ටැන්සානියාවේ ලෝපතල සේරන්ගෙටි ජාතික වනෝද්‍යානයේ අතුපතර විහිදුනු ශක්තිමත් "කිගේලියා" නමින් හැඳින්වෙන වෘක්ෂයක විඩා හරිමින් සිටි පහළොස් දෙනෙකුගෙන් පමණ යුත් සිංහ රංචුවක් ඡායාරූපයට නැගීමේ විරල අවස්ථාවක් ඕස්ට්‍රේලියාවේ බොබී ජෝ ක්ලොව් නම් ඡායාරූප ශිල්පියාට ලැබී ඇත.
සිංහයින් වයසට ගියත් තණකොළ බුදින්නේ නැතුවාක් මෙන්ම ගස් බඩගාන්නේද ඉතාම කලාතුරකිනි. උගන්ඩාවේ එලිසබත් වනෝද්‍යානයත් ටැන්සානියාවේ මන්යාරා වනෝද්‍යානයත් ගස්නඟින සිංහයින් ඉන්නා වනාන්තර ලෙස ප්‍රසිද්ධය.
ඒවායේත් බොහෝවිට සිංහයින් ගස් නඟින්නේ දෙතුන්දෙනා බැගිනි. සෙරන්ගෙටි වනයේ සිංහයින් රංචුවක් එකම ගසක සිටිනු දැකීම අතිශයින්ම දුර්ලභ දසුනක් වන්නේ ඒ නිසාය.
එම අවස්ථාවේ සිංහ දෙනුවන් සහ පැටවුන් පහළොස් දෙනෙක් ගසේ අතු මත නිදා සිටි අතර පිරිමි සතෙකු ගස පාමුල තණබිස්සේ උසින් වැඩි ඇති පඳුරු අස්සේ නිදා සිට ඇත.
සිංහයින් ගසට නඟින්නට ඇත්තේ තණකොළ ගොල්ලේ පිරිඉන්නා මැස්සන්ගෙන් සහ කෘමින්ගෙන් ගැලවීමට විය හැකිබව බොබී ජෝ ක්ලොව් කියයි.
හොඳින් වැඩුණු සිංහයෙකු පැයට සැතපුම් පනහක පමණ වේගයකින් දිවිමටත් මීටර් දහයකටත් වැඩි දුරකට පැනීමටත් හැකියාවක් ඇති ඉතාමත් ජවසම්පන්න ශක්තිමත් සිව්පාවෙකි.
එසේවුවත් ගස් නැඟීම සිංහයින්ට උපතින් ලැබෙන හැකියාවක් නොවේ. එම සතුන් ජිවත්වන පරිසරයට අනුව සමහර අවස්ථාවල ගස් නැඟීම ප්‍රගුණ කරගත් සිංහයින් ඉන්නා බව කියති. බොහෝ අවස්ථාවල වල් මීහරක් රැලකින් බේරීමට සිංහයකු කුඩා ගසකට නඟිනු දැක ඇති සංචාරකයින් සිටිති.






