ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියක් නිර්මාණය වන්නේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් මෙරට යටත්කර ගැනීමෙන් පසු උත්තර් ආරෝපනය කරන ලද ධනපති ක්‍රමය මගිනි. එයට පෙර ශ්‍රී ලංකාවේ පැවැතියේ තම අවශ්‍යතා තම ප්‍රදේශයෙන්ම සපුරාගත් ආර්ථික ක්‍රමයක් වන ආසියාතික නිෂ්පාදන ක්‍රමයකි. මෙහිදී ජනතාව කුලය ඇතුළු විවිධ ක්‍රමයන් මත පදනම්ව එම නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත වූහ. 


මෙරට කම්කරුවන් දුක්ඛිත තත්ත්වයන් මත දිවි ගෙවන විට එම දුක පිළිබඳවත් දුකින් මිදීම සඳහා බි්‍රතාන්‍යයේ මෙන් සංවිධානය විය යුතු බව ප්‍රකාශ කරමින් කම්කරුවන් දැනුවත් කිරීමට සරසවි සඳරැස පුවත්පත ක්‍රියාකරන ලදී.


ප්‍රථමයෙන්ම 1891 අප්‍රේල් 18 වැනිදා වර්ජනයක් සිදු කළේ ගුරු සංගමයකි. පෞද්ගලික පාසල් ගුරුවරු 1860දී වර්ජනය කළ අතර නැගෙනහිර පළාත් වාරිමාර්ග කම්කරුවෝ සමූහයක් 1870දී වර්ජනයක නිරත වූහ. 1881 දී වැවසියුර් සමාගමේ යන්ත්‍රකරුවෝ කිහිප දෙනෙක්ද වැඩ වර්ජනයක නිරත වූහ. 

 

 

ශ්‍රී ලංකාවේ ප්‍රථම සංවිධානාත්මක වෘත්තීය අරගලය වන කේ. වී. මුද්‍රණ සමාගමේ වර්ජනය 1893 සැප්තැම්බර් 12 වැනිදා ඇරඹිණි. එය අසාර්ථක වූව ද 1896 ජූලි 1 වැනිදා කොළඹ රෙදි අපුල්ලන්ගේ වර්ජනයද 1906 දී කොළඹ ගැල්කරුවන්ගේ වර්ජනයද 1912 දුම්රිය කම්කරු වර්ජනයද තරමක් බලපෑම් ඇති කරන ලද්දෝය. මෙකල කරළියට ආ ඒ. ඊ. ගුණසිංහ 1922 සැප්තැම්බර් 10 ලංකා කම්කරු සංගමය  පිහිටුවා ගන්නා ලදී.


වෘත්තීය සමිතියක් ලියාපදිංචි කිරීම සඳහා සේවය කරන්නන්ගේ සියයට 40කට වැඩි ප්‍රමාණයක සාමාජිකත්වයක් 1950 වන තුරු අවශ්‍ය විය. එය 1956දී ලිහිල් වී සේවකයන් 7 දෙනෙකුට වුවද වෘත්තීය සමිතියක් පිහිටුවාගත හැකි පරිදි අවසර ලැබිණි. කම්කරු පන්ති දේශපාලනයක් වෙනුවට වෘත්තීය සමිති දේශපාලනයක් ආදේශ විය. කිනම් අඩුපාඩුකම් තිබුණද වෘත්තීය සමිති මගින් කම්කරු පන්තිය වෙත ලබාදී ඇති ජයග්‍රහණ අතිමහත්ය. 

 

 

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් ඉහළ යන ජීවන වියදමට ඔරොත්තුදීම සඳහා මසකට රුපියල් 300 කින් වැටුප් වැඩිකිරීම සඳහා වැඩිවන සෑම ජීවන වියදම් දර්ශකයකට රුපියල් 5ක දීමනාවක් ගෙවන ලෙස ඉල්ලමින් මහා වැඩ වර්ජනයක් 1980 ජූලි මස 15 වැනිදා ආරම්භ කළේය. වැඩ වර්ජනය නිසා ජූලි 24 වන විට සේවයෙන් පහකළ ජූලි වර්ජකයින්ගේ සංඛ්‍යාව 40,356 කි. මෙම වර්ජනයට 1980 ජුනි 5 පැවති ජාතික විරෝධතා දිනයේදී එජාප මැර ප්‍රහාරයකින් ඝාතනය වූ දෙල්දූවගේ සෝමපාල කම්කරුවාගේ සිද්ධිය උත්තේජනයක් සපයා තිබිණි. මෙම 1980 ජූලි වර්ජනයට ජවිපෙ සහභාගී නොවූවද හෙළිදරව්වී සිටි එහි ඉහළ නායකයෝ සහ ක්‍රියාකාරිකයෝ වර්ජනයට එක්වූහ.


වසර 1980 වැඩ වර්ජනයේ ඇද වැටුණු කම්කරු පන්ති ව්‍යාපාරය තුළ ඇතිවූ පසුබෑමේ රික්තය උපයෝගී කර ගනිමින් ජවිපෙට වෘත්තීය සමිති සහ කම්කරු ක්ෂේත්‍රය තුළ යම් වර්ධනයක් සිදුකර ගැනීමට හැකි විය. ජවිපෙ 1983 ජුලි මස තහනමින් පසු සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනය සහ සමස්ත ලංකා සංස්ථා සේවක සංගමය එම භූමිකාවට පණ පොවන ලදී.


ජවිපෙ 2 වැනි කැරැල්ලේදී කම්කරුවන් වෙනුවෙන් කටයුතු කිරීමට ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය පිහිටුවිය. ජාතික ශිෂ්‍ය සටන් මධ්‍යස්ථානය මගින් පළමුව මව්බිම, දෙවනුව පාසල නමින් ශිෂ්‍යයින් රටපුරා උද්ඝෝෂණ ගෙන ගිය අතර ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානයේ තේමාව වූයේ පළමුව මව්බිම දෙවනුව වැඩබිම යන්නයි. එහි ප්‍රථම සමස්ත ලංකා වැඩ වර්ජනය 1988 ඔක්තෝබර් 18 වැනිදා රටපුරා දිස්ත්‍රික්ක 18කදී සාර්ථකව පැවැත්විණි. රටපුරා බැංකු, අධිකරණ, ප්‍රවාහන, තැපැල්, සෞඛ්‍ය, පෞද්ගලික ආයතන පමණක් නොව රජයේ කාර්යාලවල පවා වැඩකටයුතු මුළුමනින්ම වාගේ නතර විය.


එහි සාර්ථකත්වය නිසාම දෙවැනි වරටද සමස්ත ලංකා මහා වැඩ වර්ජනයක් 1988 ඔක්තෝබර් 26 ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය මගින් ඉතා සාර්ථකව පැවැත්වීය. තෙවැනි වරටත් සමස්ත ලංකා වැඩ වර්ජනයක් 1988 නොවැම්බර් 7 පැවැත්විණි.


ජවිපෙ සංවිධානය කළ විරෝධතාවන්ගේ අවසාන අරමුණ වූයේ ජාතික විමුක්ති ආණ්ඩුවක් ඇතිකර ගැනීමය. ඒ සඳහා අවසාන සංවිධානාත්මක ප්‍රහාරය 1989 ජූලි මසින් අරඹා 1989 ඔක්තෝබර් අවසන් වන විට මුළු රාජ්‍ය යන්ත්‍රයම මුළුමනින් අඩපණ කොට රාජ්‍ය බලය ලබාගත හැකි බව ජවිපෙ දේශපාලන මණ්ඩලයේ නිගමනය විය. එහෙත් පන්ති බලවේගයන් අවම මට්ටමින් හෝ ඊට නායකත්වය දීමට ජවිපෙ මගින් සූදානම්කර නොතිබුණි. ජනාධිපති ජයවර්ධන 1988 නොවැම්බර් 17 සාකච්ඡා සඳහා පැමිණෙන්නයි ජවිපෙට නිල වශයෙන් ආරාධනාවක්ද කළේය. ඒ වන විටද රටේ දකුණ, මධ්‍යම සහ උතුරු පළාත් තුනේද ඌව සහ සබරගමු පළාත්වලින් කොටසක්ද ආණ්ඩුව සහ පුංචි ආණ්ඩුව යනුවෙන් බලවේග දෙකක් නිර්මාණය වී තිබිණි. මේ අතර ලංකා ගමනාගමන සේවක සමිතිය විසින් 1988 නොවැම්බර් 1 වැඩි වැටුප් ඉල්ලා දකුණු කොළඹ ගමනාගමන මණ්ඩලය ඇරඹූ වැඩ වර්ජනයට රත්මලාන, මොරටුව සහ කටුබැද්ද ඩිපෝවල සේවකයෝ පසුදින එක්වූහ. එහෙත් ඉල්ලීම් කිහිපයක් ලබාදී එම වර්ජනය සමථයකට පත්කිරීමට රජය සමත් විය.

ජවිපෙ සන්නද්ධ අංශයවන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හදිසි නියෝගයක් නිකුත් කරමින් කියා සිටියේ 1988 ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස තුළ සියලුම වාණිජ බැංකු මගින් ජනතාවගෙන් සහ ව්‍යාපාරවලින් අයකරන ණය මුදල් වහාම අත්හිටුවන ලෙසය. නියෝගය ලැබී දින 7ක් ඇතුළත එසේ කරන බවට බැනරයක් බැංකුව ඉදිරිපිට දැමිය යුතු අතර එසේ නොකරන අය නියෝගයට ද්‍රෝහිවූවා යැයි සලකා එදිනට පසු දඬුවම් කරන බවය. සියයට 95ක් පමණ බැංකු බැනර් ඔසවා එම තීරණය පිළිගත් බවට ප්‍රකාශ කළ අතර එසේ නොකළ බැංකු කිහිපයක කළමනාකරුවන් කිහිප දෙනෙක් ඝාතනයට ලක්විය.


ලංගම සේවක වැඩ වර්ජනය ආරම්භ වූයේ බදුල්ලෙනි. එය ජවිපෙ සම්බන්ධයක් සහිතව ප්‍රාදේශීයව ආරම්භ කළ කටයුත්තකි. එකල ජවිපෙ දේශපාලන බලය නිසා බොහෝ ආයතනවල වර්ජන උද්ඝෝෂණ සිදුවිය. එයට ප්‍රධාන හේතුව වූයේ තුවක්කු සංස්කෘතිය තුළ මේවා මර්දනය කිරීමට පාලකයින් බියවීමය. බදුල්ලේ ලංගම සේවක ඉල්ලීම රජය ප්‍රතික්ෂේප කළ අතර එය සමස්ත ලංකා වැඩ වර්ජනයක් බවට පත් කළේ ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය මගිනි. ලංගම ඒකාබද්ධ සටන් පෙරමුණ ඒ යටතේ සටන මෙහෙයවන ලදී.


ලංගම බස් වර්ජනය තුළ බලහත්කාරය සහ ප්‍රචණ්ඩත්වය පැනනැගී තිබුණ බැවින් එය අමුතු මාදිලියේ සටනක් විය. අසූවේ ජූලි වර්ජනයෙන්ද සංශෝධනවාදී සහ ප්‍රතිසංස්කරණවාදී හැසිරීම නිසා වාමාංශික ව්‍යාපාරය පිළිබඳව ජනතාව තුළ තිබූ බැඳීම දුරස් වී තිබූ මෙකල තුවක්කු කටින් කළ මහා බස් වර්ජනය ප්‍රථමයෙන් ආස්වාදයක් ජනතාවට ගෙනදුණි. එහෙත් ජවිපෙ 2 වැනි කැරැල්ලේදී ඉන්දීය ආක්‍රමණයට සහ ආණ්ඩුවට එරෙහි සටන පිළිබඳව මූලික වැඩසටහනක් තිබුණද වැඩ කරන ජනතාව සංවිධානය කිරීමේ දේශපාලන කටයුතුවල විශාල හිඩැසක් පැවතිණි.