රටම හොල්ලන උතුරේ දෙමළ ඡන්දය 02 කොටස

 

යාපනය සංචාරය කිරීමේදී සිංහල අපට උදව්කළ පේදුරු තුඩුවේ පදිංචි සිවනාදන් නමැති දෙමළ තරුණයාගේ කතාව ද මෙයට ඇතුළත් කළ යුතු යැයි මම සිතමි. පසුගිය කාලයේ වෙනම රාජ්‍යයක් ඉල්ලා යුද වැදුණු ඔහු සටනේ දී මරණයෙන් බේරී යටත්වීමෙන් පසු පුනරුත්ථාපනය වී දැන් රජයේ සේවකයෙකු වශයෙන් කටයුතු කරයි. සයනයිඞ් කරල එකල පැලඳ සිටියා වුවද එය පාවිච්චියට නොගත් සිවනාදන් මේ වන විට දෙමළ යුවතියක සමග අතිනත ගෙන ප්‍රීතිමත් විවාහ දිවියක් ගත කරයි. අනාගතයේ දී දරු සුරතල් බැලීමට ද අපේක්ෂා කරන ඔහු නිරවුල් අනාගතයක් අපේක්ෂා කරයි. මේ ඔහුගේ කතාවයි. 


පේදුරුතුඩුවේ ධීවර පවුලක උපත ලැබූ සිවනාදන්ගේ පියා ධනවතෙකු නොවූවත් තුන්වේල කා ළමයින්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට ද ප්‍රමාණවත් ආදායමක් ලබන්නෙක් වූවේය. පියාගේ සොහොයුරා වූ තංගරාජා ධීවර බෝට්ටු හිමියෙකු වූ අතර සිවනාදන්ගේ පියා වන පුෂ්පරාජා එම එක් බෝට්ටුවක ප්‍රධානියා ලෙස ධීවර රැකියාවේ යෙදුණේය. හැත්තෑව දසකයේ දී බෝට්ටුකරුවෝ ඉන්දියාවේ තමිල්නාඩු වෙරළබඩ ප්‍රදේශවලට ගොස් හොර බඩු ජාවාරමේ ද යෙදුණහ. එකල සිරිමාවෝ බණ්ඩාරනායක රජය පැවති සමයයි. ලංකාවේ උග්‍ර බඩු හිඟයක් පැවතුණි. රෙදිපිළි බෙදා දුන්නේ සලාක ක්‍රමයටය. ඔරලෝසු වැනි විසිතුරු භාණ්ඩ දකින්නටවත් තිබුණේ නැත. ඉන්දියාවේ වෙරළ බඩ කුඩා නගරවලින් සීකෝ ඔරලෝසු, පලයකාට් සරම්, කංජි පුරම් සාරි ආදිය ගෙනවුත් ලංකාවේ නොයෙක් ප්‍රදේශවලට බෙදා හැරීම ධීවර රස්සාවට වඩා අධික ලාබ ලැබිය හැකි බව දැන සිටි පුෂ්පරාජාලා හොර බඩු ජාවාරමට වැඩි කැමැත්තක් දැක්වූහ. කිසි විටෙකත් මුහුදට බියක් නොදැක්වූ ඔවුහු සන්ධ්‍යා කාලයේ බෝට්ටුවෙන් ඉන්දියාවට ගොස් ඇම්.ජී.ආර්. සහ ජෙය ලලිතා රඟපාන ‘ෆුල් සිරියල්’ ෆිල්ම් එකක් රාත්‍රි කාලයේ නරඹා ආපසු අලුයම වනවිට පේදුරු තුඩුවට පැමිණියේ හොරබඩු තොගයක් ද රැගෙනය. 


පුෂ්පරාජාගේ මුත්තා ඉන්දියාවෙන් පීනාගෙන පැමිණි කල්ලතෝනියෙකි. ඔහුට රැකවරණය දුන්නේ පේදුරු තුඩුවේ මාළු මුදලාලි කෙනෙකි. පසුකාලයේ දී ඔහුගේ දරු මුනුබුරන් අතමිට සරු කරගෙන සරුසාර ජීවිත ගත කළා වුවද පවුලේ විහිළුවක් ගොඩනැගී තිබුණේ අපේ මුත්තා ලංකාවට පිහිනන්නේ නැතිව ඕස්ටේ්‍රලියාවට පීනුවා නම් අපි කොතරම් වාසනාවන්තයන් වෙමුද යන්නය. මෙසේ කල්ලතෝනි උවදුර සහ හොරබඩු ජාවාරම ශ්‍රීඝ්‍රයෙන් ඉහළ යද්දී රජය එම ප්‍රදේශයට නාවික හමුදාවේ සහ යුද්ධ හමුදාවේ මුර සංචාර වැඩිකර කුඩා කඳවුරු කීපයක් ද ඇති කළේය. උතුරේ හමුදා ක්‍රියාකාරකම් දැඩිවීම ප්‍රදේශවාසීන්ගේ දෛනික කටයුතුවලට බාධාවක් විය. ඔවුන්ගේ ජාවාරම් යම් තරමකට පාලනය වූවාක් මෙන්ම බොහෝ දෙනාගේ ආදායම් සීමා වූවේය. කල්ලතෝනින්ගේ සංක්‍රමණය අඩු විය. එය උතුරේ සමහර ව්‍යාපාරිකයන්ගේ නොසතුටට හේතුවිය. හමුදා කෙරෙහි ඔවුන්ගේ නොමනාපය ආරම්භ වූවේ එපරිද්දෙනි.  පුෂ්පරාජාගේ පියා කොමියුනිස්ට් පාක්ෂිකයෙකි. 1956 මහ මැතිවරණයේ දී එම පක්ෂයෙන් පේදුරුතුඩුව ආසනයට තරග කළ පී. කන්දයියා මහතාට ඔහු දැඩි ලෙස සහයෝගය දී තිබුණි. උතුරේ පැවති කුලවාදය පිටු දැකීමට ඔහු පුරුදුවූවේ කන්දයියාගේ මානවවාදී අදහස් තුළිනි. එම ආභාසය මත පුෂ්පරාජාත් ඔහුගෙන් පැවතෙන්නෝත් සිංහලයන් සමග දැඩි වෛරයකින් පසු වූවෝ නොවූහ. මව්පියන්ගෙන් අසා දැනගත් පරිදි පේදුරුතුඩුවේ දේශපාලනය වෙනස් කළේ පෙඩරල් පක්ෂයයි. ඔවුහු පෙඩරල් රාජ්‍යයක් නොමැතිව දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳාගත නොහැකි යන මතවාදය ද්‍රවිඩ ජනතාවගේ මනසට ජාතිවාදය එන්නත් කරනු ලැබුවේ පෙඩරල් පක්ෂය විසින් බව සිවනාදන්ගේ අවබෝධයයි. ඔහු කුඩා කාලයේ උතුරේ යම් යම් ත්‍රස්තවාදී කල්ලි බිහිවෙනු දුටු වැඩිහිටියෝ ළඟදීම මහා විපතක් සිදුවෙනු ඇතැයි අනාවැකි පැවසූහ. ගමේ පාසලෙන් අධ්‍යාපනය ආරම්භ කළ සිවනාදන් ඉගෙනීමේ තිබූ දක්ෂකම නිසා උසස් පාසලකට යාමේ වරම ලැබීය. සරස්වතියගේ ඇල්ම බැල්ම නොඅඩුව ලැබුණු නිසා කොළඹට පැමිණ සරසවි අධ්‍යාපනය ලැබීමට ද ඔහු භාග්‍යය ලැබුවේය. 


සිංහල සිසුන් සමග ආශ්‍රය කරමින් දුක සැප සමව බෙදා ගනිමින් දුකට කනගාටුවට එක්ව මුහුණ දෙමින් ජාතිවාදයෙන් තොරව සහෝදර බැඳීමෙන් යුතුව ඔහු සිංහල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇසුරු කළේය. කොළඹ නේවාසික ජීවිතය සිංහල මිනිසුන්ගේ ගතිපැවතුම් ඔවුන්ගේ සංස්කෘතිය ගැන නොදැන සිටි බොහෝ දේ අවබෝධ කර ගැනීමට මෙම කාල පරිච්ඡේදය ඔහුට අවස්ථාව සලසා දුන්නේය. ඔවුන් ගුණගරුක, හිතෛශී යහපත් ගති පැවතුම් ඇති ආගන්තුක සත්කාරයට බෙහෙවින්ම කැමති පිරිසක් බව තම ශිෂ්‍ය සගයන්ගේ හැසිරීමෙන්ම අවබෝධ කර ගැනීමට ඔහුට හැකි විය. එසේ නම් තම ප්‍රදේශයේ දේශපාලන නායකයන් සතුරු ආකල්පයකින් සිංහලයන් දෙස බලන්නෙත් අලුතෙන් බිහිවී ඇති දෙමළ තරුණ නායකත්වය වෙනම රාජ්‍යයක් පතා සිංහලයන් මරමින් යුදවැදී සිටින්නේත් කුමක් නිසාදැයි ඔහු සිතා බැලුවේය. අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන උපාධිය ලබා හොඳ රැකියාවකට යාම සිවනාදන්ගේ මූලික අපේක්ෂාව විය.


අසූතුනේ කළු ජූලිය වෙද්දී සිවනාදන් කුඩා දරුවෙකි. කොළඹ වාසය කළ දෙමළ ජනයා නැව් මගින් යාපනයට ගෙන එන බව මව්පියන්ගෙන් ඔහු දැනගෙන සිටියේය. ලැබුණු ආරංචි සුබවාදී නොවීය. භයානක තත්ත්වයක් ඉදිරියේ දී උදාවෙන බවට කටකථා පැතුරිනි. අසල ගමක උපන් සමකාලීනයෙකු වූ ප්‍රභාකරන් කරළියට පැමිණියේය. ඔහු තම ජනතාවගේ ගැලවුම්කරුවාය යන හැඟීමක් ප්‍රදේශවාසීන් තුළ ප්‍රචාරය විය. වෙරළබඩ තීරයේ පේදුරුතුඩුව, වැල්වැටිතුරේ සහ කන්කසන්තුරේ ආදී ප්‍රදේශවල ජනයාට ඉන්දියාවට පැන යන ලෙස කොටි ප්‍රදේශවාසීන්ට අණ කළහ. එම පළාතේ තිබුණු ධීවර බෝට්ටුවලින් එම මිනිස්සු පවුල් පිටින් තමිල්නාඩුවට පලා ගියහ. බොහෝ දෙනා එතනින් යුරෝපයට ඇමරිකාවට කැනඩාවට සහ ඕස්ටේ්‍රලියාවට ද ගියහ. දෙමළ ඩයස්පෝරාව නිර්මාණය කළේ ඒ අයුරිනි. යුරෝපයට යාමට සිවනාදන්ට ද අවස්ථාව ලැබුණු නමුත් ඔහු ප්‍රිය කළේ මව්බිමේ වෙසෙමින් දෙමාපියන්ගේ ධනය වැය කරමින් ඉමහත් කැපවීමෙන් ලද උපාධිය ප්‍රයෝජනයට ගෙන සාමකාමී ජීවිතයක් ගත කිරීමටය. යුද්ධය මෙතරම් දුර දිග යනු ඇතැයි ඔහු නොසිතුවේය. බලවත් ත්‍රිවිධ හමුදාවක් සහ අවි ආයුධ ඇති රජයක් සමග දිගු කාලයක් මෙම සටන පවත්වාගෙන යාමට කොටි සංවිධානයට හැකිවෙතැයි කොටි සාමාජිකයෝ පවා නොසිතූහ. අපේක්ෂා නොකළහ.


යුද්ධය දිනෙන් දින උග්‍රවෙමින් ගරිල්ලා යුද්ධයක් බවට මෝරා ගියේය. කොටි සංවිධානයේ පිරිස් බලය මඳ බව ඔවුහු වටහා ගත්හ. එනිසා එක් පවුලකින් එක් අයෙකු කොටි හමුදාවට බඳවා ඊළාම් සටන ජයගැනීමට ආධාර කරන ලෙස කොටි නායකයෝ උතුරේ ජනතාවගෙන් ඉල්ලා සිටියහ. එහෙත් යුද්ධයට මැදිහත්වීමට කැමැත්තක් දැක්වූවේ ටික දෙනෙකි. එනිසා ගම්වලට කඩා වැදුණු කොටි සාමාජිකයෝ තම ප්‍රජාවගේම අහිංසක දරුවන් පැහැරගෙන ගොස් යුද පුහුණුව සඳහා භාරදෙන ලදී. පේදුරුතුඩුවේ ධීවර කර්මාන්තයේ යෙදුණු පුෂ්පරාජාගේ පුත්‍ර සිවනාදන්ගේ ඉරණම වූවේ ද මෙයයි. 


පුහුණු කඳවුරකට යොමු කරවන ලද සිවනාදන් පුහුණුවේ යෙදුණි. එම කඳවුරේ දෙසීය හැටක පමණ පිරිසක් සිටියහ. සෑම දිස්ත්‍රික්කයකටම අයත් පුද්ගලයන් ඒ අතර සිටියහ. වයස අඩු අය ද සිටියහ. උදේ හයට ආරම්භ වන දිවීමේ සහ ශාරීරික අභ්‍යාසය අවසන් වන්නේ නවයටය. එයට පසු පැයක විවේකයකි. ඒ කාලය තුළ පෝලිමේ ගොස් දිවා ආහාරය ලබා ගැනීම කෙරේ. දහයේ සිට නැවතත් දොළහ දක්වා ආයුධ පුහුණු පන්ති පැවැත්වේ. එයට පසුව දොළහේ සිට රත් වූ වැලි තලාවේ සටන් පුහුණු පන්ති පැවැත්වේ. ඉන්දියානු හමුදාව මගින් ලැබුණු එස්.එස්.ආර්. තුවක්කුව ගොඩක් දිගය. මොවුන් වෙඩි පුහුණුව සඳහා යොදා ගත්තේ මෙම තුවක්කුය. වරෙක යම් හේතුවක් නිසා දින දෙකක් මෙම පුහුණුවන භටයන්ට ආහාර නොලැබුණි. ඔවුහු බංකර තැණීම් සඳහා ගෙන ගොස් තිබුණි. වෙහෙස වී වැඩ කරද්දී ආහාරත් නොලැබීම නිසා මෙම කොටි භටයෝ මහත් අසීරුවට පත්වූහ. ඔවුන් කළේ අවට වතුවලට පැන තල් ගස්වලට බඩ ගා තල්ගෙඩි කඩා ඒවායේ වතුර පානය කර තල් මද ආහාරයට ගැනීමයි. මේසා දුක් විඳිමින් පුහුණු වුවත් එය අවසානයේ සිවනාදන් යොදවනු ලැබුවේ දේශපාලන කාර්යාලයේ භාෂා පරිවර්තක කාර්යකටය. ඔහුගේ උගත්කම එයට බලපෑවේය. උතුරේ පමණක් නොව මුළු රට පුරා යුද ගිනි දැල්වලින් වෙළී පැවතුනි. යාපන අර්ධද්වීපයේ කිසිම බිම් අඟලක් ආරක්ෂිත නොවීය. උඩින් වැටෙන බෝම්බය. ගහක් කොළක් පාසා පැති බෝම්බය. බිම වැලිකැටයක් පාසා බිම් බෝම්බය. තමන් වැළලූ බෝම්බ ඇත්තේ කොතනදැයි කොටි සාමාජිකයෝ පවා දැන නොසිටියහ. සමහර අවස්ථාවල දී ඊළාම් සටන්කාමීන් ගමන් කළේ ගවයෙකු පෙරටුකර ගෙනය. ගවයා යද්දී බිම් බෝම්බ නොපිපිරුණා නම් එම මග ආරක්ෂිතය. මුහුණට මුහුණ සටන් සෑම තැනම සිදුවේ. දේශපාලන කාර්යාලයේ ලිපි පරිවර්තනය කරමින් සිට මැරෙනවාට වඩා යුද පෙරමුණට ගොස් සටන් කර වීරයෙකු ලෙස මැරෙනු වඩා සුදුසු බව සිවනාදන්ගේ සිත කියයි. එනිසා තමා සටන් බිමට යවන ලෙස ඔහු කොටි දේශපාලන මහලේකම් කාර්යාලයේ ප්‍රධානියා වූ තමිල් චෙල්වම් වෙත ආයාචනයක් කළේය.


අලිමංකඩ සටනේ දී සිවනාදන් මාරාන්තික තුවාල ලබයි. 


ලබන සතියේ....


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූපය අන්තර්ජාලයෙනි