සීගිරි බෙයඳේ වසර එක්දහස් පන්සීයකට වඩා කාලයක් යෙහෙන් ජීවත් වූ සුරූපී ළඳුන් 1967 ඔක්තෝබර් මස 14 වැනිදා මූසල රාත්‍රියේ ඝාතනයට උසිගැන්වූවේ කවුරුන්දැයි ඒ ජාතික අපරාධය කළෝ කවරහුදැයි තවමත් අබිරහසකි. ඒ නිසා ඒ රුදුරු ජාතික විනාශය නොදනිමු. ‘කාගෙ දොසා’ යනුවෙන් සටහන් කර තබමු. සීගිරි බිතු සිතුවම් විනාශය සැබැවින්ම පසුගිය පණස් හය වසර තුළ පමණක් නොව විසිවැනි සියවසේ මේ සොඳුරු ලංකාද්වීපයේ සිදුකළ මහා සංස්කෘතික ඛේදවාචකය ලෙසින් සටහන් වී ඉතිහාසයට එක්වී හමාරය.
ඒ කාලයේ මෙම විෂය භාරව සිටි අමාත්‍යවරයා වූයේ විද්වතෙකු වූ ද ලේඛකයෙකු වූ ද අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතාය. ඒ අමාත්‍යාංශයේ ලේකම්වරයා වූයේ ද කෘතහස්ත පරිපාලන නිලධාරියෙකු වූ ද ජාතික උරුමය ගැන ඉතා ගැඹුරු අවබෝධයක් හා ඒ පිළිබඳ දැඩි ආදරයක් ද දැක් වූ එම්.ජේ. පෙරේරා මහතාය. ඔහු මේ සිදුවීමෙන් පසුව වහාම ක්‍රියාත්මක වී විෂය භාර අමාත්‍යවරයා සමග සීගිරියේ ඛේදවාචකය සිදුවූ ස්ථානයට ගියේය.
(තුන්කල් දුටු පරණවිතාන – සිරි සමන් විජේතුංග පි. 187 – 189) සරසවි ප්‍රකාශකයෝ 2015)
බිතුසිතුවම් සංරක්ෂණය කිරීම පිණිස ඉතාලි ජාතික ලුසියානෝ මරාන්සි මහතා සති දෙකක්ම ඒ සඳහා ඇපකැප වී කටයුතු කළේය. මේ පිළිබඳ විශේෂ උනන්දුවක් දැක් වූ එකල පුරාවිද්‍යා කොමසාරිස් රාජා ද සිල්වා මහතා ද මෙම සංරක්ෂණ කටයුතු සඳහා දායක වූයේය. මේ සඳහා ඇමරකා එක්සත් ජනපදයේ ස්මිත් සෝනියන් කෞතුකාගාරයේ දී සහාය ලැබී ඇත. (හෙළ කලා විස්කම් - සිරි සමන් විජේතුංග පි. 166-2010 ස්ටෑම්ෆර්ඩ් ලේක් ප්‍රකාශනයකි.)
සීගිරි බිතු සිතුවම්වලට කළ මහා විනාශය පිළිබඳ එකල ලංකාවේ තිබුණු එකම ගුවන්විදුලි නාලිකාව වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල සේවා අධ්‍යක්ෂවරයා වූ ද ප්‍රවීණ මාධ්‍යවේදී පාලිත පෙරේරා මහතා ඒ සිදුවීම වාර්තා කිරීමට ගිය අවස්ථාවේදී මෙම සංරක්ෂණ කටයුතු කරමින් සිටි ලුසියානෝ මරාන්සි මහතා සමග සාකච්ඡා කරන විට ඔහු පාලිත පෙරේරා මහතාගෙන් මෙවැනි ප්‍රශ්නයක් ඇසූ බව පාලිත පෙරේරා මහතා මා සමග පැවසුවේය.
‘මෙතරම් දියුණු මෙතරම් සංවේදී මිනිසුන් සිටි ශිෂ්ටාචාරයකින් පැවත එන ඔබේ රටේ මිනිසුන් ඇයි මේ වගේ ජාතික අපරාධයක් කළේ?’ යනුවෙනි.
ජාතියක් වශයෙන් ලැජ්ජාවිය යුතු විනාශයන් සිදුකළ බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. එහෙත් මෙවන් වූ ලොව පුරා ප්‍රකට සීගිරි බිතුසිතුවම් විනාශ කිරීම මහපොෙළාව නුහුලන ඛේදවාචකයක් නොවන්නේ ද?
මේ බිතුසිතුවම් විනාශ කරන කාලයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූයේ මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා සමග ඉතා සමීපව කටයුතු කළ ප්‍රවීණ පුරාවිද්‍යාඥයකු මෙන්ම භාෂා විශාරදයෙකු වූ ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතාය. එම ශෝචනීය සිදුවීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාවේ සඳහන් වී ඇත්තේ මෙසේය.
‘කලබල වූ ඔවර්සියර් කෙනෙක් විසින් දෙන ලද හරියට තේරුම් ගත නොහැකි වූ ටෙලිපෝන් පණිවිඩයක් අනුව සීගිරියේ බිතුසිතුවම් ගුහා තුළ චිත්‍ර මත පසුගිය රාත්‍රී කාලයේ කොළපාට තීන්තක් කව්දෝ විනාශකාරීන් විසින් ඉසිනු ලදැයි වැටහී ගියෙන් සීගිරියට වහා ගොස් එම තීන්ත අස්කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස 1967 ඔක්තෝබර් 15 වැනිදා උදයේ එවකට සිටි පුරාවිද්‍යා කොමසාරිස්වරයා විසින් (ආචාර්ය චාල්ස් ගොඩකුඹුර) මහතා මට (ආචාර්ය රාජා ද සිල්වා මහතා) දන්වා සිටින ලදී.
ලියන තීන්ත අස් කිරීම සඳහා විශාල ප්‍රමාණයක් රසායන ද්‍රව්‍ය ද රැගෙන මගේ (ආචාර්ය රාජා ද සිල්වා) කණ්ඩායම ද කැටුව එදා සවස සීගිරියට ළඟා වූයෙමි. ඒ වන විට ඒ පළාතට වර්ෂා කාලය එළඹ තිබුණි. එහි ගිය අපට දැනගන්නට ලැබුණේ එහි තවරා තිබුණේ ලියන තීන්ත නොව දැන් කාලයේ ජනෙල් - දොරවල්වලට ගෑමට ගන්නා කොළපාට තීන්ත වර්ගයකි. පෙරදින පරීක්ෂණවලට අමතරව පොලිසිය විසින් බිතුසිතුවම් ගුහාවේ දොරට අලුත් ඉබ්බෙකු යොදා තිබුණත් පසුදින උදයේ පොලිසියත් සමග චිත්‍ර පරීක්ෂා කරන ලදී. පොලිසියේ අදහස වූයේ විනාශකාරීන් අගුලුලා තිබුණු දොරවල් දෙකකට උඩින් පැන බිතුසිතුවම් ගුහාවේ අවසාන දොරටුව යතුරකින් අරින ලද බවකි. (1967 – 1968 මුදල් වර්ෂය සඳහා පුරාවිද්‍යා කොමසාරිස් ආර්.එච්. ද සිල්වා (ආචාර්ය රාජා ද සිල්වා) ගේ පාලන වාර්තාව පි. 23)
මහචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා හැඬූ දවස
සීගිරියේ බිතුසිතුවම් විනාශ කළ දිනයේදී ඒ ඇසූ සීගිරි කුරුටු ගී ලොවට දායාද කළ මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාගේ දෑසට කඳුළු නැඟුණු බව ප්‍රකටය.
එකල අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා විසින් සීගිරියේ විනාශ කළ බිතු සිතුවම් සංරක්ෂණය කිරීම පිණිස ලැබිය හැකි සුදුසුම විශේෂඥයාගේ සහාය ලබා දෙන ලෙස ඉල්ලමින් යවන ලද කේබල් පණිවිඩයක ප්‍රතිඵලයක් වශයෙන් රෝමයේ පිහිටුවා ඇති සංස්කෘතික වස්තු හැදෑරීමේ සහ සංරක්ෂණය කිරීමේ අන්තර් ජාතික මධ්‍යස්ථානය විසින් බිතු සිතුවම් තහවුරු කිරීම පිණිස ඉතාලි ජාතික ලුසියානෝ මරාන්සි මහතා තෝරාගෙන මෙරටට එවන ලදී. ලුසියානෝ මරාන්සි මහතා ඒ සඳහා ඉමහත් මෙහෙයක් කළේය. ඒ අනුව 1967 ඔක්. 22 දා ලුසියානෝ මරාන්සි මහතා ලංකාවට පැමිණ සීගිරියේ විනාශය දැක මේ රටේ තහවුරු කිරීමේ කණ්ඩායම සමග සාකච්ඡා කළේය. පසුදිනම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග සීගිරියට ගිය මරාන්සි මහතා ගෙනෙන ලද ද්‍රව්‍යයන් යොදා අපි විසින් (ආචාර්ය රාජා ද සිල්වා) යොදාගෙන තිබුණාට වාඩා ඉක්මන් වැඩපිළිවෙළක් තෝරාගැනීමට සමත් විය. (පුරාවිද්‍යා පාලන වාර්තාව 1967-68 පි. 25 පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය රාජා ද සිල්වා)
විනාශ කළ සීගිරි බිතු සිතුවම් සංරක්ෂණය කිරීමේ කටයුතුවල මුල් අදියර නිම කළ ලුසියානෝ මරාන්සි මහතා 1967 වර්ෂයේ නෙවැම්බර් මස 4 දා ආපසු සිය රට ගියේය. ඉන්පසු ඉතිරි සංරක්ෂණ කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තහවුරු කිරීමේ කණ්ඩායම ආචාර්ය රාජා ද සිල්වා පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ මෙහෙයවීමෙන් සිදු කෙරුණි. 1968 වර්ෂයේදී මාර්තු මස නැවතත් සීගිරි බිතුසිතුවම්වල සංරක්ෂණ කටයුතු සොයා බැලීමට ඔහු ලංකාවට පැමිණියේය.
සීගිරි බිතු සිතුවම් විනාශ වන කාලයේ දී පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙස සේවය කළ ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතා 1967 දෙසැම්බර් මස 5 දා රජයේ සේවයෙන් විශ්‍රාම ලැබුවේය. එවක සහකාර කොමසාරිස් රසඥ ආචාර්ය රාජා ද සිල්වා (ආර්.එස්. ද සිල්වා) මහතා 1967 දෙස් 11 දා සිට වැඩබලන පුරාවිද්‍යා කොමසාරිස් ලෙස පත්විය. (1967 – 68 පුරාවිද්‍යා පාලන වාර්තාව පි. 4)
■ සිරි සමන් විජේතුංග
පුරාවිද්‍යා හිටපු සහකාර අධ්‍යක්ෂ, ලේකම් මහාචාර්ය සෙනරත් පරණවිතාන පදනම
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
සීගිරි බිතු සිතුවම් විනාශ කළ මහා සංස්කෘතික ඛේදවාචකය (1967-ඔක්. 14 දා)