ජනපති ආර්යාවන්ගේ පුරාණය - 02

 

 

 

ඩි. බී. විජේතුංග ජනාධිපතිතුමා ඉතා යුක්තිසහගත සහ ප්‍රජාතන්ත්‍රවාදී මතයට ගරුකරන රාජ්‍ය නායකයෙකු වූ බව පෙරද සඳහන් කළෙමි. 1993 මැයි 1 වැනි දින සිදුවූ ප්‍රේමදාස ජනාධිපති ඝාතනයෙන් පසු ඒ මහතාගේ ධුර කාලයෙන් ඉතිරි කාලසීමාව සඳහා රාජ්‍ය නායකයා වශයෙන් පාර්ලිමේන්තුව මගින් ඒකමතිකව තෝරාගන්නා ලද අතර රටේ පැවති දේශපාලන පසුබිම රජයට බොහෝ සෙයින් අවාසිසහගත බව පැහැදිලිව පෙනෙන්නට තිබුණු සත්‍යය විය. එසේ තිබියදීත් ඔහු පාර්ලිමේන්තුව විසුරුවා හැර 1994 අගෝස්තු 16 වැනිදාට මහා මැතිවරණයක් පැවැත්වීමට නියෝග කළේය. 


නිල කාලය අවසන් වන රජයක ජනාධිපතිවරයෙකු මෙයට පෙර අනුගමනය කළ ප්‍රතිපත්තිය වූවේ ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පවත්වා තම තත්ත්වය සුරක්ෂිත කරගැනීමෙන් පසු මහා මැතිවරණය කැඳවීමයි. එමෙන්ම ඔහු තමා නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව ඉතා පැහැදිලිව ප්‍රකාශ කළේය. එමගින් එතුමාගේ සමුගැනීම ප්‍රකාශ විය. කෙසේ වුවත් සියලු අතින්ම ප්‍රදර්ශනය වූවේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආකර්ෂණීය නව නායකත්වය යටතේ මැතිවරණ පොරපිටියට පිවිස සිටින පොදු ජන එක්සත් පෙරමුණ ඉදිරියෙන් සිටින බවයි. දහහත් වසරක් දිගින් දිගටම රට පාලනය කළ එ.ජා.ප.යේ පාලනය රටේ ජනතාවට අනවශ්‍ය බවට පත්ව ජනතාවට වෙනසක් අවශ්‍යව ඇති බවය. ජනතාවගේ අභිමතය එය බව ඡන්ද ප්‍රතිඵලවලින් පෙනීගීයේය. එ.ජා.ප. බලවත්තු රාශියක් තම ආසනවලින් පරාජය වී සිටියහ. මේ වන විට එ.ජා.ප.යට එක්ව සිටි ගාමිනී දිසානායක මහතාගේ කැමැත්ත වූවේ සුළු ජාතික මන්ත්‍රීවරුන්ගේ සහාය ඇතිව තම පක්ෂයේ රජයක් පිහිටුවීමටය. එහෙත් ජනාධිපති විජේතුංග මහතා එම ප්‍රයත්නයට එකඟ වූවේ නැත. ජනතාවගේ අභිලාසයට ඉඩ දිය යුතු බව එක හෙළා ප්‍රකාශ කළ විජේතුංග මහතා රජයක් පිහිටුවන ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට ආරාධනා කළේය. ඇයට අවශ්‍ය ආකාරයට අමාත්‍ය මණ්ඩලය සකස් කරගැනීමටද ඉඩදුන් ඔහු කිසිදු ගැටලුවක් ඇතිවීමට ඉඩ නොතබා සුදුසු හොඳම ආකාරයට ගැටලුව විසඳුවේය. ඊළඟට පැවති ජනාධිපතිවරණයට විජේතුංග මහතා ඉදිරිපත්වූවේ නැත. එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස නම්කරනු ලැබුවේ ගාමිණී දිසානායක මහතාය. විපක්ෂයේ අපේක්ෂිකාව වූවේ අගමැති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි. මැතිවරණය ආසන්නවීමටත් පෙර තොටළඟදී පවත්වන ලද ප්‍රචාරක රැලියකට කොටි ත්‍රස්තවාදීන් පුපුරුවා හරින ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් හේතුකොටගෙන ගාමිණි දිසානායක මහතා ඇතුළු බලවත් පිරිසක් මරණයට පත්වූහ. එයින් පසුව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වූවේ ගාමිණී දිසානායක මහතාගේ බිරිඳ වූ ශ්‍රීමා දිසානායක මහත්මියයි. කාන්තාවන් දෙදෙනෙකු අතර පැවති මෙම සටන ඇල් මැරීගිය සටනක් බවට පත්වූ අතර පොදු ජන එක්සත් පෙරමුණේ අපේක්ෂිකා චන්ද්‍රිකා මැතිනිය දීප ව්‍යාප්ත ජයග්‍රහණයක් අත්පත් කර ගත්තාය. දිවයිනේ මැතිවරණ කොට්ඨාස සියල්ලම අතරින් චන්ද්‍රිකා මහත්මිය පරාජය වූවේ ඌව පළාතේ මහියංගණය ආසනය පමණකි. උතුරු - නැගෙනහිර පළාත්වලද ඇතුළු වතුකරයද සිංහල පළාත්ද ඇය දිනාගෙන තිබුණි.
මෙම ලිපියේ මාතෘකාවට අදාළවන පරිදි ජනාධිපති ආර්යාවක් මෙම යුගයේ නොවූ බව සැලකිල්ලට ගැනීමේදී 2005 දී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වන තුරු වසර එකොළහක් මෙරටට ජනාධිපති ආර්යාවක් සිටියේ නැත. මහින්ද රාජපක්ෂ මහතා එම ධුරයේ වැඩ බාරගැනීමත් සමග ඔහුගේ බිරිඳ වූ ශ්‍රියන්ති රාජක්ෂ මහත්මිය ගැන මෙහි සටහනක් තැබීම අවශ්‍යය.  


හම්බන්තොට ආසනය වෙනුවෙන් 1945 සිට රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළ දොන් ඇල්වින් රාජපක්ෂ මහතාගේ සහ එම මැතිනිය වූ මාතර පාලටුවේ දන්දිනා සමරසිංහ මාතාවගේ පුත්‍රයකු වූ මහින්ද රාජපක්ෂ මහතා සිය පියාණන්ගේ අභාවයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙලිඅත්ත ආසනයේ සංවිධායකවරයා වශයෙන් තෝරාගන්නා ලදුව ක්‍රියාකාරී දේශපාලන ක්ෂත්‍රයට සම්බන්ධ වූවේය. 

 

 


ඒ 1968 දීය. 1970 මැයි මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු බෙලිඅත්ත ආසනය ජයග්‍රහණය කර මැති සබයට පැමිණියේ එවර පත්ව ආ ළාබාලම මන්ත්‍රීවරයා වශයෙනි. මෙම තරුණයාට විවිධ පාර්ශ්ව වෙතින් විවාහ යෝජනා ගලාඑමින් පැවති අතර සිය ඥතිවරියක වූ ප්‍රකට ගායිකාවකද වූ කෝකිලදේවී වීරතුංග මහත්මිය මගින් ලැබුණු යෝජනාවකට අනුව දෙහිවල පදිංචි ශ්‍රියන්ති වික්‍රමසිංහ මෙනවිය සමග නවක මන්ත්‍රී මහින්ද රාජපක්ෂයන් විවාහ ගිවිසගත්තේ 1983 ජූනි දහනව වැනිදාය. 
අතිශය රූමත් යුවතියක වූ ශිරන්ති 1978 ශ්‍රී ලංකා රූප රාජිනිය ලෙස අභිෂේක ලබා සිටියාය. ඒ වසරේම විශ්ව රූ රැජින තරගයටත් ලෝක රූ රැජින තරඟයටත් ශ්‍රී ලංකාව නියෝජනය කළාය. එයට පෙර ඇය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන් සිප් සතර හදාරා තිබුණි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ කොමදෝරුවරයෙකු වූ වික්‍රමසිංහ මහතාගේත් එම නෝනා මහත්මියගේත් දියණිය වූ ශ්‍රියන්ති 1978 දී මහින්ද සමග අතිනත ගන්නා විට ඔහු පාර්ලිමේන්තුවේ කණිෂ්ඨම මන්ත්‍රීවරයා විය. එතැන් සිට ඇමැති, අගමැති, ජනාධිපති ආදී වශයෙන් පියවරෙන් පියවර දේශපාලන හිණිමගේ ඉහළට නැගී එද්දී ඇය තම නොමඳ සහාය සැමියාගේ ඉදිරි ගමන සඳහා ලබාදී තිබුණි. 2005 ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු ඇය මෙරට ප්‍රථම කාන්තාව වශයෙන් නිල නිවසේ පදිංචියට ගියේ නාමල්, රෝහිත හා යෝෂිත තෙපුතුන්ගේ ආදරණීය මෑණියන් වශයෙන් ඔවුන්ද කැටුවය. දස වසරක් ජනාධිපති ධුරයේ සේවය කරමින් තිස් වසරක් මෙරට ගිලගෙන පැවති කුරිරු ත්‍රස්තවාදී යුගය නිමාවට පත්කිරීමට මහින්ද රාජපක්ෂ මහතා තම ක්‍රියාශීලි නායකත්වය දුන්නේය.
රටට විශාල සේවයක් ඉටුකරමින් සිටියදී ඔහුගේ ජීවිත සෙවණැල්ල වූ ශිරන්ති රාජපක්ෂ මැතිනිය දුකේදීත් සැපේදීත් ඔහුට සහකාරිය වූවාය. දේශපාලන ජීවිතයක කටුක බව අත්දැකීම් මනාව වටහාගනිමින් අටලෝ දහමට මුහුණදෙමින් කටයුතු කරමින් සිටියදී 2015 ජනවාරි 15 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් සිය සැමියා පරාජයට පත්වන තුරු ජනාධිපති ආර්යාවගේ කාර්යභාරය මනාසේ ඉටු කළාය. එයින් පසු නොයෙකුත් සිත් වේදනා දරාගැනීමටත් නින්දා අපහාස විඳීමටත් සිය ස්වාමි පුරුෂයාටත් විවිධ පාර්ශ්ව වෙතින් එල්ල කරනු ලබන පීඩා උපේක්ෂාවෙන් දරා ගැනීමටත් ඇය සමත්වූවාය. ප්‍රතිවාදීන් විසින් කොතෙක් අපහාස උපහාසයට ලක්කළද තම ආදරබර ස්වාමි පුරුෂයාට ජනතාව ඉමහත් ලෙස ආදරය කරන බව දැකීම ඇයට මහත් සහනයක් විය. නොබෝදා පැවති ජනපතිවරණයෙන් මහින්දගේ සොහොයුරු ගෝඨාභය රාජපක්ෂයන් සුවිශේෂී ජයග්‍රහණයක් ලබා රාජ්‍ය බලය අත්කරගැනීමෙන් පසු එම ජයග්‍රහණයේ ශක්තිය හා නිසැක ජයග්‍රාහකයා මහින්ද රාජපක්ෂයෝ වූහ.

 

 


කෙසේ වුවත් 2015 ජනවාරි 08 වැනි දින පැවති ජනාධිපතිවරණය ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් වූ බව සටහන් කළයුතුමය. එය පසමිතුරන්ගේ සටනකට වඩා සමීප සගයන් දෙදෙනෙකුගේ තරගයක ස්වරූපය ගත්තේය. මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා විය. ඔහුගේ ප්‍රතිවාදියා ලෙස සටනට පැමිණි මෛත්‍රීපාල සිරිසේන මහතා දිගු කලක් එම පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා විය. විධායක ජනාධිපති මහින්දගේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන ඇමැති සගයෙකු වූ මෛත්‍රී තමා විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව ප්‍රකාශයට පත්කළ 2014 නොවැම්බර් 20 වැනි දින සවස් වන තුරු එම තනතුරු සියල්ල දැරීය. 


දේශපාලනයේදී ස්ථිර මිතුරන් නැතැයි බොහෝ කලකට පෙර එක් විචාරකයෙකු පැවසුවාක් මෙන් තිරය පිටුපස බොහෝ දේ සිදුව තිබුණි. ඒවා සියල්ල දේව රහස් මෙන් සඟවාගෙන කටයුතු කිරීමට ඔවුහු සමත්වූහ. නොයෙකුත් හේතු කාරණා මත විශාල ජනරැල්ලක් තමන් කෙරෙහි යොමුකරවා ගැනීමට මෛත්‍රී ඇතුළු සගයෝ කටයුතු කළහ. එහි අවසාන ප්‍රතිඵලය වූවේ 2015 ජනවාරි 8 වැනිදා පැවැති මැතිවරණයෙන් විපක්ෂයේ ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ හයවැනි ජනාධිපතිවරයා වශයෙන් ජනතා වරමෙන් අභිෂේක ලැබීමය. මේ අයුරින් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බිරිඳ වූ ජයන්ති සිරිසේන මහත්මිය මෙරට ප්‍රථම කාන්තාව බවට පත්වූවාය.
කොළඹ හතේ ප්‍රභූ සමාජයේ අයට උරුමව තිබූ මෙවැනි සම්භාවනීය තනතුරු ආර්. ප්‍රේමදාස, ඩී. බී. විජේතුංග වැනි නායකයන් හරහා පොදු ජනතාව අතරට සමීප වූ අයුරු මෙම ලිපි පෙළේදී මම කලින් සඳහන් කළෙමි. මෛත්‍රීපාල සිරිසේන මහතගේ වතගොත මෙම කතාවට එක්වන්නේ එම විස්තරයේම තවත් දිගුවක් වශයෙනි.

 

 


මතු සම්බන්ධයි.


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප අන්තර්ජාලයෙනි