
තමන් ලිංගික හිරිහැරයට ලක්වුණු බව මෙක්සිකෝ ජනාධිපතිනී ක්ලෝඩියා ෂේන්බවුම් පවසයි. ජනාධිපතිනිය පවසන ආකාරයට, ඇය මෙසේ ලිංගික හිරිහැරයට ලක් වී ඇත්තේ, ජනාධිපති මන්දිරය අසලදී ආධාරකරුවන් හමුවට ගිය අවස්ථාවකදීය.
ආධාරකරුවන් සමඟ සුහදව කතාබහ කරද්දි, පිරිස අතරේ සිටි, බීමත් පුද්ගලයකු තමාගේ උරහිස වටා අත දමා, අනෙක් අතින් ඇගේ ඉන සහ පපුව ස්පර්ශ කළ බවත්, තම බෙල්ල සිප ගැනීමට උත්සාහ ගත් බවත් ජනාධිපතිවරිය පවසා ඇත.
මෙම පුද්ගලයා ජනාධිපතිනියට කරදර කරන ආකාරය ආරක්ෂක කැමරාවල ද සටහන් වී ඇත. ජනාධිපතිනිය මෙම කරදරයට මුහුණ දෙද්දී ජනාධිපති ආරක්ෂක අංශ සාමාජිකයන් අසල නොසිටි බව ද පැවැසෙයි.
තමන්, තමන්ට ලිංගික හිරිහැර කළ එම පුද්ගලයාට එරෙහිව චෝදනා ගොනු කළ බවත්, මෙම සිදුවීමෙන් පසු ලිංගික හිංසනය සම්බන්ධයෙන් රට පුරා නීති සමාලෝචනය කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් ක්ලෝඩියා ෂේන්බවුම් පවසා ඇත. ක්ලෝඩියා ෂේන්බවුම් යනු මෙක්සිකෝවේ ජනාධිපති ධුරයට පත්වුණු පළමු කාන්තාවය. ජනාධිපතිනියට කරදර කළ එම පුද්ගලයා පසුව එම අත්අඩංගුවට ගෙන ඇතැයි ද පැවැසෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කරන්නේ, මෙක්සිකෝවේ දිනකට සාමාන්‍යයෙන් කාන්තාවන් 10 දෙනකු ඝාතනයට ලක්වන බවය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, වයස අවුරුදු 15 සහ ඊට වැඩි මෙක්සිකන් කාන්තාවන්ගෙන් සියයට 70 ක් පමණ ඔවුන්ගේ ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් ලිංගික හිංසන සිද්ධියකට හෝ මුහුණ දෙන බව ද පැවැසෙයි.

