දිල්ලි ප්‍රහාරයෙන් මියගිය ගණන 9 ක්


ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඊයේ (10) රාත්‍රියේ සිදු වූ දැවැන්ත පිපිරීමෙන් මියගිය ගණන මේ වනවිට නවය තෙක් ඉහළ ගොස් ඇත. පිපිරුමට හසුවීමෙන් තුවාල ලැබූ ගණන 20 ක් යැයි පැවැසෙයි. පුපුරා ගියේ කාර් බෝම්බයකි. එය ත්‍රස්ත ප්‍රහාරයක් යැයි සැක කෙරේ.

පිපිරීමෙන් පසු මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ, මුම්බායි නුවර ඇතුළු ඉන්දියාවේ ප්‍රාන්ත රැසක ප්‍රධාන නගරවග ආරක්ෂාව තරකර ඇත. ඊයේ (10) ඉන්දියාවේ වේලාවෙන් සවස 6.25 ට පමණ පුපුරා ගියේ මෝටර් රථයක් තුළ තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයකි.

අධි බලැකි මෙම පිපිරීමේ ප්‍රබලත්වය කිලෝ මීටරයක් දුරට දැණුනු බව පැවැසෙයි. පිපිරීම සිදුවූයේ නවදිල්ලි අගනුවර ඓතිහාසික ප්‍රදේශයක් ලෙස සැලකෙන රතු බලකොටුව ආශ්‍රිත මෙට්‍රෝ උමං දුම්රිය ස්ථානය ආසන්න ප්‍රධාන මාර්යේය.

පුපුරා ගිය එම මෝටර් රථය හයිහුන්ඩායි වර්ගයේ එකකි. පිපිරුමත් සමඟ අවට නවතා තිබූ තවත් වාහන 22ක් පමණ ගිනි ගෙන විනාශ විය. අවට ගොඩනැගිලි රැසකටත්, නිවාස රැසකටත් හානි සිදුවිය. හටගත් ගින්න නිවා දැමීමට ගිනි නිවන රථ 20 ක් යෙදවිණි.

පිපිරැමෙන් පසු වහා ක්‍රියාත්මක වූ දිල්ලි පොලිසියේ විශේෂ ඒකක සහ ත්‍රස්ත විරෝධී ඒකක අදාළ ස්ථානයට පැමිණ විමර්ශන කටයුතු ආරම්භ කළේය.

පිපිරීමෙන් අනතුරුව ඉන්දු නේපාල දේශ සීමාවේ ආරක්ෂාව තර කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇති අතර, නේපාලයේ සිට ඉන්දියාවට පැමිණෙන සංචාකරයන් දැඩි පරීක්ෂාවට ලක් කිරීමට ද වැඩිදුරටත් පියවර ගෙන ඇතැයි ඉන්දී්‍ය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.