සිරියානු ජනාධිපති තුර්කි ජනාධිපති හමුවෙයි


බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමෙන් පසු සිරියාවේ පිහිටුවූ අන්තර්වාර රජයේ ජනාධිපති අහ්මද් අල්-ෂරා සහ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් අතරේ හමුවක් තුර්කියේදී පැවැත්විණි.

බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමට, විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සහාය දුන් සටන්කාමීන්ගේ නායකයා ලෙස කටයුතු කළේ ද අහ්මද් අල්-ෂරාය.

පසුගිය දා සෞදි සංචාරයේ දී සෞදියේ සල්මානු කුමරු මැදිහත් වී, අහ්මද් අල්-ෂරා සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එකිනෙකා හමුවීමට සැලැස්වීය. ට්‍රම්ප්, අහ්මද් අල්-ෂරා ගැන පැහැදීමෙන් කතා කළ අතර, සිරියානු සිවිල් යුද සමයේ එරටට පැනැවූ ඇමෙරිකන් සහ බටහිර සම්බාධක ඉවත් කිරීමට ට්‍රම්ප් පරිපාලනය මේ වනවිට පියවර ගෙන ඇත.

අහ්මද් අල්-ෂරා තුර්කියට ගොස්, ඉස්තාන්බුල් නුවර තුර්කි ජනාධිපති මාලිගයේදී, තුර්කි ජනාධිපතිවරයා සහ තුර්කි රජයේ නියෝජතයන් හමුවී සාකච්ඡා කළේ එවැනි පසුබිමකය. අසාද් පාලනය පෙරළා දැමීමට සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සහාය දුන්නේ තුර්කියයි. තුර්කිය සිරියාවේ අසල්වැසියෙකි.

 (ඒ.එෆ්.පී.)