බ්‍රසීලයේ මහ වැස්ස 57 ක් බිලි ගනී: 67 ක් අතුරුදන්


දකුණු දිග බ්‍රසීලයට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් මුළුමනින්ම ජලයෙන් යටවී ඇති බවත්, ප්‍රාදේශ කීපයක නිවාස නායයෑමට හසුවී ඇති බවත් පැවැසෙයි. මහ වැසි සහ ජල ගැලීම් හේතුවෙන් මියගිය ගණන 57 ක් බවත්, 67 දෙනකු අතුරුදන් බවත් පැවැසෙයි.

ජල ගැලීම් හේතුවෙන් නිවාස අහිමි වුණු ගණන දහසකට වැඩිය. මහ වැස්සෙන් සහ ජල ගැලීම්වලින් දැඩි ලෙස පීඩාවට පත් වූයේ රියෝ ග්‍රාන්දේ දෝ සෝල් ප්‍රාන්ත වැසියන් බව පැවැසෙයි.

රියෝ ග්‍රාන්දේ දෝ සෝල් ප්‍රාන්තයේ පමණක් උන්හිටිතැන් අහිමිවුණු වැසියන් ගණන 32,000 කි. ප්‍රාන්තයේ නගර 497 ක් ඇති අතර ඒවායින් තුනෙන් දෙකක් මේ වනවිට සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ගොස් ඇතැයි ද පැවැසෙයි.

මහ වැසි හේතුවෙන්, ජල විදුලි බලාගාරයක වේල්ලක් ද පුපුරා ගොස් ඇති බැවින්, වේල්ල අවට පහත් බිම්වල පදිංචිකරුවන් කඩිනමින් ආරක්ෂක ස්ථාන වෙතට යොමු කෙරුණු බව බ්‍රසීල රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. බ්‍රසීල මාධ්‍ය වාර්තා කළේ තවත් වේල්ලක් ද අධික වර්ෂාව හේතුවෙන් කැඩී යෑමේ අවදානමත් පෙන්නුම් කළ බවය.

(ඒ.එෆ්.පී.)