කොන්කෝඩ් ජෙට් යානා පරපුරේ නවතම පුරුක ‘‘කොන්කෝඩ් පුත්‍රයා“ නමින් වර්ෂ 2021 දී වෙළඳ පොළට හඳුන්වාදීමට එහි නිෂ්පාදකයෝ කටයුතු කරති. පැයට කිලෝ මීටර 1,200ක වේගයෙන් පියාසර කළ හැකි මේ යානයට ලන්ඩන් නගරයේ සිට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට යාමට ගත වන්නේ පැය තුනක කාලයකි.
ඒඑස් 2 යනුවෙන් නම් කැර ඇති මේ මාදිලිය ඉදිරි වර්ෂයේ දී අත්හදා බැලීමේ පියාසර කටයුතු 2021 දක්වා සිදුකර 2023 දී ප්‍රථම වරට වෙළඳ පොළට නිකුත් කිරීමට නියමිතය. මෙය ලෝකයේ සුපර් සොනික් තාක්ෂණය යොදා ගන්නා ප්‍රථම පුද්ගලික ගුවන්යානය වනු ඇත.
අඩි තිහක් දිගැති මැදිරියක ගමන් කළ හැකි මගීන් සංඛ්‍යාව 12කි. දිග අඩි 170කි. පියාපත් තුඩු අතර පළල අඩි 61කි. උස අඩි 22කි. පියාසර කළ හැකි උපරිම වේගය පැයට කිලෝ මීටර 1960 කි.
යානයේ නිෂ්පාදකයන් පවසන්නේ එහි සැකිල්ල හා තටු සාදා ඇත්තේ කාබන් ෆයිබර් භාවිතයෙන් බවයි. මෙහි අත්තටු ප්‍රමාණයෙන් කුඩා සහ සැහැල්ලු කිරීමෙන් ඉන්ධන දහනය සියයට 20ක් පහත දැමීමට හැකියාව ලැබී ඇති බව ද ඔවුහු කියති.
මේ යානා නිෂ්පාදනය කරන ඇමෙරිකා සමාගමේ නිෂ්පාදනාගාරය අක්කර 100 ක් වසා පැතිරී ඇත. අඩි 9,000ක් දිගැති ධාවන පථයක් යානය පියාසර කරවීම සඳහා සකසමින් තිබෙන බව ද නිෂ්පාදක සමාගම පවසයි.







