දැනට ලෝකයේ ඉදිකර ඇති උසම ප්‍රතිමා දෙක ලෙස ගැනෙන්නේ බුදු පිළිම දෙකකි. ඉන් පළමුවැන්න චීනයේ ෂඔකුන් නගරයේ "දිය බුබුලේ පන්සලෙහි" බුදු පිළිම වහන්සේය. ෂඔකුන් නගරය පිහිටියේ ලුෂන් ප්‍රාන්තයේ. මෙම පිළිමයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත්තේ 1997 වන අතර අවසන් කර ඇත්තේ 2008 දිය. මීටර් 40 ක් ( අඩි 131) උස නෙළුම් මලක් මත ඉදිකර ඇති මෙම හිටි පිළිමයේ උස මීටර් 208 කි.( අඩි 682)
මෙම පිළිම වහන්සේ ඉදිකිරිම සඳහා වැයවී ඇති සම්පුර්ණ මුදල රුපියල් කෝටි 2376කි. පිළිමය නිර්මාණය කිරීම සඳහා තඹ තහඩු 1100 ක් යොදාගෙන ඇති අතර සම්පුර්ණ නිර්මාණය ටොන් 1000 කට වඩා බර බව ඇස්තමේන්තු කර ඇත.
මෙම පිළිමය ඉදිකර ඇත්තේ දර්ශනීය පරිසරයක පිහිටි දැවැන්ත විහාරස්ථානයක වහල මතුපිටය.
මෙම විහාරස්ථානයට " දිය බුබුලේ පන්සල" යන නම වැටි ඇත්තේ අසල පිහිටි උණුදිය උල්පත නිසාය.මෙහි මුල් විහාරස්ථානය ඉදිවී ඇත්තේ "ටැන් රජ පරපුර" බලයේ සිටි කාලයේය. බුදුපිළිම වහන්සේ ඉදිකිරීමට පෙරාතුව මෙම පන්සල ප්‍රසිද්ධියට පත්ව තිබුණේ එහි ඇති ටොන් 116 ක් බර සෞභාග්‍යය උදාකරන දෙයක් ලෙස විශ්වාසයක් සහිත විශාල ඝණ්ඨාරයක් නිසාය.
ලෝකයේ දෙවැනි උසම ප්‍රතිමාව වන්නේ ද බුදු පිළිමයකි. එය ගොඩ නඟා ඇත්තේ මියන්මාර් රටේ "ටවුන්ග්" නම්වූ ගමෙහිය. එයද හිටි පිළිමයකි. මෙම පිළිම වහන්සේගේ උස මීටර් 116 කි. ( අඩි 381) මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණේ 1996 දිය. ඉදිකිරීම් අවසන් කළේ 2008 දිය. "ලේක්යුන් සාක්‍ය බුද්ධ" නමින් හැඳින්වෙන මෙම පිළිම වහන්සේ ඉදිකරන ලද්දේ එම විහාරස්ථානයේ විහාරාධිපති නාරද හිමියන්ගේ අනුසාශනාවෙනි.
මේ අතර ජපානයේ උෂිකු නගරයේ ඉදිකර ඇති " උෂිකු දයිබුට්සු" බුදු පිළිම වහන්සේ මීටර් 120 ක් ( අඩි 390) උසවෙයි. 1993 දී ඉදිකර ඇති මෙයද ලෝකඩ ප්‍රතිමාවකි.මෙම පිළිම සමඟ සලකා බැලිය හැකි අනෙකුත් ප්‍රතිමා වන්නේ නිව්යෝක් නඟරයේ මීටර් 93 ක් ( අඩි 305) උස සුප්‍රකට ලිබර්ටි ප්‍රතිමාව, රුසියාවේ වොල්ගොග්රාඩ් නගරයේ ඉදිකර ඇති මීටර් 92 ක් ( අඩි 301 ) උස " මව්බිමේ ඇමතුම" නම්වූ ප්‍රතිමාව සහ බ්‍රසීලයේ රියෝ නුවර කොර්කවාඩෝ කඳු මුදුනේ ඉදිකර ඇති මීටර් 38 ක් උස ( අඩි 125 ) ක්‍රිස්තුස් වහන්සේගේ පිළිමයයි.

![laykyun_setkyar1[2]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/laykyun_setkyar12.jpg)

![Spring-Temple[5]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/Spring-Temple5.jpg)
![Ushiku_Daibutsu_2[3]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/Ushiku_Daibutsu_23.jpg)

