බැලැස්ටික මිසයිල අත්හදා බැලීමට උතුරු කොරියාව සූදානම්


(රොයිටර් ඇසුරෙනි - 042)

උතුරු කොරියා ජනපති කිම් ජොන්ග් උන් නියෝග කරන ඕනෑම වේලාවක ඕනෑම තැනක සිට අන්තර් මහද්වීප බැලැස්ටික මිසයිල අත්හදා බැලීමට තමන් සූදානමින් සිටින බව උතුරු කොරියානු හමුදාව පවසයි.

 එක් මහද්වීපයක සිට තවත් මහද්වීපයකට විදිය හැකි බැලැස්ටික් මිසයිලයකට අවම වශයෙන් කිලෝමීටර්  5,500 ක දුරක් ගමන් කළ හැකි අතර ඇතැම් මිසයිල කිලෝමීටර් 10,000ක් හෝ ඊට වැඩි දුරක් ගමන් කරයි.

එතරම් දුරකට විදිය හැකි මිසයිල ඇතිනම් එය ඇමෙරිකාවට තර්ජනයක් බව යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

න්‍යෂ්ටික බලය සහිත තම රට නව ආකාරයක බැලැස්ටික මිසයිලයක් අත්හදා බැලීමට සූදානම් යැයි ජනපති කිම් ජොන් උන් පසුගිය ජනවාරි පළමු වැනිදා ප්‍රකාශයක් නිකුත් කරමින් අවධාරණය කර තිබුණි.

මේ සම්බන්ධයෙන් ඇමෙරිකා ආරක්ෂක ලේකම් ඈෂ් කාටර් පවසා ඇත්තේ උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම් සුළුවෙන් නොතකන බවත්, ඒ ගැන විමසිල්ලෙන් සිටින බවත්ය.

“උතුරු කොරියාවේ මිසයිලවලින් අපට හෝ අපේ මිතුරු රටවලට හෝ තර්ජනයක් වන්නේ නම් එම මිසයිල ක්ෂණිකව බිම හෙළීමට අප සූදානම්  “යැයි ද ආරක්ෂක ලේකම්වරයා පැවැසීය.