රුසියාවට ඉරානයට බලපෑම් කරන්න


ලෝක සාමය වෙනුවෙන්, රුසියාවටත් ඉරානයටත් බලපෑම් කරන්නැයි යුරෝපා කොමිසම, චීන ජනාධිපති ෂී ජින්පින්ගෙන් ඉල්ලීමක් කර තිබේ. යුරෝපා කොමිසම වෙනුවෙන් එහි සභාපතිනී උර්සුලා වොන්ඩර් ලින් මෙසේ ඉල්ලා සිටියේ ප්‍රංශයේ පැරිස් අගනුවරදී චීන ජනාධිපති ෂී ජින්පින් හමුවෙමිනි.

චීන ජනාධිපති ෂී ජින්පින් දූත පිරිසක් ද සමඟ යුරෝපා සංචාරයක් ආරම්භ කර ඇත. ඒ, යුරෝපා රටවල් සහ චීනය අතරේ පළුදු වුණු සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්ය. චීන ජනාධිපතිවරයා මෙසේ යුරෝපා රටවල සංචාරය කරන්නේ වසර පහකට පසුවය.

චීනය සහ යුරෝපා සංගමය අතරේ අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ රුසියන් යුක්රේන යුද්ධය මුල්කොට ගනිමිනි. කොන්දේසි විරහිතව, රුසියාවට සහාය පළ කරනවා යැයි චීනය පවසා තිබේ. 

චීනය සහ ඉරානය සමඟ ද යහපත් සබඳතා පවතී. මෙය ද යුරෝපා රටවල උදහසට හේතුවක් වී ඇත. ඉරානය, ඔවුන්ගේ බලශක්ති වැඩසටහනට මුවා වී, න්‍යෂ්ටික අවි නිපදවන බවට ඇමෙරිකාව සහ බටහිර යුරෝපා රටවල් චෝදනා කරයි.

යුරෝපා කොමිසම, චීන ජනාධිපති ෂී ජින්පින්ගෙන් ඉල්ලා ඇත්තේ, යුක්රේන යුද්ධය නැවැත්වීමට රුසියාවට බල කරන ලෙසත්, න්‍යෂ්ටික අවි නිපදවීමට එරෙහිව ඉරානයට විරුද්ධ වන ලෙසත්ය.

ඉරානය මිසයිල සහ ඩ්‍රෝන යානා නිපදවීම සිදු කරන අතර, යුක්රේන යුද්ධයේ දී යුක්රේනයට පහර දීමට, රුසියානු හමුදාව භාවිතයට ගන්නේ ඉරානයේ නිෂ්පාදිත මිසයිල සහ ඩ්‍රෝන යානාය. කෙසේ නමුත් රුසියාව ප්‍රසිද්ධියේ ඒ බව පිළිගෙන්නේ නැත.

 

(ඒ.එෆ්.පී.)