් වන බව පෙනේ. තමන්ට එකඟ විය නොහැකි පාලනයකදී ජිනීවා යෝජනා හා ඊට කල් ලබාදීම් තොණ්ඩුවක් ලෙසින් උපයෝගී කර ගැනීමට ද ඔවුන් මානබලනවා විය හැකිය.

හයිබි‍්‍රඞ් අධිකරණයක් පිළිබඳ කතිකාවත ද ඒකාබද්ධ විපක්ෂයට හා අන්තවාදීන්ට තවදුරටත් තොරම්බෝල් කරමින් ඉදිරියට ගෙන යා හැකි සටන් පාඨයක් නොවේ. ඊට හේතුව රජය ද ජනාධිපතිවරයාගේ ස්ථාවරයටම පැමිණ තිබීමයි. එවන් අධිකරණයක් පිහිටුවීමට ශී‍්‍ර ලංකාව සූදානම් නැති බව පෙරේදා අගමැතිවරයා පාර්ලිමේන්තුවට සහතික විය. ඉන් රජයේ ස්ථාවරය පැහැදිලිය. විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ද පසුගිය දිනෙක මාධ්‍යවේදීන් අමතා දීර්ඝ දේශනයක ස්වරූපයෙන් පැවසූවේ හයිබි‍්‍රඞ් අධිකරණයක් යන්න නිර්දේශයක් පමණක් බවය. ඔහුගේ අදහස් ප‍්‍රකාශ කිරීමෙන් පැහැදිලි වූයේ එය වෙනස් කරවාගත හැකි යෝජනාවක් යන්නයි. ඊට ශී‍්‍ර ලංකා අධිකරණ ක්‍ෂෙත‍්‍රයේ වත්මන් ප‍්‍රගතිය උපයෝගී කර ගැනීමට ආණ්ඩුව සූදානම් වන බව පෙනේ.

කොහොමත් ආණ්ඩුවටත්, ඒකාබද්ධ විපක්ෂයටත් මේ වර්ෂය තීරණාත්මකය. මේ වනවිට මෛතී‍්‍ර පාලනය ද තෙවැනි වසරට පා තබා ඇත. ලබන සතියේ සිට මුළු රටම සූදානම් වන්නේ සිංහල අලූත් අවුරුද්ද සමරන්නටය. එ් සඳහා අපේ‍්‍රල් මාසයම වෙන් වේ. එතැන් සිට වෙසක්ය. ජාත්‍යන්තර වෙසක් සැමරුම ශී‍්‍ර ලංකාවේ පැවැත්වෙන හෙයින් වෙසක් වෙනුවෙන් ද මැයි මාසයෙන් භාගයක් පමණ වෙන් කිරීමට සිදු වේ. මේ ආකාරයෙන් ඉදිරි මාස දෙක ගෙවී යනු ඇත.

මැයි මාසය අවසන් වීමත් සමඟම මේ ආණ්ඩුව පෙරළනවා යැයි කියූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පිළිබඳව අවධානය වැඩි වේ. ඔහු කෙසේ ශිල්ප දක්වන්නේ දැයි රජයත්, රටත් බලාගෙන සිටී. හිටපු ජනාධිපතිවරයෙකු වූ තමා පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුරයක් දරමින් 2020 වන තුරු විපක්ෂයට වී අනුන් වෙනුවෙන් ‘පැට්රල්’ පිච්චීමේ තේරුමක් තිබේ දැයි එතුමාට වුවද නොවැටහීමට හේතුවක් නොමැත. සාමාන්‍යයෙන් මහින්දට නිකන් ඉඳීමේ පුරුද්දක් නොමැති බව දන්නෝ දනිති. ඒ නිසා මේ වසරේ කුමක් හෝ කාර්යයක ඔහු නිරත වේ.

මේ රටේ පුද්ගල කේන්ද්‍රීය දේශපාලනයකට අනාගතයක් නොමැති බව නොදන්නා තරමට මහින්ද වටා සිටින පිරිස මෝඩයෝ නොවෙති. එහෙත් ඒ අයට අවශ්‍ය වන්නේ මහින්දගේ පිහිටෙන් කෙසේ හෝ බලය ලබා ගැනීම නැතිනම් නඩත්තු වීම පමණි. මහින්ද ද මෙය අවබෝධ කරගෙන සිටී. අද මහින්දට තිබෙන ජන ආකර්ශනය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සදාදරණීය නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට ද එදා තිබුණි. ”මැතිනිය කියනවා නම් පිදුරු වුණත් අපි කන්නම්” කියමින් මැයි දින පෙළපාලි ගිය අයද එදා වූහ. පසු කලෙක එම පිරිස මැතිනිය අත්හැර ගිය නමුත් මිය යනතුරුම ඇය වටා සිටිමින් ඇයට ආදරය කරන පිරිසක් වූහ. එහෙත් 1977 පරාජයෙන් පසු කිසිවිටෙක ඇය බලයට ගෙන ඒමට මේ රටේ සමස්ත ජනතාවගෙන් ඉඩක් නොලැබුණි. පසු කලෙක බණ්ඩාරනායක පවුලේ චන්ද්‍රිකා මැතිනිය තෝරාගනු ලැබුවේ එම හිඩස පිරවීමේ නැවුම් නායිකාවක් ලෙසිනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටත් මේ ආකර්ෂණය මැතිනියටත් වඩා තිබෙන බව පෙනේ. එහෙත් ඔහුගෙන් ගිලිහුණු බලය නැවත ලබාගැනීමේ සිහිනය දිනෙන් දින ඈතට යමින් පවතින බව ඔහුට වුවද දේශපාලනිකව දැනෙනු ඇත. මේ නිසා රාජපක්‍ෂ පවුලේ කෙනෙක් එ් සඳහා ඉදිරිපත් කිරීමට මහින්ද වටා සිටින පිරිස්ම හොර රහසේ පිඹුරුපත් සකසමින් සිටී. එයද ඔහු නොදන්නවා විය නොහැක. අද ඔහු වටා සිටින පිරිස් ක‍්‍රමයෙන් ඔහුගෙන් ඈත්ව නව නායකයා වටා ගොනු වීම ලබන වසරේ පටන් ඇරඹෙනු ඇත. මේ රටේ දේශපාලනයේ හැටි එහෙමය. බණ්ඩාරනායක මැතිනියගේ සමයේ චන්ද්‍රිකා කරලියට ගෙනාවේ එදා ඇය ළඟ දනින් වැටෙමින් ඇසුරු කළ අයමය. අවසානයේදී මැතිනිය ද චන්ද්‍රිකාට බලය පැවරුවේ හිතකින් නොවේ. එහෙත් රාජපක්‍ෂවරුන් ඊට වඩා ටිකක් වෙනස්ය.

පසුගිය දිනෙක බොරලැස්ගමුවේ ප‍්‍රථම වරට රැස් වූ ”විද්වත් සභාව” නමැති අනාගත ජනාධිපති අපේක්‍ෂකයකු බිහි කරනු වස් ගොඩනැගෙන සමුළුවේදී රාජපක්ෂවරු එකට සිටගත්හ. මේ නිසා ”අරයා එනවාට මෙයා විරුද්ධයි. ඒකනම් කොහෙත්ම වෙන්න මහින්ද ඉඩ තියන්නේ නැහැ” ආදී වශයෙන් සමහර ශී‍්‍ර ලංකාකාරයින් කියන කතා නිකම් බයිලාය. එය මේ ආණ්ඩුවේ ශී‍්‍ර ල.නි.ප. කණ්ඩායම හා ජනාධිපතිවරයා මුලා කිරීමට යොදන උපක‍්‍රම බව පෙනේ.

ජනාධිපති මෛතී‍්‍ර ද එසේ මෙසේ නායකයෙක් නොවේ. මෛතී‍්‍ර වසර 13ක් තිස්සේ ශී‍්‍ර ල.නි.ප. ලේකම් ධුරයේ කටයුතු කළ එම පක්ෂයේ ද දීර්ඝ ඉතිහාසයක් ඇති අයෙකි. එසේම යට මට්ටමින් බිහි වූ නායකයෙකි. සාමාන්‍යයෙන් පක්‍ෂයක ලේකම් තනතුරක් හෙබ වූ අයෙකුට එහි යටිතලය පෙනෙනවා වැඩි යැයි කියමනක් තිබේ. මෛතී‍්‍ර ද මෙම පක්ෂයේ අස්සක් මුල්ලක් නෑර දන්නා අයෙකි. එ් නිසා ඔහුට ද මේ දේශපාලනය නොවැටහීමට හේතුවක් නැත.

මේ සියලූ තත්ත්වයන් යටතේ වුවද තමන් සතු ජන ආකර්ෂණය බන්දේසියක තියා ගෙඩිය පිටින්ම වාගේ පවුලේ කෙනෙකුට වුවද පැවරීමට හිටපු ජනාධිපති මහින්ද සූදානම් වන බවක් නොපෙනේ. එය විශේෂ වන්නේ නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයාගේ අනාගතය සැලකිල්ලට ගනිමිනි. මෙහිදී ඔහු වඩාත් සංවේදී වන්නේ රටේ බලයට වඩා පක්ෂයේ බලයට බව පෙනේ. මේ නිසා මහින්ද අනිවාර්යයෙන්ම මේ වසරේ පක්ෂයේ බලය පිළිබඳ අත්හදා බැලීමක නිරත වනු ඇත. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායමේ දේශපාලන උපක‍්‍රමය විය යුත්තේ එය ව්‍යර්ථ කිරීමයි. එ් සඳහා කීදෙනකු මෛතී‍්‍ර සමඟ සිට ගනු ඇද්දැයි අනාගතේ දී බලාගත හැකිය.

මහින්ද පිලේ දක්ෂ සංවිධායකවරයෙකු වන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ ඇතුළු කණ්ඩායම මේ දිනවල පැය 24 ම දුවන්නේ පක්ෂ බලය පිළිබඳ සිහිනය සැබෑ කර ගැනීම උදෙසාය. බැසිල්ට බලය පිළිබඳව ඇත්තේ සිය සහෝදරයා බල ගැන්වීමක් පමණි. ආචාර්ය චරිත රත්වත්තේ මේ කණ්ඩායම් දෙක අතර ආපසු හැරීමක් නැතැයි සඳහන් කරන්නේ ”බැසිලියානු න්‍යායට” අනුව දැයි කියන්න දන්නේ නැත. එසේම පෙනෙන්නට තිබෙන සත්‍යය ද එයමය. ආපසු හැරීමත් නොමැති නම් එකිනෙකා හමුවන  ද්වන්ද සටනක් නියතය. එය මේ වසරේ මැතිවරණ හරහා සිදුවීමට ඉඩ තිබේ. මෙවන් දේශපාලන පරිසරයක ශී‍්‍ර ල.නි.ප.  කණ්ඩායම් දෙක අතර දෙපාර්ශවයේම සිටිමින් සමඟියට කපුකම් කරන්නන්් අවසානයේදී සිටගන්නේ කවුරුන් ළඟදැයි තීරණය කිරීම කාලයට බාරය. පිරිසක් 2020 දී විශ‍්‍රාම යෑම සූදානමින් සිටින බව නම් පැහැදිලිය. එහෙත් සුසිල් පේ‍්‍රමජයන්ත ජෝන් සෙනෙවිරත්න වැනි ශී‍්‍ර ල.නි.ප. ප‍්‍රධානී ගෙන යනු ලබන පක්ෂය සමඟි කිරීමේ ප‍්‍රයත්නය ද අඩුවෙන් තක්සේරු කළ නොහැකිය. එය දුෂ්කර කාර්යයක් වී තිබෙන්නේ මේ වනවිට දෙපාර්ශවයට අන්තවාදීන්ට යට වී තිබෙන නිසාය.

පවිත‍්‍රා වන්නි ආරච්චි මන්තී‍්‍රතුමියට අනුව නම් හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුවේ බලය ලබා ගැනීමට නියමිතව තිබුණේ පසුගිය ජනවාරියේය. එහෙත් මහින්ද එය මේ වසර දක්වාම දික් කරගෙන සිටී. විපක්ෂයට ගිය විට කවුරුත් බලය සම්බන්ධයෙන් මත පළ කරන්නේ මේ අයුරිනි. නැතිනම් තමා වටා සිටින පිරිස රඳවා ගැනීම ප‍්‍රශ්නයක් වනු ඇත. එ් නිසා පාක්ෂික ජනයා සැනසීමට කුමක් හෝ කිව යුතුය.

ජනාධිපති මෛතී‍්‍ර ද මේ තත්ත්වයට මුහුණදීමට තම කඳවුර ශක්තිමත් කරමින් සිටී. අලූත් සංවිධායක පත්වීම් එහි පෙරහුරුවක් වාගේය. ජනාධිපතිවරයා මේ දිනවල වැඩි බරක් දමා තිබෙන්නේ පක්ෂයේ තරුණ සංවිධානය වෙත බව පෙනේ.  ඕනෑම පක්ෂයක් අලූතින් ගොඩනැගීමට හෝ නව ජවයක් ලබාදීමට නම් තරුණ පෙරමුණ ශක්තිමත් කළ යුතුය. ශන්මුගදාශන්ගේ චීන කොමියුනිස්ට් පක්‍ෂයේ තරුණ ව්‍යාපාරයෙන් දේශපාලනයට පිවිසි මෛතී‍්‍රට මේවා ගැන අමුතුවෙන් කියාදිය යුතු නැත.

කන්‍යාවන් සියයක් දූෂණය කර සංවත්සර පවත්වන ගනයේ පාදඩ තරුණ නායකයින් දේශපාලනයෙන් ඉවත් කළ හැක්කේ පක්ෂයක තරුණ පෙරමුණට අලූත් ජවයක් ලබාදීමෙන් පමණි. ජනාධිපති මෛතී‍්‍ර එය තේරුම්ගෙන සිටී. එසේම එ් පැත්තෙන් මේ පැත්තටත් මේ පැත්තෙන් ඒ පැත්තටත් පනින්නට බලාගෙන සිටින සමහර ශී‍්‍ර ලංකා නායකයින්ට දිය හැකි පිළිතුර වන්නේද අලූත් තරුණ ජවය පක්ෂයට කාන්දු කිරීමෙන් බව මෛතී‍්‍ර තේරුම් ගෙන සිටිනවා වාගේය. පක්ෂයට තරුණ නායකයින් බිහිකර ගත හැකි වන අයුරින් පක්ෂයේ දේශපාලන ඇකඩමිය ඇරඹීමට ජනාධිපතිවරයා උනන්දු වන බව පෙනේ. මේ වනවිට එම දේශපාලන ඇකඩමිය ආරම්භ කර ඇත. පක්ෂයේ තරුණ සමුළුව ලබන දෙවැනිදා පැවැත්වෙනු ඇත. මේ සියලූ තත්ත්වයන් යටතේ වුවද ජනාධිපති මෛතී‍්‍රට ද මේ වසර දේශපාලන වශයෙන් තීරණාත්මකය.

එක්සත් ජාතික පක්ෂය ද මේ අවස්ථාවෙන් ප‍්‍රයෝජනයක් නොගන්නේ නම් එය දේශපාලන පක්ෂයක් විය නොහැක. විශේෂයෙන්ම ආණ්ඩුවේ පවතින පසුබෑම ඔවුනට බැරවෙමින් පවතී. ජනාධිපති මෛතී‍්‍ර ආණ්ඩුව තුළ ජනපි‍්‍රය වීම ද යූ.ඇන්.පී ය නොදන්නවා නොවේ. සාමාන්‍යයෙන් ගත් කල වුවද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පවතින ප‍්‍රතිවිරෝධය වර්තමානයේ එක්සත් ජාතික පක්ෂයට වාසිදායකය.

එහෙත් එක්සත් ජාතික පක්ෂය තුළ ගොනු වී සිටින අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න කණ්ඩායම හා 2015 පෙරළියට මුල් වූ සිවිල් ව්‍යාපාරය මීට වෙනස් වූ දේශපාලන උපක‍්‍රමයක් කල්පනා කරන බව පෙනේ. එනම් මේ වසරේ පළාත් පාලන හා පළාත් සභා මැතිවරණවලට පෙර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ උදෙසා ජනමත විචාරණයකට රජය යොමු කිරීමයි. එහෙත් ශී‍්‍ර ල.නි.ප. යේ රජය නියෝජනය කරන කණ්ඩායම ඊට සූදානම් නැත. ඔවූහු එම ජනමත විචාරණය තරයේ ප‍්‍රතික්ෂේප කරති. ඊට එක් හේතුවක් වන්නේ නව ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ තුළින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට දැන් ඔවුන් විරුද්ධ වීමය. දෙවැන්න මේ මොහොතේ ජනමත විචාරණයක් ජය ගැනීමට නොහැකි බව ඔවූහු වශ්වාස කරති. මේ නිසා ඔවුන් ජනාධිපතිවරයාට බලකරමින් සිටින්නේ එ් සඳහා අනුමැතිය නොදෙන ලෙසයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙසින් මෙන්ම පක්ෂ අභ්‍යන්තර අර්බුදයකට මැදිවී සිටින ජනාධිපති මෛතී‍්‍රට මෙම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ හැකි දැයි කියන්න දන්නේ නැත. ජනාධිපතිවරයා ද සුපුරුදු පරිදි මෙම තත්ත්වය කිරා මැන බලමින් සිටී.

එක්සත් ජාතික පක්ෂය ද ශී‍්‍ර ල.නි.ප.යේ මෙම පරස්පරය නොදන්වා නොවේ. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම උදෙසා එ.ජා.ප. ද අවංකවම සිටිනවා දැයි කියන්න දන්නේ නැත.  මෙම ව්‍යාකූල දේශපාලන පරිසරය තුළ යූ.ඇන්.පී. ය සිය බල ව්‍යූහය පුළුල් කිරීමේ වෙනත් උපක‍්‍රමයකට යොමුවීමට ඉඩ තිබේ. එනම් ලබන වසරට කල් දැමීමට තිබෙන පළාත් පාලන මැතිවරණය මේ වසරේම පැවැත්වීමට කටයුතු සූදානම් කිරීමය. එය කෙසේ වෙතත් අනිවාර්යයෙන්ම පළාත් සභා තුනක මැතිවරණ ලබන සැප්තැම්බරයේ පැවැත්වීමට නියමිතය. එදාට නම් මෛතී‍්‍ර පිලේ හා මහින්ද පිලේ ද්වන්ද සටන යූ.ඇන්.පී.යේ හබන් කුකුලන්ට රජ මගුලක් වනු ඇත.