තම ආසියා සංචාරය ආරම්භ කරමින් පළමුවන ෆැන්සිස් පාප්වහන්සේ පසුගියදා දකුණු කොරියාවට පැමිණියහ.
දකුණු කොරියාවට කතෝලික සභාවේ උත්තරීතරම නායකයා පැමිණ ඇත්තේ වසර 25 කට පසුවය.
උන්වහන්සේ පිළිගැනීමට දහස් ගණන් දකුණු කොරියා ජාතිකයෝ මග දිගට පෙළ ගැසී සිටියහ.
වාර්තා වන ආකාරයට තමන්ට ගමනේ යෙදීමට කොරියාවේ සාමාන්‍යය ජනතාව භාවිතා කරන කුඩා මෝටර් රථයක් ප්‍රමාණවත් වන්නේ යැයි පාප්වහන්සේ දැඩිව අවධාරණය කර තිබෙන අතර මෙනිසා වෙඩි නොවදින විසල් මෝටර් රථයක නොව කුඩා හුරුබුහුටි මෝටර් රථයක උන්වහන්සේ ගමන් කරනු දැකගත හැකි විණ.
කතෝලික සභාවේ පියතුමන්ලා සාමාන්‍ය වාහන භාවිතා කරද්දී තමන්ට වැඩි සැළකිලි අවැසි නැතැයි උන්වහස්සේගේ මතයයි.මෙනිසා පෙර සිටි පාප්වහන්සේලා මෙන් නොව ජනතාවට වඩාත් සමීප වීමට උන්වහස්සේට හැකිව ඇත.
‘‘ජනතාවගේ පාප්වහන්සේ‘‘ ලෙස උන්වහන්සේව හැදින්වේ.
වතිකාන ආරංචි මාර්ග වලට අනුව පාප්වහන්සේගේ දකුණු කොරියා සංචාරයේ අරමුණ දකුණු කොරියාවේ කතෝලික සභාවේ කටයුතු සම්බන්ධයෙන් සොයාබැලීමයි.
පසු අවස්ථාවකදී සියොල් නගරයේ උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් දිව්‍ය පූජාවක්ද පැවැත්වීමට නියමිතව ඇතැයි සඳහන්ය.
උතුරු හා දකුණු කොරියාව අතර ඇතිව තිබෙන අර්බුදය ගැනද විමසා බැලීමට උන්වහන්සේ අදහස් කරගෙන සිටින බව පැවසේ.කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් උතුරු කොරියා බළධාරීන් හා සාකච්ඡා පැවැත්වීමට ගත් උත්සාහයන් අසාර්ථකව ඇත.
උතුරු කොරියාව පාප්වහන්සේගේ පැමිණීම නිමිත්තෙන් සිදුකළේ කෙටි දුර මිසයිල අත්හදා බැලීමක යෙදීමයි.උන්වහන්සේ පැමිණීමට පෙර එක් වරකුත් පැමිණි පසු තවත් වරකුත් ලෙස අවස්ථා 2 ක දී උතුරු කොරියාව මිසයිල අත්හදා බැලු බව දකුණු කොරියා ආරක්ෂක අංශ කියයි.
දකුණු කොරියා ජනපති පාක් ජින් හයේ සමග පැවැති හමුවේදී පාප්වහන්සේ කියා සිටියේ ‘‘කොන් කිරීමක්,විවේචනය කිරීමක්,හා බලය භාවිතා කිරීමක්‘‘ නොමැති රාජ්‍ය තාන්ත්‍රික සබදතා ඇති වන්නේ නම් ලෝකයේ සාමය පවත්වා ගැනීම ගැටලූවක් නොවන බවයි.
ආසියා සංචාරයේ පියවරක් ලෙස එළැඹෙන ජනවාරි මාසයේදී උන්වහන්සේ ශ්‍රී ලංකාවටද පැමිණීමට නියමිතය.





