මලයාසියා ගුවන් යානය කඩා වැටුණු ස්ථානයට ගොස් සිටින ගලවාගැනීමේ කණ්ඩායම්වලට වර්ග සැතපුම් අටක පමණ ප්‍රමාණයක තිබී මළ සිරුරු 168ක් හමුවී තිබේ. මේ ස්ථානයේ සිදුකරන විමර්ශන කටයුතු කඩාකප්පල් කිරීමේ අරමුණින් රුසියා වර්ගවාදී කණ්ඩායම් දරුණු බාධා කිරීම් සිදුකරන් බව ද සහන සේවකයෝ කියති. සහන කණ්ඩායම් ඒ සඳහා යොදාවා ඇත්තේ යුක්රේන රජය විසිනි.
එම ස්ථානයට පිටත්කැර යැවූ ස්වාධීන නිරීක්ෂකයන් හරවා එවූ බව ද සහන සේවා කණ්ඩායම් චෝදනා කරයි.
යුක්රේන හමුදාවේ නිලධාරින් කිහිප දෙනකු යානය කඩා වැටුණු ස්ථානයට ගිය ද කැරළි කණ්ඩායම් තමන්ට එම ස්ථානයට ඇතුළු වීමට ඉඩ නොදුන් බව යුක්රේන බලධාරීන් කියයි. යුරෝපා ආරක්ෂක සහයෝගීතා සංවිධානයේ විශේෂඥයකු මාධ්‍යයට පවසා ඇත්තේ අපරාධය සිදුවූ ස්ථානයේ කටයුතු පාලනය කිරීමට කිසිවෙකුත් නොමැතියැයි පෙනන්නට තිබෙන බවයි.
කැරළිකරුවන් විනාශ වූ යානයේ තිබූ ගමන්මළු වල දෑ කොල්ල කෑමත් යානයේ කොටස් රැගෙන යාමත් සිදුකරමින් සිටින බව සහන සේවකයෝ කියති.
‘‘මේ ස්ථානය ලොව දරුණු ම අපරාධයක් වූ ස්ථානයක්. නමුත් එහි ආරක්ෂාවට සිටින්නේ ආගන්තුක සත්කාර නොකරන බර අවි අතදරා සිටින නිල ඇඳුම් අතැතිව සිටින කිහිප දෙනකු පමණයි. ඔවුන් ද වෙනත් කිසිවකු විසින් පාලනය කරන බවක් පෙනෙන්නට නැහැ. අපගේ ප්‍රමුඛතාව වන්නේ කළු පෙට්ටිය සොයා ගැනිමයි. නමුත් කිසිවෙක් මේ දෙය සොයන්න අවශ්‍ය කරන පිළිතුරු පවා ලබා දෙන්නේ නැහැ.“ යැයි විශේෂඥයෝ කියති. යුක්රේන රජය ද කළු පෙට්ටිය සොයා ගැනිමට උදව් නොකිරිම සම්බන්ධයෙන් කැරළි කරුවන්ට දෝශාරෝපනය කර තිබිණි.
මළ සිරුරු දමා තිබූ ඇතැම් බෑග් විවෘත කැර තිබිණි. එය ඉතා නරක ක්‍රියාවක් බව සහන සේවකයෝ කියති. ඔවුන් පවසන්නේ මේ ස්ථානයේ දී ඉතා ප්‍රවේශම් විය යුතු බවකි. සහන සේවා කණ්ඩායම් පවසන්නේ මළ සිරුරු 38ක් පමණ කැරළිකරුවන් විසින් රැගෙන ගොස් ඇතැයි ද සහන සේවකයෝ චේදනා කරති. ඒවාට සිදුවූ දෙයක් දැනගන්නට නැත.












